05/11/2025
"බෞද්ධ රටක්" කියන ලංකාව LGBTQ ප්‍රජාවට තවදුරටත් සුරක්ෂිතද?
මේ ප්‍රශ්නය අහනකොටම ගොඩක් අයට උත්තර දෙකක් එන්න පුළුවන්.
"අපෝ මොන ප්‍රශ්නයක්ද, උන් ඉන්නවනම් පුද්ගලිකව උන්ගේ පාඩුවේ ඉන්න පුලුවන්" කියන එක එකක්. "නැහැ, කොහෙත්ම සුරක්ෂිත නැහැ" කියන එක අනික.
හැබැයි අපි දකින දේවල්, අහන දේවල්, සහ ඇත්තටම වෙන දේවල් දිහා බලපුවහම, දෙවෙනි උත්තරේ තමයි ඇත්ත කියලා පේන්නේ. "මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා" පිරුණා කියන මේ රටේ, LGBTQ ප්‍රජාවට අර කියන විදිහට පුද්ගලිකව පාඩුවේ ජීවත් වෙන්න තියෙන පරිසරය දවසින් දවස දරුණු විදිහට අනාරක්ෂිත වෙමින් තියෙනවා.
ඉස්සර ඉඳන් මේ වෛරය (Homophobia) තිබුණට, මිනිස්සු කසුකුසු ගෑවට, දැන් ඒක එළිපිටම කරන තැනකට වැඩේ ඇවිත්. විශේෂයෙන්ම පහුගිය කාලේ ෆේස්බුක්, ටික්ටොක් බැලුවොත්, LGBTQ අයට මඩ ගහන, එයාලව පහත් කරලා කතා කරන, "මුං ලෙඩ්ඩු", "පො**යෝ" කියලා හංවඩු ගහන පෝස්ට් දහස් ගාණක් පේනවා.
මේක නිකන්ම වෙන දෙයක් නෙවෙයි. පැහැදිලිවම මේක පිටිපස්සේ සංවිධානාත්මක පිරිසක් ඉන්නවා. පහත් දේශපාලන වාසි ගන්න, මිනිස්සුන්ගේ ඔළු කුණු කරන්න fake profile වලින් ඇවිත් මේ වෛරය වපුරනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවට දානවා "මුං තමයි සංස්කෘතිය විනාශ කරන්නේ", "පොඩි ළමයිව නොමග යවන්නේ" කියලා. කොටින්ම, තමන්ගේ අදහසක් ප්‍රකාශ කරපු කෙනෙක්ගේ පෞද්ගලිකත්වය පවා හානි කරමින්, එයාලගේ ෆොටෝ පවා දාලා අසභ්‍ය විදිහට ප්‍රහාර එල්ල කරනවා.
වෛරය තියෙන්නේ සෝෂල් මීඩියාවේ විතරක් නෙවෙයි. මේ ප්‍රජාවේ අයට තමන්ගේ රස්සාව කරන තැන, පාරේ යනකොට, බස් එකේදී පවා වෙනස්කම්වලට, අපහාසවලට ලක්වෙන්න වෙනවා.
ඊටත් එහා ගිහින්, නීතිය ක්‍රියාත්මක කරන තැන්වලින් පවා මේ අයට සාධාරණයක් නැති වෙනවා. පොලිසියේදී අමානුෂික ලෙස මරණයට පත්වුණ නිමේෂ් සත්සරගේ සිද්ධිය ගන්න. අදටත් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙලාද?
මේ වෛරය පටන් ගන්නේ පොඩිකාලේ ඉඳන්මයි. පාසල්වල පවා girlish behaviors තියෙනවා කියලා හිතෙන පිරිමි ළමයින්ව කොච්චර නම් මානසිකව සහ ශාරීරිකව වද හිංසාවට ලක්වෙනවද? සමහර වෙලාවට ගුරුවරු පවා, මේ ළමයින්ව කොන් කරනවා. ලඟදි වටවල ආයතනය විසින් පළ කරලා තිබුණු වෙළඳ දැන්වීමෙදි අර ළමයාට කොච්චර පහත් අසභ්‍ය විදිහට බැනලා තිබ්බ විදිහ බොහෝ අය දකින්න ඇති. නිකමට හිතන්න මේ homophobic පිරිසගේ එක් අයෙකුට හරි එවැනි දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා පොඩි වයසේ ඉඳන් කොච්චර මානසික ශාරීරික පීඩාවකට ලක් වෙයිද?
මේ කතාව නිකන් නූගත් මිනිස්සු අතරේ විතරක් තියෙන එකක් කියලා හිතුවොත් ඒක ලොකු වැරදීමක්. ළමයින්ගේ ඔළුව හදන, අනාගතේට පාර කියනවා කියන ගුරුවරු කියාගන්නා පවා මේ වෛරය වපුරන එකට කෙලින්ම දායක වෙනවා.
මේ ලඟදි භෞතික විද්‍යාවයි, රසායන විද්‍යාවයි උගන්වන උෂාන් ගුණසේකර කියලා ගුරුවරයෙක් ප්‍රසිද්ධියේ, කැමරාවක් ඉස්සරහ කියනවා මේ දේවල් විකෘති කියලා.
