Law Times Now

Law Times Now LAW Lega Researcher

Hadley v Baxendale (1854)Hadley යනු මෝලක හිමිකරුවෙකි. ඔහුගේ මෝලෙහි වූ ප්‍රධාන කොටසක් කැඩී ගිය අතර, එම කොටස අලුත්වැඩියාව ...
29/04/2025

Hadley v Baxendale (1854)

Hadley යනු මෝලක හිමිකරුවෙකි. ඔහුගේ මෝලෙහි වූ ප්‍රධාන කොටසක් කැඩී ගිය අතර, එම කොටස අලුත්වැඩියාව සඳහා ප්‍රවාහනය කරගත යුතු විය. ඒ සඳහා Baxendale යන සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන ආයතනය සම්බන්ධ කරගන්නා ලදී. නමුත් ප්‍රවාහනයේදී සිදු වූ ප්‍රමාදයක් නිසා, අලුත්වැඩියාව ප්‍රමාද විය. එහෙයින් මෝල විශාල කාලයක් වසා තබන ලදී. ලබාගත හැකිව තිබූ විශාල ලාභ ප්‍රමාණයක් අහිමි විය. මේ අනුව Hadley විසින් අලාභ ඉල්ලා Baxendale ට විරුද්ධව නඩු දමන ලදී.

අධිකරණයේදී මතු වූ මූලික ප්‍රශ්නය වූයේ ප්‍රවාහනය ප්‍රමාද වීම නිසා, අහිමි වූ ලාභය අයකර ගත හැකිද යන්න ය.

අධිකරණ තීරණය වූයේ මෙම අලාභයේ දුරස්ථ භාවය වැඩි බවය. එනම් අසාධාරණ දුරස්ථිතියකි. එය ගිවිසුමෙහි පැවති කඩකිරීම (ප්‍රමාදය) සමඟ සෘජුව හටගත් එකක් විය යුතුය. නො එසේ නම් ගිවිසුම ඇතිකරගන්නා අවස්ථාවේදී පූර්වාපේක්ෂණය කළ අලාභයක් විය යුතු ය. (මෙයාකාර කඩවීමකදී මෙම අලාභ ද ඇතුලත්ව ගෙවිය යුතු යැයි කලින්ම එකඟ වීම). නමුත් මෙම ගිවිසුම හටගන්නා මොහොතේ එවන් පූර්වාපේක්ෂණයක් සිදු නොවීය.

නිසි ලෙස සන්නිවේදනය නොකළ හෙයින්, අදාල අලාභයන් අයකරගත නොහැකි බව තීරණය විය.

මෙහිදී ගිවිසුම ආරම්භයේදී දෙපාර්ශ්වය අතර හුවමාරු වූ නිදේශන වූයේ, මෝලෙහි කොටසක් කැඩුනු බව පමණි. එම හේතුවෙන් මෝල සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බව නිවැරදිව දැනුම් දී නැත. එහෙයින් වගකීමක් හටගෙන නැත. එම වසා තැබීමෙන් අහිමි වූ ලාභ අයකරගත නොහැකි ය.

මෙම නඩු තීරණය ගිවිසුම් නීතියේ එන හානියේ දුරස්ථිතිය පිළිබඳ මූලධර්මය (remoteness of damages) දැක්වෙන සන්ධිස්ථානයකි. එමඟින් නූතන ගිවිසුම් නීතියට ප්‍රබල බළපෑමක් සිදුකරන ලදී.

1949 දී තීරණය වූ Victoria Laundry v Newman Industries නඩු තීරණයට ද මෙය බළපා තිබේ.

ඒ අනුව මෙම නඩුව හරහා මතු කළ සරළ රීතිය නම් ‘ඔබ විසින් පූර්වයෙන් දැනගැනීමට ලැබුනු අලාභ සඳහා පමණක් වන්දි ගෙවීමට ඔබ බැඳීසිටින බව‘ යි.

ජයවික්‍රම එ. අමරසූරිය (1918) Jayawickreme v. Amarasuriya (Privy Council, 1918)(ගිවිසුම් නීතිය - භාරය - ප්‍රතිෂ්ඨාව)මෙහිද...
29/04/2025

ජයවික්‍රම එ. අමරසූරිය (1918)
Jayawickreme v. Amarasuriya (Privy Council, 1918)

(ගිවිසුම් නීතිය - භාරය - ප්‍රතිෂ්ඨාව)

මෙහිදී සිදුවුනේ සහෝදරයෙක් සහ සහෝදරියක් අතර වූ ඉඩමක් සම්බන්ධ ගිවිසුමකි. සහෝදරයාට සහ සහෝදරියට සම අයිතිවාසිකම් තිබූ ඉඩමකින්, සහෝදරියගේ හිමිකම් අතහරින්නේ නම් රු. 150000 ක් ගෙවීමට සහෝදරයා පොරොන්දු විය. ඒ වාරික කිහිපයකිනි. නමුත් පසුව සහෝදරයා වාරික කිහිපයක් ගෙවා, සම්පූර්ණ මුදල නොගෙවා සිටින ලදී. ඉතිරි මුදල ඉල්ලා සහෝදරිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලදී.

