19/08/2026
ශ්‍රී ලංකාවේ පාර රාජ්‍යය (Deep State) සහ මත් ද්‍රව්‍ය ජාවාරම
-- අභියෝග , සබඳතා සහ අනාගත ගමන් මඟ --
--------------------------------------------------------------------
පාර රාජ්‍යය යනු කිසියම් රටක නිළ දේශපාලන හා පරිපාලන යාන්ත්‍රණයට පරිබාහිරව , අදෘෂ්‍යමාන ලෙස රාජ්‍යයේ තීරණාත්මක බලප්‍රදේශ සහ ප්‍රතිපත්තීන් පාලනය කරනු ලබන , නිල නොවන බලවේග සමූහයක එකතුවකි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් පුරා මුල් බැසගෙන තිබූ දූෂිත දේශපාලන සංස්කෘතිය , ඒ හා සබැඳුණ අනීතික ආර්ථික ක්‍රියාකාරකම් සහ දූෂිත ජාල වල දිගුකාලීන ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන මෙම පාර රාජ්‍ය ක්‍රියාකාරීත්වය තහවුරු වී ඇත. සංවිධානාත්මක අපරාධ සහ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම අතර සමීප සබඳතාවක් ගොඩනැඟීම පිණිස මෙම පාර රාජ්‍ය ආශ්‍රිත ජාල බෙහෙවින් ම හිතකර පරිසරයක් සකස් කොට ඇත. දශක තුනක පමණ කාලයක් පුරා පැවති සිවිල් යුධ ගැටුම් සහ ආර්ථික අර්බුධ ද පාර රාජ්‍ය ක්‍රියාකාරීත්වය පිණිස අනියම් බලපෑමක් ඇති කර තිබෙන අතර, පශ්වාත් යුධ සමයෙන් පසුව ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුකොට ගෙන පාර රාජ්‍යයේ ප්‍රධාන ජාල ක්‍රියාකාරිකයින්ට ඔවුන්ගේ වර්ධනය හා ස්ථාවරත්වය පිණිස සුඛ නම්‍ය වාතාවරණයක් උදා වී තිබිණී.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හුදෙක් අපරාධකරුවන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවකට ලඝු කළ හැකි නොවේ. දේශපාලනඥයින් සහ අපරාධකරුවන් අතර අශුද්ධ සංධාන ගොඩනැඟීම පාර රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ ප්‍රබල ලක්ෂණයකි. අශුද්ධ සහ අනීතික දේශපාලන රාමුවක් තුළ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ද අධික වියදම් සහිත කාර්යයකි. එවැනි පරිසරයක් තුළ මැතිවරණයක් සදහා තරඟ කිරීම හෝ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා ගැනීම වෙනුවෙන් ද අධික වැය බරක් දැරීමට සිදු වෙයි. අපරාධකරුවන් නීතියේ රැහැණින් ආරක්ෂා වීම පිණිස දේශපාලන ප්‍රබලයින් සමඟ සන්ධානගත වීම සුළබ ව සිදු වී ඇති අතර, දේශපාලනඳයින් සිය දේශපාලන කාර්යයන් වෙනුවෙන් පාර රාජ්‍ය ක්‍රියාකාරීන්ගේ මුදල් මත යැපීම ද සාමාන්‍යකරණය විය. දශක ගණනාවක් පුරා වර්ධනය වූ මෙම ද්විත්ව සබැඳියාවේ ප්‍රතිවිපාක මේ වන විට ඉතාමත් අයහපත් ලෙස සමාජය වෙළාගෙන ඇත.
දූෂිත දේශපාලන සංස්කෘතියක් තුළ නීතිගරුක රාජ්‍ය සේවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් , රාජ්‍ය සේවාව තුළ ද අනීතික හා අශුද්ධ ජාල හරහා අල්ලස සහ දූෂණය තහවුරු වන්නට විය. විශේෂයෙන් නීතිය පසිඳලීමේ ආයතන පද්ධතිය වැනි යහපත් සමාජ ව්‍යුහයක් පවත්වාගෙන යාම පිණිස සෘජුව ම දායක වන ආයතන පවා “දේශපාලන - අපරාධ” අශුද්ධ සංධාන ජාලයන් හි අනීතික බලපෑම්වලට නතු විය. මෙහි ප්‍රතිඵල ලෙස රාජ්‍ය නිළධාරීන් ද අශුද්ධ ජාලයන් හි ක්‍රියාකාරිකයින් බවට පත් වූ අතර, රාජ්‍ය විසින් මහජනතාව වෙත ඉටුකරනු ලබන සේවාවන්හි ප්‍රමිතිය හා ගුණාත්මක භාවය සීග්‍ර ලෙස පිරිහුණි. අවම වැටුප් හා දරිද්‍රතාවය හමුවේ ඇතැම් රාජ්‍ය නිළධාරීන් අශුද්ධ සංධාන සමඟ ජාලගත ව අතිරේක මුදල් ඉපැයීම මඟින් සිය ජීවන හා සමාජයීය තත්වයන් ඉහළ නැංවීමට නැඹුරු වී ඇති ඇති බව ද පෙනේ. ඒ අනුව , මත් ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණ පාතාල කල්ලිවල ක්‍රියාකාරකම්, නීති විරෝධී ගිණි අවි භාවිතය කප්පම් ගැනීම වැනි ගැටුම් ආශ්‍රිත කොන්ත්‍රාත් ඝාතන ඉහල යාම කැපී පෙනෙන ලෙස වර්ධනය විය.
