08/02/2024
නවදිල්ලියේ නිල ආරාධනයෙන් ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (05) දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් කුමාර් දොවාල් හමුවීම ඉන්දීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරනවා. ඔවුන් පවසන්නේ අනුර දිසානායක මහතා ඇතුළු දූත කණ්ඩායම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඉහලම තනතුරු දරන්නන් දෙදෙනා හමුවීම ඉන්දීය ආණ්ඩුවේ ‘ඉහල මට්ටමේ සම්බන්ධය පිළිබඳ ඇඟවීමක්’ බවයි.
සිය දින පහක සංචාරයේ දී නවදිල්ලිය, අහමදාබාද් සහ ත්‍රිවානන්තපුරම් ආවරණය කරමින් නිල සංචාරයක යෙදෙන අනුර දිසානායක මහතා එම කණ්ඩායමට නායකත්වය දෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
“තීරණාත්මක මැතිවරණ වර්ෂයකදී දේශීය දේශපාලන ක්ෂේත්‍රය තුළ අනුර දිසානායකගේ ඉහළ යන ජනප්‍රියත්වයට සමගාමීව මෙම සංචාරය සහ හමුවීම් වඩාත් වැදගත්කමක් ගනී. නවදිල්ලිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට ආරාධනා කළ පළමු අවස්ථාව මෙයයි. ඔහු සමඟ හමුවීමෙන් පසුව, ආචාර්ය එස්. ජයිශංකර් මහතා සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ පැවසුවේ ‘අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳව සාර්ථක සාකච්ඡාවක් කළ බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද අපි සාකච්ඡා කළෙමු. ඉන්දියාව, එහි අසල්වැසි පළමු සහ සාගර් ප්‍රතිපත්ති සමඟින් ශ්‍රී ලංකාවේ ‘සෑම විටම විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වනු ඇත’ යනුවෙන් අමාත්‍යවරයා පැවසීය” යි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
“පස්වරුවේ දී අජිත් කුමාර් දොවාල් මහතා සමඟ අපගේ සාකච්ඡාවේ දී අපි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික ගැටලු සාකච්ඡා කළෙමු” යි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් උපුටමින් ඊයේ ඉන්දීය මාධ්‍ය පවසා තිබුණා.
ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් ඇති විවිධ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධ වීමට ඇති සූදානම සංඥා කරමින් සහ එය සාර්ථක කරගනිමින් ජාතික ජන බලවේගයේ දූත කණ්ඩායමේ ඉන්දීය නිල සංචාරය හැදින්විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
“ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට නව දිල්ලිය සත්කාරකත්වය දැක්වීම අවධානයට ලක්ව ඇති අතර, 2022 දී ශ්‍රී ලංකාවේ දැවැන්ත මහජන නැගිටීමක් ඇති වූ විට, 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු, දිසානායක මහතාගේ ජනප්‍රියත්වයේ කැපී පෙනෙන නැගීමක් ජනමත සමීක්ෂණ වලදී දක්නට ලැබුණි. ප්‍රාදේශීය සමීක්ෂණවලට අනුව, පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක රටෙහි සුක්කානම ලෙස මාරුවීම ගැන කලකිරී සිටින බොහෝ පුරවැසියන්, තෙවැන්නා වූ ජාතික ජන බලවේගයට මෙවර මැතිවරණයක දී අවස්ථාවක් ලබා දීමට උනන්දු වන බව පෙනේ” යයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය වලද මෙම සංචාරය පිළිබඳව අද කරුණු වාර්තා කර තිබුණා. මෙරට පලවන වෙබ් අඩවි මෙන්ම මෙරටින් පිට සිට ක්‍රියාත්මක වන බොහෝ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය වලද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, එහි ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, එහි ජාතික විධායක කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ආචාර්ය අනිල් ජයන්ත ඉන්දීය මධ්‍යම රජයේ ආරාධනයෙන් සහභාගීවන මෙම නිල සංචාරය පිළිබඳව කරුණු වාර්තා කර තිබෙනවා.