28/05/2025
සමහර අවස්ථා අපේ ජීවිත වලට ලැබෙන්නේ එකම එක වතාවක් වෙන්න පුළුවන්. අපේ 123 වන පරිච්ඡේදය කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්.
ඒකාකාරී වැඩ ගොඩක හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපි හැමෝටම කොළ පාට පරිසරයක කුරුල්ලන්ගේ ගී තනු අහගෙන සීතල සුළන් රැලි වල පහස විඳගෙන තුරු ලතා අතරින් නිදහසේ ගලායන දොළ පාරක් දිහා බලාගෙන එක හොරාවක් හරි ඉන්න තියෙනවනම් කොච්චර වාසනාවක්ද.?
දැවා, පර්පථ අයියා, පැසිබරී අක්කා, ලාෆි නංගි, කෆීර් මල්ලි එක්ක කතාව ලියන මටත් අවස්ථාවක් ලැබුණා දවස් දෙකක් ඒ දිව්‍ය විමානේ අතරමං වෙන්න. මාස හයකට විතර පස්සේ අපේ පරිපථ අයියගේ පාසල් කාලයේ ඉඳන් අති ජාත මිත්‍රයෙක් වෙච්ච දැන් අඩවි වන නිලධාරී වරයෙක් විදිහට සේවය කරන මංගල අයියගෙන් අපිට ලැබුණ ආරාධනාවකට 123 වන අපේ වැඩසටහන අරන් මැයි මාසේ 26,27 දවස් දෙක ගතකරන්න අපි ගියා ලංකාවේ වටිනම සම්පත වෙච්ච සිංහරාජ වනාන්තරයට.
ඔයා ලෝකෙ කොහේ හිටියත් අපේ Patreon සාමාජිකත්වය අරගෙන, දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන මේ සත්කාරයට සහයෝගය දෙන්න පුළුවන් ! පහළ තියෙන්නේ Link එක ;
www.patreon.com/c/WarenYannaApithEkka
අපිට මේ සැරේ තිබුනේ ටිකක් වෙනස් වැඩක්. අපේ මංගල අයියා ඇතුලු කුඩව-සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් පාසල් කීපයකින් තෝරගත්ත ලමයි 50 දෙනෙකුට පවත්වන පරිසරය සුරැකීම අනාගත නායකයින් බිහිකරීම උදෙසා කරන වැඩකට අපිවත් සම්බන්ධකරගෙන යන වැඩසටහනක්. මේක අපේ කණ්ඩායමට අලුත් වැඩක් නිසා කට්ටිය ආසාවෙන් වැඩේට ලෑස්තිවුණා. 26 උදේම අපි කට්ටිය කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානයට යන්න පිටත් වුණා. නගර බද පරිසරය පහු කරලා කැලේ සීමාවට ඇතුල් වෙද්දි හිතට දැණුන හැඟීම පැහැදිලි කරන්න තරම් ලස්සන වචන මගේ ලඟ නෑ. අවස්ථාවක් ලැබුණොත් ඒක මඟ හැරගන්නේ නැතුව ඒ හැඟිම දවසක විදින්න.
ඉතින් අපි ගිහින් ටික වෙලාවක් යද්දි මංලග අයියා ඇතුලු පිරිස ඇවිල්ලා අපිය පිලිගෙන, වැඩසටහන කරන්න තියෙන තැන අපිට සූදානම් කරලා දෙනකන් වැඩේට ඕන අපේ බඩු ටික අපි සූදානම් කරගත්තා.
වැසි වනාන්තරයක් වැස්ස නැතුව බෑනේ ඉතින්, මේ පායනවා මේ වහිනවා. මොනතරම් වැස්සත් අපි සූදානම් වෙලා ඉවර වෙනකොට ළමයි ටික ඔක්කෝම ඇවිල්ල. අපිටත් පුදුමයි, ඒ තරම් උනන්දුවෙන් මේ වැඩේට ලමයි ඇවිල්ලා තිබුණා. වැඩසටහනේ පෙලගැස්මේ හැටියට අපිට තමයි ආරම්භය ගන්න තිබුනේ. දැවා ඒ වැඩේට මුල පුරමින් අද දවසේ මොකද වෙන්නේ, මේ කරන වැඩසටහනේ වටිනාකම සහ අපි කවද කියලා හඳුන්වා දෙන ගමන් වැඩේ පටන් ගත්තා.
පලමුවන දවස තුල ලමයිට ඉතාම වටිනා දේශන කීපයකි එක්ක ඒවට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයකුති සූදානම් කරලා තිබුනා.
ජෛව විවිධත්වය
පාරිසර්ක ආචාර ධර්ම
ශ්‍රීලාංකාවේ දිවියන් සංරක්ෂණය
ලංකාවේ උභය ජීවීන්
යන කාණ්ඩ යටතේ ඒ හා සම්බන්ධ ප්‍රවීන දේශක මහත්වරුන් යටතේ ඉගෙන ගන්න ලමයිට අවස්ථාව ලැබුනා. ඒ දේශන කොච්චර වටිනවද කියනවනම් අපිත් ලමයිට පිටිපස්සෙන් පුටු තියන් ඒවා අහන් හිටියා. අපිට වඩා ඒ ලමයි 50 දෙනා ගස් කොළන්, සත්තු ගැන දන්නවා. සත්තුන්ගේ නම්, ගස්වල නම් අපි දන්නේ නෑ, මේ ළමයි දන්නවා.
