05/08/2026
පෙරහැර සමයට පමණක් මතුවන සත්ව සුබසාධනය
පෙරහැර පැවැත්වීම බෞද්ධ සංස්කෘතිකාංගයක් හෝ, බෞද්ධ කටයුත්තක් නොවේ. දළදා වහන්සේ ශ්රී ලංකාවට වැඩම වූ අවස්ථාවේ පටන් එය රාජ්යත්වය නිරූපණය කල සිංහල රාජ්යත්වයේ සංකේතමය මුද්රාව විය.
අතීතයේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙන් බොහෝ යුධ ගැටුම් ඇති වූයේද රාජ්යත්වයේ අයිතිය පවතින්නේ උන්වහන්සේ මත වීම නිසා ය. දළදා මාළිගය රජුගේ පෞද්ගලික විහාරයක් විය. අද මෙන් දළදා වහන්සේ වැඩසිටින වැඩ සිටින මාලිගයට යන්නට මහනුවර යුගයේ පවා සාමාන්ය ජනතාවට අවසර නොවුණි. ඉංග්රීසීන් දළදා වහන්සේ තමන් සතු කරගන්නා තෙක් මිනිසුන් දළදාවට මල් පහන් පිදූයේ මහ මළුවේ සිට ය.
වසර කීපයකට වරක් දළදා වහන්සේ ප්රදර්ශනය කිරීමේදී පමණක් රටවැසියන්ට සිත් සේ දළදා වහන්සේ දැක වැඳපුදා ගන්නට අවස්ථාව හිමි විය. එය සිදු කලේ රජු තමන්ට රාජ උරුමය සතු බව ජනතාවට ඒත්තු ගැන්වීමට ය. විවිද යුග වල සිදු කල දළදා පෙරහැර වල අරමුණ ද එය ය.
වසර දෙදහස් ගණනක් පුරා හුදු ආගමික සංකේතයක් නොවී රාජ්යයේ ජාතික සංකේතය ලෙසත්, රාජ්යත්වයේ උරුමය ලෙසත් සැලකීම නිසාවෙන් ගොඩ නැගුණු සංස්කෘතියට පයින් ගසන්නට බෞද්ධයන් කටයුතු නොකල නිසාවෙන් අදද, දළදා පෙරහැර අලි ඇතුන් පිරිවරා සෙංකඩගල වීදි සිසාරා ගමන් කරයි.
නමුත් දළදා පෙරහැරේ බෞද්ධ භික්ෂූන් ගමන් නොකරයි. එයින්ම පැහැදිළි වන්නේ පෙරහැර සිරිත, හුදු බෞද්ධ සිරිතක් නොවන බවයි. යෝජිත සත්ව සුබසාධක පනත අනුව දම්වැල් යොදා අලි ඇතුන් ගමන් කරවීම තහනම් කර ඇත. අලි ඇතුන් පෙරහැරේ ගමන් කිරීමේදී දම්වැල් යොදන්නේ නරඹන්නන්ගේ ආරක්ෂාවට ය. එයින් සතුන්ට හිංසනයක් වන බව අපද පිළි ගනිමු.
නමුත් අපට පරම අවිහිංසාවාදීන් නොවන්නා සේම, යෝජිත සත්ව සුබසාධක පනත් යෝජනා කල පිරිස් පරම අවිහිංසාවාදීන්ද නොවේ. මේ යෝජනාව සද්භාවයෙන් ගෙනාවේ නම් දම්වැල් දමා සුන්ඛයන් රැගෙන යාම, නාස් ලණු දා හරකුන් රැගෙන යාමද තහනම් විය යුතුය. ආගමික උත්සව වෙනුවෙන් සාහසික ලෙස හරකුන් එළුවන් කුඩා දරුවන් ඉදිරියේ නිවෙස් වල ඝාතණය කරද්දී නිහඬ රජයක් මෙවෙන් පෙරහැර සමයක අලි ඇතුන් උදෙසා සංවේදී වීම පුදුම එළවන සුළුය.
එසේම මේ යෝජනාව ගෙනවිත් පැය 24 ක් යන්නටත් මත්තෙන් හල්දුම්මුල්ලේ හස්තියෙකු වෙඩි තබා ඝාතනය කර ඇත. රජයට සද්භාවයක් ඇත්නම් කල යුත්තේ දිනෙන් දින මෙසේ ඝාතණය වන සිය ගණනක් වන අලි ඇතුන් රැක ගන්නට නිෂ්චිත වැඩපිළිවෙළක් සෑදීම ය.
Kokila Withanathanthri