Buddhist.LK

Buddhist.LK Simple life is beautiful....

🌼🌸 අෂ්ටාංග උපෝසථ සීලය මෙනෙහි කරන ක්‍රමය සහ සිල් රැකීමේ අනුසස් 🌸🌼🌻 අෂ්ටාංග සීලය නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව ...
31/03/2026

🌼🌸 අෂ්ටාංග උපෝසථ සීලය මෙනෙහි කරන ක්‍රමය සහ සිල් රැකීමේ අනුසස් 🌸🌼

🌻 අෂ්ටාංග සීලය

නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව මතු දැක්වෙන සික පද අට කියා අෂ්ටාංගශීලය සමාදන් විය යුතුය.

1.පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2.අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3.අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
4.මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
5.සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
6.විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
7.නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
8.උච්චාසයනමහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සිකපදවල තේරුම :

1.ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
2.හිමියන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
3.අබ්‍ර‍හ්මචරියා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
4.බොරු කීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
5.මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
6.නො කල්හි අහර වැළඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
7.බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, මල් ගඳ විලවුන් දැරීමෙන් ද, ඒවායින් සිරුරේ අඩු තැන් පිරවීමෙන් ද, සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
8.උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එත
රට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.

උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් ය. මෙ කල උච්චාසයන භාවිතයක් දක්නට නැත. මහාසයන යනු බොහෝ සුව ගෙන දෙන්නා වූ ආසනයෝ ය. මහා සයනයට අයත් වන අසුන් බොහෝ ගණනක් විනයෙහි දක්වා තිබේ. ඒවායින් බොහෝ වක් මෙකල භාවිත කරන අසුන් නො වේ.

🏵️ ශීලය මෙනෙහි කරන ක්‍ර‍මය

1.රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

2.රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

3.රහතන් වහන්සේලා දිවි හිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

4.රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනදී ම සත්‍යය පාවිච්චි කරමින් අවංක ව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

5.රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මම ද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

6.රහතන් වහන්සේලා දිවි හිමියෙන් නො කල්හි අහර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහු ය. මම ද අද නො කල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

7.රහතන් වහන්සේලා දිවි හිමියෙන් කුශල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන් ද කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන ද මල් පැළඳීමෙන් ද සුවඳවලින් හා විලවුන්වලින් ශරීරය සුවඳ කිරීමෙන් ද වර්ණවත් කිරීමෙන් ද අඩු තැන් පුරවා සැරසීමෙන් ද වැළකී සිටින්නාහු ය. මම ද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

8.රහතන් වහන්සේලා දිවි හිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මම ද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

මෙසේ සික පදයක් පාසා මෙනෙහි කරනු. මෙසේ මෙනෙහි කිරීමෙන් ශීලමය කුශල රාශියක් සිදුවේ.

🌼 සිල් රැකීමේ අනුසස්

“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්‍යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි බ්‍රාහ්මණ පරිසං වා යදි ගහපති පරිසං වා යදි සමණ පරිසං වා විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, අයං තතියෝ ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආනිසංසො සීලවතො සීල සම්පදාය, පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං භික්ඛවෙ පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය.”

මෙයින් ශීලයෙන් ලැබෙන අනුසස් පසක් ප්‍ර‍කාශිත ය. මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව ය, යහපත් කීර්තියක් ඇති වන බව ය. ඕනෑම පිරිසකට නිර්භීත ව යා හැකි බව ය, නො මුළා වී කාල ක්‍රියා කරන බව ය, මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව ය යන මේ පස එයින් ප්‍ර‍කාශිත ශීලානිසංසයෝ ය.

"සාසනෙ කුල පුත්තානං - පතිට්ඨා නත්ථි යං විනා

ආනිසංස පරිච්ඡේදං - තස්ස සීලස්ස කො වදෙ."

මේ ශාසනයෙහි කුල පුත්‍ර‍යනට ශීලය හැර අන් පිහිටෙක් නැත. ඒ ශීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේ ය යනු මෙහි අදහස ය. ශීලයෙන් කිය නොහෙන තරමේ අනුසසක් ලැබෙන බව එයින් ප්‍ර‍කාශිත ය. කෙටියෙන් කියත හොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිය ම ශීලයෙන් ලැබෙන බව කිය යුතු ය.

බෞද්ධයාගේ අත්පොත
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි.

10/03/2026

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් පාද චාරිකාව..🙏

අද ආරම්භය ගල්ගමුව, උපතිස්සාරාම විහාරස්ථානයේ සිට

පෙ:ව: 11:00 දවල් දානය කැත්තපහුව වැව අසලදී

සවස පට්ඨාන ධර්ම සජ්ඣායනාව
දීගිතව සමිති ශාලාවේදී..

27/02/2026
12/02/2026

ඔබ දෙන දානය ප්‍රඥාව දියුණු කරගන්න මග යන කෙනෙකුට අනුග්‍රහයක්....

14/11/2025

■ ජාතිය(ඉපදීම) නිසා හටගන්නා වූ ජරාමරණාදි දුක් සත...■

ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාස සම්භවන්ති.

ජාතිප්‍ර‍ත්‍යයෙන් හටගන්නා වූ ජරාමරණාදි දුක් සත විභංග ප්‍ර‍කරණයේ දක්වා තිබෙන්නේ මෙසේය.

“තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං? අත්ථි ජරා, අත්ථි මරණං, තත්ථ කතමා ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේඛරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං වුව්චති මරණං, ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරා මරණං”

තේරුම :-

“එහි #ජාතිය නිසා වන්නා වූ ජරාමරණය කවරේද යත්? ජරාවක් ඇත, මරණයක් ඇත, එහි #ජරාව කවරේද යත්? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් ජරාවක් දිරන බවක් කඩතොලු බවක් පැසුණු බවක් සම රැලි වැටෙන බවක් ආයුෂයාගේ හානියක් ඉන්ද්‍රියයන් ගේ මේරීමක් වේ ද මෙය ජරාව ය යි කියනු ලැබේ. එහි #මරණය කවරේ ද යත්? ඒ ඒ සත්ත්වනිකායයෙන් යම් පහවීමක් පහවන බවක් බිඳීමක් අතුරුදහන්වීමක් මච්චුය යි කියන ලද මරණයක් මරහු ගේ ක්‍රියාවක් ස්කන්ධයා ගේ බිඳීමක් මළසිරුර තැබීමක් ජීවිතේන්ද්‍රියයා ගේ සිඳීමක් වේ ද මෙය මරණය ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය ජාතිය නිසා වන්නා වූ ජරාමරණය යි කියනු ලැබේ ය” යනු යි.

