SMN24 ජාති, ආගම්,කුල බේද වලින් තොර සාධාරණ සමාජයක්

🛑SMN24MEDIA🛑 මාධ්‍ය ආයතනය සදහා ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස බැදීමට කැමති පහත සදහන් සුදුසුකම් සහිත ශ්‍රීලාංකික තරුණ තරුණිය...
16/08/2026

🛑SMN24MEDIA🛑 මාධ්‍ය ආයතනය සදහා ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස බැදීමට කැමති පහත සදහන් සුදුසුකම් සහිත ශ්‍රීලාංකික තරුණ තරුණියන්ගෙ ඉල්ලුම්පත් කඳවනු ලබයි.

✅වයස අවුරුදු 18 ත් 40 ත් අතර
✅සිංහල හෝ දෙමළ භාෂාවෙන් අපොස සා/පෙළ සමත් වී තිබීම.
✅පරිගණක සාක්ෂරතාවය.
තෝරාගනු ලබන ආධුනිකයන් සදහා මූලික පුහුණුව ආයතනය විසින් ලබාදෙනු ලබයි.
ස්ථීර සේවය සදහා තෝරාගනු ලබන අයවළුන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පත ලබාදීමටත් සපයනු ලබන පුවත් මත පදනම් වූ ආකර්ශණීය ගෙවීමක් ලබාදීමත් සිදු කරනු ලැබේ.

ඔබගේ සියළු විස්තර සදහන් ඉල්ලුම්පත් අදම යොමු කරන්න [email protected] වෙත.❤👍❤

14/08/2026

ඔන්න බලන්න ඒකෙත් හැටි... හැමෝම කැමරා හයි කර ගන්න හොදේ...

20/07/2026

"මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද "මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු...!" යන තේමාව යටතේ, විවිධ මට්ටමේ මානසික සහ කායික ආබාධ සහිත ප්‍රජාවේ අභිවෘද්ධිය වෙනුවෙන්, මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද "මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුව" ක් අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීපාංජලී අබේගුණවර්ධන ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මාධ්‍යකරණයේ නියුතු ජනමාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේ විශේෂ දේශණයක් සිදුකල ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ආබාධිතභාවය පිළිබඳ සමාජය සතු පටු ආකල්ප සහ භාෂා භාවිතය දෝෂදර්ශනයට ලක් කල අතර පුද්ගලයෙකුගේ වටිනාකම මැනිය යුත්තේ ඔවුන් සතු අඩුපාඩු මත නොව, ඔවුන් ලෝකයට දායාද කරන නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය මත බව අවධාරණය කරන ලදී.
ආබාධිතභාවය යනු හුදෙක් කායික තත්ත්වයක් නොව, අපිරිසිදු සිතුවිලි, නීතිරීති සහ භෞතික බාධක මගින් සමාජය විසින්ම නිර්මාණය කරනු ලබන තත්ත්වයක් බවත් ආබාධිත පුද්ගලයන්ව අනුකම්පාවට හෝ විශේෂ වීරත්වයකට ලක් කරන "ලේබල්" වෙනුවට, ඔවුන්ට සමාන අවස්ථා සපයන මානුෂීය ලෝකයක් ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුනි.

එමෙන්ම, මාධ්‍යවේදීන් සහ පොදු ජනයා වචන භාවිතයේදී වඩාත් සංවේදී විය යුතු බවත්, වෙනස්කම්වලට ගරු කරන ලෝකයක් සැමටම නිදහසේ ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන බවත් පවසන ලදී.

20/07/2026

ප්‍රබල ආර්ජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරයින් වෙයි.

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි MetLife ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියා.

තරගයේ තීරණාත්මක අවස්ථාව උදා වූයේ අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී.

එහිදී ෆෙරාන් ටෝරස් ලබාගත් විශිෂ්ට ගෝලය VAR පරීක්ෂාවෙන් අනතුරුව නිල වශයෙන් තහවුරු කළ අතර, එම ගෝලය තරගයේ එකම ගෝලය බවට පත්වුණා.

මේ අතර, නියමිත කාලයේ 90+3 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් දෙවන කහ කාඩ්පත ලබා රතු කාඩ්පතකින් පිටියෙන් ඉවත් කිරීමත් සමඟ, අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවුණා.

