12/10/2024
කුණු මාළු + සංචාරක ව්යාපාරය සහ දේශය+පාළනය !
කිරිබතුයි සෝසුයි ගැලපෙන්නෑවගේ කියලා හිතුවට හරි හමන් දේශය+පාළනයක් නැතුව සංචාරක ව්යාපාරය හරියට දුවවන්න බෑ. හිපියෝ, එදාවේල ටුවර්ස් , බැක්පැකර්ස්ම නෙවෙයි සංචාරක වියාපාරය කියන්නේ. ඒක නොතේරෙන දේශපාලුවොන්ට , අඩුමගානේ අපේ රටේ තියෙන tourists hotspots ටිකවත් standard එකකට ගේන්න බැරි හැටි දැක්කම දුකයි.
මේ වහින දවස් ටිකේ ඔය සංචාරක ප්‍රදේශ කියලා වෙන්කරලා දියුණුකරන්න දතකන තැන්වල ටිකක් ඇවිදලා බලන්නකෝ. මුහුදට තියෙන්නේ, අඩි 20ක දුරක් උනත්, පයින් පාරේ අයිනෙවත් යන්න බැරිවෙන්න ප්‍රධාන මාර්ගය වතුරෙන් පිරිලා. සුද්දො සුද්දියො වගේම අපේ රටේ මිනිස්සුත්, පයින් යනවනම් ඇදිවතවල් උස්සගෙන තමයි යන්න තියෙන්නේ. එහෙම නැත්නම් වාහනයක් යද්දි හොදට නාගන්නත් පුළුවන්. ඒ තියෙන පොඩි පොඩි කඩවලට, හෝටල්වලට , රෙස්ටුරන්ට් වලට කොච්චර ප්‍රශ්නයක් තියෙනවද කියලා කතාකරල බලන්නකො. ඇයි මේ ප්‍රාදේශීය දේශපාළුවොන්ට බැරි තමුන්ගෙ බළ ප්‍රදේශයේ හැමදාම තියෙන ප්‍රශ්නෙට පොඩි හරි විසදුමක් දෙන්න.
හික්කඩුව, මිරිස්ස, අහංගම, වාද්දුව, ඉදුරුව මම නිතර දකින තැන් නිසා, මම දන්නවා ගාලු පාරේ අඩියක් විතර වතුරින් යටවෙන තැන් සහ ඒ පිහිටීමෙ ඉදන් මුහුදට තියෙන ආසන්න දුරත්. ඉතින්, නාගරික සංවර්ධන අධිකාරියවත්, ඒ ඒ නගර සභා, ප්‍රාදේශීය සභාවත් මේ දන්න කියන මෑත ඉතිහාසයේ කවදාවත් ඒවට විසදුම් දීලා නෑ. ඇත්තම කිව්වොත්, ඒ ප්‍රශ්නෙට බොහොම සාර්ථක සරළ විසදුම් තියෙනවා.
ඒ වගේම තමයි, ඔය සංචාරක වියාපාරය පැතිරිලා තියෙන පැතිවල මුහුදු තීරයට ගලාගෙන ගිහින් වැටෙන්න තියෙන බොහොමයක් ඇළ මාර්ග , ඒ ඒ කණ්ඩායම් විසින්ම අහුරගෙනයි ඉන්නේ බොහෝමයක් කාලයක ඉදන්. ඒකට හේතු කාරණා නැතුවමත් නෙවෙයි. ඒත් කෙසේ වෙතත්, මෙන්න මේ වගේ වැහිකාලවලදි ආයෙත් ඒ ඇළ මාර්ගවලට මුහුදට ගලාගෙන යන්න අවස්ථාව හම්බවෙනවා, පහත්බිම් යටවෙන නිසා.
ඒ වගේ වෙලාවකදි කවදාවත්ම , ඒ වගකියන ආයතනයකින් , ඒ හිරවෙලා තිබුණු වතුරත් එක්ක ගලාගෙන එන කුණු අපද්‍රව්‍ය මුහුදට ගහගෙන යන එක නතරකරන්න කිසිම දෙයක් කරනවා මේ වෙනකම්ම දැකලා නැහැ. ඉතින්, ඒ ගලාගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් , සිලිසිලි කවර, ටින් ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය කෙලින්ම ගිහින් නතර වෙන්නේ, මාළුන්ගෙ බඩේ, එහෙම නැත්නම් කොරල් පරවල, එහෙමත් නැත්නම් ආපසු ගහගෙන ඇවිත් වෙරළතීරයේ. ඔය උඩ පින්තූරයේ තියෙන්නෙත්, ඒ ක්‍රියාවලියෙ ප්‍රතිවිපාකයක්.
අඩුම ගණනේ, මුහුදට ගලාගෙන යන පොඩි පොඩි ඇළ පාරවල්වලටවත් සුදුසුලෙස නිර්මාණයකරපු පෙරණ (strainers) ස්ථාපිත කරන්න , ඉස්සරහට එන්න ඉන්න පාළකයොන්ටවත් මොලේ පෑදේවා. හපෝ ඕවා කරන්නේ කොහොමද, ගගක් හරහට එක එක ඒවා හයිකරලා කුණු නවත්වන්නේ කොහොමද , මූ මේ පිස්සු කියවනවා කියලා හිතන්නැතුව, ලෝකේ එහෙම කරලා තියෙන දේවල් ගැන හොයලා බලන්න.
නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න.
අපේ රට මීට වඩා ගොඩාක් ලස්සනට තියාගන්න පුළුවන් තැනක්. හැබැයි ඒකට, තැන තැන කුණු විසිකරන මිනිස්සුන්ගෙ ඉදන්, දේශය ගැන කිසිම ආදරයක් , හැගීමක් නැතුව දේශපාළනේ කරන දේශපාලකයා වෙනකම්ම , හැදෙන්න ඕන. එහෙම නැත්නම්, හික්කඩුවේ කොරල් ගාර්ඩන්ස් එක (චායා ට්‍රාන්ස් හෝටලය) ලග ඉන්න රෝසි ඇතුළු කැස්බෑ පරපුර වගේම මුහුදු මාලුන්ගේ උනත් බඩවල් ඇතුලේ කිලෝ ගණනින් පිරිච්ච පොලිතින් දකින්න තියේවි ලගදි දවසක.
, , , ,