ඒකත් මදිවට, මේක මල වසංගතයක් කියන උෂාන් ගුණසේකර, තව දුරටත් ගිහින් කියන්නේ කරන්නේ මේ ප්‍රජාවට අයත් මිනිස්සුන්ව වෙනම දූපතකට ගාල් කරලා, "එක්සත් සමනල රාජධානියක්" හදන්න ඕන කියලයි. ඌට අනුව, තමන්ට බලයක් ලැබුණොත් මුලින්ම කරන්නේ ඒ දේ.
විකෘතියක් කියන එකට එහා ගිහින්, ඌ මේක මානසික ලෙඩක් විදිහට හඳුන්වනවා. ඌ තර්ක කියන්නේ උපතින්ම හෝමෝන ගැටලුවක් නිසා එසේ වන අයට වඩා, ජීවිතේ මැදදී "මනස විකෘති වෙලා" මේ තත්ත්වයට පත්වෙන අය වැඩි බවයි. වෙනම සංඝගනයක් කරලා මං හිතන්නේ.
උගේ ප්‍රධානම සහ භයානකම තර්කය තමයි, මේ දේවල් සමාජයේ ප්‍රවර්ධනය කිරීම හරහා "පොඩි ළමයින්ව" ඉලක්ක කරනවා කියනා දේ. ඌට අනුව, ළමයින්ව manipulate කරලා, එහෙම නැත්නම් නොමග යවලා තමයි මේ තත්ත්වයට පත් කරන්නේ. පොඩි ළමයෙක් දකින, අහන දේවල් අනුව හැඩගැසෙන නිසා, මාධ්‍ය හරහා මේ දේවල් සාමාන්‍යකරණය කරන කොට ළමයින්ගේ මනස විකෘති වෙනවා කියලා උගේ තර්කය.
එක තැනකදි කියනවා තමන්ගේම දරුවෙක් වුණත් මේ වගේ කෙනෙක් වුණොත් "දරුකමින් අයින් කරනවා, මොන ලැජ්ජාවක්ද?" කියලා. එකෙන් පේන්නේ මේ වෛරය කොයිතරම් ගැඹුරට ගිහින්ද කියන එක.
නිකමට හිතන්න. විද්‍යාව වගේ විෂයක් උගන්වන, දහස් ගාණක් ළමයින්ගේ ඔළුවට බලපෑම් කරන්න පුළුවන් ගුරුවරයෙක් මෙහෙම කියනකොට මොකද වෙන්නේ? ළමයින්ගේ මනස හදන ගුරුවරයෙක්ම මේවගේ විෂබීජ සමාජගත කරනකොට, ඒකෙන් LGBTQ+ ප්‍රජාවට, විශේෂයෙන්ම තමන්ගේ අනන්‍යතාවය හොයන තරුණ අයට, ඇතිවෙන අනාරක්ෂිත බව කොච්චරක්ද කියලා.
අනික් පැත්තෙන් ඉන්නවා ආගමික පූජකයෝ. බණට දහමට මුල්තැන දෙනවා කියන මේ අය, වේදිකාවල නැගලා කෑ ගහනවා "සමලිංගිකත්වය ලංකාවේ පතුරවනවා", "සංස්කෘතිය විනාශ කරනවා" කියලා. හැබැයි මේ කෑ ගහන අයගෙන්ම සමහරු හොර රහසේ සමරිසි ක්‍රියාවල යෙදෙනවා, ඊටත් එහා ගිහින් ළමා අපයෝජන චෝදනා පවා එයාලට එල්ල වෙනවා. මේක නිරුවත් කුහකකමක්.
මේ හැමදේම අස්සේ, මිනිස්සුන්ගේ ඔළුවට විෂබීජ දාන්න වෘත්තිකයෝ කියලා ගන්න අයත් එකතු වෙනවා. මෑතකදී වෛද්‍ය චමල් සංජීව කරපු ප්‍රකාශය මීට හොඳම උදාහරණයක්. උන්දෑ කියනවා "සමලිංගිකයින් 80,000ක්... ලියාපදිංචි වෙලා ඉන්නවා" කියලා.
ඇත්තටම එහෙම ලේඛනයක් තියෙනවද? HIV පැතිරෙන්නේ සමලිංගිකයින්ගෙන් විතරද? මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත විකෘති කිරීමක්, වෛද්‍ය සදාචාරය බරපතල විදිහට උල්ලංඝනය කිරීමක්.
වෛද්‍යවරයෙක් වගේ වගකීම් සහගත තැනක ඉන්න කෙනෙක්, කිසිම පදනමක් නැතුව, අහිංසක ප්‍රජාවක්ව "HIV වාහකයෝ" විදිහට හංවඩු ගහනකොට, සාමාන්‍ය මිනිස්සු ඒක විශ්වාස කරනවා. මේකෙන් වෙන්නේ ඒ ප්‍රජාවට තියෙන වෛරය තව තවත් වැඩි වෙන එක. මේක hate speech වගේම, මිනිස්සුන්ව බිල්ලට දීමක්.
ඉතින්...කවුද කියන්නේ ආරක්ෂිතයි කියලා?
සෝෂල් මීඩියාවෙන්, දේශපාලනඥයින්ගෙන්, ආගමික නායකයින්ගෙන්, පොලිසියෙන්, විභාග කරන වෛද්‍යවරුන්ගෙන්, විතරක් නෙවෙයි, රෝග සුව කරන්න ඉන්න වෛද්‍යවරුන්ගෙන් පවා යම් ප්‍රජාවකගේ පැවැත්මට තර්ජනයක් එනවා නම්, ඒ රට කොහොමද සුරක්ෂිත වෙන්නේ?
~ Copied