29/10/2024
~ වසර 37 කට පෙර නැගෙනහිර පළාතේ අඳුරු ඔක්තෝබරය ~
ද්‍රවිඩ ඊළාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් කිසිදු හව්හරණක් නොලද සිංහල වැසියන් දහස් ගණනක් පැය 24ක් ඇතුළත ත්‍රිකුණාමලයෙන් පලවා හැරීමට 1987 වසරේ ඔක්තෝබර් 3වන දින ඉන්දියානු හමුදාවේ සහාය ඇතිව බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට හැකිවිය. චීනවරාය, හතරෙ කණුව, ආන්දන්කුළම, අග්බෝ පුර වැනි සිංහල ජනයා බහුතරයක් පදිංචිව සිටි ගම්මාන අතහැර දකුණට සංක්‍රමණය වූයේ ජීවිත කාලයක් උපයාගත් දේපල සියල්ල අතහැර දමාය.
1987 වසරේ ජූලි මස 29 වන දින ශ්‍රී ලංකා හා ඉන්දීය රජය අතර අත්සන් තබන ලද ඉන්දු ලංකා සාම ගිවිසුමට අනුව ඉන් දෙදිනකට පසු මෙරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි තම කඳවුරු පිහිටුවා ගන්නා ලලද්දේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් කඳවුරු වලට පමණක් සීමා කරමින් ය.
ඉන්දීය සාම සාධක හමුදාවේ ත්‍රිකුණාමල ප්‍රධාන කඳවුර පිහිට වූයේ ත්‍රිකුණාමලය මහනුවර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ ය. එමෙන්ම චීනවරාය ගුවන් හමුදා කඳවුරෙහි කොටසක්ද ඉන්දීය ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කල අතර චීනවරාය ක්ලැෆැන්බර්ග් ප්‍රදේශයේද විශාල ඉන්දීය හමුදා භටපිරිසක් ස්ථානගතව සිටියහ.
ඉන්දියානු හමුදා සෙබළුන් නිරතුරුවම මුර සංචාරයේ යෙදෙමින් සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා සිවිල් වැසියන් හා රථ වාහාන පරීක්ෂා කල අතර ඒ වන විට ප්‍රදේශයේ බලය තහවුරු කර ගෙන සිටි ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්දියන් සෙබළුන් සමග කුළුපග වීමට උත්සුක වූයේ ප්‍රදේශවාසීන්ට තමන් ඉන්දියන් හමුදාවේ ප්‍රධානම මිතුරු කණ්ඩායම සේ පෙනී සිටීම සඳහා වූ අවශ්‍යතාවය හේතුවෙනි.
ඉන්දියන් හමුදාවේ මුල් කණ්ඩායම්වලට ඇතුළත් වූයේ දකුණු ඉන්දියානු කඳවුරුවල සිට පැමිණි බළඇණිය. ඔවුන් බොහෝ දෙනෙකු ද්‍රවිඩ බස කතාකරන්නන් විය. එබැවින් ත්‍රිකුණාමලයේ සිටි ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඔවුන් සමග මිත්‍රවීම අසීරු වූයේ නැත. ඒ අතර සිංහල ජනතාවට පහරදීම් හා දේපල විනාශ කිරීම නැවත ආරම්භ විය. එවැනි ප්‍රහාර රැසක් ත්‍රිකුණාමලය අවට ගම්මාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ අතර සිංහල වැසියන් ප්‍රධාන ඉලක්ක බවට පත්විය.
එවක දකුණෙහි ආරම්භ වෙමින් පැවති දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ත්‍රස්තවාදීන්ගේ කඩාකප්පල්කාරී භීෂණ ක්‍රියා හේතුවෙන් නැගෙනහිර පලාතේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සිදුකල ක්‍රියාවන් කෙරෙහි රටෙහි අවධානය යොමු නොවීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඳවුරු බැඳ සිටි LTTE සංවිධානයත් EPRLF, PLOTE, TELO ඇතුළු සෙසු ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානත් ඉන්දියානු හමුදාවේ උදව් උපකාර ඇතිව ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි සිංහල ජනයා ගම්මාන වෙතින් පලවාහැරීමේ උත්සාහයක නිරත විය.