ලියොනෙල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනාව අවසන් මොහොත දක්වා සම තත්ත්වයක් සොයා උත්සාහ කළද, ස්පාඤ්ඤයේ ශක්තිමත් ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා හමුවේ එය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා.

2010 වසරේදී සිය පළමු ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු සිය දෙවැනි FIFA ලෝක කුසලාන කිරුළ දිනා ගත්තා.

20/07/2026

පාසැලකින් දරුවෙකුට නිකුත් කෙරුනු චරිත සහතිකයක්... මේ ගැන ඔබේ මතය කුමක්ද ? 🤔🤔

20/07/2026

මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්‍රයට

වසර 15කට ආසන්න කාලයක් අක්‍රියව පැවති මොරටුව, කඩුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය, ජාතික ශිල්ප සභාව යටතේ යළි ස්ථාපිත කිරීමෙන් පසු එහි පුහුණුව නිම කළ ප්‍රථම සිසු කණ්ඩායම වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා (16) තලවතුගොඩ ජැට් හෝල්ඩිංග්ස් සමාගමේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

වසර 65 ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන කටුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය, දිවයින පුරා විසිරී පැවති දැව පුහුණු පාසල් 250කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සඳහා උසස් පුහුණුව ලබා දුන් ප්‍රධාන මධ්‍යස්ථානයයි. කෙසේ වෙතත්, 2010 වසරේදී මෙම ආයතනය අත්තනෝමතික ලෙස වසා දමා අමුද්‍රව්‍ය ගබඩාවක් බවට පත් කිරීම හේතුවෙන් මෙරට දැව කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

වත්මන් රජයේ නව වැඩපිළිවෙළ යටතේ මෙය යළිත් දිවයිනේ විශාලතම යාන්ත්‍රික දැව තාක්ෂණ පුහුණු ආයතනය ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති අතර, මෙහිදී NVQ 4 මට්ටමේ දැව තාක්ෂණ ශිල්පී (ගෘහ භාණ්ඩ) පුහුණුව නිම කළ සිසුන් 21 දෙනෙකු අද දින වෘත්තීය සුදුසුකම් සහිතව නිපුණ ශිල්පීන් ලෙස සමාජගත විය.

මෙම ශිල්පීන් සඳහා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ සමාගම් රැසක් රැකියා අවස්ථා ලබා දීමට ඉදිරිපත් වී ඇති අතර, එහිදී "ජැට් හෝල්ඩින්ග්" (JAT Holdings) ආයතනය විසින් සිසුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. මීට අමතරව, දැනට පුහුණුව ලබමින් සිටින 30කට අධික ශිෂ්‍ය පිරිසටද පුහුණුව අවසානයේ ස්ථිර රැකියා ලබා දෙන බවට සහතික කර ඇත.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින දැව ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ ජාතික මෙහෙවර මෙලෙස යළිත් සාර්ථකව ආරම්භ වී තිබේ.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ නිශාන්ත විජයලත් , ජැට් හෝල්ඩින්ග්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරි චමින්ද ගුලවිට සහ ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ යන මහත්ම මහත්මියන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගී විය.

20/07/2026

රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්ත්‍රීවරිය ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හොරණ, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි රේණුකා දමයන්ති නමැත්ති කාන්තාවක් වන අතර ඇය එක්සත් ජාතික පක්ෂයේ හොරණ නාගරික මංත්‍රීවරියක් ලෙසත් කටයුතු කර තිබෙනවා.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකාරිය අගරු චෙක්පත් ලබාදෙමින් රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකුගෙන් රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. වංචාවෙන් පසුව ඇය දිගු කලක් ව්‍යාපාරිකයින් මඟහැර සැඟවී සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුගියදා (18) සැකකාරිය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණ සිටියදී, පැමිණිලිකාර ව්‍යාපාරිකයින් ද එහි පැමිණ ඇති අතර, එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහිදී මිරිහාන පොලිසිය එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී වංචාව සම්බන්ධ පැමිණිලි අනාවරණය වීමෙන් පසු, අදාළ නීතිමය කටයුතු සඳහා සැකකාරිය වත්තල පොලිසිය වෙත භාරදී තිබෙනවා.

