සාසනාරක්ෂක

සාසනාරක්ෂක Help others achieve their dreams and you will achieve yours.

01/04/2026

ජීවිතයක් වෙනස් වන්නට දිගු කලක් අවැසි නොවේ. එක් නිමේෂයක් තුළ සැප මෙන් ම දුක ද අප කරා පැමිණිය හැකි ය. ඉන් බලාපොරොත්තු නොවූ අයුරකින් ජීවිතය වෙනස් වී යන්නට පුළුවන. මේ කියන කෙනාගේ ජීවිතය වෙනස් වන්නට විශාල කාලයක් ගත වූයේ නැත. මහත් සැපයක් විඳිමින් සිටි ඔහුට ඒ සියල්ල අහිමි වන්නටත්, එයටත් එහා ගිය උත්තරීතර සැපයක් සාක්ෂාත් කර ගන්නටත් ගත වූයේ මොහොතක් පමණි. සැබවින්ම එය ද අසිරිමත් වෙනස් වීමකි. ඒ උත්තම වෙනසට අවශ්‍ය වූයේ එක ම එක දහම් පදයක් වීම තවත් අසිරියක් ම ය.

කොසොල් මහ රජතුමාට අතිදක්ෂ ඇමතිවරයෙක් වූයේ ය. ඔහු හැඳින්වූයේ ‘සන්තති අමාත්‍යතුමා’ ලෙසිනි. දිනක් කොසොල් රාජධානියේ ඈත ප්‍රදේශයක කැරැල්ලක් හට ගත්තේ ය. එම කැරැල්ල මැඩ පවත්වා එන ලෙස රජතුමා සන්තති මහ ඇමතිවරයාට භාර කළේ ය. සන්තති අමාත්‍යතුමා තම රාජකාරිය මැනවින් ඉටුකොට ආපසු පැමිණියේ ය. රජතුමාට මහත් සතුටක් ඇති විය. ඒ නිසාම රජතුමා සත් දවසක් සන්තති අමාත්‍යා හට රජෙකුට වගේ සැලකිලි සම්මාන දක්වන්නට නියෝග නිකුත් කළේ ය. නැටුම් ගැයුම්වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් ඔහුගේ උපස්ථානයට ලැබුණි. ඔහු රජෙක් වගේ සැප වින්දේ ය. කෙමෙන් සත්වෙනි දවසත් පැමිණුනි. එදා අවසාන දවස නිසා ඔහු ඇති පදමට මත්පැන් බීවේ ය. රජ ඇඳුමින් ම සැරසී ඇතා පිට නැගී නාන්නට පිටත් විය.

ඇමතිතුමා යන මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ ද පිඬුසිඟා වැඩි සේක. නාන්න ඇතු පිටින් යන සන්තති අමාත්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණි. ඔහු සිටියේ හොඳටම මත් වීගෙන ය. නමුත් ඇතා පිට සිටියදීම අප භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස පාත් කොට නැමුවේ ය. වන්දනා කර පිටත් වූයේ ය. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළහ. නිකරුණේ බුදුරජාණන් වහන්සේලා සිනහ පහළ නොකරන හෙයින් ආනන්දයන් වහන්සේ මේ මොහොතේ සිනහ පහළ කරන්නට හේතුව විමසා සිටියහ.

“ස්වාමීනී සිනහ පහළ වෙන්නට සිදු වූ දෙය කුමක්ද?” ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ පිටින් ම තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත් වෙනවා. අහසට පැන නැගී අද ම පිරිනිවන් පානවා.”

පුද්ගලයකුගේ ජීවිත වෙනස් වීමක් බුදුවරයෙකුගේ ශ්‍රී මුඛයෙන් අසන්නට ලැබීම මොනතරම් වාසනාවක් ද… තවත් සුළු කාලයක් තුළ තමන්ගේ ජීවිත ඉරණම වෙනස් වන බව සන්තති අමාත්‍යතුමා නොසිතුවේ ය. නොදන්නේ ය. සියල්ල දන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණි. අහෝ බුදුවරුන්ගේ ස්වභාවය ආශ්චර්යක් ම ය.
තම ජීවිතයට සිදුවන්නට යන කිසි දෙයක් නොදන්නා ඇමතිවරයා මැනැවින් නා ගත්තේ ය. නාගෙන උයනට විත් ශාලාව මැද්දේ වාඩි විය. සත්කාරයෙහි සත්වෙනි දවස නිසා තවත් නොයෙක් වර්ගයේ ප්‍රණීත ආහාරපාන ලැබුණි. ඔහුත් කැවිලි ජාති කමින් නැටුම් බලන්නට පටන් ගත්තේ ය. දවස් හතක් සඳහා වැටුප් ලබා තිබුණ අර ස්ත්‍රිය ද ‘හත්වෙනි දවසේ ඇමතිතුමා වැඩිපුර පහදවන්න ඕන’ කියා සිතා වේග-යෙන් නටන්නට පටන් ගත්තා ය. හදිසියේම ඇයට හෘදයාබාධයක් වැළඳුණි. සුළු මොහොතින් සියල්ලෝම බලා සිටින විටම ඇය එතනම මැරී වැටුණා ය. මෙය දුටු සන්තති අමාත්‍යතුමාට නිකන්ම නැගිටවිණි.
“අන්න මගේ නළඟන වැටුණා. ඉක්මනට මැයව ගනිල්ලා.. මොකක්ද වුණේ බලාපල්ලා.” යි කියමින් ඔහු මොර දෙන්නට විය. සේවකයෝ විගස පැමිණ බැලූහ.

