17/06/2026
සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලිනවා.
රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් භාවය, භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවකි.
මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව 2023 දී ආර්ථික අර්බුදය සමයේ දී රු.බි. 75 ක් බදු හා ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයෙට ලබාදුන්, ව්‍යවසාය ආයතනවල (SOE) 2025 දී බදු ලාභාංශ ලෙස ලබාදී ඇත්තේ රු.බි. 56 ක් පමණී. මේ ආයතන සතු සම්පත් හා සැලකීමේ දී මෙය සොච්චම් මුදලකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ රජය සතු ව්‍යවසාය පිළිබඳ නිර්දේශ ගණනාවක් ලබාදුන් නමුත් මේ වන විට ඒ සියල්ල හකුලා දමා ඇත. එහි ප්‍රතිඑලයක් ලෙසින් රාජ්‍ය ව්‍යවසාය රැසක් පාඩු ලබමින් ඇත. ජනතාවට, වෘත්තීයවේදීන්ට පීඩා ගෙන දෙමින් රැස් කර ගන්නා බදු මුදල්, වෘත්තිකයින්ගෙන් එකතුකර ගන්න බදු මුදල් වැය වෙන්නේ මේ නාස්තිකාර රාජ්‍ය ව්‍යවසායයන්ගේ පාඩුව පියවා ගන්නයි.
රාජ්‍ය ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට ලබාදී ඇති අය බදු හා ලාභාංශ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ 174 වන පිටුවේ සඳහන්වේ. කොවිඩ් හා ආර්ථික අර්බුදයක් වර්ධනය වූ 2021 දී ලාභය රු. බි. 28 යි. ආර්ථික අර්බුදය කර වටක් ගිළුණු 2022 දී ලාභය රු.බි. 28 යි. 2023 රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ එම ලාභය රු. බි. 75 දක්වා වැඩි විය. 2024 දී එය නැවත රු. බි. 41 දක්වා අඩුවී ඇති අතර, 2025 දී බදු හා ලාභාංශ ලෙස ලැබී ඇත්තේ රු. බි. 56 කි.
රාජ්‍ය ව්‍යවසාය 400 කට වැඩි ගණනක් ස්ථාපිතව ඇත. එයින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ ආයතන 53 ක් සම්බන්ධයෙන් පමණී. ඉතිරි ආයතන බහුතරයක් ද පාඩු පිට පවත්වාගෙන යයි. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත, ප්‍රවාහන, ජනමාධ්‍ය, වෙළඳ වානිජ්‍ය හා මුදල් අමාත්‍යාංශ යටතේ මෙම ආයතන පවතී.
දුෂණය නැවැත්වීම, දක්ෂ ප්‍රධානීන් පත් කිරීම, කළමනාකරණ දක්ෂතාවය වැනි ආණ්ඩුවේ ජනප්‍රිය පොරොන්දු රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී යථාර්ථයක් වී නැත.
ලංකා විදුලිබල මණ්ඩලය 2021 ආලාභය රු. මිලියන 34,139 ක් හා 2022 අලාභය රු. මි. 203,501 ක් ද විය. නමුත්, 2023 දී එය රු.මි. 567,733 ක දැවැන්ත ලාභයක් ලැබීය. 2024 මුල් මාස 6 තුල ඉහළ ලාභයක් ලැබූවත් වසරේ අවසන් කාර්තුවේ දී සිදු වූ පසුබෑම නිසා එම ලාභය රු.මි. 141,605 ක් හෙවත් පෙර වසරේ ලාභය මෙන් තුනෙන් පංගුවට අඩු විය. 2025 දී අසාර්ථක කලමණාකාරීත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ අලාභය රු. මි. 38,740 කි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2021 (අලාභය රු.මි. 81,816), 2022 (අලාභය රු.මි. 617,588) ක් වුණා. නමුත්, 2023 දී කාංචන - රනිල් පාලනයේ දැඩි කලමනාකරණ උපක්‍රම හේතුවෙන් එය රු.මි. 120,346 ක ලාභයක් ලැබීය. 2024 දී ලාභය රු.මි. 34, 188 දක්වා ත්, 2025 දී ලාභය රු. මි. 36,461ක් දක්වාත් අඩුවුණා. 2026 වන විට ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගන්නා රාජ්‍යයයන් අතරට ලංකාව ඇතුළත් වෙලා තිබේ. ලෝක වෙළඳපොලේ මිල පහත වැටෙන විට තෙල් මිල ඉහළ යන රාජ්‍යයක් බවට දැන් අප රට පත්ව ඇත.