නීත්‍යානුකූල ආර්ථික ක්‍රියාකාරකම් වලින් පරිබාහිර වූ කළු සෙවනැළි ආර්ථිකය (Shadow Economy) තුළ ජාවාරම් වලින් උපයනු ලබන මුදල් ආයෝජන බහුල විය. දේපළ වෙළදාම්, මූල්‍ය ආයතන වැනි නීත්‍යානුකූල ආයතන හරහා සිදුවූ කළු සල්ලි නීත්‍යානුකූල කිරීමේ අනීතික ක්‍රියාවලිය විසින් ජාතික ආර්ථිකයේ නීත්‍යානුකූල ක්‍රියාවලියට සැළකිය යුතු බලපෑම් එල්ල විය.
සමස්තයේ ප්‍රතිඵල පාසල් දරුවන් ද ඇතුළු තරුණ ප්‍රජාව ද , සමස්ත සමාජයේ සියළු ස්ථර කෙරෙහි ද දැඩි අහිතකර බලපෑමක් එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් විය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ ඉහත පසුබිම තුළ දශක ගණනාවක් මුළුල්ලේ වර්ධනය වූ සමාජයීය හා ආර්ථක පසුබිමක් තුළ දී ය.
දැන් පාලන බලය හොබවන දේශපාලන ව්‍යුහය දූෂණයෙන් හා අනීතික ජාල වලින් මිදුන ආදර්ශී දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් කැප වී සිටියි. වර්තමානයේ දී දේශපාලනයේ යෙදෙන පුද්ගලයින් හා දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීම සඳහා වූ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාව වෙත ලැබී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනීතික අපරාධ රාජ්‍යයේ ක්‍රියාකාරකම් මුළිනුපුටා දැමීම පිණිස අවංක කැපවීමකින කටයුතු සිදු කෙරෙන අතර, ඒ් සදහා වූ අව්‍යාජ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. ආයතනික ව්‍යුහය සීග්‍ර ඩිජිටල් කරණයකට ලක් වෙමින් පවත්නා අතර, ඇතැම් රාජ්‍ය ආයතන තුළ මුල් බැසගෙන ඇති අනීතික හා අක්‍රමවත් ක්‍රියාවලීන් වෙනුවට නීතියට අනුකූල ක්‍රියාවලීන් ස්ථාපිත වනු ඇත. සමස්ත රාජ්‍ය සේවයේ විනිවිද භාවය ඉහල යනු ඇති අතර, මහජනතාව විසින් සමස්ත දේශපාලනික හා රාජ්‍ය බල තන්ත්‍රය වෙත ලබා දී ඇති මහජන බලය පෙරළා ප්‍රශ්න කිරීමේ මහජනතාව සතු පරම අයිතිය තහවුරු වෙමින් පවතී.
එහෙත් මෙම ක්‍රියාවලියේ සුඛ නම්‍ය ප්‍රතිඵල , එක් රැයකිත් මාසයකින් හෝ වසරකින් සමස්ත සමාජයට ස්පර්ශ කිරීමට නොහැකි වන්නේ , දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලනික රැකවරණ මධ්‍යයේ තීරණාත්මක ආර්ථික සා සමාජයීය ව්‍යුහයන් තුළ පැළපදියම් ව ඇති පාර රාජ්‍ය ජාලයන් හි අක්මුල් සොයා ගැනීම හා ඒවා සිඳ බිඳලීම පහසු කාර්යයක් නොවන බැවිනි. ඒවා මුළිනුපුටා දමා සමාජ හිතකර සහ මහජන අපේක්ෂාවන් අනුව යන පද්ධතියක් බිහි කිරීම ලේසි පහසු කාර්යයක් නොවන බැවිනි. එහෙත් එය සිදු වෙමින් පවතී. නියත වශයෙන් ම එය සිදු වනු ඇත. එබැවින් රාජ්‍ය ක්‍රියාකාරකම් වල මන්දගාමීත්වය , වැඩ ප්‍රමාදය වැනි කරුණු පිළිබදව අදහස් දක්වනු ලබන පොදු සමාජය ඉහත විග්‍රහ කොට ඇති පුළුල් සංදර්භය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම, සමාජ දැනුවත් භාවය පිණිස ඉමහත් පිටුවහලක් වනු ඇත.
✍️: සුගත්