Center for Human Rights and Research - CHR Sri Lanka

Center for Human Rights and Research - CHR Sri Lanka ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍ර‍වර්ධනය සදහා කැපවූ ආයතනය On Time News In Sri Lanka

සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිග...
17/06/2026

සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලිනවා.

රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් භාවය, භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවකි.

මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව 2023 දී ආර්ථික අර්බුදය සමයේ දී රු.බි. 75 ක් බදු හා ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයෙට ලබාදුන්, ව්‍යවසාය ආයතනවල (SOE) 2025 දී බදු ලාභාංශ ලෙස ලබාදී ඇත්තේ රු.බි. 56 ක් පමණී. මේ ආයතන සතු සම්පත් හා සැලකීමේ දී මෙය සොච්චම් මුදලකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ රජය සතු ව්‍යවසාය පිළිබඳ නිර්දේශ ගණනාවක් ලබාදුන් නමුත් මේ වන විට ඒ සියල්ල හකුලා දමා ඇත. එහි ප්‍රතිඑලයක් ලෙසින් රාජ්‍ය ව්‍යවසාය රැසක් පාඩු ලබමින් ඇත. ජනතාවට, වෘත්තීයවේදීන්ට පීඩා ගෙන දෙමින් රැස් කර ගන්නා බදු මුදල්, වෘත්තිකයින්ගෙන් එකතුකර ගන්න බදු මුදල් වැය වෙන්නේ මේ නාස්තිකාර රාජ්‍ය ව්‍යවසායයන්ගේ පාඩුව පියවා ගන්නයි.

රාජ්‍ය ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට ලබාදී ඇති අය බදු හා ලාභාංශ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ 174 වන පිටුවේ සඳහන්වේ. කොවිඩ් හා ආර්ථික අර්බුදයක් වර්ධනය වූ 2021 දී ලාභය රු. බි. 28 යි. ආර්ථික අර්බුදය කර වටක් ගිළුණු 2022 දී ලාභය රු.බි. 28 යි. 2023 රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ එම ලාභය රු. බි. 75 දක්වා වැඩි විය. 2024 දී එය නැවත රු. බි. 41 දක්වා අඩුවී ඇති අතර, 2025 දී බදු හා ලාභාංශ ලෙස ලැබී ඇත්තේ රු. බි. 56 කි.

රාජ්‍ය ව්‍යවසාය 400 කට වැඩි ගණනක් ස්ථාපිතව ඇත. එයින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ ආයතන 53 ක් සම්බන්ධයෙන් පමණී. ඉතිරි ආයතන බහුතරයක් ද පාඩු පිට පවත්වාගෙන යයි. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත, ප්‍රවාහන, ජනමාධ්‍ය, වෙළඳ වානිජ්‍ය හා මුදල් අමාත්‍යාංශ යටතේ මෙම ආයතන පවතී.

දුෂණය නැවැත්වීම, දක්ෂ ප්‍රධානීන් පත් කිරීම, කළමනාකරණ දක්ෂතාවය වැනි ආණ්ඩුවේ ජනප්‍රිය පොරොන්දු රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී යථාර්ථයක් වී නැත.

ලංකා විදුලිබල මණ්ඩලය 2021 ආලාභය රු. මිලියන 34,139 ක් හා 2022 අලාභය රු. මි. 203,501 ක් ද විය. නමුත්, 2023 දී එය රු.මි. 567,733 ක දැවැන්ත ලාභයක් ලැබීය. 2024 මුල් මාස 6 තුල ඉහළ ලාභයක් ලැබූවත් වසරේ අවසන් කාර්තුවේ දී සිදු වූ පසුබෑම නිසා එම ලාභය රු.මි. 141,605 ක් හෙවත් පෙර වසරේ ලාභය මෙන් තුනෙන් පංගුවට අඩු විය. 2025 දී අසාර්ථක කලමණාකාරීත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ අලාභය රු. මි. 38,740 කි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2021 (අලාභය රු.මි. 81,816), 2022 (අලාභය රු.මි. 617,588) ක් වුණා. නමුත්, 2023 දී කාංචන - රනිල් පාලනයේ දැඩි කලමනාකරණ උපක්‍රම හේතුවෙන් එය රු.මි. 120,346 ක ලාභයක් ලැබීය. 2024 දී ලාභය රු.මි. 34, 188 දක්වා ත්, 2025 දී ලාභය රු. මි. 36,461ක් දක්වාත් අඩුවුණා. 2026 වන විට ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගන්නා රාජ්‍යයයන් අතරට ලංකාව ඇතුළත් වෙලා තිබේ. ලෝක වෙළඳපොලේ මිල පහත වැටෙන විට තෙල් මිල ඉහළ යන රාජ්‍යයක් බවට දැන් අප රට පත්ව ඇත.