දිස්ත්‍රික් උසාවියේ තීරණය:
පොරොන්දු ගිවිසුමක් ඇති වී තිබෙන බව තහවුරු විය. නමුත් සැබෑ ‘භාර‘ ගිවිසුමක් ඇති වී ඇතැයි හෙළි නොවන බව අධිකරණය තීරණය කරන ලදී. ඒ අනුව පැමිණිල්ල නිෂ්ප්‍රභ විය. එම පොරොන්දුව වලංගු ප්‍රතිෂ්ඨාවක් නොවන බැවින් ගිවිසුමක් ඇති වී නැතැයි තීරණය විය.

අභියාචන අධිකරණය (සිලෝන්):
අභියාචනය ඉවත දමන ලදී. භාර ගිවිසුමක් නැති බව නැවත තහවුරු විය. අභියාචනාධිකරණයේ අවධානය යොමු වුනේ භාරයක් පවතියිද නැද්ද පිළිබඳව ය.

ප්‍රිවි කවුන්සිල තීරණය:
සිලෝන් අභියාචනාධිකරණයේ තීරණයට විරුද්ධව සහෝදරිය එංගලන්ත ප්‍රිවි කවුන්සිලයට අභියාචනය කරන ලදී. එහිදී අභියාචනය විභාග විය. ඉවත දැමුවේ නැත. ඊට හේතු වූයේ,

-ලංකාවට රෝම ලන්දේසි නීතිය අදාල වීම- ඉංග්‍රිසි නීතියේ එන ප්‍රතිෂ්ඨාවට වඩා පුළුල් සංකල්පයක් වූ ‘සාධාරණ හේතුව‘ යන්න රෝම ලන්දේසි නීතියේදී ගිවිසුමක් වළංගු වීම සඳහා ප්‍රමාණවත් ය.
-දේපළ සඳහා හිමිකමක් පැවතීම හෝ, සාකච්ඡා මාර්ගයෙන් සමථ වීමක් තිබීම ම වළංගු ප්‍රතිෂ්ඨාවක් විය හැකිය.
-සදාචාරාත්මක බැඳියාවන් විසින් පොරොන්දුවක් බළගැන්වීමට අවශ්‍ය සහාය ලබා දෙයි.
-දිස්ත්‍රික් අධිකරණය විසින් ‘භාරය‘ යන සංකල්පයට වැඩි අවධානයක් යොමු කිරීම මඟින් මෙම නඩුවේ අනෙකුත් නෛතික ප්‍රශ්න මඟහැරී තිබේ.

යන සාධක මත ය.

ප්‍රිවි කවුන්සිල තීරණය:
පැමිණිලි පාර්ශ්වයට සම්පූර්ණ මුදල ලබාගැනීම සඳහා හැකියාව පවතින බව ප්‍රකාශ කළ ප්‍රිවි කවුන්සිලය මෙම ගිවිසුම සාධාරණ හේතුවක් සහිත වළංගු ගිවිසුමක් බව තීරණය කරන ලදී.

මෙම නඩුවේදී සාකච්ඡා වූ ප්‍රධාන නෛතික සංකල්ප:

ප්‍රතිෂ්ඨාව- (ඉංග්‍රීසි නීතියේදී හුදු සදාචාරාත්මක බැඳියාවන් පමණක් වලංගු ප්‍රතිෂ්ඨාවක් ලෙස ක්‍රියා නොකරයි- Eastwood v. Kenyon)

සාධාරණ හේතුව- (සදාචාරාත්මක යුතුකම්, පරිත්‍යාගශීලීත්වය, මිත්‍රත්වය යනාදී හේතු, ඉංග්‍රීසි නීතියේ එන ප්‍රතිෂ්ඨාවට වඩා පුළුල් සංකල්ප ලෙස රෝම ලන්දේසි නීතියේදී භාවිත වේ)