“තත්ථ කතමෝ සෝකෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිජ්ඣායනා දෝමනස්සං සෝකසල්ලං, අයං වුච්චති සෝකෝ.”

තේරුම :-

“එහි #ශෝකය කවරේ ද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ, එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක් ශෝක කරන ආකාරයක් ශෝක කරන බවක් අභ්‍යන්තරයෙහි ශෝකයක් චිත්තයා ගේ දැවෙන ආකාරයක් දුඃඛිත සිත් ඇති බවක් ශෝක නමැති හුලක් වේ ද, මෙය ශෝකය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමෝ පරිදේවෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්ං වාචා විප්පලාපො පලාපො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදේවෝ”

තේරුම :-

“එහි #පරිදේවය කෙසේද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහු ගේ මේ මගේ පුතා මගේ දූ ය යි කිය කියා හැඬීමක්, ගුණ කිය කියා හැඬීමක් මගේ පුතා මගේ පුතා ය යි කිය කියා අඬන ආකාරයක් ගුණ කිය කියා අඬන ආකාරයක්, මගේ පුතා මගේ දූ ය යි කියා අඬන බවක් ගුණ කිය කියා අඬන බවක්, කීමක් නිරර්ථක වචන කීමක් නැවත නැවත කීමක් නැවත නැවත කියන ආකාරයක් නැවත නැවත කියන බවක් වේ ද, මෙය පරිදේවය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමං දුක්ඛං? යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දුක්ඛං.”

තේරුම :-

“එහි #දුක්ඛය කවරේ ද යත්? යම් කායික වූ අමිහිරක් කායික වූ දුකක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා අමිහිරි වූ දුක් වූ වේදයිතයක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ වේදනාවක් වේ ද මෙය දුඃඛය” යි කියනු ලැබේ.

“තත්ථ කතමං දෝමනස්සං? යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං චෙතෝසම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දෝමනස්සං.”

තේරුම :-

“එහි #දෞර්මනස්‍ය කවරේ ද යත්? යම් සිතෙහි වූ නො මිහිරක් සිතෙහි වූ දුකක් සිතෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මෙය දෞර්මනස්‍යය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමෝ උපායාසෝ? ඤාතිව්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස සීලව්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්තාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.”

තේරුම :-

“එහි #උපායාසාය කවරේ ද යත්? ඤාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් පීඩිත වූවහු ගේ සිතෙහි වෙහෙසක් සිතෙහි බලවත් වෙහෙසක් වෙහෙසුණු සිත් ඇති බවක් බොහෝ වෙහෙසුණු සිත් ඇති බවක් වේ ද, මෙය උපායාසය” යි කියනු ලැබේය යනුයි.

කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි කොතැනක වුව ද ඉපදීමක් වුවහොත් උපන් සත්ත්වයාට ජරා මරණ දෙක ඒකාන්තයෙන් ඇති වන්නේය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන පස ඇතැම් සත්ත්වයෝ බහුල වශයෙන් ද ඇතැම් සත්ත්වයෝ අල්ප වශයෙන් ද ලබති. රූපාරූප ලෝකවල සත්ත්වයෝ ඒවා නො ලබති. ජරා මරණාදි සියල්ලම සෑම සත්ත්වයන් විසින් ම නො ලබතත් යමෙක් යමෙක් ලබත් නම් ඔවුන් ඒවා ලබනුයේ උපන් නිසාම ය. නූපන හොත් නො ලබති. එබැවින් ජාතිය නිසා ජරා මරණාදීහු වෙතැ යි කියනු ලැබේ.

නාමරූප ධර්මයන් ගේ හෙවත් සංස්කාර ධර්මයන් ගේ මෝරන පැසෙන දිරන ස්වභාවය ජරාව ය. තමා විසින් වැළඳ ගන්නා ලද අභ්‍යන්තරයට වැද ගන්නා ලද දෙය දවා දුබල කොට විනාශය කරා ගෙනයාම ගින්නේ ස්වභාවය ය. ජරාවේ ස්වභාවය ද එයම ය. ගලක් අහසට ගැසූ කල්හි එහි නැවතීමක් නො වෙත හොත් එය අහසෙහි ම යනු මිස නැවත කිසි කලෙක පොළොවට නො පැමිණේ. එය නැවත පොළොවට වැටෙනුයේ අහසෙහි නැවතීම සිදුවන නිසාය. ගල අහසට නැගෙන්නේ නවතින ස්වභාවයත් අරගෙනම ය. එබැවින් එය මඳක් ගොස් අහසේ නැවතී නැවතුණු තැන් පටන් බිමට බසින්නට පටන් ගනී. එමෙන් උපදනා වූ සංස්කාරය ඉපදීමේ වේගයෙන් ම පවතිත හොත් එය කිසිකලෙක භංගයට නො පැමිණේ. භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසා ය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසා ය. ජරාවෙන් ඉපදීමේ වේගය සිඳිනු ලැබූ කල්හි ඒ සංස්කාරය භංගයට හෙවත් අභාවයට පැමිණේ.