16/07/2026

දරාගැනීමේ උපරිම සීමාවත් ඉක්මවා ගියාට පස්සේ මම මේක ලියන්නෙ.

මගේ පුතා ආඛ්‍යට දැන් වයස අවුරුදු 7යි මාස 6යි. එයා Fragile X Syndrome කියන ජානමය තත්ත්වයක් තියෙන Neuro-divergent දරුවෙක්. ඒ නිසා ADHD, Intellectual Disability (IDD), CVI වගේ අභියෝග කිහිපයක් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ.
අවුරුදු දෙකකට කලින් මම එයාව නවගමුව සිරිසුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ Special Education Unit එකට ඇතුළත් කළා.
හැබැයි අද වෙනකම් ඒ Unit එකට විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට පාවිච්චි කරන්න වෙනම වැසිකිළියක් නැහැ. මම දන්නා තරමින් විශේෂ අධ්‍යාපනය ලබන දරුවො ඉන්න තැනකට එහෙම වැසිකිළියක් තියෙන එක චක්‍රලේඛ වලින් පවා කියලා තියෙනවා.
පාසලේ තියෙන වැසිකිළි තියෙන්නේ ඒ Unit එකෙන් ගොඩක් ඈත. Unit එකේ ඉන්නේ දරුවෝ හතර දෙනයි. ගුරුවරිය ඉන්නෙත් එක්කෙනයි. එක් දරුවෙක්ව වැසිකිළියට අරගෙන ගියොත් අනිත් දරුවෝ තනිවම පන්තියේ දාලා යන්න බැහැ.
ඒක විතරක් නෙවෙයි...
ඒ වැසිකිළි හරිම අපිරිසිදුයි. හරිම ගඳයි.
Sensory issues තියෙන මේ දරුවන්ට ඒ ගඳ දරාගන්න බැහැ. ඒ තියා සාමාන්‍ය දරුවන්ටවත් දරාගන්න අමාරුයි ඒ ගඳ. සාමාන්‍ය දරුවොත් ඇතුළට යන්න අකමැති හින්දා මගට ගිහින් චූ කරලා එනවා කියලා කිවිවෙ විදුහල්පතිනියමයි.
Unit එකේ ඉන්න Autism තියෙන තවත් පොඩි දරුවෙක් වැසිකිළිය ළඟට ගිහින් ගඳ නිසා ඇතුළට නොයා එළියෙම මුත්‍රා කරනවා. මොකද මෙයාලා හරිම සංවේදීයි sensory ප්‍රශ්න වලදි.
මගේ පුතාත් ඒ වගේමයි. එයාටත් ඇතුළට යන්න බැහැ. අන්තිමට ඇඳුම් තෙත් කරගන්නවා. මලපහ කරන්න ඕනේ වුණොත් තවත් අමාරුයි.
මේ අවුරුදු දෙකම මම එයාව ඩයපර් දාලා තමයි පාසලට යැව්වේ. වෙන කරන්නම දෙයක් නැහැ. මොකද වයසින් අවුරුදු හතක් වුණාට මනස වර්ධනය වෙන්නෙ හෙමින්. අවශ්‍යතා තද කරගෙන දුර යනකල් ඉන්න එයාට බැහැ.
සමහර දවස්වල එයා පාසලේදී මලපහ කරනවා. මම ගිහින් ගන්නකම් එහෙමම ඉන්න වෙච්ච දවස් තිබුණා.
ගුරුවරිය පුළුවන් වෙලාවට ඇඳුම් මාරු කරලා දීලා තියෙනවා. ඒ ගැන මට ඇයට දොස් කියන්න බැහැ. ඒ අපිරිසිදු වැසිකිළිය ඇතුළේ ඒ වගේ දෙයක් කරන එක ඇයටත් ලේසි නැහැ. අනික ඒ වෙලාවට unit එකේ අනිත් දරුවන් තුන්දෙනාම තියන්න තැනකුත් ඇයට නැහැ.
ඒත් මගේ පුතාට පැය ගණන් මලපහ කරපු ඩයපරයම ඇඳගෙන ඉන්න වෙච්ච දවස් තිබුණා. ඒ නිසා කිහිප වතාවක්ම ආසාදනත් හැදුණා.
මම හැමදාම පාසල් බෑගයට අමතර ඇඳුම් තුනක්, ඩයපර් දෙකක්, තුවායක්, Wet Wipes, Sanitizer බෝතලයක්, පොලිතින් බෑග් සහ සෙරෙප්පු දෙකක් දාල එවන්නෙ මේ හේතුව නිසා. හදිසියේ මාරු කරන්න අවශ්‍ය වුණොත් ගුරුතුමියට පහසු වෙන්න.
මේ ප්‍රශ්නය ගැන අපි අම්මලා අවුරුදු දෙකක් තිස්සේ විදුහල්පතිනියට කිව්වා.
ඒත් විසඳුමක් ලැබුණේ නැහැ.
