05/09/2024
"මේ රටට අවශ්‍ය තෘප්තිමත් රාජ්‍ය සේවකයෙක්"
රටට ජයග්‍රහණ ලබාදීමෙන් ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවකයෙක් අපිට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සංවර්ධන නිලධාරි සහ ආශි්‍රත සේවා නිලධාරි ජාතික සමුළුව අමතමින් පවසයි. මෙම සමුළුව පසුගියදා කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කීය. “මේ සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්.
දීර්ඝ කාලයක් පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායකත්වන හැකියාව, බුද්ධියක් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත් ආර්ථික, ප්‍රතිපත්තියත් එහි ප්‍රතිඵල නෙළාගන්න අසමත් වී තිබෙනවා. ඔබේ දැනුම, හැකියාව, ඵලදායී ලෙස යොදා ගන්නට අපේ රාජ්‍ය සේවය අසමත් වී තිබෙනවා. මේ සමාජ-ආර්ථික දේහයෙන් පිටමං වෙලා ඉන්නේ ඔබ විතරක් නොවෙයි. තරුණ-තරුණියන් මේ ආර්ථික දේහයට උකහා ගන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආර්ථික ක්‍රිියාදාමය ඇතුළේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කරලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ මේ රටේ පුරවැසියාට මේ ආර්ථිකයෙන් සාධාරණය ඉෂ්ට වෙන්නේනේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ට අහිමියි.
සැප්තැම්බර් 21න් පස්සේ අපට පැවරෙන කාර්යයන් අතර ප්‍රධාන කාර්යයක් තමයි ආර්ථික දේහය ශක්තිමත් කොට අපේ රටේ වැඩ කළ හැකි සියලුම පුරවැසියන් රට ගොඩනැඟීමට දායක කර ගැනීම. ඒ වගේම මේ අසාර්ථක, පිරිහුණු දේශපාලන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනයේ, අධ්‍යාපනයේ, ආර්ථිකයේ නව පරිවර්තනයක් අවශ්‍යයි. “මේ සැප්තැම්බර් 21දායින් පසු මේ සමස්ත දේහයම නව පරිවර්තනයකට ලක්කරන එක තමයි අපේ ව්‍යාපාරයේ අභිප්‍රාය. ඔබ කිසිවෙක් තමන් කරන රාජකාරිය ගැන සතුටින් නොවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසා මේ පද්ධතියේම ඇති කරන නව ප්‍රතිෂ්ඨාපනයක් අපිට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් භාර ගන්නේ සහ අප වෙත පැවරී ඇත්තේ එම කාර්යභාරයයි. මේ කාර්යභාරය ඉටු කිරීමේ මූලික වගකීම ප්‍රධාන අංශ තුනකට පැවරෙනවා. අපට ඒ පරිවර්තනය සිදුකර ගන්න එක අසීරු දෙයක් නොවෙයි. එහිදී ඔබට අත්හරින්න බැරි විශාල කාර්යභාරයක් පැවරෙනවා. සමහරු හිතනවා මේ කඩා වැටීම අවසන් කළ හැක්කේ රාජ්‍ය සේවය දියකර හැරීමෙන් කියලා. නැහැ. යම් කඩා වැටුණු රාජ්‍යයක් ඉන් ගොඩ ගත හැක්කේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමෙනුයි. මෑතකදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියනවා සිංගප්පූරුව සතුව පවතින ශක්තීන් දෙකක් පිළිබඳව. එකක් සිංගප්පූරුව සතුව තිබෙන විදෙස් සංචිතය. නැතිනම් ඩොලර් සංචිතය. දෙවැනි කාරණය තමයි ඔවුන් සතුව තිබෙන ශක්තිමත් රාජ්‍ය සේවය. ඉන්දියාවේ බැලුවත් වියට්නාමයේ බැලුවත් ඔවුන් අත්පත්කරගෙන තිබෙන ආර්ථික ශක්තියෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අයත්ව තිබෙනවා. ඒ නිසා මේ පරිවර්තනයේදී අපේ රටේ රාජ්‍ය සේවය විශාල පංගුවක් හැටියට සලකලා තමයි අපි අපේ සැලසුම් සකස් කර තිබෙන්නේ.