මෙසේ ගින්නක් මෙන් උපදින සංස්කාරය දුබල කොට විනාශ මුඛයට ගෙන යන බැවින් ජරාවට ජරාගින්නය යි කියනු ලැබේ. ජරාගින්න තමන් ගේ අභ්‍යන්තරයට පිවිසෙනු වළක්වාලිය හැකි ශක්තියක්, ජරාගින්නට තමන් වැළඳ ගන්නට නො හැකි වන ආනුභාවයක්, ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ කිසිම සංස්කාරයකට නැත. සකල සංස්කාරයෝම ජරාගින්නෙන් දැවී විනාශයට යෙති. ජරාවට නො පැමිණ බිඳෙන සංස්කාරයකුත් නැත. එසේ ම ජරාවට නො පැමිණ මියන සත්ත්වයෙක් ද නැත. මව්කුස තුළදී ම මිය යන සත්ත්වයා මිය යන්නේ ද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි. බිහි වූ සත්ත්වයාගේ මරණය ගැන කියනු ම කිම?

ජරාව ඇසට පෙනෙන දෙයක් නො වේ. ඇසට පෙනෙනුයේ සත්ත්ව සන්තානය ජරා ගින්නෙන් දවනු ලැබීම නිසා පහළ වූ ලකුණු පමණෙකි. දත් නැති බව, කෙස් ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය ඒ ලකුණු ය. ඒ ලකුණු ජරාව නොව ජරාවේ ඵලයෝ ය. ඒවා ජලස්කන්ධයක් ගලාගිය තැන දක්නට ලැබෙන්නා වූ ද, ලැව්ගින්නක් ඇවිළුණු තැනක දක්නට ලැබෙන්නා වූ ද, සැඩ සුළඟක් හමාගිය පෙදෙසක දක්නට ලැබෙන්නා වූ ද සලකුණු සේ දත යුතු ය.

ජරා ගින්නෙන් දවනු ලැබූ ලකුණු සෑම වස්තුවකම සෑම ශරීරයකම සම කාලයකින් පහළ වන්නේ නො වේ. ඒ ඒ වස්තුවල ශරීරවල ශක්තියේ සැටියට ලකුණු පහළවීමේ කාලය වෙනස් වේ. බුරුල් බිමක මිනිසුන් ගමන් කළහොත් මාර්ග සලකුණු ඉක්මනින් පෙනෙන්නට වේ. තද බිමක ගමන් කළහොත් සලකුණු පෙනෙන්නට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වේ. ගලක් උඩින් ගමන් කළහොත් මඟ සලකුණු පෙනෙන්නට ඉතා දීර්ඝ කාලයක් ගත වේ. එමෙන් දුබල වස්තු දුබල ශරීරවල ජරාවෙන් දැවුණු ලකුණු කෙටිකලෙකින් පෙනෙන්නට වේ. බලවත් වස්තුවල හා බලවත් පුද්ගලයන් ගේ ශරීරවල ඒ ලකුණු පෙනෙන්නට වැඩි කාලයක් ගත වේ. දිව්‍යබ්‍ර‍හ්මයන්ගේ ශරීරවල ජරාවෙන් දැවීම ඇත ද ලකුණු පහළ නො වේ.

සත්ත්වයා භවයෙහි පිළිසිඳ ගත් තැන පටන් ම සත්ත්වසන්තානයට ජරාගින්න වැද, එයින් සන්තානය වැළඳ ගෙන දවන්නට පටන් ගන්නේ ය. පිළිසිඳ ගැන්මෙහි පටන් ම ඒ සන්තානයට කර්ම - චිත්ත - සෘතු - ආහාර යන හේතූන්ගෙන් උපදනා අලුත් රූප එක් වීමෙන් එහි වැඩිවීමක් ද වේ. උපන් සත්ත්වයාගේ සන්තානය ජරාවෙන් දවා දුබල කිරීම මරණය කරා ගෙන යාම එක් කරුණෙකි. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා අභිනව රූප එක්වී වැඩීම අනෙක් කරුණෙකි. බාල කාලයේ දී සත්ත්වසන්තානයට බහුල වශයෙන් එකතු වන අභිනව රූපයන්ගෙන් පරණ රූප දිරා දුබලවීමේ ලකුණු වැසේ. එබැවින් බාලකාලයේ දී ජරාව ප්‍ර‍කට නො වේ. ශරීරය වැඩී සම්පූර්ණ වූ පසු අභිනව රූප පරම්පරාවන් එයට එක්වීම මඳ වේ. එකල්හි ජරා ලකුණු ප්‍ර‍කටව පෙනෙන්නට වන්නේ ය.

අභිනව රූප පරම්පරාව එක්වීමෙන් ශරීරයේ වැඩීමය, උපන් සැම සංස්කාරයක් ම ජරාවෙන් දවන බවය යන මේ දෙකරුණ දෙකරුණක් සැටියට - දෙමඟක් සැටියට තේරුම් ගත් කල්හි බාලකාලයේ පටන් ම ජරාවට පැමිණෙන බව හා ජරාවට නො පැමිණ නො මියන බව ද, තේරුම් ගත හැකි වනු ඇත. ජරාව ඇත්තේ රූප කයට පමණක්ම නො වේ. චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ට ද එය ඇත. එබැවින් ජරාව රූපී සත්ත්වයන්ට පමණක් නොව අරූපී සත්ත්වයන්ට ද ඇති බව දත යුතු ය.

ආයු පරිච්ඡේද ජරාව ය. සන්තති ජරාවය, ක්ෂණික ජරාවය යි ජරාව ත්‍රිවිධ වේ. සත්ත්වයන් ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. වියළි කොළයක් ගින්නට දැමුව හොත් සැණෙකින් අලු වේ. අමු කොළය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. වියළි ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි, අමු ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි. යකඩ කැබෙල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. තඹ කැබෙල්ල එයට ද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදි හේතූන්ගෙන් උපන්, උකුණු - මකුණු - මැසි - මදුරු ආදි ඇතැම් කුඩා සත්ත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබ සතියකින් මිය යෙති. මඳක් බලවත් වූ කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් ඔරොත්තු දෙති. දැවීම උසුලා සිටීමට සමත් වෙති. බලවත් කර්මාදි හේතූන් නිසා උපන් සත්ත්වයෝ බොහෝ කල් ජරා ගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙති. වැඩි කල් ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ සන්තාන ඇති සත්ත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහු ය.