පොරොන්දුවක වලංගු බව- (අව්‍යාජව ලබාදෙන පොරොන්දුවක් විසින් වලංගු ප්‍රතිෂ්ඨාවක් ඇති කල හැකිය. හිමිකම පිළිබඳව විවදාපන්න අවස්ථාවකදී ද එය වෙනස් නොවේ. - Cook v. Wright )

මෙම නඩු තීරණය මඟින්, රෝම ලන්දේසි නීතිය තුළදී සදාචාරාත්මක යුතුකමක් සහිත පොරොන්දුවක් අවංකව ලබා දෙන්නේ නම්, එමඟින් නෛතික ප්‍රතිපල ඇතිකරන බව පැහැදිලි වේ. එය වඩාත් දෘඩ වූ ඉංග්‍රීසි නීතියේ පවතින ප්‍රතිෂ්ඨාව මෙන් පටු නොවන පුළුල් තත්ත්වයකි.

සිල්වා එ. මොහමදු ( Silva Vs Mohamadu ) – 191619 NLR 426 (ගිවිසුම් නීතිය)මෙහිදී සළකා බැලුනේ බාලවයස්කාරයෙකු විසින් ඇතිකරගන...
28/04/2025

සිල්වා එ. මොහමදු ( Silva Vs Mohamadu ) – 1916
19 NLR 426 (ගිවිසුම් නීතිය)

මෙහිදී සළකා බැලුනේ බාලවයස්කාරයෙකු විසින් ඇතිකරගන්නා ගිවිසුමක් නීත්‍යානුකූලව වලංගු ද යන්න සහ, පසුව කරන ලද දෙවැනි විකිණීමකදී ඇතිවන නෛතික ප්‍රතිපල මොනවාද යන්න ය.

වර්ලියානු විසින් 1906 දී තමන්ට අයත් ඉඩමක් මොහමදුට විකුණන ලදී. ඒ වනවිට වර්ලියානු වයස අවුරුදු 19ක බාලවයස්කාරයෙකි. (එවක වයෝපූර්ණ සීමාව 21 ක් විය). 1908 දී ඔහු වයෝපූර්ණත්වයට පත්විය. නමුත් නීත්‍යානුකූලව වැඩිහිටියෙකු වූ පසුව නිසි කාලසීමාව තුලදී මෙම විකිණුම් ගිවිසුම අපරානුමත කිරීම හෝ අවලංගු කිරීම වර්ලියානු විසින් නොකරන ලදී. එවක නීති තත්ත්වය අනුව වැඩිහිටි වයසට පැමිණ වසර 3ක් තුළ බාලවයස්කරු විසින් කළ ගිවිසුම අපරානුමත කිරීම හෝ අවලංගු කිරීම කළ යුතු විය. 1915 දී වර්ලියානු මෙම ඉඩම, නැවතත් සිල්වාට විකුණන ලදී. ඒ පළමු ගිවිසුම අවලංගු කිරීමකින් තොරව ය.

නීතියට අනුව නම්, බාලවයස්කරුවෙකු විසින් එළැඹෙන ගිවිසුමක්, අවලංගු කළ හැකි ( Voidable ) ගිවිසුමකි. එය එනයින් ම අවලංගු ( Void ) ගිවිසුමක් නොවේ. එනම් බාලවයස්කරුට වයෝපූර්ණ වූ පසුව මෙම ගිවිසුම අවලංගු කිරීමේ හැකියාවක් පවතියි. ඒ restitutio in integrum හෙවත් යථා තත්ත්වයට පැමිණවීමේ ප්‍රතිකර්මය ලබාගැනීම සඳහා ය. එහිදී සිදු වන්නේ බාලවයස්කරුවෙකු විසින් තමාට අවාසිදායක ගිවිසුමකට පැමිණ ඇතිනම්, පසුකාලයක එය අවලංගු කොට පාර්ශ්වයන් ගිවිසුම ඇති වීමට පෙර පැවති තත්ත්වයට පත් කිරීමයි. එනම් ගිවිසුමක් ඇති නොවුනා සේ සැළකීම ය. වර්ලියානුට මෙම ප්‍රතිකර්මය ගැනීම සඳහා 1911 වනතුරු කල් තිබුනු නමුත් (වසර 3ක්) එය සිදු නොකරන ලදී. එය සිදු නොකළ නිසා මොහමදුට කළ පළමු විකිණුම නෛතික බැඳීම් සහිත වලංගු එකක් බවට පත් විය. එහෙයින් 1915 දී සිල්වාට දෙවැනි වර විකිණීම සඳහා මෙම ඉඩම කෙරෙහි කිසිඳු නෛතික අයිතිවාසිකමක් වර්ලියානු සතු නොවී ය.

