28/03/2026
ජගත් කාන්තා දිනය - 2026
යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් ඇගේ ප්‍රවිෂ්ටය!!!
--------------------------------------
ගැමිකාන්තා පෙරමුණ මෙවර කාන්තා දිනය සැමරුවේ
මාර්තු 27 වන දින ගාල්ල හසාරා උත්සව ශාලාවේදී ය. මෙම සමරු උළෙල මෙතෙක් පැවැත්වූ කාන්තා දින වලට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගනු ලැබිණි. මෙම උළෙලේ මෙහෙයවීමේ කටයුතු කරන ලද්දේ නිසංසලා ගමගේ ය.
ආරම්භයේ, මෙතෙක් කාන්තා අයිතීන් වෙනුවෙන් ජීවිත කැපකළාවූද, සුවිශේෂ මෙහෙවරක් කළාවූද, කාන්තා නායකත්වය සිිිිිහිකරමින් සහ මේ වන විට මුළු ලෝකයටම බලපාන යුද්ධය හේතුවෙන් බියෙන් තැති ගැනීමෙන් ජීවත් වන සමස්ථ ජනයා වෙනුවෙන්ද විශේෂයෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන් සහ ගැහැණු දරුවන් සිහිපත් කරමින් ද පහන් දල්වන ලදි. ඉන් අනතුරුව ශ්‍රියානි පතිරගේ විසින්, "ජාත්‍යන්තර කාන්තා දිනය අපට විශේෂ වන්නේ ඇයි?" යනුවෙන් කෙටි පැහැදිලි කිරීමක් කළ අතර, ආරාධිත දේශනය යෙදී තිබුණේ "වත්මන් කාන්තාවන් මුහුණදෙන අභියෝග" පිළිබඳ අදහස් දැක්වීමට රුහුණු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක වන සුදර්ශනී දමුණුපොල මහත්මියටය.
මෙම සමරු උළෙලේ විශේෂාංගය වූයේ, ගැමි කාන්තා පෙරමුණේ, ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් ආරම්භ කරනු ලැබූ, 'සුළඟ' සංස්කෘතික කණ්ඩායමේ, 'කදුළට විරාමයක් දෙන්න කාලය ඇවිත්' යනුවෙන් නිර්මාණය කරන ලද, නාට්‍ය දැක්මයි.
මෙහි විශේෂත්වය වූයේ, නාට්‍ය තිර පිටපත ලියන ලද්දේ, සුළඟ නාට්‍ය කණ්ඩායම නියෝජනය කරන තරුණ දක්ෂ නිර්මාණ කරුවෙකු වූ තරුෂ හිම්සර වීමය. ඔහු නැගී එන ලාබාළ තරුණ කලාකරුවෙකි. එමෙන්ම ඔහු දකුණු පළාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය ශිල්පියෙක් ලෙස ද තේරී පත් වී ඇත.
මෙම නාට්‍ය සන්දර්භය ගත් කළ, ඉතිහාසය පුරා අයුක්තියට, අසාධාරණයට ලක් වූ මනමේ කුමරිය, සුප්පාදේවිය සහ ඇහැළේපොල කුමාරිහාමි යන චරිත ඇතුළත් වූ අතර, වර්තමානයේ පීඩනයට පත් කාන්තා චරිතයක්ද නිරූපණය කර තිබුණි .
නාට්‍ය අවසන දෙන ලද පණිවිඩය, අපගේ අරමුණු සඵල කරවන සුළු කතිකාවකට ඇරයුම් කරන්නක් වීම මෙහිලා විශේෂත්වය විය.
නාට්‍ය අවසන මණ්ඩප සාකච්ඡාව මෙහෙයවන ලද්දේ, ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් වැඩසටහන් මෙහෙයවන වියත් රාජ්‍ය නිළධාරිණියක වන ගාල්ල කඩවත් සතර වනිතා සංවර්ධන නිළධාරිණී, කාංචනා මාපලගම මහත්මියයි.
මණ්ඩප සාකච්ඡාවට, ගැමි කාන්තා පෙරමුණ විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියානි පතිරගේ,
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ පුහුණු උපදේශිකා ප්‍රේමා ගමගේ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීනී විනිතා එම්. ගමගේ, ගැමි කාන්තා පෙරමුණ සභාපති එම්.එච්.නස්මියා, ගැමි කාන්තා පෙරමුණ ලේකම් චන්දිමා කන්දගේ ඇතුළත් වූහ.
සහභාගිකයන් ද සම්බන්ධ කොටගෙන මෙම සාකච්ඡාව ගලායාමත්, වත්මන් කාන්තාවන් මුහුණ දෙන පොදු පීඩනයට පිළිතුරක් සෙවීමට නම් සමාජ කොටස්කරුවන් වන පුරුෂ පාර්ශවයද මීට සම්බන්ධ කරගත යුතු බවත් අවසාන පණිවිඩය විය.