13/04/2026
හිසතෙල් ගෑමේ චාරිත්‍රය හා එහි යොදාගන්නා ඖෂධ වල ගුණ ගැන ඔබට වටිනා කරුණු කිහිපයක් සමඟ ඖෂධ සහ තෙල් වට්ටෝරුව පහතින් ඉදිරිපත් කරනුයේ අද වර්තමාන සමාජයේ බොහෝ අය හිසතෙල් ගෑවද නානු හෝ ඖෂධ වට්ටෝරුව ගැන මනා අවබෝධයක් නොමැති හෙයිනි.
මෙම චාරිත්‍රයේ අරමුණ -
අවුරුද්ද පුරාවට නීරෝගී බවින් වාසය කිරීමට ආශිර්වාද කිරීම සංකේතවත් කරයි. මිනිසාගේ උත්තමාංගය වන හිසෙහි සිට දෙපතුල දක්වා වන සියළු රෝ දුක් දුරුවී නීරෝගිබව ආරක්ෂා වීම උදෙසා මෙම හිසතෙල් ගෑමේ චාරිත්‍රය අතීතයේ පටන් නොනවත්වා ගැමි පරිසරය තුළ ගමේ පන්සලත්, ගමේ වෙද ගෙදරත් මූලික කොටගෙන සිදු කරනු ලැබේ. එදා උඩරට රාජධානි සමයේ පරණ අවුරුද්ද තුලත් හිසතෙල් ගෑ බවත් රාජ්‍ය අනුග්‍රහයෙන් එය ඉටු වූ බවත් ජෝන් ඩොයිලි, ජෝන් ඩේව් යන අයගේ ඓතිහාසික වාර්තා වල සඳහන්වන අතර රාජ්‍ය අනුග්‍රහයද නිසිලෙස සිදුවූ බව එකී වාර්තාවල සටහන් වේ.
මෙවර හිසතෙල් ගෑමේ නැකැත:-
2026 අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 06.55 ට පච්ච හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
හිසට කොහොඹ පත් :-
(බදාදා දිනයට අධිපති වෘක්ෂය බැවින් කොහොඹ පත් හිසට යොදනු ලැබේ)
දේශීය වෙදකමෙහි "නිම්බ" නමින් හඳුන්වන කොහොඹ ශාකය තිත්තය. සීතලය, සැහැල්ලුය, වාතය නසයි, කුෂ්ඨ රෝග, ඇස් රෝග, සෙම් රෝග සඳහා යොදා ගනී. ලේ පිරිසිදු කරන පණුවන් නසන ඖෂධයක් පමණක් නොව විෂ බීජ නාශක ගුණයක්ද අඩංගු වේ.
පයට කොලොන් පත් :-
(පෙර දින එනම් අඟහරුවාදා දින පසුකර බදාදා දිනට පැමිණි නිසා අඟහරුවාදා දිනට අධිපති වෘක්ෂය වන කොලන් පත් පයට යොදනු ලැබේ, එය ජ්‍යොතිෂ නියමයයි)
දේශීය වෙදකමෙහි "ධාරා කදම්බ" නමින් හඳුන්වන කොලොන් ශාකය මධුර කෂාය ලවණ රස වලින් යුක්තයි. ශීත වීර්‍යයි. ගුරු සාරකයි. විෂ්ඨම්භකාරකයි. කඵ ස්තන්‍ය සහ අනිල ජනකයි. එලෙසම කඳේ කොටස් හෝ එහි යුෂය උණ, හිසරදය, ශරීර වේදනා, චර්ම රෝග සහ විෂ ආසාදන සඳහා භාවිතා කරයි.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසීම:-
(බදාදා දිනට අධිපති වූ පැහැය පච්ච පාට හෙවත් කොළ පැහැය නිසා)
ඔබේ දැනුමට හිසතෙල් ගල්වන නානු මිශ්‍රණය මෙසේ සඳහන් කරමි.