ශ්‍රි ලංකන් ගුවන් සේවය රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ 2023/24 දී රු.මි. 3,872 ක ලාභයක් ලැබීය. එය 2024/25 දී රු.මි. 7,595 ක අලාභයක් බවටත්, 2025/26 දී ඇදහිය නොහැකි රු.මි. 23,211 ක අලාභයක් ලැබීය. මේ අලාභය ලබන්නේ රජයේ බදු මුදල් ලෙස උපයාගත්ත රු. මි. 25,000 ක් ශ්‍රී ලංකන් සමාගමට පොම්ප කිරීමෙන් පසුවයි. 2023 දී ලාභ ලැබූ මොහොතේ ශ්‍රී ලංකන් විකුණා දැමීමට දැරූ උත්සාහය, 2024 දී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නවතා දමනු ලැබීය. කිසිම දවසක ගුවන්යානයක් ගමන්කර නොමැති, ගුවන් යානයක් සැබවින් දැක හෝ නැති මිනිසුන් පවා මේ පාඩුව වෙනුවෙන් බදු ගෙවා ඇත.

රාජ්‍ය ආයතනයන්හි වැරදි කලමනාකරණයට ආසන්නතම උදාහරණය ලංකා සීනි සමාගම යි. ඇමති චාමර සම්පත් දසනායක යටතේ 2023 දී රු. මිලියන 2,835 (කෝටි 28) ක් ලාභ ලැබූ සීනි සමාගම, සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා යටතේ 2024 දී රු. මි. 1,944 (කෝටි 19)ක් සහ 2025 දී රු. මි. 3,195 (කෝටි 319) ක පාඩුවක් ලබා ඇත. 2025 වසරේ දී රු. මි. 600 ක් භාණ්ඩාගාරය විසින් සීනි සමාගමට ලබාදී ඇත. පැලවත්ත, සෙවනගල සීනි කර්මාන්තය හා බැඳුණු ජීවිත කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් අසරණව ඇත. විෂය භාර අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡාවක දී ඉදිරිපත් කළ කරුණු බහුතරය සත්‍ය නොවන අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන රැසක වාර්ෂික වාර්තා හෝ ප්‍රසිද්ධ කර නැත.

2023 දී රු. මි. 695 ක් පාඩු ලැබූ ලංකා සතොස 2024 දී රු.මි. 2,424 ක පාඩුවක් (එනම් පාඩුව තුන් ගුණයකට වැඩි පාඩුවක්) ලබා ඇත.

රාජ්‍ය ව්‍යාපාරවල පාඩුව පියවා ගන්නට 2024 වසරේ දී රු. මිලියන 39,937 ක් වැය කළ ජනරජයට, 2025 දී රු.මි. 75,364 ක් වැය කරන්නට සිදු වී ඇත. මේ වන විට වාර්ෂික වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති ආයතන දත්ත සැලකීමේ දී, මෙම පිරිවැය තවත් විශාල වනු ඇත.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානතම කොන්දේසියකි. වෘත්තීය සමිති සහ සමාජ මාධ්‍ය පීඩනයට බියවී රජය එම ප්‍රතිසංස්කරණ කල් දමමින් ඇති අතර, එහි බර භාණ්ඩාගාරය හිස් කරමින් ජනතාව මත පැටවී ඇත.

රජිත් කිර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේසෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත. 2026 ජනවාරි 1 දින ට...
15/06/2026

භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත.

2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ.

පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී. රු. බි. 150 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී. භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇතැයි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක් ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය. 2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත.
ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත.

2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ඊයේ (ජූනි 11) එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි. (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට ඇතුලත් ය.)

භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි.

රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ බි. 106 (7.5%) කි. 2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ 230 (13.4%) කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත.

2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84 දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර, 2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය, මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැත!භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්...
14/06/2026

ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැත!

භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ආයතනික මතභේද වර්ධනය වී ඇත. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා සති හතරක කාලයක් ද, ඉන් පසුව තවත් අවස්ථා දෙකක දී සති දෙකකට වැඩි කාලයක් ද මේ ආයතන වෙත ලැබී ඇත. තොරතුරු වෙනස් කිරීම, කල් ගැනීම හා තොරතුරු සැඟවීම සඳහා එමගින් විශාල ඉඩක් නිර්මාණය වී ඇත.

ඩො.මි. 2.5 ක වංචාව සිදුවී මේ වන විට මාස 8කට වැඩි කලක් ගතවී ඇත. අද දක්වා මේ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත්වී ඇත. පාර්ලිමේන්තුමේ මුදල් කමිටුව හරහා කාලය කා දමමින් සිදුකරන මේ නාටකීය රංගනය අවසන් කර, මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී හෝ මේ වාර්තා සභාගත කිරීම සියළු පාර්ශවයන්ගේ වගකීමකි.

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ අතිශය තීරණාත්මක සමයකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත, මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් සිදු කළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන 'රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය' (PDMO) වෙත පැවරීම මෑතකදී සිදු විය.

"ණය කළමනාකරණය" යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ දේශීය ණය නිසි කලට, නිවැරදි පාර්ශ්වයන් වෙත ආපසු ගෙවීමේ සහ ඒවායේ වාර්තා පවත්වා ගෙන යාමේ ක්‍රියාවලියයි. මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමනය නො කිරීම සහ ආයතන දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100 කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයකි. එක් නිලධාරිවරයෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක් නොවේ.

Free Lawyers මැදිහත් වීම සහ පාර්ලිමේන්තුවේ නිහැඬියාව

මෙම බරපතළ මූල්‍ය වංචාව නීතිඥයන්ගේ සහ වෘත්තිකයන්ගේ එකමුතුවක් වන 'Free Lawyers' සංවිධානය විසින් 2026 අප්‍රේල් 22 වැනි දින ප්‍රථම වරට සමාජයට අනාවරණය කරන ලදි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දුන්න ද, අද වනතුරුත් ඒ සඳහා කිසිදු නිල පිළිතුරක් බලධාරින්ගෙන් ලැබී නොමැත. එසේම, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (COPF) ද මේ බව ලිඛිතව දැනුම් දුන්නෙමු. අනෙකුත් ආයතන වෙත ද ලිපි හා ප්‍රසිද්ධ නිවේදන මගින් දැනුම් දී ඇත්තෙමි.
කෙසේ වෙතත්, මෙය හෙළිදරව් වීම යටපත් කිරීමේ හෝ ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් ලෙස, අදාළ රහසිගත වාර්තාව ලබා දීම සඳහා බලධාරිවරුන් මාසයක පමණ කාලයක් කල් ගෙන ඇත. ඉන්පසුව ද, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම වාර්තාව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට යවා ඇති අතර, එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස ඔහු දැනුම් දීමෙන් පසු ඒ සඳහා තවත් දින 10 කට වැඩි කලක් ගෙවී ගොස් ඇත.

මේ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සතුව ඇති 'මහජන මුදල් පාලනය කිරීමේ පරම බලය', ගත වූ සති හතක කාලය තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාව වෙත කරුණු නිල වාර්තාවක් ඉදිරිපත් කිරීමට අසමත්වී ඇත. එබැවින්, ජනතාවට ඇත්ත දැන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන්, මෙම වංචාවේ සැබෑ තොරතුරු සහ වගකිව යුත්තන් රහසිගත වාර්තා ඇසුරින් මෙලෙස රටට හෙළි කිරීමට අපි තීරණය කළෙමු.

වංචාවට හේතු වූ තත්ත්වය සහ වගකිව යුතු පාර්ශ්වයන්
මෙම මහා වංචාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතන දෙකම සෘජුවම වගකිව යුතු අතර, කිසිවෙකුටත් ඉන් නිදහස් වීමට ඉඩ නො දිය යුතුය:

• ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් පැහැර හැරීම: නව පනත මගින් ණය පාලනය භාණ්ඩාගාරයට පැවරීමත් සමඟ, තමන්ට තවදුරටත් ණය කළමනාකරණය සම්බන්ධ වගකීමක් නැති බවට මහ බැංකුව තර්ක කරයි. 2023 මහ බැංකු පනත මගින් ලැබී ඇති ස්වාධීනත්වය පලිහක් කර ගන්නා ඔවුහු, තමන් ක්‍රියා කළේ රජයේ ඉල්ලීම මත පමණක් බව පවසති. වඩාත් බරපතළම කරුණ නම්, මුදල් විශුද්ධිකරණය (කළු සල්ලි නීත්‍යානුකූල කිරීම) වැළැක්වීමේ නීති (AML/CFT) සහ රහස්‍යතා ප්‍රතිපත්ති හුවා දක්වමින්, අතිශය වැදගත් අනතුරු ඇඟවීම් සහ තොරතුරු භාණ්ඩාගාරයෙන් සඟවා තබා ගැනීමයි.

• ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් නො සලකා හැරීම: අමෙරිකාවේ ජේ.පී. මෝර්ගන් (JPMorgan) බැංකුව සහ ෆෙඩරල් රිසර්ව් (Federal Reserve) බැංකුව විසින් මෙම විදෙස් ගනුදෙනුවල ඇති සැක සහිත ස්වභාවය පිළිබඳව SWIFT පණිවිඩ මගින් පැහැදිලිව අනතුරු අඟවා තිබුණ ද, බලධාරින් ඒවා මුළුමනින්ම නො සලකා හැර මුදල් ගෙවා ඇත.

• මහා භාණ්ඩාගාරයේ කඩිමුඩිය සහ නොසැලකිල්ල: නිසි රෙගුලාසි සම්පූර්ණ කිරීමටත් පෙර, කඩිමුඩියේ මෙම ණය මෙහෙයුම් භාර ගැනීමට භාණ්ඩාගාරය කටයුතු කර තිබේ. ඔවුන්ට ණය කළමනාකරණය පිළිබඳ ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් තිබුණේ නැත.

මහ බැංකුවට තම වසර 75ක ණය කළමනාකරණ පළපුරුද්ද පසෙක ලා, නීතියෙන් බලතල ඉවත් වූ පමණින් ජාත්‍යන්තර ගනුදෙනුවලදී වගකීමෙන් අත් සේදිය නොහැක. එලෙසම, බලහත්කාරයෙන් මෙන් මෙහෙයුම් භාර ගත් භාණ්ඩාගාරයේ නිලධාරින් ද මෙම මූල්‍ය හානියේ වගකීම භාර ගත යුතුය.

මෙවැනි විනාශ නැවත සිදු නො වීමට නම් කළ යුත්තේ කුමක් ද?

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලයට හේතු වු කරුණු නැවත ඇති නොවීමට පහත පියවර ගත යුතු බවට මේ වන විටත් යෝජනා ඉදිරිපත් වී ඇත.

• තාක්ෂණික සහ සයිබර් ආරක්ෂාව තර කිරීම: විදේශ ණය ගෙවීම්වලදී අදාළ ඉන්වොයිස් සහ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වල සත්‍යතාව තහවුරු කර ගැනීම අනිවාර්ය කිරීම. පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා වහාම වෝහාරික විගණනයක් (forensic audit) සිදු කළ යුතුය.

• නීතිමය අඩුපාඩු වැසීම: මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ වාර්තාකරණ වගකීම්වලට ශ්‍රී ලංකා මහ බැංකුව ද යටත් වන පරිදි 'මූල්‍ය ව්‍යාපාර පනත' (Finance Business Act) වහාම සංශෝධනය කළ යුතුය.

• ඒකාබද්ධ ආරක්ෂණ ඒකකයක් පිහිටුවීම: ආයතන දෙක එකිනෙකාට චෝදනා කර ගනු වෙනුවට, විදේශ ගෙවීම් සහ සයිබර් ආරක්ෂාව නිරීක්ෂණය සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ එකමුතුවෙන් ඒකාබද්ධ අර්බුද කළමනාකරණ ඒකකයක් පිහිටුවිය යුතුය.

• මානව සම්පත් යළි ගොඩනැගීම සහ දේශපාලන අතපෙවීම් නතර කිරීම: දේශපාලන හිතවත්කම් මත සිදු කරන අත්තනෝමතික මාරුවීම් සහ පත්වීම් වහාම නතර කළ යුතුය. ඒ වෙනුවට දක්ෂතා සහ පෞද්ගලික අංශයේ ද පළපුරුද්ද ඇති වෘත්තිකයන් මෙම පද්ධතියට බඳවා ගත යුතුය.

