25/05/2026
කළු කුහර පිටුපස ඇති සත්‍යය කුමක්ද?
විශ්වය හා තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවෙන් පසුවන අප බොහෝ දෙනෙක් කළු කුහර පිළිබඳව කරුණු අසා ඇත. නමුත් අප දන්නා එම කරුණු කොපමණක් දුරට සත්‍යය ද? ඉතිරිය මිත්‍යාවන් ද? මෙම ලිපිය ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙනි.
කළු කුහර යනු මේ වන විට බොහෝ අධ්‍යයන සිදුකර යම් ප්‍රමාණයක තොරතුරු අනාවරණය කරගත් නමුත් ,සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි වූ විශ්වය තුළ ඇති අද්භූත වස්තුවක් වේ.
1️⃣ මිත්‍යාව අංක 01:
කළු කුහර යනු පදාර්ථ රහිත වස්තුවකි.
මේ පිළිබඳ සත්‍යය:
කළු කුහර කී නමුත් මෙම වස්තූන් සැබැවින්ම කුහර නොවේ. සරලවම ඒවා ඉතා කුඩා අවකාශයක කැටි වී ඇති විශාල පදාර්ථ ප්‍රමාණයක සාන්ද්‍රණයකි. කළු කුහරයක් කෙතරම් ඝනත්වයකින් යුතු ද යත්, කළු කුහරයක Event horizon එක ආසන්නයේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ආලෝකයට පවා ගැලවී යා නොහැකි තරම් ගුරුත්වාකර්ෂණය ශක්තිමත්ය.
2️⃣ මිථ්‍යාව අංක 02:
කළු කුහර යනු අභ්‍යවකාශයේ විවිධ ලක්ෂය අතර කෙටි මං හෝ වෙනත් මානවලට විවෘත වන ද්වාර විය හැකිය.
මේ පිළිබඳ සත්‍යය:
තාත්වික ලෝකයේ දී මෙවැනි අභ්‍යවකාශ කෙටි මාවත් හෝ ද්වාර තවම සොයාගෙන නොමැත. න්‍යායාත්මකව ගත් කල කළු කුහරයක් තුළ මෙවැනි ද්වාර හටගතහොත් ඒවා අස්ථාවර ඒවා වන අතර යමක් ඒ හරහා ගමන් කළ සැණින් පද්ධතිය බිඳ වැටෙන තත්ත්වයක් හට ගැනේ. විද්‍යා ප්‍රබන්ධ තුළ මෙවැනි ද්වාර පවතින කළු කුහර පිළිබඳ නොයෙකුත් කතාන්දර ඇතත් සාපේක්ෂතාවාදයට සහ නූතන භෞතික විද්‍යාවට අනුව කළු කුහර විසින් පදාර්ථ අනන්ත ඝනත්වයකට සම්පීඩනය කෙරෙන බව පිළිගන්නා අතර පදාර්ථ ප්‍රවාහනය කිරීමක් සිදු වන බවක් ඔප්පු වී නොමැත.
3️⃣ මිථ්‍යාව අංක 03:
කළු කුහර නොපෙනෙන නිසා අපට ඒවා හඳුනාගත නොහැක.
මේ පිළිබඳ සත්‍යය:
කළු කුහරයක් අපට සෘජුව දැකගත නොහැකි වුවද, ආසන්නයේ පිහිටා ඇති තරු, වායූන් සහ ආලෝකය කෙරෙහි ඒවා ඇති කරන බලපෑම් නිරීක්ෂණය කිරීමෙන් කළු කුහරයක් හදුනාගත හැකිය. මෙය සනාථ කරමින් Event Horizon Telescope මගින් Messier 87 හි කළු කුහරයක සෙවණැල්ලේ පළමු ඡායාරූපය ලබා ගන්නා ලදී.
4️⃣ මිථ්‍යාව අංක 04:
කළු කුහරයකට මුළු විශ්වයම ගිල දැමීමේ හැකියාවක් ඇත.
මේ පිළිබඳ සත්‍යය:
විශ්වය ඉතා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර එය ඉතා විශාල ද වේ. කළු කුහර මූලික වශයෙන් බලපාන්නේ ඒවා අවට ඇති ප්‍රදේශවලට පමණි.
📝සාරාංශයක් ලෙස, කළු කුහර යනු විශ්වයේ පවතින විනාශකාරී 'කුහර' නොව, නූතන භෞතික විද්‍යාවේ නියමයන්ට යටත් වූ අතිවිශාල පදාර්ථ සාන්ද්‍රණයන්ය. මේ පිළිබඳ පවතින මිත්‍යාවන් බැහැර කර විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමෙන්, විශ්වයේ පවතින විශ්මිත ක්‍රියාකාරිත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් අපට ලැබේ. අවසාන වශයෙන්, මෙම අභිරහස් ස්වරූපය විද්‍යාඥයින්ට අඛණ්ඩ ගවේෂණයකට අභියෝගයක් ද, කලාකරුවන්ට අනන්ත නිර්මාණශීලීත්වයට මූලාශ්‍රයක් ද වනු ඇත.
𝐀𝐬𝐭𝐫𝐨𝐧𝐨𝐦𝐲 𝐚𝐧𝐝 𝐒𝐩𝐚𝐜𝐞 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧,
𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚.
--------------------
Article By : Senethma Rathnayaka
Design By : Thilini Navodya
Caption By : Tharushi Nikeshala