හරියටම ඔය ප්‍රශ්නේ මීට මාස 3කට කලින් හැමෝම වගේ ඇහුවා, ඉතින් 2017 වර්ෂයේ අග භාගයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවාත් සමගම, බලාපොරොත්තු පොදි බැදන් නව වසරේ සිය නවමු වැඩකටයුතු උදෙසා යුහුසුලුව වෙහෙසෙන මිනිසුන් අතර වෙනදා වගේම Hands In Service Foundation Sri Lanka අපි සූදානම් වුනේ ලංකාවේ තවත් ඈත ගම්දනව්වක අතිශය දුශ්කරතා මධ්‍යයේ අකුරු කරන අහිංසක පුංචි සමනලුන්ට ඉගිලෙන්න ඇවසි වූ පියාපත් සවිමත්කොට ඔවුන්ගේත් ඒ මව් පියන්ගේත් බලාපොරොත්තු මල් පල ගන්වාලීමටයි. මෙතෙක් අප හා නිරතුරුව අත්වැල් බැද ගත් බොහෝ පිරිස්ද, නාමිකව නොහඳුන නමුත් සමාජයට මෙහෙවරක් ඉටුකල යුතුයැයි සිතන බොහෝ පිරිසක්ද අපගේ ඉල්ලීමට අනුව ලංකාවේ ඇති දුෂ්කරම පාසල් පිලිබඳව තොරතුරු ලබා දෙන්නට උත්සුක වුනි. කෙසේ හෝ ඒ පාසල් සියල්ල අතරින් දුෂ්කරම පාසල් 5ක් පමණ අප විසින් තෝරා ගත් අතර අපගේ කණ්ඩායමක් විසින් එම පාසල් එකින් එකට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අවසානයේදී 90 දශකයේදී සීනී කර්මාන්ත ශාලාවේ උක් ගබඩාවක් ලෙසින් පවත්වාගෙන ගොස් පසුව හිටපු පාර්ලිමීන්තු මන්ත්‍රී P. දයාරත්න මහතා ඇතුලු තවත් සමිතියක ඉල්ලීමකින් පසුව පාසලක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අම්පාර ප්‍රදේශයේ "මුවන්ගල" නම් දුෂ්කර ග්‍රාමීය පරිසරයේ විමලවංශ විද්‍යාලය මෙවර අපිට පොතක් 2017 ව්‍යාපෘතිය සදහා තෝරාගනු ලැබිණි.
Izuru Ranaweera (Project Manager) සහ Shashini Nadeera Vidanapathirana (Assistant Project Manager) දෙදෙනාගේ අසීමිත කැපවීම යටතේ මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මස අවසන් ඉරිදා දිනයේදී ඉතාමත් සාර්ථක අයුරින් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් වුනි. ඒ සාර්ථකත්වය පසුපස නිරතුරුවම ඇත්තේ අපේ වෙහෙස මහන්සිය මෙන්ම, ඔබේ වෙහෙස මහන්සියෙන් උපයා අපහට ලබාදුන්නාවූ රුපියල් සතවල ශක්තියයි.
දෙසැම්බර් 30 වනදා හිමිදිරියේම නාගරික පරිසරයෙන් මිදී ස්වභාවික සෞන්දර්යාත්මක පරිසරයකට රාත්‍රිය වන විට අප ලඟාවන්නේ අලි ඇතුන් පාර මාරුවන්නවූ උවදුරු සහිත අවස්තාවන් මගහරිමිනි. එදින රාත්‍රියේ සර්වෝදයේ අනුරුද්ධ මහතාගේ නිහතමානී උපකාරය මත රැය පහන් කරන අපි, පසුදා උදෑසනම අවදිවන්නේ මාස 3ක් තිස්සේ හිතේ තද කරන් සිටි සතුට මුදා හැරීමටය. තව තවත් දුෂ්කරත්වයෙන් මිරිකෙන ග්‍රාමීය පරිසරයක් තුලට ඇදුනු අපි අවසානයේ විමලවංශ විද්‍යාලයේ ඉඩම කෙලවර නවතින්නේ හදවතේ හුස්ම ගැනීමද මොහොතකට අමතක කරමින්ය. අප බලාපොරොත්තූ නොවූ පිලිගැනීමක් සුදානම් කරමින් පුංචි සුරංගනාවියන් කිහිපදෙනෙක් අපට බුලත් අත් දී වැද නමස්කාර කිරීමෙන් අනතුරුව අපගේ අතැගිල්ලේ එල්ලී පාසලේ කුඩා පන්තිකාමර තුලට අප කැදවාගෙන යන්නේ සුමිහිරි වාදනයන් මධ්‍යයේ ය. ශ්‍රී ලංකා ධජය ඉහල අහසේ ලෙලදීමෙන් පසුව ආරම්භ වූ වැඩසටහනේ ආරම්භක කතා වලින් අනතුරුව කුඩා දූ දැරියන්ගේ නර්තන හා ගායන අංග රැසක්ද නැරඹීමට අපට හැකියාව ලැබුණි.
