02/11/2023
විදුලි බිල වැඩි විමේ ඇත්ත ප්රතිශතය කීයද ?
2014 වසරේ සැප්තැම්බර් /නොවැම්බර් කාල වකවානුවෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලය විසින් , 2022 අගෝස්තු දක්වා විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කරන්නට කටයුතු කර නොතිබු අතර එම කාල වකවානුවේදි, මණ්ඩලය පාඩු ලබමින් සහනදායි මිලට පාරිභෝගිකයන්ට විදුලිය ලබාදීමට කටයුතු කරන ලදී. 2022 වසරේ මතුවු දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ විදුලි බල මණ්ඩලයට , තව දුරටත් පාඩු ලබමින් විදුලිය සැපයීම සිදු කල නොහැකි වූ පසුබිමක 2022 අගෝස්තු 10 වනදා සිට ක්රියාත්මක පරිදි 75% ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන ලදී.
මෙම පසුබිම තුල, 2023 ජනවාරි 5 දින විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම වෙත ලිපියක් යොමු කරමින්, සඳහන් කරන්නේ , 2023 වසර සඳහා සමස්ථ විදුලි උත්පාදන අවශ්යතාවය ගිගාවොට් පැය 16520 ක් වනු ඇතිබවත් , ඒ සඳහා දැරිමට සිදුවන වියදම රුපියල් බිලියන 722 ක් බවත්ය. ඔවුන් තවදුරටත් සඳහන් කර තිබුනේ, වර්තමාන ගාස්තු ක්රමවේදය මත ලැබිය හැකි ආදායම රුපියල් බිලියන 434 ක් බවත් ඉතිරි රුපියල් බිලියන 287 සොයා ගැනීම සඳහා විදුලි ගාස්තු 66% කින් ඉහල දැමීමට අවසර දෙන ලෙසත්ය. මෙහිදි 66% කින් වැඩිවීම සිදු වන්නේ විදුලි බල මණ්ඩලයේ සමස්ථ අදායම වන අතර විදුලි බිල ඊට වඩා වැඩි ප්රතිශයන්ගෙන් ඉහල දැමිමට කටයුතු කෙරිණි.
එම ගාස්තු සංශෝධනය අනුව, 2022 අගෝස්තු 1 වන දාට සාපේක්ෂව බැලිමේදී, ඒකක 1-30 දක්වා භාවිතා කරන නිවසක විදුලි ඒකකයක මිල රුපියල් 2.50 සිට රුපියල් 30 දක්වාත් ස්ථාවර ගාස්තුව රු 30 සිට 400 දක්වාත් වැඩි කිරීමට අනුමැතිය හිමි විය.ඒ අනුව ඒකක 30 ක් භාවිතා කරන ගෘහයක විදුලි බිල රුපියල් 105 සිට රුපියල් 1300 දක්වා ඉහල දැමිණි. එය ප්රතිශතයක් ලෙස 1138 % ක ඉහල යාමකි.
ඒකක 200 භාවිතා කරන නිවසක විදුලි බිල,රුපියල් 4963.5 සිට රුපියල් 11,780 දක්වා ඉහල දැමුණූ අතර එය
2022 අගෝස්තු 1 වන දිනට සාපේක්ෂව 117.04% ක ඉහල යාමකි.
මසකට ඒකක 30 කට අඩුවෙන් භාවිතා කරන ආගමික ස්ථාන සැලකීමේදී,2022 අගෝස්තු 1 වන දිනට සාපේක්ෂව 1242% ප්රතිශතයකින් විදුලි බිල ඉහල දැමිණි.
මසකට ඒකක 300 භාවිතා කරන කර්මාන්ත ශාලාවක් සැලකිමෙදි ,2022 අගෝස්තු 1 වන දිනට සාපේක්ෂව විදුලි බිල රුපියල් 3840 සිට 9000 දක්වා 134% න් ඉහල දැමිණී.