ඔබ තුළ තිබෙන ශක්‍යතා කෙරෙහි විශ්වාසය තබලා තමයි අපි මේ පරිවර්තන කාර්යයට අතගහලා තිබෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ කොච්චර නාස්තිය, දූෂණ සිද්ධ වෙනවාද කියලා අපිට වඩා හොඳින් ඔබ දන්නවා. ඒක නතර කරන්න දේශපාලන ව්‍යුහයෙන් විතරක් බැහැ. ඒක නතර කරන්න රාජ්‍ය සේවයත් වංචා දූෂණවලින් තොර පරිවර්තනයකට රාජ්‍ය සේවය ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වන්න.
ඒ නිසා සමහරු කියනවා ලබන අවුරුද්දේ ඔබගේ වැටුප් රුපියල් 25,000කින් වැඩි කරනවා කියලා. ඇයි දැන් කරන්න පුළුවන්නේ. තමන් රටේ ජනාධිපතිනේ. තැපැල් ඡන්දෙ ළඟ නිසා ඇමක් දාලා බලනවා. අපි හිතන්නේ ඔබ සතුටු වෙන්නේ වැඩි වැටුප්වලින් පමණක් නොවෙයි. රජය ඔබ කෙරහි විශ්වාසය තබලා යම් කාර්යභාරයක් ලබා දෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබ ළඟට එන පුරවැසියාට තම කාර්යභාරය නිසි පරිදි ඉටුකළා කියා හිතෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබට පැවැරී තිබෙන ඉලක්කය සම්පූර්ණ කළා නම් ඔබ සතුටු වෙනවා. අපි දන්නවා අද සංවර්ධන නිලධාරීන් ඉන්නේ විශාල අසතුටකින්. වැටුප් ගැන මෙන්ම මොකක්ද කරන රාජකාරිය කියලා. ඔබට නිසි කාර්යයක් පවරලා නැහැ. අපේ පාලනයක් යටතේ අපි ඔබට ඔබේ සුදුසුකම, හැකියාව මත ඉලක්ක සහගත කාර්යයක් පවරනවා. එය නිසි පරිදි ඉටුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.
දැන් තියෙන ආර්ථිකය බයිං ඇන්ඩ් සෙලින් ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් නොවෙයි. ඒකේ ඇතුළේ පුරවැසියකුට කාර්යභාරයක් නැහැ. රස්සා ඇති වෙන්නේ නැහැ. බිත්තර ගෙන්නනකොට එක බිත්තරයකින් රුපියල් 08ක් කොමිස් ගන්නවා. රෙදි ගෙන්නනකොට කෝටාවකින් ජරාව ගන්නවා. ඒක ඒගොල්ලන්ගේ මල්ලට හොඳයි. නමුත් අපි අපේ ශක්‍යතාවන්, විභවතාවන් සැලකිල්ලට අරගෙන සැලසුම් මත අපේ ආර්ථිකය නව මානයකට ගෙනියනවා.
2018 අපේ රටට සංචාරකයන් ලක්ෂ 20ක් ආවා. අපි එය කෙටි කලකින් ලක්ෂ 40කට ගෙනියන්න සැලසුම් හදා තිබෙනවා. අන්න එතකොට රාජ්‍ය සේවකයෝ හැටියට ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා.අන්න ඒ සඳහා ඔබ සූදානම් වී සිටින්න.
අපි අපනයන ගම්මාන 1000ක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබ ව්‍යාපෘති නිලධාරියෙක් හැටියට වගකීම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. අපි සැලසුම් කර තිබෙනවා. එක දරුවකුවත් අවම සාමාන්‍ය පෙළ විභාගයට වත් පෙනී නොසිට පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති ව්‍යාපෘතියක්. එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වැඩසටහනක්. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම් සහගත කාර්යභාරයක්ද ඔබට පැවැරෙනවා. අපේ ආණ්ඩුව රටට ඉලක්ක හදනවා. ඔබ වැඩ කරනවා. ඔබ කරන රාජකාරිය ගෞරවයත්, තෘප්තිමත්භාවයකින්, ඉලක්ක සපුරාලමින් එකක් බවට අපේ පාලනයක් යටතේ අපි ඉහළට ඔසවා තබනවා.”
සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි,
“මේ වගේ සමුළුවකට එනකොට රජය පිළිගත් ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනයක් තිබෙනවා. එනම් සහභාගි වන සාමාජිකයන්ට දුම්රිය බලපත්‍ර වගේ පහසුකම් දෙන්න. නමුත් අපි මේ සමුළුව සඳහා ආයතන සංග්‍රහයෙන් අපිට හිමිවෙලා තිබෙන ප්‍රතිපාදනය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා මේ පැමිණ සිටින සහෝදර සහෝදරියන්, ස්වාමීන් වහන්සේ තමන්ට හිමි රාජකාරි නිවාඩු පවා ලබා නොගනිමින් තම පෞද්ගලික නිවාඩුවලින් අවස්ථාව ලබාගෙන තමයි මේ ජාතික සමුළුවට සහභාගි වෙන්නේ. එවැනි කැපකිරීමක් කරපු ඔබ සියලුදෙනාටම මාගේ ගෞරවය, ප්‍රණාමය පුදකර සිටිනවා. ලෙඩ වී තිබෙන මේ රටේ රාජ්‍ය සේවාව නිරෝගිමත් සේවාවක් බවට පත් කළ යුතුයි. මේ සමුළුව අපේ සහෝදරවරු එන එක වළක්වන්න සමහර අය විවිධ බාධා එල්ල කළා. සමහරු කීවා මේ සමුළුවට යන එක රැකියාවට ගැටලුවක් වෙන්න පුළුවන් කියලා. ඒවා එහෙම වෙන්නේ නැහැ.
එහෙම වෙන්න අපි වැඩ කරන්නෙත් නැහැ. රාජ්‍ය සේවාවේත් පළාත් රාජ්‍ය සේවාවේත් සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශි්‍රත සේවාවේ නිලධාරීන් තමයි මෙතැන ඉන්නේ. මේ සේවාව ආරම්භ වන්නේ 1999දී. මේ සේවාවේ ලක්ෂයකට අධික නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවාවේ ඉන්නවා. රාජ්‍ය සේවාවන් අතර ඉතා වැඩියෙන්ම දුෂ්කරතාවලට මුහුණදී සිටින පිරිසක් තමයි මේ සේවාවේ ඉන්නේ. පාලකයන්ගේ විවිධ අසාධාරණකම් ඉදිරියේ, කප්පාදු කිරීම් ඉදිරියේ බලපෑම්වලින් නොසැලී ඒවාට අභියෝග කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් තමයි අපි සතුව තිබෙන්නේ.
අද අපි ඉදිරියේ අලුත් සටනක් තිබෙනවා. එය තමයි මේ පාලන ක්‍රමයත් පාලකයනුත් ඉතිහාසයෙන් පලවා හැර රටට නව පාලනයක්, නව මාවතක් විවෘත කර ගැනීමේ සටන. අන්න ඒ සඳහා මේ ජනාධිපතිවරණයේදී ඉදිරියට එන්න. ඔබේ වගකීම ඉටුකරන්න. ජයග්‍රහණයේ මාවතට පිවිසෙන්න කියා අප ඉල්ලා සිටිනවා.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත
“සැප්තැම්බර් 21 පහුවෙලා අපි අලුත් ව්‍යවස්ථාවක් යටතේ වැඩ කරන ජනතාවගේ පාලනයක් යටතේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් යටතේ අපි නැවත සමුළුවක් තියමු. අපි ඔබ, මහපාරේ ගොඩක් සටන් කළා. උද්ඝෝෂණ, වැඩවර්ජන ගොඩක් කළා. 21 වැනිදාට තිබෙනවා අපිට ලොකු සටනක්. ඒ සටන් භූමියේ අපි දිනන සටන කරමු. සැප්තැම්බර් 21 දින සටන් භූමියේ අපේ ජයග්‍රහණය නිසැක ලෙසම ස්ථීර වෙලා තිබෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් මෙතැන් සිට වැඩ කරමු. මාලිමාව දිනවමු. රට දිනවමු. එදාට අපි ඔබ සියලු දෙනාම දිනුම්.”
- අනුරාධා හේරත් (මව්බිම)