“අනේ ඇමතිතුමනි.. මෑ.. මෑ… මැරිලා…!”
සන්තති අමාත්‍යතුමාට ඉහළට ගත් හුස්ම පහළට ගන්නටත් අසීරු විය. වෙරි හිඳී ගියේ ය. ඔහු මහා හයියෙන් විලාප දෙන්නට පටන් ගති. ඇමතිතුමාට සියල්ල එපා විය.

“අයියෝ! මේ මොකක්ද වුණේ” කියමින් තව තවත් වැළපුණේය. හදිසියේම ඔහුට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් වුණි.

“භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවා ගන්නට කෙනෙක් නෑ… මට මේවයින් කිසි ඵලක් නෑ… මාව හණිකට භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්ක පලයල්ලා…” ඔහු සේවකයන්ට කියා සිටියේ ය.

තවත් එක්තරා ජීවිතයක් වෙනස් වන මොහොත පැමිණ තිබුණි. තමන්ගේ ජීවිතයට කුමක්ද සිදු වන්නට යන්නේ කියා ඔහු කිසිත් නොදත්තේ ය. එහෙත් සසරේ රැස් කළ පින් බලය ඔහුට තිබුණි. මේ වන විට ඒ පින් බලය හොඳින් මෝරා ගොස් හමාර ය. විලේ නෙළුම ජලයෙන් උඩට විත් හිරු කිරණ වැටෙන තෙක් බලා සිටින්නා සේ සන්තති ඇමති නම් පියුම පිපෙන්නට සූදානම් විය. මේ බව නොදත් ඔහු ශෝක හුල උදුරා දමන්නට මහා ශල්‍ය වෛද්‍යවරයා මුණගැසෙන්නට පිරිස සමඟින් ගියේ ය. සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ රෝගයට නිසි ඔසුව දුටු සේක.

“පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනේක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි” යැයි පවසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ උත්තම ගාථා රත්නය වදාළ සේක.

යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං මජ්ඣේ චේ නෝ ගහෙස්සසි – උපසන්තෝ චරිස්සසි

“යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින් අනාගතයේ ඇතිවන – කෙලෙස් ඔබ නොගනීවා මේ මොහොතේ දී කිසිවක් – ඔබට පැටලී නැතිනම් උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින් සැබවින්ම ඒ ජීවිතය වෙනස් විය. කොයිතරමට වෙනස් වී ගියා ද කියතොත් රජ ඇඳුම පිටින් සිටි සන්තති මහා අමාත්‍යතුමා සියලු කෙලෙස් හුල් උදුරා දමා උත්තම අරහත්වයට පත් වූයේ ය.

ජීවිත වෙනස් වීම නම් මෙයම නොවේ ද? මෙයටත් වඩා විස්මිත වෙනස් වීම් ලොව තිබේ ද? එක ම එක ධම්ම පදයෙන් සැනසුණ ජීවිතයක්…!
ඒ මොහොතේ සන්තති රහතන් වහන්සේට ස්වකීය ආයුෂ අවසන් වී ඇති බව වැටහුණි. උන්වහන්සේ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා” යි ඉල්ලූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, “එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.” යි යනුවෙන් වදාළ සේක.

සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින් ම අහසට පැන පළඟක් බැඳ වාඩිවුණා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මං බන්ධුමතී නගරයේයි ඉපිද සිටියේ. කාටවත් වරදක් නැතිව, හිංසාවක් පීඩාවක් නැතිව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරා ගත්තේ බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියා දෙනවා.

‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුනුරුවනට ගෞරව කරන්න’ ආදිය කියමින් නොයෙක් ස්ථානවලට ගියා.

ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වන බන්ධුමතී මහ රජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා.

‘දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?’
‘දේවයන් වහන්ස, මං තුනුරුවනේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.’
‘කෙසේ ද එය කරන්නේ?’
‘දේවයන් වහන්ස, මං පයින් ඇවිද ගිහින් තමයි ඒක කරන්නේ.’
‘දරුව එහෙම යන්න ඕනේ නෑ. මල් මාලයක් පැලඳගෙන අශ්වයා පිටේ නැඟලා ගිහින් කියන එකයි හොඳ.’ කියලා එතුමා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙකුත් දුන්නා.

ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා.
‘දරුව අශ්වයා ගැළපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම්.’ කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකේ නැඟලා තමයි ඊට පස්සේ බණ කිව්වේ.

රජතුමා ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත් දීලා, මාලිගාවකුත් දීලා, ඇතෙකුත් දුන්නා. මම සියලු ආභරණවලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූහාරදහසක් මිනිසුන්ව පිනට යොමු කළා.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නේ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.”

මේ අයුරින් වදාළ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩ සිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පා වදාළහ. උන්වහන්සේගේ ශරීරය ගිනිගෙන දැවී සමන් මල් මිටක් වාගේ ධාතූන් වහන්සේලා ඉතිරි විය.

භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්නට යැයි කී සේක. ඒ වස්ත්‍රයට ධාතූන් වහන්සේලා වැඩම කළහ. මහජනයාට වන්දනා කොට පින් කරගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කරවන ලදී.

ඒ යුගය මොන තරම් නම් සුන්දර ද? අපට අද ඇත්තේ ඒ ගැන සිහිපත් කොට සිත, පහදවා ගැනීමයි.

ඇත්තෙන් ම…
“සුඛෝ බුද්ධානං උප්පාදෝ”
බුදුවරුන්ගේ උපත සැපයකි.

01/04/2026
31/01/2026
03/01/2026

සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ.

මනුෂ්ය දිව්ය බ්රහ්ම සංඛ්යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්රය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්රය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්රියා කළ හොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකි ය.

මල් පූජා, පහන් පූජා, ගිලන් පස පූජා, ආහාර පූජා කිරීමෙන් ඔබට දානපාරමිතාව පිරේ. අනිකකුට දානයක් දුන හොත් දානයකට සහභාගී වුවහොත් එයින් ද දාන පාරමිතාව ම පිරේ. ධර්ම කථිකයන් වැඩම කරවා බණ කියවුව හොත් තමා බණකියුව හොත් සෙස්සන්ට අසන්නට බණ පොතක් හෝ කියවුවහොත් එයින් ද දාන පාරමිතාව පිරේ. සිල් සමාදන් වී සිටින ඔබට සීලපාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කියයුත්තක් නැත.

අඹු දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්රාභරණ හැර, රාත්රී භෝජනය හැර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසු ඇති සිය නිවස හැර දහම් හලකට වී පැදුරක වාසය කිරීම කාමයන් කෙරෙන් බැහැර වීමය. එය නෛෂ්ක්රම්ය ය. එයින් ඔබට නෛෂ්ක්රම්ය පාරමිතාව පිරේ.

පොහොය දිනයේ දී ප්රඥාව ලබනු පිණිස දහම් ඇසීමෙන්, දහම් පොත් කියවීමෙන්, ධර්ම සාක්ච්ඡා කිරීමෙන්, තමා දත් ධර්මය සෙස්සන්ට කියා දීමෙන්, භාවනා කිරීමෙන් ප්රඥා පාරමිතාව පිරේ.

ඔබ මේ පොහෝ දිනයෙහි සිල් රැකීමට, ධුතංග රැකීමට, භාවනා කිරීමට, දහම් ඇසීමට, වත් පිළිවෙත් කිරීමට කරන වීර්ය්යය වීර්ය්ය පාරමිතාවය.

සිල් සමාදන් වී සාගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, අනුන්ගෙන් අපහාස ලැබේ නම් ඒවා ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය.

සත්යය පාවිච්චි කිරීමෙන් සත්යයෙහි පිහිටා සිටීමෙන් සත්ය පාරමිතාව පිරේ.

මම මෙපමණක් ශීල රකිමිය, මෙතෙක් කල් භාවනා කරමිය යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පිරේ.

අන්යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසළ ඉවත්කිරීම් පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්රී සහගත කායික ක්රියා කිරීමෙන් ද, අනුන්ගේ සිත් සතුටු වන පරිදි යහපත් වචන කතා කිරීමෙන් ද, අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීමෙන් ද, මෛත්රී භාවනා කිරීමෙන් ද මෛත්රී පාරමිතාව පිරේ.
පිරීම හොඳට ම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාව ය. අපවිත්ර ශරීරය හා ඇඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, බැලීමට කැත, ළංවන කොට දුගඳ, අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ ද නැතිව, ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේ ද නැතිව සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව, හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව, හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව, කැතය නරකය කියන දේ පිළිකුල් කරන්නේ නැතිව මෙදින සියල්ල කෙරෙහි මධ්යස්ථව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ.

මෙසේ නුවණින් ක්රියා කිරීමෙන් සිල් ගත් දිනයේ දස පාරමිතාව ම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතු ය.

රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත “පොහොය දිනය ” ග්රන්ථය ඇසුරින්

ලිපිය කියවන්න : https://pitaka.lk/books/pohoya-dinaya/37.html

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සාසනාරක්ෂක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සාසනාරක්ෂක:

Share