12/02/2026
( ඓතිහාසික පසුබිමේ සිට පාසල ආරම්භය දක්වා )
- ඓතිහාසික පසුබිම -
යුරෝපීය ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දුන්නේ පන්සල, පිරිවෙන හෝ කුලය තුලිනි. නූතන පාසල යටත් විජිත පාලනයෙන් අපට උරුම වූවකි. වර්තමාන ස්වරූපයෙන් වූ පාසල දේශීයව විකාශනය වූවක් නොව පිටරටින් ආනයනය කරන ලද්දකි. යටත් විජිත පාලනය තුල රාජ්‍ය වරප්‍රසාද නොලැබීමත්, මිෂනාරි පල්ලිවලින් දේශීය ආගම්වලට විරුද්ධව ගෙනගිය ව්‍යාපාර නිසාත්, මිෂනාරි පාසල්වල අධ්‍යාපනය ලැබූවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසාත් බෞද්ධාගමේ පරිහානියක් සිදුවිය. පසුකලෙක පානදුරාවාදය ඇතුළු පංච මහා වාදයන්ගෙන් පන්නරය ලැබූ බෞද්ධයන් 1874දී කොළඹ විද්‍යෝදය පිරිවෙනත්, 1875දී කැළණිය විද්‍යාලංකාර පිරිවෙනත් පිහිටුවමින් බෞද්ධාගමේ පුනර්ජීවයකට මං පෑදවීය.
මෙකල ඇමරිකාවෙන් පැමිණි කර්නල් ඕල්කට්තුමා ඇතුළු පරම විඥානාර්ථවාදීන්ගේ නායකත්වය ඇතිව ශ්‍රීලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර ක්‍රියාත්මක විය. 20වන සියවසේ ආරම්භයත් සමග එම ව්‍යාපාරවල නායකත්වය ගත්තේ අනගාරික ධර්මපාලතුමා හා වලිසිංහ හරිස්චන්ද්‍ර වැන්නවුන්ය. ධර්මපාලතුමා ඉංදියාවේ බෞද්ධාගමික පුනර්ජීවනයට අදාල කටයුතු මෙහෙයවීම සදහා ඉංදියාවට ගියේය. එකල බෞද්ධ පුනර්ජීවන කටයුතුවලට උරදුන් ජාතික නායකයෙකු වූයේ ශ්‍රීමත් සිරිල්ද සොයිසා මැතිතුමාය. මෙතුමා සභාපතිත්වය දැරූ කළුතර බෞද්ධ සමිතිය විසින් කළුතර නාගොඩ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට උත්සහ දරන ලදී.
1940 ඔක්තෝබර් මස 29 වැනි දින “කළුතර නාගොඩ යෝජිත නව බෞද්ධ විද්‍යාලය“ යන ශීර්ෂයෙන් යුතුව කළුතර බෞද්ධ සමිතිය විසින් කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂකට යැවූ ලිපියේ මෙසේ සදහන් වේ. “කළුතර කටුකුරුන්ද හංදියේ සිට සැතපුම් 1/8ක් දුරින් මතුගම තෙබුවන පාරේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් සහිත අක්කර 11කින් යුත් ඉඩමක් යෝජිත පාසල ඉදිකිරීම සදහා වටිනාකමින් 1/3ක මුදලකට එනම් රු. 50 000කට වර්තමාන අයිතිකරුගෙන් මිලදී ගෙන ඇති බවත්, එහි පංති කාමර 40කට ඉඩකඩ සැලසිය හැකි බවත්, මිශ්‍ර ඉංග්‍රීසි පාසලක් ආරම්භ කිරීම අරමුණ බවත්, නේවාසිකාගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී බාලක හා බාලිකා වශයෙන් පාසල් දෙකක් බිහිකිරීම අරමුණ බවත්, කෘෂිකර්මය හා ගෙවතු වගා කර්මාන්ත සදහා වෙනවෙනම අංශ බිහිකිරීමට බලාපොරොත්තු වන බවත්“ එම ලිපියේ සදහන් වේ.