• මුදල් අමාත්‍යාංශය ලේකම්වරයාගේ අකාර්යක්ෂමතාව සහ වෘත්තීය භාවයක් නොමැති බව: මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ කටයුතු මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇත. ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තාව පවා අඩුපාඩු රැසකින් සමන්විතය. ජාතික විගණන කාර්යාලය මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ ද, කොන්දේසි සහිත මතයකි (qualified opinion). මෙම තත්වය වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ රාජ්‍ය සේවයේ වෘත්තීය පළපුරුද්ද සහිත නිලධාරියෙකු මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට වහා පත් කිරීම කාලෝචිත වේ.

ජනතාවගේ බදු මුදල් සහ ජාතික ධනය මෙලෙස අවභාවිතා වීමට ඉඩ හැර, නිදහසට කරුණු දක්වමින් ගැලවී යාමට කිසිදු බලධාරිවරයෙකුට අයිතියක් නොමැති බව "Free Lawyers" සංවිධානය ලෙස අපි තරයේ අවධාරණය කරමු.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්

2026 පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2 කි. රැවටෙන්න එපා! 2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල...
11/06/2026

2026 පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2 කි. රැවටෙන්න එපා!

2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගානක් තියෙන බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරනවා. මේ කතාව ඇත්තක් නෙවෙයි.

2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රු. බි. 1473.8 යි.
පුණරාවර්තන විදයම් රු. බි. 688.9 යි. ප්‍රග්ධන වියදම රු. බි. 103.2 යි.
පුණරාවර්තන හා ප්‍රාග්ධන වියදම් දෙකේ එකතුව රු.බි. 792.1 යි.

ප්‍රාථමික අතිරික්තය කියන්නේ රජයේ ආදායම හා වියදම් එකතුව අතර පරතරයයි. ඒ පරතරය රු. බිලියන 681.7 කි.

මොකක්ද මේ ප්‍රාථමික අතිරික්තය (Primary Surplus) කියන්නේ? රජයේ සම්පූර්ණ ආදායමෙන්, පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. එය සරලව ප්‍රාථමික අතිරික්තය = රජයේ ආදායම - (මුළු වියදම - පොලී ගෙවීම්) ලෙස සරළව දැක්විය හැකියි. රටක් අන්දන්න පාවිච්චි කරන වචනය තමයි “ප්‍රාථමික අතිරික්තය”!

2026 පළමු කාර්තුවේ ණය පොලිය රු. බි. 593.2 යි.
පළමු කාර්තුවේ රාජ්‍ය ණය ආපසු ගෙවීම - (දේශීය හා විදේශීය) 694.7 යි.
ණය සහ පොලිය එකතුව රු. බිලියන 1,287.9 යි.

එවිට, පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2

2026 පළමු මාස 3 ප්‍රාථමික අතිරික්තය ධන අගයක් තිබුණට, ඇත්ත අය වැය හිඟය (ඌණතාවය) රු.බි. 606.2 කි.

ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර තියෙන්නේ 7.5% යි. සෑම වසරකට පළමු මාස කිහිපයේ ප්‍රාග්ධන වියදම් අඩුයි. ඒ කියන්නේ රජයේ වියදම් වැඩිවෙන්නේ අන්තිම කාර්තු තුනේ දී යි.
තවත් දෙයක්, “ප්‍රාථමික අතිරික්තය” කියන්නේ ආර්ථිකය පිළිබඳ දර්ශකයක් නෙවෙයි. අපි හොඳටම අමාරු කාලයේ 2023 වසරේ “ප්‍රාථමික අතිරික්තය” රු. මි. 173,332 ක් තිබුණා. යන්තම් ඔළුව උස්සන්න පටන් ගත්ත 2024 ප්‍රාථමික අතිරික්තය රු. මි. 649,569 යි.

ආණ්ඩුවේ කණ්ඩායම් මහ බැංකුවත් එක්ක එතතුවෙලා මේ වගේ කිසිම වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන දිනපතා එළියට දානවා. ඒවා පිටුපස ‘තාක්ෂණික වචන හරඹ’ තියෙනවා.

රැවටෙන්න එපා! පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2 යි.