1️⃣ පාසලේ පිරිමි ළමයින්ට වැසිකිළි පේළියක් තියෙනවා. ගැහැණු ළමයින්ට වෙනම වැසිකිළි දෙකක් තියෙනවා. ගුරුවරුන්ට වැසිකිළියක් තියෙනවා. විදුහල්පතිනියට සහ අමුත්තන්ට කියලා තවත් වෙනම වැසිකිළියක් තියෙනවා. තවත් පාවිච්චි නොකරන වැසිකිළියකුත් තියෙනවා. (ඒක අබලන් කියලා තමයි පාසලෙන් කියන්නෙ)
අපි Special Unit එකට වැසිකිළියක් ඉල්ලපු වෙලාවේ අපෙන් ඉල්ලුවේ ඒ අතහැරලා තියෙන වැසිකිළිය අපේ වියදමින් හදලා Rocell fittings දාන්න කියලා.
ඊට පස්සේ ඒක විදුහල්පතිනිය office එකේ සහ අමුත්තන්ට පාවිච්චියට ගන්නවා. එයාගේ වැසිකිළිය ගුරුවරුන්ට දෙනවා. ගුරුවරුන්ගේ වැසිකිළිය Special Unit එකට දෙනවා කියලා තමයි කිව්වෙ.
ඒකට අපි එකඟ වුණේ නැහැ. අම්මලා කවුරුත් කැමති වුණේ නැහැ Rocell fittings වලට වියදම් කරන්න. මට මේ දැන් විදුහල්පතිනිය දුරකථන ඇමතුමක් දීලා කතා කළා (අද ඇය නිවාඩු), එතකොට පැහැදිළි කළා එහෙම කියන්න හේතුව පළාත් ඉංජිනේරු එකෙන් Rocell සහ තවත් අනුමත fittings වර්ග දීලා තියෙනවා ය, ඊට පිටින් අපි කැමති washroom fittings පාවිච්චි කරන්න බෑ කියලා. ඇත්ත නැත්ත මම දන්නේ නැහැ.
2️⃣ තවත් දෙයක් තියෙනවා. "Staff only" කියලා board එකක් ගහලා දැන් ගුරුවරුන් පාවිච්චි කරන වැසිකිළිය කලින් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් වෙනුවෙන් ඒ දරුවාගේ දෙමව්පියන් කරවපු වැසිකිළියක් ලු. (මම එද්දිත් ඒක staff only. ගුරුවරු සහ දෙමව්පියන් කිහිපදෙනෙකු තමයි මටත් මේ බව කිව්වෙ.) ඉතින් මේ වැසිකිළිය ඉතාම හොඳ ඉඩ පහසුකම් සහිතව commode එකක් සහිතව විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් විදිහට මේ පාසලේ තියන Special Education unit එකටත් ඉතාම ළඟින් පේන දුරින් තියෙන්නෙ. හැබැයි අර දරුවා පාසලෙන් ඉවත් වීමත් සමග මේ වැසිකිළිය Staff only වූ බව තමයි මට අහන්න ලැබුණෙ. අද හවස මේ කාරණාව ගැන විදුහල්පතිනියගෙන් ඇහුවාම මේ ගැන කිසිම දෙයක් ඇය නොදන්නා බව තමයි ඇඟෙව්වෙ.
3️⃣ ඒ අතරේ පාසලේ තවත් අලුත් පිරිමි ළමයින්ගේ වැසිකිළියක් හදලා තිබුණා. ඒක තාම විවෘත කරලත් නැහැ. Urinal bowls තුනක් සහ commode unit එකක් විදියට තමයි මේක හදලා තිබුණේ. මම ඒක දැක්කා.
පහුගිය සතියේ මට පණිවිඩයක් ආවා.
"ඒ වැසිකිළියේ ඉතුරු වැඩ ඔයාගේ වියදමින් කරලා දෙන්න. එතකොට ආඛ්‍යට ඒක පාවිච්චි කරන්න පුළුවන්." විදුහල්පතිනිය කිව්වා කියලා මේක මට දැනුම් දුන්නෙ විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමිය.
මම ඇහුවා...
"ඒක Special Unit එකට විතරද?"
පිළිතුර...
"නැහැ. මුළු පාසලටම."
එතකොට මම කිව්වා,
"එහෙනම් ඒකෙන් අපේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මුළු පාසලම පාවිච්චි කළාම ආයෙත් ඒක ගඳයි, අපිරිසිදුයි. ආයමත් අපේ ළමයි පරණ තැනමයි. ඉතින් මම කැමති නැහැ ඒක සම්පූර්ණ කරන්න."
ඔය ගිය සතියට කලින් සතියේ කතාව.
4️⃣ පහුගිය සඳුදා විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමිය අතේ විදුහල්පතිනියව හමුවෙන්න කියලා මට පණිවිඩයක් එවලා තිබුණා.