උකුණු මකුණු ආදි දුබල කුඩා සතුන් ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නො විය හැකි පමණට ඒ සන්තානයන් ජරාගින්නෙන් සතියක් තුළදීම දවන නිසා ය. මතුවට ජීවත් නො විය හැකි පමණට සත්ත්වසන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කලාය ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂය ය. සත්ත්වයන් ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි. ජරාගින්නට අසුව මසකින් මතු ජීවත් විය නොහෙන පමණට ශරීරය දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ මසෙකි. ජරාගින්නට වර්ෂයකින් මතු ජීවත්වීමේ ශක්තිය නැති වන ලෙස දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍ර‍ණීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍ර‍හ්මයන් ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කලක් ගත වේ. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝ ය. මෙසේ ඒ ඒ සත්ත්ව ජාතීන් ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයුපරිච්ඡේද ජරාව ය.

එක් එක් සත්ත්ව ශරීරයක මරණය තෙක් නො ප වත්නා වූ වරින් වර චිත්ත - සෘතු - ආහාරයන්ගෙන් ඇති වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවෝ ද වෙති. අනේක හේතූන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවැතී සිඳී යන ආගන්තුක චිත්තපරම්පරාවෝ ද වෙති. ආහාරයක් නො ලද කල්හි ශරීරය දුබල ව පවතී. ආහාර නො ලැබූ තැනැත්තා ගේ හිසද ඔසවා කෙළින් තබා ගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙළින් තබා ගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත් පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල ව සිටින තැනැත්තා ගේ ශරීරයට ආහාරයක් වැටුණු පසු ඔහු ගේ අත් පාවලට නැවත පණ එන්නේ ය. ඔහු ගේ උගුර කට නැවත තෙත් වන්නේ ය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටසක් ඔහු ගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි.

ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝ ද ජරාවෙන් තොර වූවාහු නො වෙති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියළවන්නට දවන්නට දුබල කරන්නට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් පැය ගණනක් තුළ දී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහි ම සිඳී යෙති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යෙති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යෙති. පැය ගණනකින් පසු සත්ත්වයා නැවතත් දුබල බවට පත් වන්නේ එහෙයිනි. මෙසේ පහළ වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන් ගේ දිරීම සන්තතිජරාව ය. ඒවායේ සිඳී යාම සන්තතිමරණය යි. ශීතය උෂ්ණය ධාතු කෝපය නානාප්‍ර‍කාර සිතිවිලිය යන ආදියෙන් සත්ත්වසන්තානයෙහි මෙසේ නොයෙක් විට නානාවිධ රූපසන්තතීහු පහළ වී දිරා සිඳී යෙති. ඒ සියල්ලේ ම දිරීම සන්තතිජරාව ය. සිඳීම සන්තති මරණය ය.

සත්ත්වසන්තානයෙහි සමහර අවස්ථාවල දී යම් කිසි ඉෂ්ටාරම්මණයක ප්‍ර‍තිලාභයෙන් ප්‍රීති සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ශෝක සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී භයසහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ක්‍රෝධසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ඊර්‍ෂ්‍යාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ලෝභසහගත සිතිවිලි පරම්පරාවෝ ද, කරුණාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, මෛත්‍රීසහගත සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. තවත් නොයෙක් ආකාර සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. මම මෙතෙක් කල් ප්‍රීතියෙන් විසුවෙමි යි කියනුයේ ප්‍රීති සහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් ශෝකයෙන් සිටියෙමි ය යි කියනුයේ ශෝකසහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් බියෙන් සිටියෙමි ය, කෝපයෙන් සිටියෙමි ය යනාදිය කියනුයේ ද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැන ය.

ප්‍රීතිසහගත චිත්තපරම්පරාවක් ඇති වන්නට පටන් ගත් කල්හි පටන් ගැන්මේ සිට ම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේ ය. එයින් කල් යත් යත් ප්‍රීතිය මඳ වෙවී ගොස් අන්තිමට සම්පූර්ණයෙන් ම සිඳී යන්නේ ය. පළමුවෙන් ඉතා මිහිරි බවක් දැනෙන ලෙසට ඉතා බලවත් ලෙසට පටන් ගත් ප්‍රීතිය කෙමෙන් හීන වනුයේ මඳ වූවා සේ දැනෙනුයේ දිරීමෙන් එය දුබල වන බැවිනි. එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය සර්වාකාරයෙන් නැති වන්නේ ය. පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබලවීම සන්තතිජරාව ය. අන්තිමේ දී සර්වාකාර යෙන් ප්‍රීතිය සිඳී යාම සන්තති මරණය ය.

යම් කිසි කරුණක් නිසා උග්‍ර‍ කෝපයක් පහළ වූ කල්හි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මඳ වූවා සේ දැනෙනුයේ ඒ දුබල වීම නිසා ය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේ දී කෝපය නැති වී යයි. එකල්හි කෝපය සන්සිඳුණේ යයි කියනු ලැබේ. කෝපය සන්සිඳීමය යි කියනුයේ ක්‍රෝධ සහගත සිත් පරම්පරාවේ සන්තති මරණයට ය. කෙමෙන් සන්සිඳීම නම් සන්තති ජරාවය. මෙසේ චිත්ත පරම්පරාවන් ගේ සන්තති ජරා මර දෙක සලකා ගත යුතු ය.

එක් නාමරූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලය හෙවත් පවත්නා කාලය ඉතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාදය - ස්ථිතිය - භඞ්ගය යි තුනට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසි පිය හෙලන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් දිග නැත. පෙර නො තුබුණා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැඟීම, මතු වීම, පහළ වීම එක්තරා වේගයකි. උත්පාදය යි කියනුයේ ඒ වේගයට ය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටී. නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය යි කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමඟ ම එය බිඳ වැටේ. එයට භඞ්ගය යි කියනු ලැබේ.

ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන් ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ක්‍ෂණික ජරාව ය. එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ක්‍ෂණික මරණය යි. ක්ෂණික ජරා මරණ දෙක අභිධර්මය උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන මේ පස පටිච්චසමුප්පාදයේ අංග නො වන නිසා ද තේරුම් ගැනීමට අපහසු නො වන නිසා ද ඒවා ගැන විස්තරයක් නො කරනු ලැබේ.

මෙම ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවිද්‍යාවෙන් පටන් ගෙන තිබෙනුයේ අවිද්‍යාව අහේතුක ව ඇති වන්නක් නිසා හෝ අන් සැමට පළමුව ලෝකයෙහි එය ඇති වූ නිසා හෝ නො වන බව පෙර කියා ඇත. “ජාතිපච්චයා ජරාමරණං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති” යි ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවසන් කර තිබෙනුයේ ද ජරා මරණයෙන් මේ හේතු ඵල පරම්පරාව කෙළවර වී යන නිසා නො වේ. අවිද්‍යා තෘෂ්ණා ප්‍ර‍හාණයෙන් මේ චක්‍ර‍ය අර්හත්මාර්ගඥානය නමැති කඩුවෙන් සිඳින තුරු කාල නියමයක් නැති ව මේ හේතු ඵල පරම්පරාව ඉදිරියට නො සිඳී පවත්නේ ය. එසේ පවත්නා බව දැක්වීම පිණිස මෙහි පටන් ගැනීමේ දී දැක් වූ අවිද්‍යාව නැවතත් දැක්විය යුතු ය.

ඒ අවිද්‍යාව නැවත දේශනය නො කරනලදුයේ යම්කිසි කරුණක් නිසා ය. එනම් - ජරා - මරණ ශෝක පරිදේව-දුඃඛ - දෞර්මනස්‍ය - උපායාසයෝ ද මේ සංසාර චක්‍ර‍යට ඇතුළු කොට දැක්විය යුතු ම ය. මේ හේතුඵල පරම්පරාව පිළිබඳ සෙවිය යුත්තේ ද, මෙය දතයුත්තේ ද ජරා මරණාදි දුක් රැස ඇති නිසා ය. ජාතියට අනතුරු ව මේ ස්ථානයේ දී ජරා මරණාදිය නො දක්වා මුලට සම්බන්ධ කිරීමට “ජාතිපච්චයා අවිජ්ජා” යි අවිද්‍යාව දක්වත හොත් ජරාමරණාදිය දක්වන්නට තැනක් නො ලැබේ.

එබැවින් තථාගතයන් වහන්සේ වරක් වදාළ අවිද්‍යාව නැවත නො ගෙන “ජාතිපච්චයා ජරාමරණං” යි වදාළ සේක. ජරා මරණයන් වදාරා, ජරාමරණ පච්චයා අවිජ්ජා යි දේශනය කළත් යෙදෙන්නේ නො වේ. එබැවින් එසේ ද නොවදාළ සේක. ශෝක - පරිදේව දුඃඛ - දෞර්මනස්‍ය - උපායාසයෝ අවිද්‍යාවෙන් වෙන් නො වන අවිද්‍යාව හා බැඳී උපදනා ධර්‍මයෝ ය. එබැවින් ශෝකාදිය වදාළ කල්හි අවිද්‍යාව ද දැක්වූයේ වන්නේ ය. ජාතිය නිසා ඇති වන්නේ ජරාමරණාදි ධර්ම සත පමණක් ම නො වේ. සත්ත්වයකු ගේ ඉපදීමේ පටන් මරණය දක්වා කාලය තුළ සත්ත්ව සන්තානයෙහි යම් යම් ධර්ම කෙනෙක් ඇති වෙත් නම් ජාතිය ඒ සියල්ලටම හේතු වේ. නූපන්නා නම් ඒවා ඇති නො වන බැවිනි.

සත්ත්වයකු උපනහොත් ඔහුට ස්වසන්තානයට අයත් ස්කන්ධයන් නිසා ද, ඔහුගේ ඉන්ද්‍රියයන්ට හමු වන රූප ශබ්දාදි ආරම්මණයන් නිසා ද, අවිද්‍යාව ඒකාන්තයෙන් ඇති වන්නේ ය. එබැවින් දේශනා භේදය වන නිසා තථාගතයන් වහන්සේ විසින් නමින් ගෙන අවිද්‍යාව නො වදාළේ වී නමුත් මෙහි අවිද්‍යාව ද ගැනෙන බව දත යුතු ය. අවිද්‍යාව ඇති වූ කල්හි නැවතත් කර්ම රැස්කරන බැවින් කර්ම නිසා නැවත උපදින බැවින් මේ හේතුඵල පරම්පරාව නො සිඳී පවතින්නේ ය යි දත යුතු. එහි මුලක් ද නැත්තේ ය. ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය ජාති තුනකට සම්බන්ධව පවත්නා සැටි මේ සටහන බලා දත යුතුය.

පටිච්ච සමුප්පාදයේ භවත්‍රයේ සම්බන්ධය....

● අතීත භවය

අවිජ්ජාපච්චයා සංඛාරා

සංඛාර පච්චයා

● වර්තමාන භවය

- විඤ්ඤාණං

විඤ්ඤාණපච්චයා නාමරූපං

නාමරූප පච්චයා සලායතනං

සළායතනපච්චයා ඵස්සෝ

ඵස්සපච්චයා වේදනා

වේදනාපච්චයා තණ්හා

තණ්හාපච්චයා උපාදානං

උපාදානපච්චයා භවො

භවපච්චයා

● අනාගත භවය

- ජාති

ජාතිපච්චයා ජරා මරණං, සෝකපරිදේව

දුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති.

■ පටිච්ච සමුප්පාද විවරණය,■
අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ.

14/11/2025

සසර අඳුරට ඇද දමන කර්ම විපාක...

ස්වාමින් වහන්ස, සමාජයේ සමහර පිරිස් අධර්මයෙන් මුදල් උපයනවා. ධර්මයට පටහැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අරමුණු ඉටුකරන ගන්න උත්සාහ කරනවා. මෙවැනි අයට අත් විඳින්න සිදුවන ප්‍රතිවිපාක මොනවාද?

