01/09/2026
ලෝක උරුමයක් වූ ගාල්ල........
අඩ සියවසකට පෙර ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහල හා සබැඳුනු අපේ කතාව.
by Asoka Mendis
***********************
20 වන කොටස.
අප විදුහලේ සැමගේ ආදරය දිනූ ලස්සන
දි.. ය.. ම.. න්.. ති.. ය.
*********************
එකල ටෙස්ට් ක්රිකට් පිටියක් නොවූ 'ගාලු මහජන ක්රීඩාංගණයේ' අප විදුහලත් මහින්ද විදුහලත් ක්රිකට් ක්රීඩා පුහුණුවීම් වල යෙදුනෙමු. අප බොහෝ විට මහින්ද විද්යාලයේ සිසුන් සමග වූයේ වෙනත් විදුහල් වල සිසුන්ට වඩා වැඩි හිතවත් කමකි. එසේ වූයේ අප විදුහල් දෙක ආසන්නව පිහිටා තිබීමටත් වඩා ගාල්ල පිට්ටනියේදී, දුම්රිය පොලේදී සහ ගාල්ල බස් නැවතුම් පොලේදී ඔවුනොවුන් නිතර දෙවේලේ හමුවන නිසා විය හැකිය. ( මේ ගැන අප සොයුරු වෙනත් විදුහල් වරදවා වටහා ගන්නට එපා.) මහින්දයත්, අපත් ක්රිකට් පුහණුවීම් කලේ ගාලු කොටුවේ වරාය පැත්තේ කෙළවර ඇති රත්ගම වැල්ලත්, අබේසේකර ෂෙඩ් එකත් අතර, මහ පිට්ටනිය තුළය. එහිදී අති දක්ෂ ක්රිකට් ක්රීඩා පුහුණුකරුවෙකු වූ මේජර් සිල්වා මහතා මහින්දයේ පුහුණුකරු විය. ශාන්ත ඇලෝසියස් විදුහලට පුහුණුකරුවෙකු සිටියේ නැත. එහිදී මහින්දයේ ක්රිකට් ක්රීඩකයෙකුට තුවාලයක් සිදු වුවහොත් ඔහුට ප්රතිකාර කිරීමට රැගෙන යන්නේ ෆාදර් මාක් හමුවටය. එවිට බොහෝවිට අප කණ්ඩායමේ කෙනෙකුද යයි. එම ප්රතිකාර නොමිලේම සිදුකල අතර එතුමන් අප සැම වෙනුවෙන් අගනා සේවයක් සිදු කරන ලදී.
අප විදුහලත් අප සොයුරි විදුහලත් අතර, සහෝදර විදුහල් වශයෙන්, ගාල්ලේ අනෙක් සහෝදර - සහෝදරී විදුහල් වලට වඩා දැඩි සම්බන්දයක් තිබුණි. 1960 ගණන් වල පටන්මදිගටම ශ්රී හෘදය කන්යාරාමයෙන් අ. පො. ස. (උ. පෙළ) විද්යා විෂයයන්, සිංහල මාධ්යයෙන් හැදෑරීමට සිසුවියන් පැමිණියහ. එම SCIENCE SCHEME එකේ ළමුන් පැමිණ උද්භිද විද්යාව, සත්ව විද්යාව, භෞතික විද්යාව, රසායන විද්යාව, ව්යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය ආදී විෂයන් හදාරණ ලදී. ලංකාවේ විදුහලක සිටින උසස්ම සුදුසුකම් සහිත ගුරුවරුන් පිරිසක් මෙහි උගන්වන ලදී. එසේම ගාල්ලේ හොඳම රසායනාගාර පහසුකම් සහ පුස්තකාල පහසුකම් තිබූ විදුහලද විය..
