12/08/2025
ශ්‍රී ලංකාවේ මිලකළ නොහැකි වනජීවි සම්පත් අතරින් ශ්‍රී ලංකා අලියාට (Elephas maximus maximus) හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.මහපොළොව මත වාසය කරන විශාලතම සත්ත්ව කොට්ඨාසය ලෙස සැලකෙන අලි විශේෂ තුන අතරින් ආසියානු අලි විශේෂයේ උපවිශේෂයක් ලෙස ශ්‍රී ලංකා අලියා සැලකෙනවා. ශ්‍රී ලංකා අලියාට අමතරව ඉන්දියානු උපමහද්වීපයේ සහ අග්නිදිග ආසියානු කලාපයේ වෙසෙන ඉන්දියානු අලියා (Elephas maximus indicus) සුමාත්‍රා දුපත්වල වෙසෙන සුමාත්‍රා අලියා (Elephas maximus sumatranus) ආසියානු අලි විශේෂයට අයත් අනෙකුත් උපවිශේෂ වෙනවා.මීට අමතරව බෝර්නියෝ දූපත්වල වෙසෙන අලි ගහණය වෙනම උපවිශේෂයක් බවට ශ්‍රී ලංකාවේ කීර්තිධර සත්ත්වවේදියෙකු වන පී.ඊ.පී දැරණියගල මහතා 1950 දී මතයක් ඉදිරිපත් කළ අතර ඒ මතය තවමත් විවාදයන්ට බඳුවෙමින් පවතින්නක්.
අලින්ගේ පරිණාමික ආරම්භය අවුරුදු මිලියන 50කටත් ඈත අතීතයට යනවා.අලින් අයත් වෙන ප්‍රොබොසිඩියා ගෝත්‍රයේ ආරම්භකයෝ එරිතෙරියම්,පොස්ෆතෙරියම්,නුමිඩෝතෙරියම්, මෝරිතෙරියම්, ඩයිනොතෙරියම් වැන්නවුන්ගේ නිජබිම් වෙන්නෙ අප්‍රිකානු මහද්වීපයේ උතුරු කලාපය.නමුත් භූගෝල ඉතිහාසයේ එක අවධියක අප්‍රිකානු මහාද්වීපය අරාබි අර්ධද්වීපය එක්ක යුරේෂියාවට සම්බන්ධවීම එක්ක මේ අලින්ගේ මුතුන්මිත්තෝ ලෝකය පුරා ගමන් කිරීම ඇරඹෙනවා. ඒ අනුව ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව ඇර සෑම මහාද්වීපයකටම අලින්ගේ පූර්වජයෝ ව්‍යාප්ත වෙනවා.
ස්ටෙගඩොන්,මැමත් අලි විශේෂ බීරිං පාලම දිගේ උතුරු ඇමෙරිකාවට යන අතරේ ගොම්ෆොතෙරියුම් අලි එතනිනුත් නොනැවතී දකුණු ඇමෙරිකාව ජනාවාස කරනවා. පේලිලෝලොක්සොඩොන් නැමඩිකස් සද්ධන්තයෝ ස්ටෙප්ස් තණබිම්වල සරනකොට පේලියොලොක්සොඩොන් නැමඩිකස් කණ්ඩායමක් ප්ලෙයිස්ටොසීන ලංකාවටත් එනවා.ඒ වගේම ප්‍රාග් ඓතිහාසික ලංකාව හයිසුඩ්‍රිකස් නම් අලි විශේෂයකගෙත් නිවහනක් බවට කෙටිකාලෙකින් පත්වෙනවා.
දේශගුණික විපර්‍යාස,අයිස් යුග,වසංගත,ආහාර අර්බුද,මානවයා එක්ක ඇතිවෙන ගැටුම් එක්ක ලෝකයේ අලි විශේෂ කන්දරාවක් කාලයත් එක්ක නෂ්ට වෙලා යනවා. අපේ රටේ නැමඩිකස් අලි සහ හයිසුඩ්‍රිකස් අලිත් මෙ ඉරණමට ගොදුරුවෙලා නෂ්ටවෙන අතරේ අපේ වනාන්තරවල රාමසේතුවේ දැරණියගල ගඟේ ගංඟාධර වනාන්තර දිගේ සහ නොගැඹුරු මුහුද දිගේ ක්ෂේමභූමි හොයන් ආපු elephas maximus විශේෂයේ අලි විතරක් පැවැත්ම තහවුරු කරගන්නවා.
කලින් කීවත් වගේ ප්ලයිස්ටොසීන යුගයන්හි ලංකාවේ වාසය කරපු සුවිශේෂීම හස්ති විශේෂ දෙකක් තමයි පේලියෝලොක්සොඩන් නැමඩිකස් (Paleoloxodon namadicus) සහ හයිසඩ්‍රිකස් අලි (Elephas hysudricus).