අපේ ජීවිතය ගලන ගඟක් වගේ. බොහෝ දෙනා ගලන ගඟේ ගසාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගසාගෙන යන ගඟේ උඬුගං බලා පිහිනන්න ක්ෂේම භූමියක් කරා යන්නට උත්සහ කරන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණක් බව.

සමහර අය ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට, ගැටළුවලට බාධක වලට මුහුණ දෙනවා. බාධක මතින් ජීවිත ගමන නවත්වනවා. දියුණුවට තිබෙන මංමාවත් ඇහිරී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඇරඹුවානම් ගමන යන්න. බලවත් ආරම්භය නො නවත්වා දිගටම කරගෙන යන්න. අපේක්ෂිත අභිමතාර්ථය ඉලක්කය කරා යන ලෙස උන්වහන්සේ අවවාද කරනවා. ඒ නිසා අදාළ කරන අපේක්ෂිත අරමුණු ජය ගන්න තුරුම උත්සාහය අඛණ්ඩව ගෙන යා යුතුමයි. මේ ජීවිතයේදී සමහර අය කෙටි මාර්ග වලින් තමන්ගේ ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න හදනවා. ධර්මයෙන් පිට පැන්න අඳුරු ජීවිත ලැබෙන්න හේතු වෙනවා. එවිට අඳුරු කර්ම, කළු කර්ම කර ගහගන්න වෙනවා. ඇසට රැවටුන නිසා ඇසෙන් වැරැදි කළා. කනට රැවටුන නිසා කනෙන් වැරැදි කළා. නාසයට රැවටුන නිසා නාසයෙන් වැරැදි කළා. දිවට රැවටුන නිසා දිවෙන් වැරැදි කළා. කයට රැවටුන නිසා කයෙන් වැරැදි කළා. මනසට රැවටුන නිසා මනසින් වැරැදි කළා. ඒ පිරිස දන්නේ නැහැ ධර්මයෙන් පිට පැන්න විට තිබෙන්නේ වැනසීමයි. එය බොහෝම ස්වල්ප වූ සැපයක් වුවත් වෙස් වළාගත් මහා දුකක් බව.

මේ සඳහා ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා මහ අඳුරක, ඝන රාත්‍රියක විදුලියක් කෙටුවොත් ඒ ආලෝකය තිබෙන්නේ අසුරු සැණක් පමණයි. පුංචි නිමේෂයක් පමණයි. ඒ වගේ මේ සංසාරයම අඳුරු කර ගන්න නරකයි. එවිට අපේ සිතේ ලෝභය වැඩෙනවා. ද්වේශය, මෝහය වර්ධනය වෙනවා. සසරම අඳුරු වෙන්නේ පුංචි සැපයක් නිසායි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මහා ඝන අඳුරක පැටලෙන්න පුංචි විදුලියකට රැවටෙන්න එපා කියා. ඒ නිසා ඔබ ස්වල්ප දෙයක් පතා මුළු සසරගත ජීවිතයම අඳුරට පෙරළා ගන්න එපා. පුංචි විදුලි ආලෝකයට ගිජුවෙලා මහ ඝනදුරක පැටලී ඔබේ ප්‍රශ්න ධර්මයෙන් පිට නොගොස් ධර්මය තුළින්ම ලිහාගෙන, සැනහෙන මාර්ගයට පැමිණෙන්න කියා අවවාද කරනවා.

දෙමාපියන්ට ගරු කිරීම, ආදරය කිරීම, ගෞරව කිරීම අපේ සමාජයේතිබෙන ගුණ ධර්මයක්. නමුත් යම් යම් අවස්ථාවල පුංචි පුංචි දේ තුළින් මව්පියන්ට තිබෙන ගෞරවය සැලකීම ඇතැම් අඩුවී යනවා. එකටෙක කියනවා. මේ වගේ කුඩා කුඩා දේ සාංසාරික අඳුරකට හේතු වෙනවාද?

අප කරන සෑම දෙයක්ම කුසල් වැඩෙන දේද? අකුසල් වැඩෙන දේද කියා මුලින්ම තෝරා බේරා ගන්න ඕන. ඒ පිළිබඳව සතිමත් වෙන්න ඕන. රාත්‍රි නින්දට යනවිට අපට පුළුවන්නම් අද දවස පුරාවටම මගේ අතින් වැඩිපුර සිදුකෙරුණේ කළු කර්මද? සුදු කර්මද? කියා විමසා බලනවා නම්, අනෙක් දවස සුළුවෙන් හෝ හොඳ වැඩකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා කළු කර්ම ශීලාචාර සමාජයකට පාර කියන්නේ නැහැ. පොඩි දේ පවා විපාක ගෙන දෙනවා. මේ සඳහා බුද්ධ කාලයේ සිදු වූ උපදේශක කතාවක් මෙසේ සඳහන් කරන්නම්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්තර නමින් තරුණයෙක් ජීවත් වුණා. ඔහු බුද්ධිමත් තරුණයෙක්. රජතුමාගේ ප්‍රධාන රාජ අනුශාසක වූ වස්සකාර ඇමැතියාගෙන් මේ තරුණයාට තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මේ තරුණයා ඒ විවාහයට අකැමතිව ගොස් පැවිදි වූවා. සාරිපුත්ත මහරහතන් වහන්සේයි ගුරුවරයා වුණේ. කාලයක් යද්දී මේ උත්තර සාමණේරයන් රෝගාතුර වුණා. ප්‍රතිකාර සඳහා ගිතෙල් අවශ්‍ය වුණා. උන්වහන්සේ ගිතෙල් ලබා ගැනීමේ අදහසින් එක ගමකට පිඬුසිඟා වැඩියා. ඒ ගමේදී උන්වහන්සේගේ ලෙඩේ උත්සන්න වූවා. වැව් බැම්මේ පාත්තරය තබා ශරීරයේ තිබූ දැවිල්ල දාහය නිවා ගැනීමට උන්වහන්සේගේ වැවට බැස්සා.