මෙකල දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුනු බැවින් 1940 නොවැම්බර් 01 වනදා කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂක උක්ත ලිපියට පිලිතුරු සපයමින් කියාසිටියේ “වර්තමාන යුධ තත්වය හේතුකොට ගෙන රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලක් ලියාපදිංචි කල නොහැකි බවයි“. කළුතර බෞද්ධ සමිතිය විසින් 1941ට පෙර පාසල පටන් ගත යුතු බවට කරන ලද ඉල්ලීමක ප්‍රථිඵලයක් වශයෙන් කළුතර පාසල් පරීක්ෂක මේ පිළිබදව වාර්ථාවක් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ උක්ත භූමිය අක්කර 11ක් බවත්, වර්තමාන අයිතිකරු ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා බවත්, ගොඩනැගිල්ලේ කාමර 24ක්ද, කොරිඩෝ ආදී කොටස් 17ක්ද, වර්ග අඩි 3750ක් ඇති බවත්, ගොඩනැගිල්ල සිසුන් 289කට ප්‍රමාණවත් බවත්, යෝජිත පාසල මිශ්‍ර ජ්‍යෙෂ්ඨ ද්විතියික ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් බවත්, ලමුන් 150කට ප්‍රමාණවත් ලී බඩු සාදා තිබෙන බවත් එහි සදහන් වේ. ඒ අනුව පාසල ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී.
- පාසල ආරම්භය -
පලමුවෙන්ම පාසල ආරම්භ කිරීමට ලී බඩුත්, ක්‍රිකට් ක්‍රීඩාංගනයකුත්, පාපන්දු ක්‍රීඩාංගනයකුත්, බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියකුත්, අත් පන්දු හා දැල් පන්දු සදහා වෙනවෙනම ස්ථාන වෙන් කරන ලදී. කළුතර විද්‍යාලය කළුතර යන නමින් 1941 ජනවාරි මස 06 වන දින කළුතර විද්‍යාලයේ විස්තර සහිත නිර්දේශ පත්‍රයක් හෙවත් ප්‍රකාශ පත්‍රයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශ පත්‍රෙයහි වයස අවුරුදු 4ට වැඩි ගැහැනු ලමුන්ට හා පිරිමි ලමුන්ට ඇතුලත් විය හැකි බවත්, ගාස්තු අයකරන ආකාරයත්, උගන්වනු ලබන විෂයනුත්, ආචාර්ය මණ්ඩලයත්, කළමණාකරණ මණ්ඩලයත් සදහන් වේ.
1941 ජනවාරි 06 වැනි දින පලමුවෙන්ම පාසලට ලමුන් ඇතුලත් කරගන්නා ලදී. ඒ අනුව පාසලට ඇතුලත් කිරීමේ අංක 01 ඩී.ඩී පෙරේරා, අංක 02 ඩී.ඒ ලාලසේන හා අංක 03 ඩී.ඒ.ඩී ධර්මාවතී යන සිසු සිසුවියන් විය. පලමු දිනයේදී ලමුන් 41ක් ඇතුලත් කරන ලදී. ජනවාරි 08 වනදා එක් අයෙකුද, 09 වනදා එක් අයෙකුද, 10 වනදා දස දෙනෙකුද, 11 වනදා තුන් දෙනෙකුද ලෙසින් ලමුන් 56 දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලය 11 දෙනෙකුගෙන් යුතුව 1941 ජනවාරි මස 13වන සදුදා දින පාසල ආරම්භ කරමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී.
කළුතර විද්‍යාලයේ මුල්ම ලොග් සටහනේ මෙසේ දැක්වේ.
“1941 ජනවාරි මස 13වන සදුදා දිනයේ එනම් අද දිනයේ උදෑසන 8.00ට සිසු සිසුවියන් 56 දෙනෙකු සමග පිරිමි ගුරුවරු 07 දෙනෙකු හා ගැහැනු ගුරුවරියන් 04 දෙනෙකු සහිතව ආචාර්ය මණ්ඩලය 11කින් යුක්තව පාසල ආරම්භ කලා“