20/01/2023
සුපුරුදු පරිදි සිය සේවා ස්ථානයට යාමට බසයට නැගුනු මිනිසෙක්, එහි අසුන්ගත් අතර ඊලඟ නැවතුමෙන් බසයට නැගුනු වයස්ගත කාන්තාවක් ජනේලයක් අසල අසුනක වාඩි විය.
විටින් විට තම බෑගය විවෘත කර එයට අත දමන ඉහත කාන්තාව බෑගයෙන් ගත් යමක් බසයේ ජනේලෙන් පිටතට විසිකරමින් ගමන් කරයි.
මෙයට පෙරද ඇය බසයේ දුටු හැම විටෙකම මෙම ක්‍රියාවේ යෙදෙමින් ගමන්කලබව සිහිපත් වූයෙන් ඒ පිලිබඳ කුතුහලයක් සේවයට යමින් සිටි පුද්ගලයාතුල ඇතිවූයෙන්, හෙතෙම ඉහත කාන්තාව සිටි අසුනට පසුපස අසුනට පැමින ඇගෙන් මෙසේ විමසීය.
" ආච්චි අම්මේ, මොනවද ඔය හැමදාමත් ජනේලයෙන් එලියට විසිකරකන්නේ ?"
"ඇට"
වයස්ගත කාන්තාව හැරී නොබලාම පිලිතුරු දුන්නාය.
"ඇට කියන්නේ, මොන ඇටද"
මිනිසා තවදුරටත් ප්‍රශ්න කලේය.
"මල් ඇට,
මම ඔහේ බලාගෙන යනවා, ඒත් හැමතැනම හරිම හිස් .....
මම හිතනවා, හැම තැනම මල් දකිමින් ගමනක් යන්ඩ තිබුනනං හොදයි කියලා....
එහෙම හොද නැද්ද ?"
කාන්තාව දිගටම තම කාර්ය කරගෙන යමින් පිලිතුරු දුන්නාය.
මිනිසා නැවතත්,
"ඒත් ආච්චියේ, ඕව වැටෙන්නෙ තාර පාරටනේ.
කාර්වල රෝදවලට අහුවෙලා පොඩිවෙලා යනවා. කුරුල්ලො අහුලගෙන කනවා. ඕව පාර අයිනට ගිහින් පැලවෙයි කියල ඔබ විස්වාස කරනවද ?"
"ඔව්"
ඇයගේ ස්වරය ස්ථිර විය.
"සමහරක් එහෙම වෙයි, ඒත් සමහරක් අයිනට යාවි. ඒවට වතුර අවශ්‍යයි, ඒව හැදෙන්ඩ කාලයක් යාවි.
නමුත් මට හැකිදේ මම කරනවා.
වැහි කාලය ඉක්මනින් පැමිනේවි. එතකොට ඒව හැදේවි."
වයස්ගත කාන්තාව තමාගේ කාර්ය දිගටම කරගෙන ගියාය.
සිය සේවා ස්ථානය ආසන්නයට පැමින සිටි මිනිසා,
"වයසට යනකොට ඔහොම තමා, ඇයට ටිකක් විතර පිස්සු"
යැයි සිතමින් බසයෙන් බැස ගියේය.
මාස කිහිපයකට පසු තවත් දිනෙක සේවය සඳහා යමින් සිටි එම පුද්ගලයා බසයේ කවුලුවෙන් පිටත යම් වෙනසක් දුටු අතර, පාර දෙපසම වූයේ වර්නවත් මලින් ගැවසුනු භූ දර්ශනයකි. ඔහුට වයස්ගත කාන්තාව සිහිවූ නමුත් දින ගනනකින් ඔහු ඇයව දැක නොතිබුනි.
රියදුරා අසලට ගිය හෙතෙම,
"කෝ අර මල් ඇට විසිකරමින් යන වයසක නෝනා ?"
"ආ එයා මැරුනා, දැන් මාසයක් විතර වෙනවා"
රියදුරාගේ පිලිතුර විය.
මිනිසා නැවත සිය අසුනට ගියේය.
- මල් ඇට පැලවී ඇත, නමුත් ඔබට ඔබේ ක්‍රියාවේ ප්‍රථිපල නැරඹිය නොහැකි නම්, ඔබේ කාර්‍යයෙන් ඔබට ඇති ප්‍රථිපලය කුමක්ද ? -
භූ දර්ශනය වෙත නෙත් රඳවාගත් මිනිසා මෙබදු සිතිවිලි දාමයක පැටලී සිටියි.
එක් වරම ඔහුට ඇසුනේ දරුවෙකුගේ සිනහවකි. කුඩා ගැහැනු දරුවෙක් උද්යෝගයෙන් ඒවා පෙන්වයි.
"බලන්න අම්මේ! බලන්න කොයි තරම් මල්ද.... පාර දිගටම ...."
මහළු කාන්තාව ඇගේ කාර්ය ඉටුකොට ඇති අතර ඇගේ උරුමය ලැබියහැකි සියල්ලන්ටම, එය දැක සතුටුවියහැකි සියල්ලන්ටම භාරදී ඇත.
අර මනුස්සයත් පහුවදා ඉදන් වැඩට යනකොට ජනේලයෙන් එලියට විසිකරන්ඩ ඇට මල්ලක් අරන් යන්ඩ පටන් ගත්තා.
තවත් කාලයක් යනකොට ගමනක් යද්දි ඇට මල්ලකුත් සූදානම් කරන චාරිත්‍රයක් ඒ රටේ මිනිස්සු අතර ඇතිවුනා. දැන් ඒක සියලු මං මාවත් මලින් ගැවසුන ඉතාම අලංකාර රටක්.
>
Organizaeion Scouts Latinos A. C. පිටුවෙන් ගෙන ස්පාඤ්ඤ බසින් සිංහලට නගන ලදී.