ඒකට පහුගිය සතියේ මම විදුහල්පතිනියව හමුවෙන්න තුන් පාරක් පාසලට ගියා.
පණිවිඩය ලැබුණ සඳුදා දවසේ විනාඩි විස්සක් office එකේ දොර ළඟ බලාගෙන හිටියට පස්සෙ "අද බැහැ. වැඩ ගොඩක් තියෙනවා, වෙන දවසක එන්න" කිව්වා.
ඊළඟට බදාදා ගියාම office room එක lock කරලා තිබුණා. අන්තිමට සිකුරාදා තමයි විනාඩි 15 විතර බලන් හිටියම හම්බවෙන්න ඉඩ ලැබුණෙ.
සියලු දේ කතා කළා.
කලාපයෙන් ඉල්ලූ පමණින් ඉක්මනින් වැසිකිළි ලැබෙන්නෙ නැති බව විදුහල්පතිනිය පැහැදිලි කළා. අලුත් වැසිකිළි පද්ධතිය ඉවර නැති බවත් වියදම් කළ මුදල් සහ හාඩ්වෙයාර් එකෙන් ණයට ගත් බඩු සඳහාත් තවම මුදල් රජයෙන් ලැබී නැති බැවින් එය පාවිච්චි කරන තත්වයට ගෙන ඒමට ඉක්මනින් නොහැකි බවත් මට කිව්වා. (හැබැයි විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමිය දැනුම් දුන් ආකාරයට මගේ වියදමින් වැසිකිළියේ අඩුපාඩු සවිකරන්න කියන කොටස කොයිම වෙලාවකවත් විදුහල්පතිනිය කිව්වෙ නැහැ ඒ සාකච්ඡාවෙදි. මම අහන්න ගියෙත් නෑ.)
මම ඉල්ලීමක් කළා.
"මට පාසලේ ඉන්න දෙන්න. ආඛ්‍යට වැසිකිළියට යන්න උදව් කරන්න."
හැබැයි ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කළා.
"ඔයා පන්තියේ ඉන්න එක අනිත් ළමයින්ට බාධාවක්. එහෙම හැමෝටම බාධා වෙනවට වඩා හොඳයි දරුවව ගෙදර තියාගන්න එක." මෙන්න මේක තමයි මට ලැබුණ පිළිතුර.
5️⃣ හැබැයි අද දින (14/07/2026) සිදුවූ සිදුවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන්න විදුහල්පතිනිය මට දැන් පැයකට විතර කලින් කතා කළා. එවෙලෙත් මම කිව්වා මට ඉන්න දුන්නා නම් අද මේක වළක්වා ගන්න තිබුණා. එතකොට විදුහල්පතිනිය කිවිවෙ මම ඉද්දී විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමියට වැඩ කිරීමට අපහසු බවයි. ඒත් දිගින් දිගටම මම ඒ පිළිබඳ විමසන විට කිසිදාක එම ගුරුතුමිය එයට අකමැති නොවූ බව මට සහතික කරලා කියන්න පුලුවන්. ඒක මම විදුහල්පතිනියට කියූ විට ඇය කීවේ ගුරුතුමිය ඊට අකැමැත්ත ප්‍රකාශ කළ බවයි. මේ කාරණාවේදී හරි වැරැද්ද කාගෙද කියා මම දන්නෙ නැත. දෙන්නාගෙන් කවුරුහරි එක්කෙනෙක් ඇත්ත කියනවා හැබැයි ඒ කවුද කියලා මම දන්නෙ නැහැ.
5️⃣ අද උදේ ආඛ්‍යව පාසල් ඇරී රැගෙන ඒම සඳහා මම පාසලට යමින් හිටියා.
එතකොට ගුරුවරියගෙන් කෝල් එකක් ආවා.
"ආඛ්‍යට වැසිකිළියට යන්න ඕනේ. පුළුවන් ඉක්මනට එන්න."
විනාඩි 15කින් මම පාසලට ගියා.
පන්තිය හිස්. ඉතින් මම ground එක අයිනෙ වැසිකිළි පැත්තට ගියා.
මම දැක්ක දේ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.
මගේ පුංචි පුතා වැසිකිළිය ළඟ තිබුණු ටයරයක් උඩ තනියම ඉඳගෙන හයියෙන් අඬනවා.
විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමිය, තවත් ගුරුතුමියක්, සර් කෙනෙක්, පුතාගේ පන්තියේ තවත් දරුවෙක් ඒ දරුවාගේ අම්මා pavilion එකේ හිටියෙ. එතන ඉඳලා මීටර් 15 විතර එහායින් ටයරය උඩ වාඩි වෙලා ආකි කඳුළු පෙරාගෙන තනියම අඬනවා.