රජිත් කීර්ති තෙන්නකෝන්
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
Sri Lanka Economic Forum

විදේශ ණය ඇ.ඩො.මි. 788 කින්, දේශීය ණය රු. බි.  490 කින් වැඩිවී ඇත.2026 වසරේ පළමු කාර්තුවේ ඉලක්කම් විජ්ජාවක ප්‍රබන්ධයරජය ම...
08/06/2026

විදේශ ණය ඇ.ඩො.මි. 788 කින්, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවී ඇත.
2026 වසරේ පළමු කාර්තුවේ ඉලක්කම් විජ්ජාවක ප්‍රබන්ධය

රජය මේ වසරේ ඩොලර් බිලියන 8.094 ක් ණය සහ පොලිය ලෙස ගෙවා ඇති බවට පුවතක් සංසරණය වේ. එය ඉලක්කම් විජ්ජාවක් මිස, ජනරජය බැදී ඇති ණය කන්දරාවෙන් නිදහස්වීමක් නොවේ.
නමුත් සත්‍යය නම් මේ වසරේ පළමු මාස 3 තුල පමණක්, මෙරට විදේශ ණය ඇ.ඩො.මි. 788 කින් ද, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවී ඇත.

රාජ්‍ය ණය කලමනාකරණ දොපාර්තමේන්තුවේ නිල වාර්තා අනුව, ගෙවන ලද මුලික මුදල (Principal Amount) ඩො.බි. 5.98 කි. ණය පොලී වටිනාකම ඩො.බි. 2.11 කි. එකතුව 8.094 කි. එය කරුණු වශයෙන් ගත් කළ සත්‍යයකි. නමුත් මෙම මුදල් ගෙවා ඇත්තේ ඩොලර් වලින් නොව ශ්‍රී ලංකා රුපිියල් වලිනි. එසේ ගෙවන ලද මුදලට ආසන්න මුදලක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කර දේශීය ණය වශයෙන් ලබාගෙන ඇත.

විදේශ ණය පියවීම
ශ්‍රී ලංකා රජය 2026 පළමු කාර්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අනුව බහුපාර්ශවීය ආයතන වෙත ඩො.මි. 234 ක් ද, ද්විපාර්ශවීය ණය හිමියන් ට ඩො. මි. 207 ක් ද, පුද්ගලික ණය හිමියන්ට ඩො.මි. 89 ක් ද ලෙස ඩො.මි. 530 ක් ගෙවා ඇත. මේ ඩො.මි. 530 හැර මේ කාර්තුව තුල වෙනත් විදේශ ණය හෝ පොලී ගෙවීමක් ඩොලර් වලින් සිදු කර නැත.

2026 වසරේ දී ලංකා රජය බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය ණය හිමියන්ට ඩොලර් බිලියන 2.7 ක් ගෙවිය යුතුය. 2026 ජූනි දක්වා එයින් ඩො.බි. 1.3 ක් ගෙවා ඇත. තවත් ඩො.බි. 1.4 ක් මේ වසරේ ඉදිරි මාස 6 තුල ගෙවිය යුතුව ඇත.

විදේශ ණය වැඩිවීම
පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාවට ඩො.මි. 695 ක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඩො.මි. 450 ක් ද, ලෝක බැංකුව මගින් ඩො.මි. 200 ක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය. එයට අමතරව ව්‍යාපෘති ණය ලෙස තවත් ඩො. මි. 100 ක් ලැබීමට ඇත. සරළව මෙම ඩොලර් වලින් මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ගෙවූ විට, වෙනත් ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකිය. මේ සියළු ලැබීම් හා ගෙවීම් ජා.මු.අ. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව 2022 – 2023 දී ගිවිසුම් ගත එකඟතාවයන් ය.

දේශීය ණය ගෙවීම්
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර සුරැකුම්පත් සහ දේශීය බැංකු වෙත ව්‍යාපෘති ණය ලෙස ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමාණය පහත වගුවේ ඇත.
භාණ්ඩාගාර බිල්පත්, සුරැකුම්පත් හා දේශීය බැංකු වෙත ගොවිය යුතු ව්‍යාපෘති ණය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 7.56 කට සමාන රුපියල් ප්‍රමාණයක් 2026 පලමු කාර්තුව තුල ගෙවා ඇත. එයින් ඩො.බි. 1.59 කට සමාන රුපියල් ප්‍රමාණයක් පොලී වශයෙනි. ගෙවීමට ඇති දේශීය ණය වාරික ලෙස ඇ.ඩො. බිලියන 5.975 කට සමාන රුපියල් ප්‍රමාණයක් ගෙවා ඇත.
එසේ පියවා ගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් පෙරළා නිකුත් කර (රොල් ඕවර්) කර ඇත. එබැවින් මේ ගෙවීම් හේතුවෙන් රටේ සමස්ත ණය ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් සිදුව නැත.