මෙම විදුලි ගාස්තු වැඩි කිරිමේදී අඩුවෙන්ම විදුලිය භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩය වන ඒකක 0-30 කාණ්ඩයේ විදුලි බිල 1138 % කින් ඉහල දැමුවද , සමස්ථ ගෘහස්ත විදුලි විකිණුම් සැලකිමේදී , ඔවුන් භාවිතා කරන්නේ ගිගා වොට් පැය 204 කට ආසන්න ප්රමාණයකි . එය ගෘහස්ත කාණ්ඩයේ සමස්ථ විදුලි විකිණුම් සැලකිමේදී, 3.25 % අවම ප්රතිශතයකි.
එසේම 2023 පෙබරවාරී මාසයේ විදුලි බිල වැඩි කිරීම සඳහා , සමස්ථ වාර්ෂික උත්පාදන අවශ්යතාවය ගිගාවොට් පැය 16520 වනු ඇති බව විදුලි මණ්ඩලය ප්රකාශ කල අතර එම ගනණය කිරිමේදී , 4% ක ආර්ථික හැකිලීම ගනන් බලා තිබුනත්, 2022 වසරේ සමස්ථ විදුලි උත්පාදනය සැලකිමේදී, ඔක්තොබර් , නොවැම්බර් හා දෙසැම්බර් මාස සදහා යොදාගෙන තිබුනේ උපකල්පිත අගයන්ය. එම උපකල්පිත අගයන් සකස් කිරිමේදී 2022 වසරේ අගෝස්තු මාසයේ සිදුකල මිල වැඩිවීම නිසා විදුලි ඉල්ලුමේ සිදුවු අඩුවීම නොසලකා අදාල ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණී. විදුලි බලමණ්ඩලයේ උපකල්පිත අගයන් සහ සත්ය අගයන් අතර වෙනස එවකට මහජන උපයෝගිතා කොමිසම විසින් පෙන්වා දුන්නද විවිධ කාරණා ඉදිරිපත් කරමින් තමන් ඉදිරිපත් කල අගයන් සාධාරණීකරණය කරන්නට විදුලි මණ්ඩලය කටයුතු කරන ලද අතර , අවසානයේ මහජන උපයෝගිතා කොමිසමේ සංයුතිය වෙනස් කරමින් ඉහත සංශෝධනය සඳහා අවසර ගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කලේය. නමුත් 2023 වසරේ ජනවාරි සිට ජුනි දක්වා විදුලි ඉල්ලුමේ සාමාන්ය සැලකිමේදි , දෛනික විදුලි ඉල්ලුම විදුලි බල මණ්ඩලය පුරෝකථනය කල අගයන්ට වඩා ගිගාවොට් පැය 2-3 අතර ප්රමාණයකින් අඩු බව පැහැදිලිව නිරීක්ෂණය වේ.
ඉන්පසුව නැවතත් 2023 ජුලි මාසයෙදි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරිණි.එම විදුලි ගාස්තු සංශෝධනයේදී,ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වාත් විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 30 සිට 10 දක්වාත් අඩුකෙරිණි.විදුලි ඒකක 31-60 ස්ථාවර ගාස්තුව රුපියල් 550 සිට රුපියල් 300 දක්වාත් ,විදුලි ඒකකයක මිල රුපියල් 37 සිට රුපියල් 25 දක්වාත් අඩුකෙරිණි. එම ගාස්තු සංශෝධනය ඉහත කාණ්ඩ දෙකෙන් විදුලිබල මණ්ඩලය ලැබු අදායම පිලිවලින් 64% කින් සහ 55% කින් අඩු කරනු ලැබුවත්, 2023 ජුලි මාසයේ සිදුකල විදුලි ගාස්තු සංශෝධනය හරහා විදුලි බල මණ්ඩලයේ සමස්ථ අදායම අඩුවන්නේ 14% ක ප්රමාණයකින් පමණි.