අත් දෙක පුරා ටයරයේ තිබුණු කළු පැහැති දැලි වගේ දේවල් ගැවිලා. කඳුළු පිහදාගෙන තියෙන්නේ කළු පාට ගෑවුන අත්වලින්. මූණ පුරා අත්දෙක පුරා කළු පාට.
කොට කලිසම සම්පූර්ණයෙන්ම මලපහවලින් අපිරිසිදු වෙලා. (නදීෂ් කිව්වෙ මට තිබුණා අඩු තරමේ photo එකක්හරි ගන්න කියලා.... හැබැයි ඒ වෙලාවේ මම හිටිය තත්වය එක්ක මට ඒ කිසි දෙයක් සිහියට ආවෙ නෑ.)
පුතාගේ ගුරුතුමිය ඇවිත් මට කිව්වා...
"ආඛ්‍යට වැසිකිළි යන්න ඕන කිවිවා. වැසිකිළිය ළඟට අරගෙන ගියා. ගඳ නිසා ඇතුළට ගියේ නැහැ. ගඳයි ඊයා කියලා එයා ආපහු හැරිලා ආවා. ඉතින් මම එයාව ආයෙත් පන්තියට අරගෙන ආවා. එතනදී මලපහ ගියා."
පන්තියේ බිමත් මළපහ වලින් අපිරිසිදු වෙලා තිබුණා. (ඩයපරය ඇඳගෙන සිටියදීත්)
එයා යන්න ඕන කියලා නොකියා නෙවෙයි කියලත් එයාට යන්න පුලුවන් විදිහේ වැසිකිළි පහසුකම් නැති නිසා තමයි මේක වෙලා තියෙන්නෙ. එයා ගෙදරදි, therapy වලදි අද වෙනකල් එහෙම කරගෙන නැහැ. එයා සඳුදා සහ බ්‍රහස්පතින්දා මුලු දවසම therapy. Toilet යන්න ඕන වුණාම ගිහින් සෝදගෙන ඇඳුම් ඇඳගෙන එන්න එයා දන්නවා. හැබැයි යන්න වැසිකිළියක් නැත්නම් මොකද කරන්නේ.
මට හොඳටම ඇඬුනා. මම පුතාව අර අන්තිම අපිරිසිදු වැසිකිළියට එක්ක ගිහින් හොඳට පුතාව ඇඟ සෝදවලා, පිරිසිදු කරලා, අලුත් ඇඳුම් අන්දලා පන්තියට එක්ක ගියා. පන්තියත් පිරිසිදු කළා.
ඒ වෙලාවේ ඉඳන් තවමත් මගෙ ඔළුව රිදෙනවා පුදුම තරම්. මේ දරුවා නිසා මම විඳවලා අඬලා ඇති නොසෑහෙන තරම්. හැබැයි අද තරම් වේදනාවක් මට මීට කලින් කවදාවත් දැනිලා නැහැ.
අඬ අඬා, කතා කරගන්නවත් බැරිව, මලපහවලින් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන මගේ පුංචි පුතා ටයරයක් උඩ තනියම ඉඳගෙන හිටපු විදිහ.. ඒක තමයි මගේ ජීවිතේ දැකපු වේදනාකාරීම දර්ශනය. මම ගෙදර එනකල් අඬ අඬ මගෙ අම්මට කිවිවා... නදීෂ්ට කිවිවා. (විදුහල්පතිනිය සමාව ඉල්ලුවා අද වුණ දේට. හැබැයි පරක්කු වැඩියි..)
අද මම තීරණයක් ගත්තා.
අද තමයි ආඛ්‍ය මේ විදියට මේ පාසලට ගිය අවසාන දවස.
මේකට මට සුදුසු උත්තරයක් ඕනි.
මේ ලියන්නේ මගේ පුතා වෙනුවෙන් විතරක් නෙවෙයි.
පාසලේ හරි හමන් වැසිකිළියක් නැති නිසා, අපහසුතාවයට වෙලා ඉන්න හැම විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් වෙනුවෙන් මම මේක ලියන්නේ.
මාව ළඟින්ම ආශ්‍රය කරන යාලුවො හොඳටම දන්නවා මේ කාරණය හින්දා මම කොච්චර මානසිකව කඩා වැටිලා හිටියද කියලා පහුගිය කාලෙම.
අපේ දරුවොත් මනුස්සයෝ. එයාලටත් ගෞරවයෙන්, ආරක්ෂාවෙන්, නිදහසේ පාසල් යන්න අයිතියක් තියෙනවා.
මට මේකට සාධාරණ පිළිතුරක්, සුදුසු විසඳුමක් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ අදාළ මොනයම් ආයතනයකින් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මගෙ දරුවා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැමෝම වෙනුවෙන්.
මම වෙනුවෙන් ආකි වෙනුවෙන් මොනවාහරි කරන්න හිතෙනවා නම් මේක share කරන්න. එතකොට අදාළ බලධාරීන්ගෙ ඇස් ඇරෙයි කියලා මම විශ්වාස කරනවා.
මම තමරි රණතුංග. (ආඛ්‍යගෙ අම්මා)