දහවල් ආහාරයෙන් පස්සේ අපි ආයම ලමයි එක්ක කතා බහක යෙදිලා පොඩි තරඟ කීපයක් කරලා දේශන වලට අවස්ථාව දුන්නා. ඒවා යන අතර තුර අපි මොකද කරේ, වැඩසටහන කරන තැන තියෙන්නේ ලස්සන දොළ පාරක් ලඟ. ඒක දැකලා වතුර ටිකක් ඇඟට නොදා කොහොමද? පරිපථ අයියා එනකන් නාන්න එහෙම එපා කිව්වත් අපිට ඉවසන් ඉන්න බැරි වුණා. ලමයි එන්න කලින් අයිස් වගේ සීතල වතුර ටිකේන හොඳට නාගෙන ගොඩට ආවේ උණු උණු තේ එකක් තිබ්බනම් හොඳයි කියලා හිතන ගමන්. හිතන දේවල් වෙනවා පුතේ, ඇඳම් මාරු කරන් එද්දි රස්නේ පිට තේ කෝප්පයක් අපිට හමුබුණා. අපිට විතරක් නෙවේ ලමයිට පවා නාන්න සියල්ල සූදානම් කරලයි තිබුනේ.
හොඳට නාලා ප්‍රබෝධමත් වෙලා ඉන්න ලමයිට සහ අපිටත් ආසාවක් වෙන වැඩක් තමා හවස තිබුනේ. උභය ජීවීන් ගැන දේශනය සහ ක්ෂේත්‍ර චාරිකාව. කෙටි හැඳින් වීමකින් පස්සේ මංගල අයියා ඇතුළු නිලධාරීන් ලමයි ටිකත් එක්කරගෙන කැලේ ඉන්න සත්තු හඳුනාගන්න පිටත් වුනා. අද අපිත් ලමයි, ඉතින් අපිත් ලමයි එක්ක වැඩේට සම්බන්ධ වුනා. කැලයක් ඇතුලේ රාත්‍රී කාලේ සත්තු හොයන්න හම්බෙනවා කියන්නේ වෙනම අත් දැකීමක්. සතෙක් ඉන්නවා දැක්කාම දැනෙන සතුට ඊටත් වඩා දෙයක්. වැස්ස සුන්දර වුණත් මේ වැඩේට වැස්ස බාදාවක් වුණ නිසා අපිට යන්න හිතපු දුරට කලින් වැඩේ නතර කරලා අපේ සුපුරුදු තැනට එන්න වුනේ හිතේ දුකක් එක්ක. රාත්‍රි ආහාරයෙන් පස්සේ අපි හිතුවේ ලමයිට නිදිමත මහන්සි නිසා අපි සූදානම් කරන් තිබුන වැඩේ කරන්න බැරි වෙයි කියාල. මොන පිස්සුද, සිංදු කියන වැඩක් තමා තියෙන්නේ කිවව ගමන් මෙන්න මුන් ටික අත්පුඩි ගහලා ආසාවෙන් වැඩේට ලෑස්ති වුණා. පලවෙනි දවස අපි නිමාකරේ ගීත විචාරාත්මක වැඩසටහනකින්. ලමයිට වඩා ආසාවෙන් පාසලෙන් සම්බන්ධ වෙලා හිටිය ටීචර්ලා ටිකයි සර් ලා ටිකයි වැඩේට එකුතු වුණා වගේ දැනුනේ ගීත හඳුනා ගැනීමේ කොටසෙදි.
වැඩේ ඉවර වෙලා ලමයිට සුබ රාත්‍රියක් කියලා ජීවිතේ මෙච්චර දවසක් නිදාගත්ත සුවබරම නින්දට යන්න මගංල අයියගේ නිල රථයෙන් අපි ගියා කැලේ ඇතුලේ තියෙන සුන්දර නවාතැනකට. කැලේ මැදින් තියෙන පාර දිගේ අපි ගියේ යකෝ මේක නේද දිව්‍ය ලෝකය කියලා හිතන ගමන්. වතුර කොච්චර සීතල වුණත් නාන්ඩ අකමැති දැවා පවා ඇඟ සොද ගත්තේ සුවබර නින්ද තවත් සුවබර කරගන්න ඕන නිසාම වෙන්න ඕන.
මෙච්චර පිරිසිදු වතුර පොදක්, හුස්ම පොදක් අපිට ලැබෙන්නේ මේ මහා වනාන්නතර නිසා නේද? මේවා මතු පරපුරක් වෙනුවෙන් කෙසේ හෝ ආරක්ෂා කරගන්න ඕන නේද කියන දේ හිතේ තියන් ඇස් පියා ගත්තේ සුවබර නින්දට වෙන් වූ කාලය අපතේ යවන්න තියෙන ලෝබකමට..