මෙම විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුනේ 3.5% ක අඩුකිරීමක් පමණී.නමුත් මහජන උපයෝගීතා කොමිසම ,තෙල් මිලෙහි අඩුවීම, බලශක්ති උත්පාදන අවශ්යතාවය පුරෝකථනයන්ට වඩා අඩුවීම් ආදි හේතු පදනම් කරගනිමින් ,14% කින් විදුලි බල මණ්ඩලයේ සමස්ථ අදායම අඩුවන ආකාරයට විදුලි බිල සංශෝධනය කරන ලදී.
මේ පසුබිම තුල 2023 සැප්තැම්බර් 4 වන දින මහජන උපයෝගිතා කොමිසම වෙත ලිපියක් යොමු කරමින් විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ,මහජන උපයෝගිතා කොමිසම ,විදුලි බල මණ්ඩලය යෝජනා කල අගයට වඩා වැඩි ප්රමාණයකින් විදුලි ගාස්තු අඩු කිරීම හරහා රුපියල් බිලියන 33 ක අදායම් අහිමි වීමක් තමන්ට සිදුවන බවය.
එසේම පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වසරේ උපරිම ජල විදුලි නිෂ්පාදනය මුලින් අපේක්ෂා කල ගිගාවොට් පැය 4500 අගයට ලඟා නොවනු ඇති බවත් එය ගිගාවොට් පැය 3750 කට සිමාවනු ඇති බව උපකල්පනය කරන බවත්ය.,තවද දෛනික විදුලි උත්පාදන අවශ්යතාවය ගිගාවොට් පැය 43.5 ක අගය ඉක්මවා යනු ඇති බවත් , ඒ නිසා විදුලි ගාස්තු සංශෝධනයක් වහා සිදුකරන ලෙසය.
ජල විදුලි නිෂ්පාදනය උපරිම ගිගාවොට් පැය 3750 සිමා වනු ඇති බවත් දෛනික විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 44.4 දක්වා ඉහල යනු ඇති බවත් උපකල්පනය කරමින්, විදුලි බල මණ්ඩලය නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබුනේ පවතින මිල ගණන් යටතේ විදුලිය විකිණීම හරහා , විදුලිබල මණ්ඩලයට ලබාගත හැකි අදායම රුපියල් බිලියන 600.67 ක් බවත් (අනෙකුත් අදායම් සමග විදුලි බල මණ්ඩලයේ වාර්ෂික අදායම රුපියල් බිලියන 612.74 වන බව ඔවුන් ප්රකාශ කරයි),ඉහත උපකල්පන අනුව සකස් කෙරෙණූ නව ජනන සැලැස්ම අනුව 2023 වසර සඳහා සමස්ථ විදුලි ජනන වියදම රුපියල් බිලියන 645.25 ක් වනු ඇති බවයි.ඒ අනුව මේ වසර සඳහා රුපියල් බිලියන 32.5 ක අදායම් හිඟයක් මතුවන බව ඔවුන් සඳහන් කරන ලදී.
මෙම නවතම ජනන සැලැස්ම සකස් කිරිමේදී , ලක්විජය ගල් අගුරු තාප බලාගාරයේ, 3 වන ඒකකයේ අලුත් වැඩියාවක් සිදුකිරීමට නියමිත බව පවසමින් , එහි විදුලි උත්පාදන ධාරිතාවද අඩු කරමින් නව ඇස්ත්මේන්තු සකස් කර ඇත. එසේම ඇඹිලිපිටිය ඒස් තාප බලාගාරය අගෝස්තු මස සිට පද්ධතියට සම්බන්ධ වන බව උපකල්පනය කරමින් ,නව ජනන සැලැස්ම සකස් කර තිබුනද ,සැප්තැම්බර් පලමු සතිය වන විටත් එම තාප බලාගාරය පද්ධතියට සම්බන්ධ කර නොතිබිණී.