ශ්‍රි ලංකන් ගුවන් සේවය රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ 2023/24 දී රු.මි. 3,872 ක ලාභයක් ලැබීය. එය 2024/25 දී රු.මි. 7,595 ක අලාභයක් බවටත්, 2025/26 දී ඇදහිය නොහැකි රු.මි. 23,211 ක අලාභයක් ලැබීය. මේ අලාභය ලබන්නේ රජයේ බදු මුදල් ලෙස උපයාගත්ත රු. මි. 25,000 ක් ශ්‍රී ලංකන් සමාගමට පොම්ප කිරීමෙන් පසුවයි. 2023 දී ලාභ ලැබූ මොහොතේ ශ්‍රී ලංකන් විකුණා දැමීමට දැරූ උත්සාහය, 2024 දී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නවතා දමනු ලැබීය. කිසිම දවසක ගුවන්යානයක් ගමන්කර නොමැති, ගුවන් යානයක් සැබවින් දැක හෝ නැති මිනිසුන් පවා මේ පාඩුව වෙනුවෙන් බදු ගෙවා ඇත.
රාජ්‍ය ආයතනයන්හි වැරදි කලමනාකරණයට ආසන්නතම උදාහරණය ලංකා සීනි සමාගම යි. ඇමති චාමර සම්පත් දසනායක යටතේ 2023 දී රු. මිලියන 2,835 (කෝටි 28) ක් ලාභ ලැබූ සීනි සමාගම, සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා යටතේ 2024 දී රු. මි. 1,944 (කෝටි 19)ක් සහ 2025 දී රු. මි. 3,195 (කෝටි 319) ක පාඩුවක් ලබා ඇත. 2025 වසරේ දී රු. මි. 600 ක් භාණ්ඩාගාරය විසින් සීනි සමාගමට ලබාදී ඇත. පැලවත්ත, සෙවනගල සීනි කර්මාන්තය හා බැඳුණු ජීවිත කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් අසරණව ඇත. විෂය භාර අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡාවක දී ඉදිරිපත් කළ කරුණු බහුතරය සත්‍ය නොවන අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන රැසක වාර්ෂික වාර්තා හෝ ප්‍රසිද්ධ කර නැත.
2023 දී රු. මි. 695 ක් පාඩු ලැබූ ලංකා සතොස 2024 දී රු.මි. 2,424 ක පාඩුවක් (එනම් පාඩුව තුන් ගුණයකට වැඩි පාඩුවක්) ලබා ඇත.
රාජ්‍ය ව්‍යාපාරවල පාඩුව පියවා ගන්නට 2024 වසරේ දී රු. මිලියන 39,937 ක් වැය කළ ජනරජයට, 2025 දී රු.මි. 75,364 ක් වැය කරන්නට සිදු වී ඇත. මේ වන විට වාර්ෂික වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති ආයතන දත්ත සැලකීමේ දී, මෙම පිරිවැය තවත් විශාල වනු ඇත.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානතම කොන්දේසියකි. වෘත්තීය සමිති සහ සමාජ මාධ්‍ය පීඩනයට බියවී රජය එම ප්‍රතිසංස්කරණ කල් දමමින් ඇති අතර, එහි බර භාණ්ඩාගාරය හිස් කරමින් ජනතාව මත පැටවී ඇත.
රජිත් කිර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය