Lengathu minisa

Lengathu minisa එක් මොහොතකට ඔබේ ජීවිතය වෙනස් කළ හැකිය. Like us, Follow us.

30/08/2026
21/08/2026

🔴නන්දා මාලනී: ජනතාවගේ හඬ වූ ගීත කෝකිලාවිය.
ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය නිසා අද අපගේ සිත් ශෝකයෙන් බරවෙලා තියෙනවා. ‘හෙළයේ මහා ගීත කෝකිලාවිය’ ලෙස හැඳින්වූ ඇය හුදෙක් ගායිකාවක් පමණක් නොව, දශක ගණනාවක් පුරා සමාජයේ පීඩිත ජනතාවගේ හඬ නියෝජනය කළ පුරෝගාමී කලාකාරිනියක්. 1943 අගෝස්තු 23 වැනිදා උපන් ඇය, වසර හැත්තෑවකට ආසන්න කාලයක් තම ගීත මාධ්‍යයෙන් සමාජ සාධාරණත්වය, මානව හිමිකම් සහ අසාධාරණයට එරෙහි අරගලය පිළිබඳ ප්‍රබල හඬක් ඔසවා තැබුවා.

🟡ගීතය තුළින් ජනතා හඬ වීම

නන්දා මාලනීගේ සමාජ දායකත්වයේ හරය වූයේ ඇය ගීතය ජනතාවගේ දුක් වේදනා, බිය, බලාපොරොත්තු සහ අරගල ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් බවට පත් කිරීමයි. ආදරය හා වියෝව පමණක් නොව, ඇය සිය ගීත තුළින් කම්කරු ජනතාවගේ දිවි පෙවෙත, දිළිඳුකම, මානව හිමිකම් සහ රාජ්‍ය පීඩනය වැනි යථාර්ථයන් මැනවින් ගායනා කළා. ප්‍රධාන ලෙසම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයෙන් නිර්මාණය වූ ඇයගේ ‘පවන’ (1987), එකල සමාජයේ ජාතිවාදී හා ආගමික භේද, කුලවාදී වෙනස්කම්, දූෂණය සහ රාජ්‍ය ත්‍රස්තවාදය හෙළිදරව් කරමින් ජනතාවට අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෙස ආයාචනා කළා. අදත් ජීවත්ව සිටින එදා පාලකයින් ‘පවන’ට කොතරම් බිය වුණාද කියනවානම්, 88,89 කාලයේ පවන කැසට් පටයක් ලඟ තබා ගැනීම, ගීතයක් ඇසීම සහ ගීතයක් මිමිනීම මරා දැමීමට හේතුවක් වුණා. නමුත් ඇය නොවෙයි බියට පත් වුණේ.

1980 දශකයේ ශ්‍රී ලංකාව තුළ පැවති දේශපාලන නොසන්සුන්තාව, යෞවන විරැකියාව, සමාජ අසමානතාවය සහ පසුව ඇවිළුණු සිවිල් යුද්ධය වැනි දරුණු යුගයක ඇයගේ මෙම ගීත ජනතාවගේ සාමූහික හැඟීම් ප්‍රකාශ කළා. එමනිසාම රජයේ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ඇයගේ ගීත විකාශනය තහනම් කෙරුණද, එය ඇයගේ ජනප්‍රියතාවයට හානියක් වුණේ නැහැ. ජනතාව ඇයගේ ප්‍රසංගවලට සහභාගී වෙමින්, ඇය ඔවුන්ගේ සැබෑ හඬ ලෙස පිළිගත්තා.

🟡පීඩිතයාගේ වේදනාව ගීත කළ නිර්මාණ

ඇයගේ සෑම ගීතයක්ම පාහේ සමාජ කැඩපතක් වෙලා තියෙනවා. ‘අම්මාවරුනේ’ ගීතයෙන් දරුවන් අහිමි වූ මවුවරුන්ගේ ශෝකයට, සහ ‘රන් දහඩිය බිංඳු බිංඳු’ ගීතයෙන් කම්කරුවාගේ දහඩියේ වටිනාකමට ඇය හඬක් වුණා. ඇගේ ‘සත්‍යයේ ගීතය’ (1981) ප්‍රසංග මාලාව සහ ‘පවන’ ඇල්බමය වැනි නිර්මාණ ඔස්සේ, කලාකරුවෙකුගේ හඬට සමාජයේ දුක්ඛිත අය වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට සමාජයේ සංවේදීතාව අවදි කර යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුව ඇති කළ හැකි බවත් ඇය ඔප්පු කළා.

🟡අවසාන කාලයේ දී පවා නොනිවුණු කැපවීම

ඇගේ සමාජ කැපවීම වයසත් සමඟ මැකී ගියේ නෑ. 2022 වසරේ අපේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය සහ මහජන විරෝධතා සමයේදී, ඇයගේ වයස 79ක් වුවද, ජනතාවගේ අරගලයට සහාය දක්වමින් විරෝධතාකරුවන් ඉදිරියේ ගායනා කළා. එය ඇයගේ මුළු ජීවිත කාලයම පුරා විහිදුණු සමාජ සාධාරණත්වය සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් වූ අරගලයේ අවසාන සාක්ෂියක් වුණා.

🟡ගීතයෙන් ඔබ්බට ගිය උරුමය

වසර හැත්තෑවක ප්‍රසංග, චිත්‍රපට 118කට අධික සංඛ්‍යාවක ගීත, සරසවිය සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් ඇතුළු අසංඛ්‍යාත ගෞරව, 2017දී ලැබුණු ගෞරව ආචාර්ය උපාධිය වැනි ජයග්‍රහණ ඇයගේ කලා දක්ෂතාවයට සාක්ෂි දරනවා. නමුත් ඇයගේ සැබෑ උරුමය වන්නේ ‘ජාතියේ රන්වන් හඬ’ ලෙස ජනතාවගේ සිත් තුළ ඇය ලද ස්ථානයයි. ඇගේ ගීත ජීවිතයේ සැම ස්ථරයකම සිටි පරම්පරාවන්ගේ සතුට, ශෝකය, මෙනෙහි කිරීම සහ සැමරුම් අවස්ථා සමඟ බැඳී තියෙනවා.

🟡ඔබ ඉදිරියේ හිස නමමි.

නන්දා මාලනී මහත්මිය ඊයේ (2026 අගෝස්තු 20) අප අතරින් සමුගත්තේ සිය 83 වැනි උපන්දිනයට දින තුනකට පෙරයි. ඇගේ භෞතික හඬ නිහඬ වී ඇතත්, වීරත්වය, බලාපොරොත්තුව සහ අසාධාරණයට එරෙහි සටන පිළිබඳ ඇය අප තුළ ගොඩනැගූ ආත්ම විශ්වාසය සදාකාලිකවම ඇගේ ගීත තුළින් ජීවමාන වනු ඇත. රටේ අසරණ මිනිසුන්ගේ හඬ වීමට තම දක්ෂතාවය කැප කළ ඒ මහා ගීත කෝකිලාවියට, මගේ ගැඹුරු ගෞරවය හා කෘතඥතාවය පූජා කරනවා. ඇයගේ ගීත අපගේ හදවත් තුළ සදාකල් රැඳේවි.


ප්‍රියන්ත මධුකුමාර.

15/08/2026

🔴වම මොකක්ද,දකුණ මොකක්ද?
මට යාළුවෝ වර්ග දෙකක් හිටියා. ඒ වාමාංශික සහ දක්ෂිණාංශික අදහස් තියෙන යාළුවෝ විදිහට. නමුත් මේ අය මාලිමා ආණ්ඩුවත් එක්කම කලවම් වුණා.වාමාංශික හා දක්ෂිණාංශික විදිහට මට ඒ අය දැන් හඳුනාගන්න පුළුවන් කමක් නෑ. කොටින්ම සමාජ මාධ්‍ය හරහා පෝස්ට් එහා මෙහා කරන විදිහ දැක්කම සහ කමෙන්ට් දාන විදිහ දැක්කම ඒ බෙදීම කොහෙත්ම කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා දැන් මට තියෙන්නෙ යාළුකමක් විතරයි.



මේ යාළුකමෙත් වාද විවාද නැතුවාම නෙවෙයි. දැන් සති කීපයකට කලින් අපි අතර ඇති වුණ කතා බහකදී “වම මොකක්ද, දකුණ මොකක්ද? කියල පැහැදිලි කරපං” කියල මට අභියෝග කළා. ඒක අපූරු සහ ලස්සන අභියෝගයක්.



මම පැහැදිලි කළා. “ඕක ලියපං” ආපහු සැරයක් කිව්වා.මගේ අතින් මේක පරක්කු වෙනවා දැක්කම, කීප සැරැයක්ම හින්ට් පාස් කළා.



ඉතින් මේ ලිපිය මගේ මිතුරන්ගේ ඉල්ලීම.