2026 අලුතෙන් එකතු කරගත් ණය කන්ද
2026 පලමු කාර්තුව තුල නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්වල වටිනාකම (රුපියල් ණය) රුපියල් බිලියන 1,210 (ඇ.ඩො.බි. 3.84) කි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් තවත් රුපියල් බිලියන 720 ක් (ඩො. බි. 2.30) ක් ලංකාව අලුතෙන් ණය වී ඇත.

2026 පළමු කාර්තුව තුල, අලුතෙන් ලබාගත් දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 1930 (ඇ. ඩො.බි. 6.04කට සමානය) කි.

ආණ්ඩුව වසන් කරන කරුණ නම් ලංකා ජනරජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා විදේශ බැංකු වෙතින් ඩො. මි. 1,500 කට ආසන්න ප්‍රමාණයක් ද වසරේ පළමු මාස කිහිපය තුල ලබාගෙන ඇති බවයි. දේශීයව තවත් රු.බි. 1930 (ඩොලර් මිලියන 6.04) ක ණය ලබා ගෙන ඇති බවයි.

ලංකා ආණ්ඩුව 2022 බංකොලොත් භාවයට පත් වූ නමුත් බහු පාර්ශවීය ණය ගෙවීම පැහැර හැරියේ නැති තරම්ය. 2024 ආරම්භවන විටත් බහුපාර්ශවීය ණය කිසිදු මුදලක් හිඟ ලෙස පැවතියේ නැත.

ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟාව අනුව ණය ශේෂය පහසුවෙන් හදුණාගැනීම සඳහා දේශීය වශයෙන් ලබා ගන්නා රුපියල් ණය ද එක් එක් නිශ්චිත දිනවලට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව ලේඛන ගත කිරීමක් සිදු වේ. එය හුදෙක් සන්නිවේදන පහසුව සඳහා ඇතිකර ගත් එකඟතාවයක් මිස රුපියල් ණය ඩොලර් වලින් පියවීමක් හෝ ඩොලර් ණය රුපියල්වලින් පියවීමක් ගම්‍ය නොවේ.
වඩාත් නිවැරදි ක්‍රමවේදය රුපියල් ණය රුපියල් ලෙස ද, ඩොලර් ණය ඩොලර් ලෙස ද, ගණනය කිරීම වේ. ඒ අනුව, 2024 අවසානයේ පියවීමට තිබු දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,883 ක් වූ අතර, එය 2026 මාර්තු 31 වන දිනට රු. බි. 19,383 දක්වා රු. බිලියන 490 කින් වැඩිවී ඇත.

එසේම, 2024 12. 31 දිනට පැවති විදේශ ණය ශේෂය ඩො.. මි. 36,680 සිට ඩො.මි. 37,468 දක්වා ඩො.මි. 788 කින් වැඩිවී ඇත.

රැව‍ටෙන්න එපා! ඩොලර් බිලියන 8.094 ක් ක ණය ගෙවු කතාව ඉලක්කම් විජ්ජාවක් පමණී. දේශීය රුපියල් හා විදේශීය‍ෙ ඩොලර් ණය දෙවර්ගයම වැඩිවී ඇත.

රජිත් කීර්ති තෙන්න‍කෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ඇමුණුම
ගෙවීමට ඇති දේශීය ණය ශේෂය (ණය තොගය)
රු.බිලියන ඩොලර් මිලියන
2024 අවසානය 18,893 64,571
2025 ජූනි 30 19,655 65,524
2025 දෙසැ 31 19,434 62,693
2026 මාර්තු 31 19,383 61,497

ගෙවීමට ඇති විදේශ ණය ශේෂය (ණය තොගය)
රුපියල් බිලියන ඩොලර් මිලියන
2024 අවසානය 10,732 36,680
2025 ජූනි 30 11,140 37,138
2025 දෙසැ 31 11,675 37,663
2026 මාර්තු 31 11,810 37,468

03/06/2026
දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩො...
24/05/2026

දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් (Capped Price) නියම කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වාණිජ බැංකු ප්‍රධානීන් සහ බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවයි.

එහිදී ඩොලරයේ අගය රුපියල් 329 ත් 335 ත් අතර සීමාවක පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන ද උල්ලංඝණය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රුපියල් 330 ක නිල නොවන පාලන මිලක් පනවා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව ආනයනකරුවන්ට මුදල් මෙරටට ගෙන ඒමට ලබා දී තිබූ දින 90 ක කාලය දින 30 දක්වා සීමා කිරීමට ද පියවර ගෙන ඇති බවත් එහි දැක්වෙනවා.