මේ අතර සොරු කණ්ඩායමක් පිටුපස්සේ ගමේ මිනිසුන් එළවාගෙන එමින් සිටියා. සොරුන් කළේ කුමක්ද? ඔවුන් ළඟ තිබු රත්තරන් බඩු සහ මුදල් වැව් බැම්මේ තිබූ පාත්තරයට දමා දිව ගියා. දුවගෙන ආ මිනිසුන් පාත්තරයේ තිබෙන රත්තරං දුටුවා. බැලුවා වැව දෙස. කෙනෙක් නානවා. සිතුවේ මේ සොරා කියායි. රජතුමා ළඟට ඇදගෙන ගියා. රජතුමාගේ ප්‍රධාන අනුශාසක අර වස්සකාර ඇමැතියායි. ඔහුට පෙර සිදුවීම සිහිපත් වුණා. රජතුමා වෙත ඉදිරිපත් කළේ එක දෙක කරමින් රජතුමා උල තබන්න නියෝග කළා. උල තිබ්බේ විශේෂ උලක. ඒ කොහොඹ උලක්. වහා දුකක් උරුම කරන මාරාන්ති ක උලක්. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ සමඟ උල උඩ සිටින සාමණේරයන් වහන්සේ වෙත වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා. උත්තර, ඔබ මේ ජීවිතයේ කිසිදු සොරකමක් කළේ නැහැ. කිසිම පාපයක් සිදුකරපු කෙනෙක් නොවේ. නමුත් ඔබ පෙර ජීවිතයක කරපු විපාකයක් මේ ගෙවන්නේ. ඔබගේ අම්මා අවවාදයක් සිදුකළ විට ඔබ කියා සිටියේ “මට අවවාද කරන්න එපා. මම දන්නවා කරන්න ඕන දේ. අම්මා උල තියන්න ඕන” කියායි. බැලූ බැල්මට එය විශාල අකුසලයක් නොවේ. කට වචනයකට කිව්වේ. ඒ පුංචි දේ භව ගණනාවක් සැඟ වී තිබුණේ අළු යට තිබෙන ගිනි පුපුරු වගේ.

ඒ වගේම තවත් ජීවිතකදී ඔබ සෙල්ලමට මෙන් ගසක සිටි මැස්සෙක් අල්ලාගෙන උල තබන්නේ මෙන්න මෙහෙමයි කියමින් කොහොඹ ගසක කීරක් අරගෙන මැස්සා උල තබා අනෙක් අයට පෙන්නුවා. එය ප්‍රාණඝාත පාපයක් වුණා. ඒ සාමණේරයන්ට ප්‍රබල පුණ්‍ය කර්ම තිබූ නිසාත් පව පිනෙන් වසන්න පුළුවන් නිසාත් භව ගණනාවක් ඒ කර්ම දෙක සැඟවි තිබුණා. අන්තිම භවයේදී “කටත්තා කර්ම”යක් ලෙස එය විපාක දීමට ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ උල උඩ සිටි භික්ෂුවට ධර්මය දේශනා කළා. කොහොඹ උල උඩම උන්වහන්සේ අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මගේ ශ්‍රාවකයන් අල්ප වූ පාප කර්මයක්වත් සිදු නොකළ යුතුයි කියා.

ඒනිසා ඔබත් තේරුම් ගන්න අම්මාට, තාත්තාට විහිළුවට හෝ වැරැදි වචන පාවිච්චි කරන්න එපා. ගරහන්න, උපහාස අපහාස කරන්න එපා. කයින් වැරැදි ආකාරයට ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්න එපා. ඒ විපාක පන්න පන්නා අප පසුපස ලුහුබඳිනවා. අපේ ජීවිතවලට අඳුර ගෙන එනවා. දරුවන් කේන්ති ගියාම කියනවා අම්ම තාත්තා මොනවද මට කළේ? අරයටනේ වැඩිපුර දුන්නේ? කියා. නමුත් අම්මා, තාත්තා අපට සුගති ලොවක් වූ මේ මනුස්ස ලෝකයට එන්න අවස්ථාව දීපු එක කෙතරම් දෙයක්ද? අතපය නොකඩා හදා වඩා ලේ කිරි කර පොවා අප උස්මහත් කළ දේට කළගුණ සලකා නිම කළ හැකිද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මහ බ්‍රහ්මයාට සමාන කළේ. ආනන්තරීය පාප කර්මයක මුලින්ම සිටින්නේ අම්මා සහ තාත්තා. ඉන්පසුවයි බුදුරජුන් සහ රහතන් වහන්සේට සිදුකරන කර්ම තිබෙන්නේ. ඒ නිසා ඔබත් මේ කෙරෙහි සිහිය නුවණ යොදා තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් සිදුවන සෑම කළු කර්මයක් දෙසම ප්‍රත්‍යවේක්ෂා කරමින් ටිකෙන් ටික එයින් ඈත්වී සංසාර දුකෙන් අත මිදෙන්න උත්දාහ වෙන්න.

පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර හිමි.

අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලව...
18/08/2024

අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලවියට පොහොය කොට නිකිණි පුන් පොහෝදා පසු වස් එළඹීම හා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවීම යනාදි ඉතා සුවිශේෂි කරුණු කාරණා කීපයක්ම නිකිණි පෝය දිනය මුල් කොට ගෙන සිදු විය.