යමෙකු තමන්ට නෛතික හිමිකමක් රහිත දේපළක් විකිණීමේ අයිතියක් නොදරන හෙයින් මෙම දෙවැනි විකිණීම බල රහිත එකක් විය. එහෙයින් සිල්වාට මෙම ඉඩමෙහි හිමිකම නොලැබෙන බව අධිකරණය තීරණය කරන ලදී. මෙම තීරණය තුළින් අධිකරණය අවධාරණය කරන්නේ, බාලවයස්කරුවන් ගිවිසුම්ගත වීමකදී සිදුවන වැරදිවලින් ඔවුන්ව ආරක්ෂා කරන අතරම, වයෝපූර්ණ වූ පසුව කාලානුරූපව ක්‍රියාත්මක වී එම ගිවිසුමෙන් තමන්ව මුදවා ගැනීමේ යුතුකම ද ඔවුන්ට පවතින බව යි. නොඑසේනම් පළමු ගිවිසුම බල සහිත වී, දේපළ විකිණීමක නෛතිකභාවය සුරක්ෂිත කරන බව යි.

මෙම නඩු තීරණය හරහා, ශ්‍රී ලංකා ගිවිසුම් නීතියේදී බාලවයස්කරුවෙකු එළැඹෙන ගිවිසුමක් අවලංගු කළ හැකි එකක් බවත්, වයෝපූර්ණ වීමෙන් පසු නිශ්චිත කාලසීමාවක් තුළ ඒ කෙරෙහි ක්‍රියා නොකරයි නම් එය අපරානුමත වන බවත්, එමඟින් වංචනික ක්‍රියාවකට හෝ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට ඇති ඉඩකඩ වළක්වාලන බවත් පැහැදිලි වෙයි.

මහා භාරකාර එදිරිව උඩුරාවණ නඩුවPUBLIC TRUSTEE v. UDURAWANAසාකච්ඡා කරන ලද නෛතික සංකල්ප:(ගිවිසුම් නීතියට අදාලව) ත්‍යාග- මරණ...
24/04/2025

මහා භාරකාර එදිරිව උඩුරාවණ නඩුව
PUBLIC TRUSTEE v. UDURAWANA

සාකච්ඡා කරන ලද නෛතික සංකල්ප:
(ගිවිසුම් නීතියට අදාලව) ත්‍යාග- මරණාසන්න ත්‍යාග- ජීවත්ව සිටිනවුන් අතර ත්‍යාග- ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත

මෙම නඩුවේදී ප්‍රශ්නගත උනේ මරණාසන්නව සිටි ස්වාමිපුත්‍රයෙකු සිය හිතෛෂී සේවකයෙකුට ලබාදුන් ත්‍යාගයක් (ප්‍රදානයක්) වළංගු එකක් උනේද යන්න යි.
මෙය 1949 දී තීන්දු කරන ලද නඩු තීරණයකි.

අසාධ්‍ය තත්වයේ පසු වූ ‘පඩිකාර මුදලි‘ නම් තැනැත්තා සාත්තු සේවා ස්ථානයක සිටියදී රුපියල් 10000 ක මුදලක්, තමන් සමඟ කාලයක් සිටි සේවකයෙකුට දෙන බව ප්‍රකාශ කරන ලදී. මෙය කරන ලද්දේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක්, එක් නීතීඥවරයෙක් ඇතුලු පිරිසක් ඉදිරිපිටදී ය. අදාල සේවකයාද එහි සිටි අතර ඔහු යටහත් පහත්ව දොහොත් මුදුන් දී මෙම පරිත්‍යාගයට ස්තූතිවන්ත විය. නමුත් එතැන සිටි නීතීඥයා කොළඹ සිට පැමිණි අයෙක් වූ අතර, සිදුවීමට අදාල අධිකරණ ප්‍රදේශය වූ මහනුවරදී මෙම ත්‍යාගය සඳහා කොඩිසිල් පත්‍රයක් ඔහුට සකස් කිරීමට බලය තිබුනේ නැත.

පසුව මෙම නීතීඥයා විසින් අදාල ප්‍රදේශයේ නීතීඥයෙකු මේ සඳහා සූදානම් කළ අතර ඔහුට ද මුදලිවරයා විසින් මෙම රු 10000 දීමට තමන් සතු වූ කැමැත්ත දෙවැනි වර ප්‍රකාශ කරන ලදී. නමුත් අදාල කාර්යය නිමකිරීමට ප්‍රථම ඔහු මිය ගියේය. මේ තත්ත්වය තුළ අදාල රු. 10000 ක මුදල මෙම සේවකයාට ලබා ගැනීම සඳහා නඩුව පැවරිණ.