මෙම නව ජනන සැලැස්ම අනුව වියදම් පියවා ගැනීම සඳහා 22% අදායම් වැඩිවීමක් සිදුවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණී. කරුණූ කාරණා එසේ තිබියදී, 2023 ඔක්තෝම්බර් 17 වන දින මහජන උපයෝගිතා කොමිසම වෙත ලිපියක් යොමු කරමින් විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ , සැප්තැම්බර් මාසයේදී විදුලි පරිභෝජනය අපේක්ෂා කල මට්ටමට වඩා ඉතා විශාල වශයෙන් පහල ගිය බවත් ,එම නිසා තාප බලාගාර භාවිතය අවම වූ බවත් , ඒ හේතුවෙන් විදුලි බලමණ්ඩලයට බිලියන 17.8 ක ඉතුරුවක් සිදුවු බවයි.එම නිසා අපේක්ෂිත සමස්ථ හිඟ මුදල වන රුපියල් බිලියන 32.5 ක පාඩුව සිදුනොවන බවත් , එම පාඩුව බිලියන 18.7 ක් වනු ඇති බවය.
එසේම විදුලි බල මණ්ඩලය කිසිදු තාර්කික අධ්යයනකින් තොරව ප්රකාශ කරන්නේ ලබන වසරේ පලමු මාස 6 දී රුපියල් බිලියන 48.2 පාඩුවක් සිදුවනු ඇති බවත්, ඒ පිලිබදවත් සලකා 2024 ජුනි 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි විදුලි බල මණ්ඩලයේ අදායම 18% න් ඉහල යන අකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසයි.
ඒ අනුව යමින් ,2023 ඔක්තොම්බර් මස 20 වන දා සිට බලපැවැත්වෙන පරිදි සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන ලදී. මෙම ගාස්තු වැඩිවීම 18% ක් ලෙස ප්රකාශයට පත්වුවද , 18% ප්රතිශතයකින් ඉහල යන්නේ විදුලි බල මණ්ඩලයේ අදායම වන අතර ගෘහස්ථ විදුලි බිල ඊට වඩා වැඩි ප්රතිශයකින් ඉහල යනු ලැබේ.
මෙම ගාස්තු සංශෝධනය සැලකිමේදී, ඒකක 30 ක් භාවිතා කරන නිවසක විදුලි බිල රුපියල් 450 සිට රුපියල් 540 දක්වා, ඉහල යන අතර , එය ප්රතිශතයක් ලෙස 20% ක වැඩිවීමකි. 2022 අගෝස්තු 1 දිනට සාපේක්ෂව 414% ක වැඩි වීමකි.
ඒකක 60 භාවිතා කරන ගෘහයක් සැලකිමේදී විදුලි බිල රුපියල් 1350 සිට රුපියල් 1620 දක්වා, ඉහල යන අතර එය ප්රතිශතයක් ලෙස 20% ක වැඩිවීමකි. 2022 අගෝස්තු 1 දිනට සාපේක්ෂව 477% ක වැඩි වීමකි.
ඒකක 200 භාවිතා කරන ගෘහයක් සැලකිමේදී විදුලි බිල රුපියල් 9970 සිට රුපියල් 12960 දක්වා, ඉහල යන අතර ,එය ප්රතිශතයක් ලෙස 29% ක වැඩිවීමකි. 2022 අගෝස්තු 1 දිනට සාපේක්ෂව එම වැඩිවීම 156 % කි වැඩි වීමකි.
මසකට විදුලි ඒකක 300 ක් භාවිතා කරන කර්මාන්තශාලා සදහා විදුලි බිල 5700 සිට 6340 දක්වා වැඩිකර ඇති අතර එම වැඩිවීම ප්රතිශතයක් ලෙස ,11.23% කි. 2022 අගෝස්තු 1 දිනට සාපේක්ෂව එම වැඩිවීම 67.5 % ක වැඩි වීමකි.