Harini Amarasuriya Ministry of Education, Sri Lanka Anura Kumara Dissanayake

ආත්මයෙන් ආත්මයට යන නිමක් නැති ආදරයක් තියන්නෙ කොහේද... අපි හැමෝගෙම ජීවිතවල පුංචිම පුංචි ඉඩක හරි මේවගේ කතාවක් ඉතුරුවෙලා ති...
08/07/2026

ආත්මයෙන් ආත්මයට යන නිමක් නැති ආදරයක් තියන්නෙ කොහේද... අපි හැමෝගෙම ජීවිතවල පුංචිම පුංචි ඉඩක හරි මේවගේ කතාවක් ඉතුරුවෙලා තියනවා... අන්තිම වෙනකම් එක හුස්මට කියවන්න... විඳින්න... යලිත් හිතන්න ඉඩක් ගන්න.... සංසාර ප්‍රාර්ථනා අදම නිවසට ගෙන්වා ගන්න....

💗💗💗💗
ආදරේ
ආදරවන්ත හැඟීම
ආදරණීය විදියට..... සංසාර ප්‍රාර්ථනා....

වෛද්‍ය ශාමා අත්තනායකගේ "සංසාර ප්‍රාර්ථනා" නවකතාව දැන් මිලදී ගැනීමට හැකියාව ඇත.

06/07/2026

Address

Sri Jayavardhanapura

Alerts

Be the first to know and let us send you an email when SMN24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share