කව්රුද කව්රුද දැන් ලොක්කෝ.!!
අපිමයි අපිමයි දැන් ලොක්කෝ.!!
වැනි ගීතයන් නැවතත් අපව අපගේ පාසල් කාලයට රැගෙන ගියේය. වැඩසටහන අවසානයේ අප ඔබ සියලු දෙනාම පුරාදවස් සියයකට අධික කාලයක් බලාසිටි ඒ මොහොත උදා වුණි, ඔබගේ කැපකිරීම් වලින් ඔබගේ දහඩිය මහන්සියෙන් සමහර විට ඔබගේ අම්මට, තාත්තාට, දුවා දරුවන්ට අලුත් අවුරුද්දේ රැගෙන දෙන්නට සිටි දෑ කැපකොට ඔබ ඒ දරුවන් වෙනුවෙන් තමන්ගේ නිහතමානී රුපියල ලබාදෙන්න ඇති. කෙසේ හෝ ඒ සුන්දර කතා වලින් නිර්මාණය වුනු පොත් පත් හා පාසල් උපකරණ සියල්ල පාසල් ශාලාවේ ඉදිරියට ගෙන එන විට මෙතෙක් සංවරව සිටි පැටවුන් එකා දෙන්නා ඉස්සි ඉස්සී බලන්නටත් සතුටින් ශබ්ද කිරීමටත් පටන්ගෙන තිබුණි. “කෝ.. කෝ.. කට්ටිය සද්ද කරන්නෙපා, සද්ද කලොත් මේ අයියලා තෑගි ටික අරන් යයි දෙන්නෙම නැතුවම” ලෙස විදුහල්පති තුමා ලමුන්ට කියන විට ඔබ විශ්වාස නොකරන තරමට ඒ පාසල් භූමියම නිශ්ශබ්ද වුනේ අවට හමන සුලං හඩ සහා විටින් විට ඇහෙන කුරුලු කිචි බිචිය පමණක් ඉතුරු කරමිනි. ඒ පුංචි පොත, පැන්සල සහ මකන කෑල්ල ඔවුන්ට කොතරම් වැදගත්ද යන බවත්, ඔවුන් කොතරම් ඒවාට ඇලුම් කරනවාද යන්නත් අප හදවත්වලට අවබෝධවන්නට එයම ප්‍රමාණවත් වුනි.
