13/07/2026
විදේශගත ශ්‍රමිකයන්ට නව සහ ආකර්ෂණීය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින්
ශ්‍රී ලංකා ජාතික ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය ලෙස සැලකෙන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත්, නම්‍යශීලී සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වන විදේශගත ශ්‍රමිකයන් සඳහා වූ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර ඇති බවයි.
ඔහු පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවල නිරතව සිටින අතර, 2025 වසරේදී මෙරට ඉතිහාසයේ ඉහළම විදේශ ප්‍රේෂණ ආදායම වාර්තා වුවද, පවතින විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයන් 307 දෙනෙකු පමණක් බවයි. එම තත්ත්වය පවතින ක්‍රමවේදයේ දුර්වලතා පිළිබඳ පැහැදිලි සංඥාවක් වන බැවින්, එම අඩුපාඩු සකස් කරමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
නව යෝජනා ක්‍රමය යටතේ සියලුම ශ්‍රමිකයන්ට එකම ආකාරයේ විශ්‍රාම සැලසුමක් වෙනුවට, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම අනුව තෝරාගත හැකි විවිධ විකල්ප හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ එක්වර ගෙවනු ලබන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රමිකයන්ට හිමිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සඳහා රුපියල් බිලියන 2.1ක මුදලක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර මෙම වැඩසටහනේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.
තාක්ෂණික පරිවර්තනයක් ලෙස, විදේශගත ශ්‍රමිකයන් විසින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ නිවැරදිව වාර්තා කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂ ඩිජිටල් යෙදවුමක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබේ. මෙම යෙදවුම හරහා සෑම ශ්‍රමිකයෙකුටම තමන් විසින් එවා ඇති සමස්ත විදේශ ප්‍රේෂණ පිළිබඳ නිල Remittance Report එකක් පහසුවෙන් ලබාගත හැකි අතර, එම දත්ත පදනම් කරගෙන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ විනිවිදභාවයෙන් යුතුව ගණනය කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම සමස්ත විශ්‍රාම හා සුබසාධන වැඩසටහන සම්පූර්ණයෙන්ම ශ්‍රමිකයන්ගේ ස්වේච්ඡා කැමැත්ත මත ක්‍රියාත්මක වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.
විදේශගත ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ රජයේ ප්‍රකාශය සාධනීය පියවරක් ලෙස Voice of Migrants Network (VOM) අගය කරයි. එහෙත් එය ප්‍රායෝගිකව සාර්ථක වීමට නම්, විදේශගත ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අදහස් සැලකිල්ලට ගනිමින්, විනිවිදභාවයෙන් යුත්, වගකීම් සහිත හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් බවට එය පත් කළ යුතු බව VOM අවධාරණය කරයි.
විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීම පමණක් නොව, නීත්‍යානුකූල මාර්ගයෙන් මුදල් මෙරටට එවන ශ්‍රමිකයන් දිරිගැන්වීම, ඔවුන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ඇගයීම සහ දිගුකාලීන සමාජ ආරක්ෂණය තහවුරු කිරීම ද මෙම වැඩසටහනේ මූලික අරමුණු විය යුතු බව VOM පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන් නියෝජනය කරන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පවත්වා, ඔවුන්ගේ යෝජනා සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කළහොත් පමණක් එය සැබෑ අර්ථයෙන්ම ශ්‍රමික හිතකාමී සහ තිරසාර වැඩපිළිවෙළක් බවට පත්වනු ඇති බව VOM විශ්වාසය පළ කරයි.
#රටවිරුවන් Sri Lanka Bureau of Foreign Employment