එම අවස්ථාවේ සිංහල ජනයා රැක ගන්නට අභීතව ඉදිරිපත් වූයේ චීනවරාය බෝධිරාජාරාමාධිපති රඹුකන සද්ධාලංකාර හිමියන්ය. එහිමියන් ත්‍රිකුණාමලයට වැඩම කරන ලද්දේ 1972 වසරේදීය. ඒ වනවිට උන්වහන්සේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් යටතේ මහරගම ධර්මායතනයේ ගුරුවරයෙකු ලෙස සේවයේ නිරතව සිටි අතර ගුරු හිමියන්ගේ ඉල්ලීම පරිදි චීනවරාය බෝධිරාජාරාමය වෙත වැඩම කරනු ලැබීය.
ගුරු වෘත්තීය අතැරදමා චීනවරායට වැඩම කළ නාහිමියෝ පන්සලේ නවාතැන් ගෙන චීනවරායට හිමි පාරම්පරික උරුමය රැකදීම සඳහා බොහෝ වෙහෙසී කටයුතු කලේය. ටික කලක් ගතවන විට දායක සභාව ක්‍රියාකාරී විය. දහම් පාසල ඇරඹිණ. සිංහල ජනතාව අතර මහත් ප්‍රබෝධයක් ඇතිවිය. පාවහන් නොපැලැඳි සද්ධාලංකාර හිමියෝ චීන වරායේ සිට අවට ගම්දනව් පුරා සැරිසරමින් අහිංසක මිනිසුන්ගේ කටයුතු පිළිබඳව සොයා බැලූහ. කන්තලේ උක් කම්කරුවන් අතරටද සේනපුර, අග්බෝපුර දෙසටද උන්වහන්සේගේ ගමන සිදුවිය. ඒ පන්සලට දායකයන් එකතු කරන්නටය. ටිකෙන් ටික විශාල දායක පිරිසක් එකතු කරගන්නට උන්වහන්සේට හැකිවිය.
ගුවන් හමුදා නිලධාරීයෙකු වූ මාගේ පියාගේ රාජකාරි කටයුතු හේතුවෙන් 1978 වසරේ චීනවරායට පැමිණි මාද චීනවරාය නාලන්දා මහා විදුහලට ඇතුළත් කල අතර දහම් අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් කරන ලද්දේ බෝධිරාජාරාම දහම් පාසැලටය. එකල චීනවරාය ප්‍රදේශයේ ඉතා සාමකාමී පරිසරයක් තිබූ අතර පාසැලේ දෙවැනි වසරේ සිටම මා ගුවන් හමුදා නිලනිවාසයේ සිට පාසැලට ඇති මීටර 800ක් පමණ වූ දුර පාගමනින් තනිවම ගිය ආකාරය දැනුදු සිහිපත් වේ. එමෙන්ම චීනවරාය දුම්රිය ස්ථාණය ඉදිරිපිට තිබූ වෙළෙඳ සැලෙන් සෑම ඉරු දිනකම පුවත්පත් රැගෙන දුම්රිය මාර්ගය ඔස්‌සේ නැවත නිවස බලා ගමන්ගන්නා අතර බෝධිරාජාරාමයෙහි මාර්ගයට මුහුණලා තිබූ බුදු පිළිම වහන්සේට වැද නමස්කාර කිරීම පුරුද්දක් ලෙස සිදුකෙලෙමි.
පොහොය දිනෙක අප පවුලේ සියළුම දෙනා පංසලට ගොස් වැදපුදා ගැනීමෙන් අනතුරුව රඹුකන සද්ධාලංකාර හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මා දුම්රිය මාර්ගයේ සිට පන්සලට නමස්කාර කරන ආකාරය පිළිබඳව මාගේ පියාට පවසා සිටියේ ය. ඉන්පසු උන්වහන්සේ සමඟ තිබූ සම්බන්ධතාවය වර්ධනය වූයෙන් අවස්ථාව ලදවිට පන්සලට ගොස් උන්වහන්සේ සමඟ කතාබහ කිරීම මාගේ සිරිතක් වූ අතර උන්වහන්සේගේ පුස්තකාලය පවා පරිහරණය කිරීමට මාහට අවස්ථාව උදාවිය.