ගරු ජුලියස් පොගානි ( P. H. D.) පියතුමන් විසින් භෞතික විද්යාව සහ ශුද්ධ ගණිතයද, ගරු ලුවී ක්රාමා (P. H. D.) පියතුමන් විසින් උද්භිද විද්යාවද, ගරු මාක් පෙරේරා ( M. Sc.) පියතුමන් විසින් රසායන විද්යාවද, ගරු ස්ටීවන් ප්රනාන්දු පියතුමන් විසින් ඉංග්රීසි භාෂාව සහ.පන්තියේ සිසුන්ගේ ඉල්ලීම පරිදි ප්රංශ භාශාව ද උගන්වන ලදී. කුෂ්ලානි අමරසූරිය ( B. Sc.) විසින් සත්ව විද්යාවද, රංජලා වීරසූරිය විසින්ද සත්ව විද්යාවද, රත්නසේකර (B. Sc.)මහතා විසින් භෞතික විද්යාවද ඉගැන්වීය. අප විදුහලෙන් ඉගෙනුම ලබා පේරාදෙනිය විශ්ව විද්යාලයෙන් විද්යාවේදී ( B. Sc.) උපාධි ලබාගැනීමෙන් පසු, ගරු පියතුමන්ලාගේ ඉල්ලීම පරිදි අප විදුහලේ සේවය කල ගාමිණී සමරසිංහ මහතා ව්යවහාරික ගණිතයත්, ලරීෆ් මොහොමඩ් මහතා විසින් රසායන විද්යාවත් ඉක්බාල් මොහොමඩ් මහතා විසින් රසායන විද්යාවත් උගන්වන ලදී. එනමුදු ඔහු වඩාත්ම දක්ෂ වූයේ අකාබනික රසායන විද්යාවටය. දේවසුරේන්ද්ර මහතා විසින් රසායන විද්යාව සහ ශුද්ධ ගණිතයද උගන්වන ලදී. ඊටත් අමතරව ඔහු විසින් අප විදුහලේ සිසුන් ගල්දූව ආරණ්ය සේනාසනයට රැගෙන ගොස් ශීල ව්යාපාර ආදියද සිදු කලේය. ඒ සම්බන්ධයෙන් අප ආදී ශිෂ්ය, එතුමන්ලාට අපගේ හෘදයාංගම ගෞරව උපහාරය පුද කරමු.
එසේම 1971 අප්රේල් කැරැල්ලෙන් පසුව රජයෙන් කරන ලද විශේෂ නිර්දේශයක් පරිදි උසස්පෙළ පාසැල් සිසුන් සඳහා තමතමන්ගේ ආගම ධර්මය අනුව යෞවන මනස හැඩගස්වා ගැනීම සඳහා මනෝ උපදේශනය සිදුකිරීමට කාල පරිච්ඡේදයක් වෙන් කරන ලදී. එම රජයේ නිර්දේශයට අනුව උසස්පෙළ විද්යා පන්ති වලට වසරක් පමණ බුද්ධ ධර්මය ඉගැන්වීම සිදු කලේ එදිරිවීර මහතාය.
එසේම අප විදුහල වෙනුවෙන් සේවය කිරීමට නතර වූ ගාමිණී සමරසිංහ මහතාට නම් වැරදුනේ නැත. මෙම ලිපියේ ඉහත තොරතුරු සැපයූ චාන්දනී ද සිල්වා ඇතුළු උසස් පන්ති වල සොයුරු සොයුරියන්ගේ දැඩි අනුග්රහය, ආශීර්වාදය සහ විහිළු තහළු මැද, එවකට මුළු විදුහලේම සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ඇල්මට, බැල්මට ලක්වූ, ශ්රී හෘදය කන්යාරාමයේ සහ සංඝමිත්තා බාලිකාවෙන් අධ්යාපනය ලැබ, සංඝමිත්තාවේ ප්රධාන ශිෂ්ය නායිකාව වශයෙන්, කීර්තිමත් විදුහල්පතිනිය තිලෝක සුන්දරී කාරියවසම් මැතිතුමියගේ පා සෙවනේ කිරුළු පලන්, එම විදුහලට ඉමහත් ආඩම්බරයක්වූද,
පාසැල් නිළ ඇඳුමට සමු දෙන විටම සාරියෙන් සැරසී, ගායක සුනිල් ශාන්තයින්ගේ පාදස්පර්ශය ලැබූ එම පුන්ය භූමිය මත එතුමන්ගේ,
' මිහිකත නලවාලා
මග මල් ගන්වාලා....'
යන ගීතයේ වචන වලට සැබෑ අරුත ලබා දෙමින් අප විදුහලට ආලෝකය ගෙන දුන්, අප විදුහලේ සිටි,
'ලස්සනම දි.ය.ම.න්.ති.ය',
' ද. ම. ය. න්. ති.
ජ. ය. සු. න්. ද. ර.'
මෙනෙවිය තමන් සතු කර ගැනීමට ගාමිණී සමරසිංහ මහතා වාසනාවන්ත විය.......
ආදරණීය ඔබ දෙපළට
අපගේ,
සු.. භ....... පැ.. තු.. ම්.
සටහන.. වැවදෙණියේ අසෝක මෙන්ඩිස් විසිනි.