පලමුවෙනි නම ශාලාව පුරාවට අහෙන්න අමතන විටදී සියල්ලෝම සෙවිල්ලෙන් වටපිට බලන්නට වූහ, ශාලාවේ පිටුපසින් අම්මගේ තුරුලෙන් ගිලිහෙන ඇය ලැජ්ජාවෙන් පලවෙනි අඩි දෙක තුන තබා ඉතුරු පියවරයන් තිබුනාදැයි සැක සහිතව ඉගිල්ලෙමින් ඉදිරියට අදෙන්නේ නැවුම් පොත්වල සුවඳ ඉක්මනින් තමන්ටම විඳගැනීමට හදවතේ ඇති ආශාව නිසා බව අපට තේරුම් කරමිණි. කුඩා වේදිකාවට නැගීමට උස මදි නිසාවෙන් පුංචි පුටුවකට නැග ගුරු දෙගුරුන්ගේ ආධාරය මත, දිලිසෙන ඇස් වලින් දෑත් දිගුකරම ඉදිරියට පැමිනි ඇය පොත්පත් තුරුල් කරගන්නේ අපගේ දෑස් තුලින් වැටෙන කදුලු බිඳු විමලවංශ විද්‍යාලයේ වේලුණු පොලොවම තෙත් කරද්දීය. දණගසා ආශිර්වාද ලබාගත් ඇය පොත් පත් සහා උපකරණ කට්ට්ලය තුරුලු කරගන්නේ තමන් බලාසිටි උපන්දින තෑග්ග ලැබුණු දරුවකු සතුටු වන ආකාරයටය, පුංචි අත්වලින් අල්ලාගැනීම හැකි උපරිමය අල්ලාගත් ඇයගේ දෑත් මත නැවත පාසල් බෑගය තැබීමට ඉඩක් කෙසේත් නොවීය. නමුදු තමන්ගේ හිසටත් වඩා උස තෑගි මල්ල තුරුලු කරන් ඇය හැරෙන්නේ පංතියේ ඈත කෙලවර මුල්ලෙහි පරණ ලේන්සුවකින් කඳුලු පිස දමන තමන්ගේ අම්මා දෙසටය. මිටින් හල කුරුල්ලෙකු මෙන් දිව යෑමට සැරසෙන ඇයව ගුරුදෙගුරුන් නැවතත් අඩියක් වෙනුවට තැබුණු පුංචි පුටුවෙන් අහසින් පොලොව මතට පත් කරනු ලබයි. ඇසිපිය සලන මොහොතෙන් අම්මා වෙත එක පිම්මට පැන තුරුලු වීමටත් හිතේ ඇතිවුණු සතුට, කඳුලු ලෙස පිට කීරීමටත් දෙදෙනාට කාලය ලබාදී අපි දෙවැනි නම කියවූයෙමු,
එවන් සුන්දර හුරුබුහුටි සිදුවීම් 54 කට පසුව පාසලට අවශ්‍ය උපකරණ කට්ට්ල ප්‍රමාණ ලබාදී වැඩසටහනෙහි නිමාවට අපි ආවෙමු. පැමිණි සැවොම ඔබ සියලු දෙනාටම පිං ලබා දුන්නෝය. උක් වගාව සහ කුලී වැඩ වලින් දිවි ගෙවන ඔවුන් දින ගණනක් සිට තම තම දරුවන් දිහා බලා රාත්‍රියේ නොනිදා කල්පනා කරන ප්‍රශ්නයට අස්වැසිල්ලක් වු ඔබ සැමට සැවොම ස්තූති කලෝය, බොහෝ අය වචනයෙන් කිසිවක් නොකියා අපේ අත් අල්ලා දිලිසෙන දෑස් තුලින් අපව වැලඳගත් විට නොකියන බොහෝ දේවල් හදවතින් අපට දැනුණි. ග්‍රාමීය සංග්‍රහයකට සහභාගී වීමටද අවස්තාව ලැබුණු අපි පාසල් භූමියෙන් පිටතට ආවේ වෙනදා ලෙසම සතුටද සංවේගයද අතර දෝලනය වෙමිනි, එන්නට කලින් ආපසු හැරී බැලුනු මට තවමත් දකින්නට ලැබුණේ සිංහ ධජය අහසේ ඉහලම තැනින් තවමත් ලෙලදෙන බවය. ඒ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතු බවය, ඒ ඔබේ ආශිර්වාදයය, එය තවමත් මුවංගල විද්‍යාලයට ඉහලින් ඉහල අහසේ ලෙලදෙමින් තිබුණි.
