29/04/2025
Hadley v Baxendale (1854)
Hadley යනු මෝලක හිමිකරුවෙකි. ඔහුගේ මෝලෙහි වූ ප්‍රධාන කොටසක් කැඩී ගිය අතර, එම කොටස අලුත්වැඩියාව සඳහා ප්‍රවාහනය කරගත යුතු විය. ඒ සඳහා Baxendale යන සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන ආයතනය සම්බන්ධ කරගන්නා ලදී. නමුත් ප්‍රවාහනයේදී සිදු වූ ප්‍රමාදයක් නිසා, අලුත්වැඩියාව ප්‍රමාද විය. එහෙයින් මෝල විශාල කාලයක් වසා තබන ලදී. ලබාගත හැකිව තිබූ විශාල ලාභ ප්‍රමාණයක් අහිමි විය. මේ අනුව Hadley විසින් අලාභ ඉල්ලා Baxendale ට විරුද්ධව නඩු දමන ලදී.
අධිකරණයේදී මතු වූ මූලික ප්‍රශ්නය වූයේ ප්‍රවාහනය ප්‍රමාද වීම නිසා, අහිමි වූ ලාභය අයකර ගත හැකිද යන්න ය.
අධිකරණ තීරණය වූයේ මෙම අලාභයේ දුරස්ථ භාවය වැඩි බවය. එනම් අසාධාරණ දුරස්ථිතියකි. එය ගිවිසුමෙහි පැවති කඩකිරීම (ප්‍රමාදය) සමඟ සෘජුව හටගත් එකක් විය යුතුය. නො එසේ නම් ගිවිසුම ඇතිකරගන්නා අවස්ථාවේදී පූර්වාපේක්ෂණය කළ අලාභයක් විය යුතු ය. (මෙයාකාර කඩවීමකදී මෙම අලාභ ද ඇතුලත්ව ගෙවිය යුතු යැයි කලින්ම එකඟ වීම). නමුත් මෙම ගිවිසුම හටගන්නා මොහොතේ එවන් පූර්වාපේක්ෂණයක් සිදු නොවීය.
නිසි ලෙස සන්නිවේදනය නොකළ හෙයින්, අදාල අලාභයන් අයකරගත නොහැකි බව තීරණය විය.
මෙහිදී ගිවිසුම ආරම්භයේදී දෙපාර්ශ්වය අතර හුවමාරු වූ නිදේශන වූයේ, මෝලෙහි කොටසක් කැඩුනු බව පමණි. එම හේතුවෙන් මෝල සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බව නිවැරදිව දැනුම් දී නැත. එහෙයින් වගකීමක් හටගෙන නැත. එම වසා තැබීමෙන් අහිමි වූ ලාභ අයකරගත නොහැකි ය.
මෙම නඩු තීරණය ගිවිසුම් නීතියේ එන හානියේ දුරස්ථිතිය පිළිබඳ මූලධර්මය (remoteness of damages) දැක්වෙන සන්ධිස්ථානයකි. එමඟින් නූතන ගිවිසුම් නීතියට ප්‍රබල බළපෑමක් සිදුකරන ලදී.
1949 දී තීරණය වූ Victoria Laundry v Newman Industries නඩු තීරණයට ද මෙය බළපා තිබේ.
ඒ අනුව මෙම නඩුව හරහා මතු කළ සරළ රීතිය නම් ‘ඔබ විසින් පූර්වයෙන් දැනගැනීමට ලැබුනු අලාභ සඳහා පමණක් වන්දි ගෙවීමට ඔබ බැඳීසිටින බව‘ යි.