18/06/2022
2022.06.18
කුරුණෑගල - මාස්පොත, වැළඟනේ ඉන්ධන පිරවුම්හල අසල පොලිසිය විසින් සිවිල් ජනතාවට සිදුකළ ප්‍රහාරයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම.
ඊයේ දින (17) කුරුණෑගල - මාස්පොත, වැළඟනේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි නිරායුධ සිවිල් ජනතාවට කුරුණෑගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් එල්ල කළ අමානුෂික සහ නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකිමු.
දින ගණනාවක් තිස්සේ නිරාහාරව, රැකියාවට පවා යාමට නොහැකිව, සිය දරුවන්, පවුල් අවම තත්ත්වයෙන් හෝ පෝෂණය කිරීමේ අතිශය ඛේදනීය අභියෝගයකට මුහුණ දෙමින් සිටින සිවිල් ජනතාව ඉන්ධන පෝළිම්වලදී කෙතරම් පීඩනයකින් සිටින්නේදැයි යළි යළිත් පැවසීම අවශ්‍ය නොවේ.
මේ රටේ මහජන සාමය ආරක්ෂා කිරීම ද, රජය නොව රාජ්‍යය ආරක්ෂා කිරීම ද සිය වගකීම වන ශ්‍රී ලංකා පොලීසිය එකී වගකීම පසෙකළා අමානුෂික අන්දමින් පීඩාවට පත්ව සිටින නිරායුධ, සිවිල් ජනතාවට එරෙහිව, අවස්ථාපිතව යෙදවිය යුතු අවම බලය භාවිතා කිරීම වෙනුවට පැති අවි පෙන්වමින්, ජනතාව බියගන්වමින් සහ ජනතාව කැළඹීමට පත්විය හැකි ආකාරයෙන් කටයුතු කරමින්, පැවරී ඇති බලය අනිසි ලෙස යෙදවීම පිළිබඳව අපි දැඩි අප්‍රසාදය පළ කරමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව ප්‍රකාරව 'කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට යටත් නොකළ යුතු බව' ද, 12 ව්‍යවස්ථාව ප්‍රකාරව 'නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බව' ද, 13(1) ව්‍යවස්ථාව ප්‍රකාරව 'නීතියෙන් නියම කරනු ලැබූ කාර්‍යපටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුතු බව' ද මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස දක්වන පසුබිමක මෙම සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පැහැදිළිවම අනීතික බව අප මතය යි. විශේෂයෙන් කැළඹීමට පත්ව සිටින ජනතාව තවදුරටත් කුපිත වන අකාරයෙන් අනීතිකව සහ බලය අයුතු ලෙස යෙදවීම නොව, අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ලෙස මහජන කැළඹීමක් ඇතිනොවන පරිදි සාමකාමීව, නිසි කාර්‍යපටිපාටියට එකඟව, වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් ක්‍රියාත්මක වීම යන්න එම නිලධාරීන්ගේ හැසිරීම තුළ ම පැහැර හැර ඇති බව පෙනී යන්නකි.
එම නිසා නිරායුධ, පීඩාවට පත්ව සිටින සිවිල් ජනතාවට එරෙහිව කුරුණෑගල, වැලගනේ ඉන්ධන පිරවුම්හල අසල සිදුවූ මෙම අනීතික සහ මර්දනකාරී පොලිස් ප්‍රහාරයට එරෙහිව වගකිවයුතු කුරුණෑගල පොලීසියේ පොලිස් නිලධාරීන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙසත්, තවදුරටත් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් පරීක්ෂණයක් නිම වෙන තුරු ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කරන ලෙසත් අපි බල කර සිටිමු. ශ්‍රී ලංකා පොලීසියේ වෘත්තීය ගරුත්වය කෙලෙසන, මැර ප්‍රහාර පන්නයේ මෙවැනි මර්දනකාරී පිළිවෙත් තවදුරටත් පූර්වාදර්ශ බවට පත් වීම වැළැක්වීමට ද, ජනතාව පොලීසිය කෙරෙහි පවත්නා විශ්වාසය රැකගැනීමට ද අදාළ නිලධාරීන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අතිශය වැදගත් බව ද අපි අවධාරණය කර සිටිමු.
ජන අරගලයේ නීති ශිෂ්‍යයෝ