2017 අවසන් මාසයේ අවසන් දවසේ හෑන්ඩ්ස් ඉන් සර්විස් අපි "අපිට පොතක් 2017" ව්‍යාපෘතිය සාර්තකව, ඉතාමත්ම සාර්තකව නිමාකර අලුත් අවුරුද්දට පෙර නිවෙස් වෙත පැමිණීමට අප අම්පාර ප්‍රදේශයෙන් පිටවුණි. ඉතා වෙහෙසකාරී සහා සුන්දර දවස් කිහිපයකට පසු නැවතත්, සෞන්දර්යාත්මක පරිසරයෙන් මිදී කොන්ක්‍රීට් වනාන්තරය වෙත අප පියමනින්නේ මල් වෙඩි සහ රතිඤ්ඤා හඬ මැද්දේ අවුරුදු උදාවට මිනිත්තු දෙක තුනකට කලින්ය. ගියවර අවුරුදු උදාවත් සමග මීමුරේ විද්‍යාලයේ අපිට පොතක් 2016 ව්‍යාපෘතිය කල අපි, මෙවර අවුරුදු උදාවත් සමග අම්පාර විමලවංශ විද්‍යාලයේ අපිට පොතක් 2017 සාර්තකව නිම කර නැවත නිවසට පැමිණුනි. මෙතෙක් ඔබට ගෙන හැර දැක්වූයේ මේ පින්තූර පිටුපස තිබුනාවූ ඔබේත් අපේත් ව්‍යායාමයයි. මෙම ව්‍යාපෘතියේ සාර්තකත්වයෙහිලා විශේශ ස්තූතිය පොත් කට්ටල බොහෝ ගනනක් අපට ලබා දුන් Hope is life ආයතනයටද, අම්පාර දිස්ත්‍රික් සර්වෝදය නියමුවානන් වූ අනුරුද්ද මහතා අතුලු සර්වෝදය ආයතනයටද, පුරා දවස් දෙකක් පුරා කිසිදු අතපසු වීමක් සිදු නොකරමින් හැතැප්ම සියගනනක් දුර අපව ඉතාමත් ආරක්ශාකාරීව රැගෙන ගිය අප සාමාජික Nuwan Sathyajith, තමන්ගේ අධ්‍යාපන කටයුතු පසෙකලා නිදි වර්ජිතව තම වගකීම් ඉතාමත් මැනවින් ඉටුකල ව්‍යාපෘති කලමණාකරු ඉසුරු සහ උප ව්‍යාපෘති කලමනාකරු ශශිනි ටද, හැඟීම් වලට පෙරලිය හැකි චයාරූප ලබාදුන් Kalhara Gunathunge සහ Dinuka Kannangaraසහ ව්‍යාපෘතියේ මුල සිට අවසානය දක්වා සියලුම වැඩකටයුතු වල මූලිකත්වය ගෙන කටයුතු කල, Nilmini Prarthana, Sajith Madushanka Gunathilaka අසේල සහ Hashan S. Wimalasiri, ගෙයින් ගෙට ගොස් සිදුකල දැනුවත් කිරීම ඔස්සේ ව්‍යාපෘතියට අවශ්‍ය අධාර සොයා දුන් Ow Nuwan Niroshan ටද පුදකල සිටින්නෙමු.
නැවත නැවතත් ස්තූති කලයුතුවන්නේ ඔබටය, ඔබගේ කැප කිරීම් වල අවසන් ප්‍රතිපලය ලෙස මෙම ව්‍යාපෘතිය ඉතා සාර්තකව නිමකිරීමට අපට හැකිවිය. එයට ස්තූතිය ප්‍රමාණවත් වන්නේ නැත, මන්ද මෙම ව්‍යාපෘතියේ අයිතිය සම්පූර්ණයෙන්ම මහා සමාජීය මෙහෙවරක් ඉටුකිරීමට දායක වූ ඔබ සතු වන නිසා වෙනි.
2018 වර්ශයේද අපිට පොතක් ව්‍යාපෘතිය ඔස්සේ තවත් දුශ්කර ප්‍රදේශයක අග හිග කම් මධ්‍යයේ අකුරු කරන දරුවන් සොයා යන ඉදිරි ගමනේදීද මේ ආකාරයෙන්ම අපගේ දෑත් සවිබලගන්වමින් ඔබ අප හා නිරතුරුව ශක්තිය වී රැදෙනු ඇතැයි අපේක්ශා කරන්නෙමු.
මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න කැමති පිරිසක් නිර්මාණය කිරීමට..!!
#TeamHIS