අධිකරණය තුළ ප්‍රශ්නගත උනේ මෙම ත්‍යාගය (ප්‍රදානය) නීතියෙන් බලාත්මක කළ හැකිද යන්න ය.

අධිකරණය සාකච්ඡා කළ කරුණු:

රෝම ලන්දේසි නීතියට අනුව ප්‍රදානයක් යනු, ත්‍යාගකරු විසින් ත්‍යාගලාභියා වෙත කරනු ලබන ත්‍යාගයක් වන අතර, ඊට නෛතිකව බාධාවක් නොතිබෙන අවස්ථාවකදී එය කළ යුතු ය. එමෙන් ම එය ත්‍යාගයක් වීමට නම් පෙරළා කිසිවක් බලාපොරොත්තු විය නොයුතු අතර කිසිඳු නියමයන් හෝ කොන්දේසි ද නොතිබිය යුතු ය. ත්‍යාගය පහත දෙයාකාරයෙන් එක් ආකාරයකට ප්‍රදානය කළ හැකිය.

1. ත්‍යාගය ප්‍රදානය කිරීමට තමන් තුළ වන චේතනාව ප්‍රකාශ කිරීමත් සත්‍ය ලෙස ම ත්‍යාගය භෞතිකව ලබාදීමත් මඟින්,
2. ත්‍යාගය ප්‍රදානය කිරීමට තමන් තුළ වන චේතනාව ප්‍රකාශ කිරීමෙන් පසුව, එම ත්‍යාගය ත්‍යාගලාභියා විසින් කිසියම් ආකාරයකට අනුමත කිරීමෙන් (මෙහිදී ත්‍යාගය භෞතිකව ප්‍රදානය කිරීම එවේලේම සිදු නොවේ)

මෙම සිදුවීමේදී මෙම දෙවන ආකාරය සිදුව ඇති බව අධිකරණය නිරීක්ෂණය කරන ලදී.

මෙම ප්‍රදානය මරණාසන්න ත්‍යාගයක් වී ද යන්න:

ත්‍යාගකරු සිටියේ මරණාසන්නව බැවින් ද, ප්‍රදානයෙන් අනතුරුව ඔහු මියගිය බැවින්ද මෙම ත්‍යාගය මරණාසන්න ත්‍යාග ගණයට වැටේද යන්න මෙහිදී විමසීය. මෙය මරණාසන්න ත්‍යාගයක් උනේ නම් සාක්ෂිකරුවන් සහ නොතාරිස්වරයෙකු ඉදිරිපිට අත්සන් කර තිබිය යුතුය.

මරණය අපේක්ෂාවෙන් මෙම ප්‍රදානය කර නොතිබූ බැවින් ද, සිය මරණයෙන් අනතුරුව මෙම ප්‍රදානය ත්‍යාගලාභියා වෙත හිමිකිරීමේ චේතනාවක් නොතිබූ බැවින්ද මෙය Donation Inter vivos හෙවත් ජීවතුන් අතර සිිටියදී ලබාදුන් තයාගයක් බව තීරණය විය. එවැන්නකට ඉහත කොන්දේසි අවශ්‍ය නොවේ.

ජයවික්‍රම එදිරිව අමරසූරිය නඩුව ප්‍රකාරව, සේව්‍යයෙකු විසින් සේවකයෙකුට දෙන ලද ප්‍රදානයක් Donatio Remuneratoria ගණයට අයත් විය හැකිය. එනම් මින්පෙර කරන ලද යම් සේවයක් වෙනුවෙන් ලබාදෙන ප්‍රදානයක් ලෙස ය. මෙය ඉංග්‍රීසි ගිවිසුම් නීතියේදී එන Consideration ( ප්‍රතිෂ්ඨාව ) ට වඩා පුලුල් වූ රෝම ලන්දේසි නීතියේ එන Justa Causa (සාධාරණ හේතුව) කි. මෙවැන්නක් ලියාපදිංචි නොකළ ගිවිසුමකින් වුවද කළ හැකි ය.

මේ අනුව අධිකරණ තීරණය වූයේ මෙය වළංගු ත්‍යාග ප්‍රදානය කිරීමක් බවත්, ත්‍යාගකරුට ත්‍යාගලාභියාගේ මරණයෙන් අනතුරුව මෙම ත්‍යාගයට හිමිකම් කිව හැකි බවත් ය.

- Law Times Now -

Address

1
Colombo

Alerts

Be the first to know and let us send you an email when Law Times Now posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share