මහා වනාන්තරයක් මැද්දේ නින්ද එච්චර සුන්දර විදිහට තියෙයි කියලා දැණුනම් උදෑසන පිබීදීම කොහෙම සුන්දර වෙන්න ඕනද.? වෙනදට ඇහෙන වාහන සද්ද අද නෑ. නලා සද්ද අද නෑ. රූපවාහිනී ගුවන විදුලි සද්ද නෑ. ඒ වෙනුවට අපිට අහන්න හම්බුනේ හිමිදිරි උදෑසන වන දෙව්ලිය හැඩ කරනු වස් වනයට උරුම වූ මහා වාද්‍යය වෘන්දයක් වූ කුරුල්ලන්ගේ මිහිරි ගායනා, හුලඟට ලෙලදෙන ගස් කොලන් වල සිලි සිලි හඩ. ගලා යන දොළ පාරවල් වල හඩ. ඒක හැඟීමක්, කිසිම දවසක විස්තර කරන්න බැරි විදිහේ හැඟීමක්.
උදෑසන තේ එකත් බීලා අපෙ නවාතැනින් අපි පිටත් වුනේ 123 පර්ච්ඡේදයේ අවසන් වැඩ කොටස පටන් ගන්න. වාහනේ රෑ ඒද්දි දකින් බැරි වුණ දේ උදේ යන ගමන් දකිද්දි තමා හිතුනේ මෙච්චර ලස්සන පරිසරයක් ඇතුලේ නේද මේ අපි ඉඳාල තියෙන්නේ කියලා. දෙවනි දවස පෙල ගැහිලා තිබුනේ,
සර්පයන් පිලිබඳ දේශනය
ශාක හඳුනා ගැනීම හා ඊට අදාල ප්‍රායේගික ක්‍රියාකරකම්
සමඟන් දින දෙකක පුරාවට සිදුකල දේ හා සම්බන්ධ කෙටි සමාලෝචනය යන කාරනා යටතෙයි. පටන් ගත්ත මොහොතේ පටන් තිබුන උද්යෝගය ආසාව ලමයින්ගේ වගේ පාසල් වලින් පැමිණ තිබුන ආචාර්ය මණ්ඩලය තුල අපි දැක්කා.
ඉතින් දවස් දෙක්ක 100 කට විතර කන්න බොන්න දෙනවා කියන්නේ අද කාලේ ලේසි පහසු වැඩක් නෙවේ. මංගල අයියා ඇතුලු කුඩව- සිංහරාජ මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සේවක මණ්ඩලය ඉතාම උනන්දුවෙන් බොහෙම ලෙන්ගතුව අපිට වගේම ලමයිටත් ප්‍රණීත ආහාර පානාදියෙන් සංග්‍රහ කල බව සඳහන් කරන්නම ඕන වගේ ස්තූති වන්ත වෙන්න ඕන.
වෙනස්ම විදිහේ වැඩසටහන් නිමා කරලා පුරා දින දෙක්ක හිත පිරිච්ච සතුටකින් මානසික නිදහසකින් ගත කරලා කිසිදාක මිල කල නොහැකි මහා වනාන්තරයක තුරලේ ඉඳලා ආයම අපි හිටිය නගරයට එන්න හිත හදා ගන්නේ කොහොමද.? අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඕක. සමහර විට ආය ලැබෙන එකක් නැති වෙයි දෝ හිතලා පපු පිරෙන්න හුස්මක් අරන් වාහනයට ගොඩ වුනේ අපි ඇවිද ගිය පිය සටහන් පමණක් තියලා දින දෙක පුරා එකතු කරගත්ත මතකයන් පමණක් අරගෙන, ප්‍රතාපවත්ව වැජඹෙන මහා සිංහරාජ වන දෙව්ලිය මතු අනාගතයටත් සුරැකේවා යන ප්‍රාර්ථනයත් එක්කයි.
අපි එද්දි මංගල අයියා අපට දීපු සමරු සටහනේ තිබ්බ හිතට දැණුන වචන ටිකකින් මම මගේ ලියමන නතර කරනවා.
“අනාගතයෙදී, ඔබ දැල් වූ ආලෝකය ඔස්සේ අනාගත නායකයින් පිය නඟනු ඇත. ඔවුන් ලෝකයේ පැවැත්මට මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇත. ඔබගේ දැවැන්ත කාර්යභාරයෙහි ප්‍රතිථලය මෙම වැඩසටහන පමණක් නෙවේ, මුලු ලෝකයෙහිම පැවැත්මට ඔබ සිදු කල කාර්යභාරයකි. එයට සොබාදම් මාතාව ඔබට කෘතගුණ දක්වනු ඇත..”
සටහන ලියූ මම හඳුනා..
ඔයා ලෝකෙ කොහේ හිටියත් අපේ Patreon සාමාජිකත්වය අරගෙන, දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන මේ සත්කාරයට සහයෝගය දෙන්න පුළුවන් ! පහළ තියෙන්නේ Link එක ;
www.patreon.com/c/WarenYannaApithEkka