රැකියාව මූලික මිනිස් අයිතිවාසිකමකි. එපමණක් නොව මිනිසෙකුට සිය ජීවිතය සම්පූර්ණ කර ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් එකී මූලික අයිතිවාසිකම් අහිමිවන තැනට එක්වීමට ලැබෙන්නේ නම් එය කෙතරම් අවාසනාවන්තද?
ශ්‍රී ලංකාවේ වසරකට විසි දෙදහකට ආසන්න පිරිසක් උපාධිවරම් ලබති. ඊට වඩා වැඩි පිරිසක් විවිධ ක්ෂේත්‍ර වලින් උසස් අධ්‍යාපනය නිම කරති. එහෙත් එයින් බොහෝ පිරිසක් රැකියා සොයන්නන් බවට පත්වේ. මේ වන විට රැකියා විරහිත උ
පාධිධාරීන් ගණන හතලිස් දහස (40,000) ඉක්මවයි. දිනෙන් දින එයට එකතුවන පිරිස වැඩි වනවා මිස අඩුවීමක් නැත.
රනිල් - මෛත්‍රී ආණ්ඩුව බලයට පත්වන්නේ පුරාජේරු වපුරවමිනි. ඔවුන්ගේ ප්‍රධානම දේශපාලන පාඨයක්වූ රැකියා දස ලක්ෂය කයිවාරුවක්ම වී තිබේ. මේ පාලකයින් කිසිවක් රිදී බන්දේසියක තබා දෙන්නේ නැත. එබැවින් ඔවුන්ගෙන් අපගේ අයිතිවාසිකම් දිනාගත යුතුය.
අවසන් වරට උපාධිධාරීන්ට 2012 වසරේදී අරගල තුලින් රැකියා අවස්ථා දිනාගත් අතර ඉන්පසු මේ දක්වා පත්වූ කිසිදු රජයක් කිසිදු රැකියා අවස්ථාවක් නිර්මාණය කරදී නොමැත. එබැවින් දිනෙන් දිනම රැකියා විරහිත පිරිස ඉහල යමින් පවතී. එයිනුත් රැකියා විරහිත උපාධිධාරීන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ දකුණු පළාතයි. එනිසා අරගලකොට අයිතිවාසිකම් දිනාගැනීමේ සටනකට අවතීර්ණ විය යුතුය.
තම වාසිය වෙනුවෙන් අවස්ථාවාදී උපාධිධාරී සංගම් ක්‍රියාත්මකවනු අප කොතෙකුත් දැක තිබේ. ඔවුන්ට සටන් කිරීමේ හැකියාවක්, අයිතිවාසිකම් දිනාගැනීමේ හැකියාවක් නැත. සමහරවිට ඔබ එකී සංගම් සමඟ ගනුදෙනු කරන්නටද පුලුවන.
කෙසේනමුත් අපගේ අරමුණ සාමූහිකත්වයෙන් අයිතිවාසිකම් දිනාගැනීමයි. එසේ රැකියා දිනාගත් ඉතිහාසයකට අප උරුමකම් කියන්නෙමු. 1998, 2004, 2012 ආදී වර්ෂ වල මෙසේ අප ජයග්‍රහණයකොට ඇත්තෙමු. එබැවින් සංවිධානය වී රැකියා අයිතිය දිනාගැනීමේ කාලය පැමිණ තිබේ.
ඒ වෙනුවෙන් දැනුම්වත් වීමට, සංවිධානයවීමට, අරගල කිරීමට මධ්‍යස්ථානයක් අවශ්‍යව ඇත. එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට දකුණු පළාත් රැකියා විරහිත උපාධීධාරී සංගමය පිහිටුවනු ලැබේ.