නානු සැදීමට ගන්නා ඖෂධ හා එහි ගුණ :
1.කළාඳුරු අල
- කේශවර්ධකයි, නාඩි බලකාරකයි, ජ්වරනාශකයි, සෙම් රෝග නසයි
2.කුංකුමප්පු
- මස්තිෂ්ක හා හෘද බලකාරකයි. කාස ස්වාසහරයි
3.සුදු හඳුන්
- ශීර්ෂ ශූල, චර්ම රෝග, මානසික දෞරුබල්‍යතා, කාස ස්වාස උණවලට ප්‍රයෝග කරයි.
4.විෂ්ණු ක්‍රාන්ති
- මතක ශක්තිය වඩවයි, කේශවර්ධකයි හා කාස ස්වාස රෝග නාශකයි.
5.ගොරෝචන
- මතක ශක්තිය වඩවන, සංවේදන ප්‍රබෝධකයි.
6.සස්සඳ මුල්
- ජ්වරනාශක, හෘද හා වාත නාඩි උත්තේජක, කාස ස්වාස රෝග නාශකයි.
7.ඉරිවේරිය
- ජ්වර නාශකයි, හෘද බලකාරකයි, ශීර්ෂ රෝග නසයි
8.නස්නාරං මුල්
- සෙම් රෝග, කාස ස්වාස රෝග නසයි, වේදනානාශකයි, හෘද දෞරුබල්‍යතා වලට ගුණයි
9.සැවන්දරා මුල්
- ශීර්ෂ රෝග නසා මස්තිෂ්ක බලකාරක කරයි.
10.නෙළුම් දඬු
- දාහප්‍රශමනයි, හෘද සංරක්ෂණය කරයි, මස්තිෂ්ක දෞරුබල්‍යතා නැති කරයි
11.ගොඩමානෙල් අල
- කන් කැක්කුම්, හිසරුදා නසයි
12.බෙලිමුල්
- තුන්දොස් සමනය, උණ රෝග හා සෙම් සහිත කාස රෝග නසයි.
13.වෙනිවැල්ගැට
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. වේදනානාශකයි
14.ඊ තණ
- සෙම් පිත් රෝග නසා මස්තිෂ්ක දෞරුබල්‍යතා නැති කරයි
මෙම වටිනා ගුණැති ඖෂධ වර්ග 14 සමව ගෙන, තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳ ගන්න.
ඉන් පසු එදිනට හිසට යොදාගන්නා ඖෂධයෙහි පත්‍ර (මෙවර බදාදා- කොහොඹ පත්) කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද, ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිඳු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය.
හිසතෙල් සඳහා තෙල් වර්ග:
මෙලෙස සාදාගත් නානු ද, (තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල්, යන පස් තෙල් ද) ගා ස්නානය කරනු මැනවි.
පොදුවේ ගත් කල ඉහත යොදාගත් සියලු ඖෂධ වල කියා නිමකර නොහැකි වටිනාකමක් සහ ගුණයක් ඇත.
ඒවා සියල්ලේම පොදු ගුණ ගත් කල
-තුන්දොස් සමනය කිරීම
-ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
-ස්නායු ශක්තිමත් කිරීම
-රුධිරය පිරිසිදු කිරීම
-වේදනානාශනය කිරීම
-මතක ශක්තිය වැඩි කිරීම
-සෙම් හා උණ රෝග නාශනය කිරීම
-ශීර්ෂ රෝග නැසීම ආදිය දැක්විය හැකියි.
ඔබ සැමට හිතායු, සුඛායු, දීඝායු 🙏
මම රවිශංඛ සේනානායක
-කපිල විහාර වෙද පරම්පරාව, කළුදේවතා බණ්ඩාර පරපුරෙහි වත්මන් නියෝජනය...
(පඬු/නැගෙනහිර ආයුර්වේද සංරක්ෂණ සභා සාමාජික, දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය - පඬුවස්නුවර නැගෙනහිර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අංශය)