වසරේ විදුලි උත්පාදන අවශ්යතාව පිලිබඳ ගනණය කිරිම් සිදුකිරිමේදී, විදුලි බල මණ්ඩලය විද්යාත්මක දත්ත මත පදනම්ව නොව, අතාර්කික උපකල්පන මත සිය ගණනය කිරීම් සිදුකර ඇතිබව පසුගිය මාස 16 ක පමණ කාල පරාසය තුල විදුලි බල මණ්ඩලය වරින් වර ඉදිරිපත් කර ඇති සංඛ්යා ලේඛන අධ්යනයෙදි පැහැදිලිව පෙනි යන කරුණකි. අසාමාන්ය අධික ඉල්ලුමක් ඇතිවන බව පෙන්වමින් , එම අධික ඉල්ලුම සපුරාලීම සඳහා තාප බලාගාර වලින් මිලදි ගත යුතු විදුලි ප්රමාණය ඉහල බව පෙන්වමින් , ජනන සැලැස්ම සකස් කිරිමටත් , ඒ හරහා සමස්ථ විදුලි උත්පාදන වියදම ඉහල අගයක් බවට පෙන්වමින් විදුලි බිල අධික ලෙස ඉහල දැමීම සාධාරණිකරණය කිරිමටත් විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.
තවද 2023 පෙබරවාරි මස සංශෝධනයේදී,ඒකක 30 භාවිතා කරන ගෘහයක විදුලි බිල රුපියල් 105 සිට රුපියල් 1300 දක්වා ඉහල දැමිණි. එය ප්රතිශතයක් ලෙස 1138 % ක ඉහල යාමකි.එම සංශෝධනයේදී ඒකක 200 භාවිතා කරන නිවසක විදුලි බිල,රුපියල් 4963.5 සිට රුපියල් 11,780 දක්වා ඉහල දැමුණූ අතර එය 2022 අගෝස්තු 1 වන දිනට සාපේක්ෂව 117.04% ක ඉහල යාමකි.ඉන්පසුව 2023 වසරේ ජුනි මස සිදුකල සංශෝධනයේදී ඒකක, 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වාත් විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 30 සිට 10 දක්වාත් අඩුකෙරිණි. එම ගාස්තු සංශෝධනය හරහා එම කාණ්ඩයෙන් මණ්ඩලය ලැබු අදායම 64% න් අඩු වුවද, විදුලි බල මණ්ඩලයේ සමස්ථ අදායමට එහි බලපෑම ඉතා අඩු අගයක් විය.. එම නිසා මෑත කාලීන විදුලි ගාස්තු සංශෝධනයන් ,සමාජ සාධාරණත්වයේ මුලධර්ම නොසලකමින් හා එක් එක් කාණ්ඩයන්ගෙන් ලැබිය හැකි අදායම් ඉලක්ක පිලිබඳ නිසි අවබෝධයකින් හා දිගු කාලීන ප්රතිපත්තියකට අනුව සිදු නොකර ඇති බව පැහැදිලිය.
බලශක්ති පිරිවැය , රටක ආර්ථිකයේ සියළු අංශ කෙරෙහි වඩාත් ත්රිව්ර බලපෑමක් ඇතිකරනු ලබයි. එම නිසා විදුලි ගාස්තු තීරණය කිරිම , ඒ හරහා සිදුවන සමාජ ආර්ථික බලපෑම් පිලිබඳ වඩාත් පුළුල් අධ්යයනයකින් අනතුරුව, ජාතික ප්රතිපත්තිමය රාමුවක් තුල විනිවිදභාවයකින් හා ස්වාධීන ආයතනික ව්යුහයක් හරහා සිදු කිරීම ඉතා වැදගත්ය.
සම්පූර්ණ වාර්තාව -https://drive.google.com/file/d/1jxkcBRKmx-UZc444waK0hqNPpky-42kz/view?usp=sharing