බුදුරජාණන් වහන්සේ, ප‍්‍රථම රහතන් වහන්සේලා හැට නම අමතා ”චරථ භික්ඛවේ චාරිකං, බහු ජන හිතාය, බහු ජන සුඛාය,” යනාදි වශයෙන් බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, මුල, මැද, අග කලණ වු අර්ථ සහිත වු ව්‍යඤ්ජන සහිත වු, දහම දේශනා කරමින් ධර්ම චාරිකාවෙහි යෙදෙන ලෙස අනු දැන වදාළ සේක. මේ අනුව භික්ෂුන් වහන්සේලා වැසි සමයෙහි ද තැනින් තැන සැරිසරමින් ලෝක සත්වයාට සෙත සැලසුහ. එය දුටු අන්‍යාගමිකයෝ දොස් නැ`ගූහ. එම තත්වය හේතූ කොට ගෙන ඇසළ, නිකිණි, බිනර, වප් යන වස්සාන කාලය තුළ ”අනු ජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගංතුං,” යනුවෙන් භික්ෂුන් වහන්සේට වැසි කාලයේ එක් තැනක සිට වස් එළඹීමට නියම කොට වදාළ සේක. එම නියමය පරිදි පෙර වස් විසීම ඇසළ පෝයට පහුදින අවපෑලවියට ද, එදිනට කිසියම් හේතුවක් නිසා වස් සමාදන්වීමට නොහැකි වන භික්ෂුන් වහන්සේට නිකිණි පෝයෙන් අවපෑලවියට ද පසු වස් එළඹීමට ද නියම කොට වදාළ සේක.

මෙම බුද්ධ නියමය පරිදි, පෙර වස් එළඹීමට නොහැකි වු භික්ෂුන් වහන්සේ නිකිණි පෝයදා සීමාමාලකයක දී පොහොය කොට පසුදා අව පෑලවියට පසු වස් එළඹෙති. මෙසේ පෙර වස් හෝ පසු වස් එළඹීමෙන් ගිහි පැවිදි දෙපක්ෂයටම බණ භාවනා පුද පුජාදී ආගමික කටයුතු තුළින් ශීල සමාධි, ප‍්‍රඥාව වැඩි වර්ධනය කරගැනීමටත්, තෙරුවන් ගුණය හා ශිල ගුණය සිහිපත් කර ගැනීමටත්, ගිහිපැවිදි සම්බන්ධතාවය වැඩිකර ගැනීමටත්, අවකාශය සැලසේ.

පෙර වස් එළඹෙන භික්ෂූන් වහන්සේ නමකට කඨින චීවරයක් අතිරේක වස්ත‍්‍රයක් ලෙස පිළිගැනීමට අවස්ථා සැලසෙන නමුත්, පසු වස් එළඹෙන භික්ෂූන්වහන්සේලාට කඨින චීවරයක් පිළිගැනීමට නොහැකිය. එහෙත් වස්සාවාසික සිවුරක් පිළිගැනීමට ඉඩ සැලසිණ.

මෙනයින් බලන විට පසුවස් එළඹීමට මුල් වන නිකිණි පෝය දිනය ද ගිහි පැවිදි දෙපක්ෂයටම එකසේ වැගත්වන පෝය දිනයක් සේ පිළිගත හැකිය. එම දෙපක්ෂයටම පෙරවස් විසීමේදී මෙන්ම ශිල, සමාධි, ප‍්‍රඥා ගුණවර්ධනය කරගැනීමටත්, ගිහි පැවිදි සබැඳියාව තරකර ගැනීමටත් ඉන් අවස්ථාව සැලසෙන බැවිණි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් සත් වන දිනයේ මහළු කාලයේදී පැවිදි වු සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර වචන මුල් කොට ගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ශාසනයේ ආරක්ෂාව පතා ධර්ම විනය සංගායනා කිරීමට පියවර ගන්නා ලද්දේ ද නිකිණි පුර පසළොස්වක පුර පෝය දිනයක දීය. රජගහනුවර සප්ත පර්ණි ගුහා ද්වාරයෙහි පිළියෙල කළ විශේෂ මණ්ඩපයකදී මහා කාශ්‍යප, ආනන්ද, උපාලි, ආදි රහතන්වහන්සේලා පන්සියකගේ එක්වීමෙන් මෙම ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. මීට සංඝයා වහන්සේලා තෝරාගනු ලැබුවේ සංඝ සම්මතයෙනි. මේ වන විට ආනන්ද තෙරුන්වහන්සේ රහත් බව ලබා තිබුණේ නැත. උන්වහන්සේ රහත් බව ලබාගන්නා තුරු එම ආසනය හිස්ව තබා හාරසිය අනුනවයක් රහතන්වහන්සේලා සංගායනාව සඳහා තෝරා ගනු ලැබුහ. අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ නිකිණි පෝයදා අළුයම රහත් බව ලැබීමෙන් පසු සංඝායනා මණ්ඩපයෙහි අසුන් ගත්හ.

එහිදී ධර්ම විනය දෙක සංඝායනාවට බඳුන් විය. ඉන් මුලින් සංගායනාවට යොදා ගත් විනය විසඳීම උපාලි මහ රහතන් වහන්සේට භාර විය. විනය පිටකය ග‍්‍රන්ථ පහකින් යුක්තය. චුල්ලවග්ග පාලිය, මහාවග්ග පාලිය, පාචිත්තිය පාලිය, පරාජිකා පාලිය, පරිවාර පාලිය යනු ඒ පහයි. එය හදාරා ආරක්ෂා කිරීම උපාලි මහරහතන් වහන්සේ ඇතුඵ ශිෂ්‍ය පිරිසට භාරවිය.

ධර්මය විසඳීම ආනන්ද තෙරුන් වහන්සේට භාරවිය. එසේ සංගායනා කොට සුත‍්‍ර පිටකයේ දීඝ නිකාය ආනන්ද තෙරුන්වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, මජ්ක්‍ධිම නිකාය ශාරිපුත‍්‍ර තෙරුන්වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, සංයුත්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය භික්ෂු පිරිසට ද, අංගුත්තර නිකාය අනුරුද්ධ හිමි ප‍්‍රධාන ශිෂ්‍ය පිරිසට ද භාරදෙන ලදී.

මෙකී ශාසනික කරුණු වලට අමතරව ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් රංදෝලි මහ පෙරහර පැවැත්වීම ද නිකිණි පෝය මුල් කොට ගන්නා බැවින් විශේෂයෙන් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට නිකිණි පෝය දිනය සුවිශේෂි ආගමික දිනයක් වී ඇත්තේය.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share