මහ බැංකුව වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මවමින් (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගසමින්) කටයුතු කිරීම හේතුවෙන් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) විශාල ලෙස ප්‍රසාරණය වී ඇති බවත්, පසුගිය මාස 15 තුළ රුපියල් බිලියන 2,146.1 කින් (ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

2026 වසරේ පළමු මාස තුන තුළ පමණක් (ජනවාරි - මාර්තු) මහ බැංකුව රුපියල් බිලියන 610.7 ක් මවා ඇති අතර, මාර්තු මාසයේදී පමණක් එම අගය රුපියල් බිලියන 309.4 ක් බව එහි සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් නව මුදල් නෝට්ටු මේ වන විට වෙළෙඳපොළට විශාල වශයෙන් එකතු වී ඇති බවත්, 2025 ජනවාරි 1 වනදා රු. මිලියන 1,351,312 ක් වූ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය, 2026 මැයි 22 වන විට රු. මිලියන 1,655,268 දක්වා රුපියල් මිලියන 303,956 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මුදල් සැපයුම ට්‍රිලියන ගණනින් ඉහළ දැමුවද රටේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවත්, 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සුළු ප්‍රමාණයකින් බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරි දිනකදී IMF වෙතින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල අයවැය හිඟය පියවා ගැනීමට (භාණ්ඩාගාර කටයුතුවලට) මිස සංචිත ශක්තිමත් කිරීමට යොදාගත නොහැකි බවත් ඔහු එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

මේ අතර, මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය ද 2024 නොවැම්බර් මස පැවති රු. බිලියන 28,240.22 සිට 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රුපියල් බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සවිස්තරාත්මක නිවේදනය මෙතැනින් බලන්න (Click)

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයිඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තු...
22/12/2025

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2024 ඔක්තෝබර් මස රු. 293 ක් වූ ඩොලරයේ අගය මේ වන විට රු. 312 දක්වා (රු. 19 කින්) ඉහළ ගොස් ඇත. 2025 මැද භාගය වන විට ඇ.ඩො. බිලියන 37 ක් වූ විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම මත එමගින් ඇති කර ඇති අතිරේක බර රු. බිලියන 703 [ඩො.බිලියන 37 වරක් රු. 19] කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ලබාදෙන ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමට වඩා වැඩි පාඩුවක් රුපියල අවප්‍රමාණයවීම හේතුවෙන් පමණක් සිදුවන බවයි. (එනම් IMF ඇ.ඩො.මිලියන 206 වරක් රු. 312 [රුපියලේ අගය])

මෙම තත්වය සරළව පැහැදිලි කළ හැක්කේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක 1 කින් අවප්‍රමාණය වන සෑම විටකම විදේශ ණය බර අතිරේක රු.බිලියන 37 කින් වැඩි වන බව ය.

2022 දී රුපියල අවප්‍රමාණය වීම හා වෙනත් හේතු මත ආර්ථිකය කඩා වැටීමෙන් පසුව මහ බැංකු විනිමය අනුපාත අනුව ඩොලරය රු. 361 දක්වා ඉහළ ගියේය (වානිජ්‍ය බැංකු ගණුදෙනු සඳහා එය සැබෑ විනිමය අනුපාතය රු. 400ක් පසුකර තිබුණි.). පසුගිය රජයේ ආර්ථික කළමනාකාරණය හේතුවෙන් ඩොලරය රු. 293 දක්වා ශක්තිමත් විය. පසුගිය මාස කිහිපය තුල රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් ඇත.

වැරදි ආර්ථික කලමනාකරණය හා සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අසමත්වීම, විදේශ ණය ප්‍රමාණය මෙළෙස අති විශාල ලෙස ඉහළ යාමට හේතුවකි. අවසාන විග්‍රහයේ දී, රු. බිලියන 700ක් පමණ වන මෙම මුදල සපයා ගැනීමට සිදුවන්නේ ජනතාව මත තවදුරටත් සෘජු හා වක්‍ර බදු මගිනි.

2025 මාර්තු මස ඩො.මි. 6,531 ක් වු විදේශ සංචිත 2025 නොවැම්බර් මස මිලියන 6,033 දක්වා මාස 8 තුල මිලියන 498 කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Address

Rajagiriya
00100

Alerts

Be the first to know and let us send you an email when Center for Human Rights and Research - CHR Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Center for Human Rights and Research - CHR Sri Lanka:

Shortcuts

Share