1987 වසරේ සැප්තැම්බර් අවසන් සතියේ පැය 48 ක් තුළ සිංහලයන් ත්‍රිකුණාමලය හැර යා යුතු යැයිද එසේ නොකරන අය දැනුම්දීමකින් තොරව මරා දමන බවද ත්‍රස්තවාදීහු නිවේදනය කළහ. ඔක්තෝබර් 1වන දින ත්‍රිකුණාමලය නගරයේ සහ අවට ප්‍රදේශයේ සිංහල වැසියන් ඉලක්ක කරමින් ඉන්දීය හමුදාවේ සහායද ඇතිව ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නට විය.
ඔක්තෝබර් 2 වැනි දින තත්ත්වය නරක අතට හැරුණේය. එක දිගටම දින පහක් සිංහල ජනතාව ඉලක්ක කර ප්‍රහාර වැලක් දියත් වූ අතර ප්‍රදේශයෙන් ඔවුන් පලවා හැරීම එහි අරමුණ විය. නගරයෙන් පටන් ගත් ප්‍රහාර චීන වරාය දක්වා ද එතැනින් අසල්වාසි ප්‍රදේශ දක්වාද විහිදී ගියේය. පොලිස් ස්ථාන හා ආරක්‍ෂක හමුදා කඳවුරු වටකිරීම දින කිහිපයක් තිස්සේ සිදුවිය. සාම ගිවිසුම යටතේ ඉන්දීය හමුදාවට ආරක්‍ෂක කටයුතු භාර දී ශ්‍රී ලංකා හමුදාවලට බැරැක්කවලට සීමා වන්නට නියෝග දී තිබුණි. ඇතැම් පොලිස් ස්ථාන වටකර තිබුණේ නිලධාරීන්ට පිටවීමටවත් නොහැකිවන පරිදිය.
පසුදා මෙම නිරායුධ සිංහල වැසියන් ත්‍රිකුණාමලය අතහැර යා යුතු වූ අතර එසේ නොගියොත් ගේදොර සියල්ල ගිනිබත් කර මහා ජන සංහාරයක් කරන බවට ත්‍රස්ත සංවිධාන තවත් පණිවිඩයක් නිකුත් කර තිබිණ. ලංගම ඩිපෝව වසා දමා පෞද්ගලික ප්‍රවාහන සේවාද අඩපණ කර තිබූ ත්‍රිකුණාමලය පාළුවට ගිය නගරයක් සේ දිස්විය. එවන් තත්ත්වයකදී නිරායුධ අහිංසකයන් දහස් ගණනක් ත්‍රිකුණාමලය අතහැර හබරණ බලා පාගමනින් යෑමට සිදුව තිබිණ.
සිංහලයන් ගම්බිම් හැරදා යා යුතු දිනය වූ ඔක්තෝබර් මස 03 වන දින ත්‍රස්තවාදීන් හර්තාල් ව්‍යාපාරයක් ඇරඹූහ. සියලු කඩ සාප්පු වසා දැමිය යුතු අතර අණ නොපිළිනොපැදීමට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු ලැබෙනු ඇති බව දැනුම් දෙනු ලැබීය. ත්‍රස්තවාදීන් සිංහලයන් පලවා හැරීමේ මෙහෙයුම සඳහා සියලු මානව නීති උල්ලංඝනය කරමින් සිටියහ. කිසිවකුට තම වෙළෙඳ සැල් විවෘත කිරීම තහනම් විය. ශ්‍රී ලංකා රජයට එරෙහි හර්තාලයක මුවාවෙන් මෙසේ වෙළෙඳ සැල් වසා දැමීමේ අරමුණ වූයේ සිංහල ජනයාට නික්ම යාමට ලබාදී තිබූ කාල සීමාව ළංවනතුරු ඔවුන්ට කිසිම ආහාර ද්‍රව්‍යයක් නගරයෙන් ලබා ගැනීමට ඉඩ නොදීමයි. සිංහල වෙළෙඳ සැල් කීපයක් නගරයේ තිබූවද මරණ තර්ජන එල්ලකර එම වෙළෙඳ සැල්ද වසා දමා තිබිණි.