නැමඩිකස් හස්තීන් ප්ලයිස්ටොසීන යුගයේදි යුරේෂියානු භූමිභාගයේ සිට එකල සිදුවූ හිම මිදීමත් සමඟ ගොඩබිම් වුණු නොගැඹුරු සාගර කලාපයන් ඔස්සේ බාලි,ජාවා,ජපානය සහ ශ්‍රී ලංකාව වැනි දූපත්වලට සංක්‍රමණය වූ හස්ති විශේෂයක්.1936දී P.E.P දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයෙන් ලැබෙන දන්ත ෆොසිල සාධක මඟින් හඳුනාගන්නා මේ හස්ථි විශේෂය ප්ලයිස්ටොසීන යුගයේ විසූ මිහිපිට වාසය කළ දැවැන්තම ක්ෂිරපායි විශේෂය ලෙස නැමඩිකස් ඇතුන්ගේ උපවිශේෂයක් ලෙස සලකලා "පැලියොලොක්සොඩොන් නැමැඩිකස් සින්හලේයුස්"(Palaeoloxodon namadicus sinhaleyus) ලෙස නම් කරනවා.මේ හස්ති විශේෂයේ මුලින්ම හමුවූ චාර්වක දතක ෆොසිලය අද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙනකොට පසුකාලීනව නාගොඩ ප්‍රදේශයෙන් සොයාගත් වම් චාර්වක දතක් මේ වනවිට කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශිතයි. රූපීයව ශ්‍රී ලංකාවේ නැමඩිකස් උපවිශේෂය ප්‍රමාණයෙන් මහාද්වීපික විශේෂයට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වන්නට ඇතැයි සැලකෙනවා.කෙසේවෙතත් වසර 24000කට පමණ පෙර සිදුවූ පාරිසරික විපර්‍යාස මත නැමඩිකස් අලි නෂ්ටව යනවා.
මේ කාලවකවාණුවේ වාසය කළ අනිත් විශේෂය වෙන හයිසුඩ්‍රිකස් (Elephas hysudricus). බෙහෙවින් උස්වූ ලාක්ෂණික හිස්කබලක් පිහිටි සත්ත්ව විශේෂයක්. ප්ලයිස්ටොසීන යුගයේ මුල් කාලය තුලදීම ගොඩබිමින් සම්බන්ධ වී තිබුණු ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වී ඉන්දියාවේ හයිසුඩ්‍රිකස් අලි ගහණයේ උපවිශේෂයක් බවට පරිණාමය වූ බව සැලකෙනවා.වර්ෂ 1914 දි කුරුවිටින් හමුවූ මුල් ෆොසිල සාධකයක් අනුව දැරණියගල මහතා විසින් මේ හස්ති විශේෂය සින්හලේයුස්(Hypselephas hysudricus sinhaleyus) නමින් නම් කළත් අද වනවිට ඒ ඝන නාමය වෙනස්ව මොවුන් එලිෆාස් හයිසුඩ්‍රිකස් නමින් අද හැඳින්වෙනවා.රත්නපුර,කුරුවිට,පැල්මඩුල්ල වැනිප්‍රදේශවලින් හමුව ඇති මේ හස්තීන්ගේ ෆොසිල අද වනවිට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේත්,කොළඹ ජාතික කෞතුකාගාරයේත් තැන්පත් කරලා තියෙනවා. හයිසුඩ්‍රිකස් හස්තියාත් ප්ලයිස්ටොසීන යුග අවසානවයත් සමඟ මෙරටින් නෂ්ටවෙනවා.
වර්තමාන ශ්‍රී ලංකා අලියාගේ සම්භවය ප්‍රාග් ඓතිහාසික යුගයන් හිදි ඉන්දියාවත් ලංකාවත් යා කළ ගොඩබිම් පාලම හරහා මෙරටට සිදුවූ මහාද්වීපික ඉන්දීය අලි රංචු මෙරට ස්ථාපිත වීමත් සමඟ සිදූ වූ බවට සැලකෙන්නේ ජානවිද්‍යාත්මක පර්‍යේෂණවලින්ද ශ්‍රී ලංකා අලියා දකුණු ඉන්දියානු සහ මියන්මාරයේ වෙසෙන ඉන්දීය අලි ගහණයන්ට ප්‍රවේණික නෑකම් දක්වන බව අනාවරණය වී තියෙන නිසයි.ප්‍රාග් ඓතිහාසික යුගයන් හි ඉන්දියාවත් ලංකාවත් යාවී තිබුණු නිසා මේ අලි රංචු දේශගුණ විපර්‍යාස අනුව කාලයෙන් කාලයට මේ භූමිභාග පුරා සංක්‍රමණය වන්නට ඇතැයි ඒ අනුව හිතන්න පුලුවන්.
ශ්‍රී ලංකාව තුළ අලියා සහ මානව ශිෂ්ටාචාරය අතර සබැඳියාවත් පූර්ව ඓතිහාසික යුගය දක්වාම විහිදෙනවා.ලංකාවේ පූර්ව ඓතිහාසික ලෙන් චිත්‍රවල හස්තීන් නිරූපිත ස්ථාන අපට හමුවෙන අතරේ ක්‍රි.පූ 3 වෙනි සියවස් තරම් ඈත කාලයේදී ඔනෙසික්‍රිටස්,මෙගස්තීනස් වැනි විදේශික වාර්තාකරුවන්ගේ ලියමන්වල ලංකාවේ හස්තීන් කාලිංගය වැනි රාජධානිවලට යුද්ධ සඳහා ප්‍රවාහනය කළ බව සඳහන් වෙනවා.මහාවංශය සහ වෙනත් මූලාශ්‍ර අනුව දේවානම්පියතිස්ස රජ දවස තරම් ඈතකාලයේ සිට වන අලි හීලෑ කිරීම,ගෘහස්ථකරණයට උත්සාහ දැරීම සිදුවී ඇති බව සාධක හමුවනවා. ලාංකේය හමුදාවල ප්‍රධාන බලඇණියක් ලෙස සියලු රාජධානිවල හස්තීන් නඩත්තු වුණා වගේම් රාජකීය කර්තව්‍යයන් සහ මඟුල් ඇතා නම් රාජකීය හස්තියෙක් භාවිතකිරීම, ඇත් පොර නොහොත් ගජකෙළි නම් විනෝදාංග පැවැත්වීම, පෙරහැර පැවැත්වීමේදි දේවාභරණ සහ කරඬු වැඩමවීමට හස්තීන් භාවිතය වැනි උදාහරණ තුළින්ම ලංකා ශිෂ්ටාචාරය තුළ අලියාට තිබූ වටිනාකම ගැන වටහාගන්න හොඳ උදාහරණ.
ශ්‍රී ලංකාවේ යටත්විජිත සමයේදී ලංකාවේ හස්ති සනුහරය විශාල මර්ධනයකට ලක්වූ බව රහසක් නෙවෙයි. 19 වෙනි සියවසේ ලංකාවේ තෙත් කලාපය සහ කඳුකරය කේන්ද්‍රකරගෙන ඇරඹෙන කෝපි,තේ,රබර් වැනි වාණිජ වගාවන් නිසා තමන් සැරිසැරූ වනබිම් අහිමිවූ අලි රංචු මේ වගාබිම්වලට හානියක් විදිහට දැකපු බ්‍රිතාන්‍ය ජාතිකයන් ක්‍රීඩාවක් වශයෙන් අලි දඩයමේ නිරත වූයේ වගාබිම්වලට සහ මාර්ග ඉදිකිරීම් කටයුතුවලට පැමිණිය හැකි අලි තර්ජනය සහමුලින් තුරන් කර දැමීමේ අරමුණින්.1831 දී ආණ්ඩුව අලි විනාශ කිරීමට ත්‍යාග දීම ඇරඹු අතර ඒ අනුව ත්‍යාග ලබාදීමට අලි හොඬ සහ වල්ග කොටස් කච්චේරිවලට ඉදිරිපත් කිරීමද සිදුවුණා.
මෙහෙම ඇරඹුණු අලි සංහාරයෙන් තෙත් කලාපයේ අලි ගහණයන් සහමුලින්ම පාහේ වඳවී යන්නට ඉඩ සැලසුණා.ඒ අතරේ මේජර් විලියම් රොජර්ස් පමණක් 1834 වසරේ සිට වසර නවයක් තුළ අලි 1400ක් පමණ මරා දැමු බව කියවෙනවා.Fifty years of ceylon ග්‍රන්ථය ලියූ මේජර් තෝමස් ස්කිනර් මරා දැමූ අලි සංඛ්‍යාවට 700කට ආසන්නයි. The Rifle and Hound in Ceylon කෘතිය ලියූ සැමුවෙල් බේකර් තමන් සිදුකළ මහාපරිමාණ අලි ඝාතන ගැන තම පොතේ දක්වා තියෙනවා.
තෙත් කලාපයේ අලි ගහණය මෙලෙස අභාවයට යනකොට,ඉතිරි සුලුතරය සිංහරාජයේ,ශ්‍රීපාද අඩවියේ ඉතිරි වෙනකොට දිවි රැකගන්නට සමත්වූයේ වියළි කලාපයේ අලි ගහණය පමණයි. අද වෙනකොට දිවයිනේ උතුරුමැද,වයඹදිග,ගිණිකොණදිග කලාපයන්ගේ බහුලව ව්‍යාප්තව ඇති අලි ගහණය මුහුණදී ඇති තර්ජන අතරින් වාසස්ථාන අහිමිවීම,අලි මිනිස් ගැටුම,දුම්රිය අනතුරු යනාදි ගැටලු නිසා ශ්‍රී ලංකාව අද වනවිට අලි මිනිස් ගැටුමෙන් වැඩිම අලි මරන සිදුවන රට ලෙසද නම්වෙලා තිබීම ඛේදජනකයි.මතු අනාගතයේ මේ අපූරු සත්ත්ව සන්තතිය නැමඩිකස් සහ හයිසඩ්‍රිකස් මුතුන්මිත්තන් ගිය මගේ ගිහින් කෞතුකාගාර නිදර්ශක පමණක්ම වන යුගයක් බිහිවීමට පෙර ඔවුන්ව රැකගැනීමට මැදිහත් වීම සොබාදහමට ලැදි පුරවැසියන් විදිහට අපේ වගකීමක්.
Content by- H.M.Kavitha Mahawatta