එදින ත්‍රිකුණාමලය හබරණ මාර්ගය ගම්බිම් අතැර ඇඳිවත පමණක් රැගෙන පලා යන සිංහල ජනයාගෙන් පිරී පැවතුණි. සිය ගණනක් ජනතාව අතර ගැබිනි කාන්තාවන් මෙන්ම මහල්ලෝද, ළදරුවෝද වූ වූහ. ඔවුන්ගේ හිසේ තම සියලු සේසත පිරවූ බෑග් තිබූ අතර නිවසින් පිසගත් ආහාරයක් හැරෙන්නට වෙනත් යමක් මිලදී ගැනීමට හෝ වෙළඳ සැලක් නොතිබියෙන් කුසගින්නේ සිටි බොහෝ දෙනාද මේ මිනිස් දම්වැලේ වූහ. පළා යන සිංහලයන්ට වතුර උගුරක්වත් නොදෙන්නැයි ත්‍රස්තවාදීන් නියෝග පනවා තිබූ හෙයින් හිතවත් දමිළයන් පවා මේ මිනිස් දම්වැල මග හැර තිබිණ.
ඒ අතර තවත් පිරිසක් හතරේ කණුව හා පහේ කණුව හන්දිවල උපවාස අරඹා තිබිණි. පලා යන්නට සිදුවූ පිරිසක් මෙසේ සංවිධානය වී තිබුණේ තමන්ට රැකවරණය සඳහා කිසිවකුත් නොවූ හෙයිනි. එම අවස්ථාවේ ඉන්දීය හමුදා සෙබළුන් මෙම උපවාස කරුවන්ට පහර දීමට සූදානම් බව සැලවූ රඹුකන සද්ධාලංකාර හිමියන් ඉන්දීය හමුදා ප්‍රධානියා හමුවී උද්ගතව තිබූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළහ. චීන වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ ජීප් රියෙන් ගොස් 4කණුවේ උපවාසයේ නිරතවූවන් සමඟ සාකච්ඡා කර එම උපවාසය නවතා 5 කණුව අසලට ලගාවත්ම ඉන්දීය හමුදා සෙබළුන් යුධ ටැංකි කිහිපයක් සමඟ එම ස්ථානය වටලා සිටින ආකාරය දැකගැනීමට හැකිවිය.
ඉන්දීය හමුදා කඳවුරෙහි අණදෙන නිලධාරීවරයා හමුවීමට අවශ්‍ය බව උන්වහන්සේ පවසා සිටියද පෙර සූදානමකින් පසුවූ ඉන්දීය සෙබළුන් ප්‍රථමයෙන් රඹුකන සද්ධාලංකාර හිමියන්ට වෙඩි තබා පසුව උපවාසයෙහි නිරතව සිටි පිරිස වෙතද වෙඩි වර්ෂාවක් එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් 24 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාළ ලැබ ඇති බව පසුව දැනගන්නට ලැබිණ. පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද දනගස්වා පහරදී තිබූ බව වාර්තා විය.
දෙහිඕවිට පියතිස්ස හිමියන් තම ගුරු හිමියන්ගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයෙන් රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කලද ඒවනවිටත් ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබූ අතර පාරට බසින කවරකුට වුවද ඉන්දිය හමුදා සෙබළුන්ගේ වෙඩි පහරට ලක්වීමේ අවධානමද තිබුණි. කෙසේ හෝ එම අභියෝග ජයගනිමින් රඹුකන සද්ධාලංකාර හිමියන්ගේ දේහය පන්සලට රැගෙන ඒමට පසුදින උන්වහන්සේට හැකිවිය.
ඉන්දීය හමුදාවේ භීෂණය හේතුවෙන් ත්‍රිකුණාමලයට පැමිණීමට කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකට අවස්ථාව ලැබුණේ නැත. එහෙත් පණ්ඩිත කිතුල්ගොල්ලේ ජිනානන්ද හිමියෝ කෙසේ හෝ චීනවරායට පැමිණි අතර චීන වරාය ගුවන් හමුදා කඳවුරෙහි සෙබළුන්ගේ මැදිහත්වීම මත රඹුකන සද්ධාලංකාර හිමියන්ගේ චිතකය නිර්මාණය කර අවසන් කටයුතු ඉතා චාම්ව සිදුකල අතර පාංශුකූල කටයුතු කරන ලද්දේ ජිනානන්ද හිමියන්ගේ මූළිකත්වයෙනි.
සිංහල වැසියන් වෙනුවෙන් අභීතව ඉදිපත්ව දිවිපිදූ රඹුකන සද්ධාලංකාර හිමියන්ගේ දේහය ආදාහනය කිරීමට සිදුවූයේද බොහෝ දුශ්කරතා සහිතව ඇඳිරි නීතිය මධ්‍යයේ ය. මාද මාගේ මිතුරෙකු වූ රෝහණ සමඟ එම අවස්ථාවට සහභාගී වූයේ පැවති ජීවිත අවධානමද නොතකා දෙමාපියන්ගේ අවසර ඇතිවය.
එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව තවත් ප්‍රහාර රැසක් සිංහල වැසියන් ඉලක්ක කරමින් එල්ල විය.
*ඔක්තෝබර් 6 වන දින කුච්චවේළි සාගරපුර වෙත කඩාවැදී ගම් වැසියන් 27 දෙනෙකු ඝාතනය හා එදිනම නිලාවේලි හිදී තවත් සාමාන්‍ය වැසියන් 25 දෙනෙකු ඝාතනය කිරීම.
*ඔක්තෝබර් 10 වන දින කන්තලේ ගන්තලාව ප්‍රදේශයේ සිංහල වැසියන් දස දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.
*ඔක්තෝබර් 15 අල්ල කන්තලේ ප්‍රදේශයේදී මාර්ගයෙහි ගමන්ගත් ලොරි රථ දෙකක් නවතා එහි සිටි 14 දෙනෙකු මරා දැමීම. *ඔක්තෝබර් 16 වන දින පුල්මුඩේ බස් රථයකින් ගමන් ගනිමින් සිටි සිංහල මගීන් 18 ඝාතනය කිරීම. වැනි ප්‍රහාර රැසක් ඉන්දීය සාම සාධක හමුදාව සිටියදීම ත්‍රස්තවාදීන් සිදුකරනු ලැබීය.
ත්‍රිකුණාමලයෙන් පලවා හැරි දහස් ගණනක් වූ සිංහල වැසියන්ගෙන් යළි පදිංචියට පැමිණියේ ඉතා සුළු පිරිසකි. ඉතිරි පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුලවද මාතර, තංගල්ල වැනි දකුණේ ප්‍රදේශයන්හි ද පදිංචි වූහ. එම ප්‍රහාරයෙන් මාසයකට පමණ පසු අප පවුලේ සියළුම දෙනා මවගේ ගම්ප්‍රදේශය වූ කුරුණෑගල ප්‍රදේශයට පැමිණියේ අපගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ය. මාගේ පියා චීනවරාය ගුවන් හමුදා කඳවුරෙන් ස්ථාන මාරුවක් ලබන තෙක් ඉඩලද සෑම අවස්ථාවකම මා චීනවරාය වෙත යාමට යාමට පසුබට නොවීය. වසර 36ක් ගතව ගියද ඒ අඳුරු මතකය කිසිදා අමතක කල නොහැක.
මෙහි සඳහන් තොරතුරු පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් හෝ තම අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා -
☎️📱 0714431929
Buddhika Dissanayake - 2024
⚠ ️️දැනුම්දීමයි ~
❎©️™️ කිසිදු අවස්ථාවක අවසරයකින් තොරව 'රණබිමේ විරුවෝ' සමූහයේ පලකරනු ලබන තොරතුරු හෝ ඡායාරූප Download කර Copy Past කිරීමෙන් අන්තර්ගතය වෙනස් කර හෝ නොකර කිසිදු වෙබ් අඩවියක, ෆේස් බුක් පිටුවක (page), සමූහයක (Group) U tube චැනලයක පලකිරීම සම්පූර්ණයෙන් තහනම්.
✅ මෙහි පලකරන පෝස්ට් Share කරීමෙන් පමණක් අන්අය දැනුවත් කිරීමට කාරුණික වන්න.
🚫 එමෙන්ම "රණබිමේ විරුවෝ" සමූහයේ පලවන ලිපි ,වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමෙන් වලකින්.