🔴“වම” සහ “දකුණ” ලෙස දේශපාලනය බෙදීමේ ඉතිහාසය.
ඇත්තටම "වම" සහ "දකුණ" යන පද බිහිවෙලා තියෙන්නෙ ප්‍රංශ විප්ලවයේ (1789) මුල් කාලයේදීයි. එහි ආරම්භය ඉතා සරල හා ප්‍රත්‍යක්ෂ කාරණයක් මත පිහිටල තියෙනවා.ඒ ප්‍රංශ ජාතික සභාවේ ආසන පිරිනමපු සැලැස්මක් මත.මෙන්න එහි ආරම්භය.

🟡 ආරම්භය:
1789 දී ප්‍රංශ විප්ලවය ආරම්භ වීමෙන් පස්සෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කරන්න ජාතික සභාව (National Assembly) රැස්වෙලා තියෙනවා.එහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තම දේශපාලන අදහස් අනුව ස්වභාවිකව කණ්ඩායම් දෙකකට බෙදීල තියෙනවා.



ඒ අනුව සභාපති අසුනේ වම් පැත්තේ ඉඳගෙන තියෙන්නෙ විප්ලවයට සහයෝගය දුන්, රාජාණ්ඩුව (රජ පාලනය) අහෝසි කිරීමට අවශ්‍ය වූ සහ රැඩිකල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී හිටිය මන්ත්‍රීවරුනුයි.ඔවුන් වාමාංශිකයින් විදිහට හඳුන්වල තියෙනවා.

මේ වාමාංශික අයගේ ප්‍රධාන දර්ශනය වුණේ සමානාත්මතාවයයි. ඒ වගේම සැමට ඡන්ද බලය,රාජ්‍ය තනතුරු සඳහා සියලු දෙනාටම විවෘත ප්‍රවේශයක්,ආගමික හා ජාතික වෙනස්කම් ඉවත් කිරීම,ප්‍රගතිශීලී බදු ක්‍රමයක් සහ රජුගේ මරණ දණ්ඩනය අහෝසි කිරීම මොවුන්ගෙ ප්‍රධාන ඉල්ලීම් අතර තිබිල තියෙනවා.



ඒවගේම රජ්ජුරුවෝ සහ පැරණි වැඩවසම් ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ අය සභාපති අසුනේ දකුණු පැත්තේ ඉඳගෙන තියෙනවා. මේ අය දක්ෂිණාංශිකයින් විදිහට හඳුන්වල තියෙනවා.ඒ වගේම මේ කණ්ඩායම සම්ප්‍රදායික සමාජ පිළිවෙල රැකගැනීමට තදින්ම කැමති වූ සහ වැඩවසම් දේපල අයිතිය වෙනුවෙන් පෙනී හිටපු මන්ත්රීවරුන් කියලත් කියන්න ඕනි.


🟡. ලොව පුරා ව්‍යාප්ත වීම:
මේ විදිහට ආරම්භ වුණ "වම" සහ "දකුණ" යන ලේබලය ප්‍රංශ විප්ලවයත් සමඟ යුරෝපය පුරා සහ පසුව ලොව පුරා වේගයෙන් පැතිරිල ගියා. කෙසේ වෙතත් කාලයත් සමඟ ඒවායේ අර්ථය ද වෙනස් වෙලා තියෙනවා.



19 වන සියවසේ කාර්මික විප්ලවය සහ කම්කරු ව්‍යාපාර ඉස්මතු වීමත් සමඟ "වම-දකුණ" අතර විවාදය, හුදෙක් "රජුට පක්ෂපාතීද නැද්ද" යන්නෙන් ඔබ්බට ගිහින් ධනවාදය (Capitalism) සහ සමාජවාදය (Socialism) අතර මතවාදී ගැටුමක් බවට පත්වෙලා තියෙනවා.



ඒ වගේම වාමාංශිකයින් කම්කරු පංතියේ අයිතිවාසිකම්,සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහ අවසානයේදී සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. දක්ෂිණාංශිකයින් පෞද්ගලික දේපළ අයිතිය, වෙළඳපල ආර්ථිකය සහ සාම්ප්‍රදායික ව්‍යුහයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා.



අද වන විට මෙම බෙදීම තවත් සංකීර්ණ වෙලා තියෙනවා. එය රාජ්‍ය මැදිහත්වීමට එරෙහිව නිදහස් වෙළඳපොළ, සුබසාධන රාජ්‍යය, සංක්‍රමණ ප්‍රතිපත්ති, පාරිසරික ප්‍රතිසංස්කරණ, සහ සංස්කෘතික ගැටළු (උදා: LGBTQ+ අයිතිවාසිකම්) වැනි විවිධ ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා.



මේ අනුව එක් එක් රටවල වම සහ දකුණ යන්නෙහි අර්ථය ද එරට ඉතිහාසය හා සංස්කෘතිය අනුව වෙනස් වෙලා තියෙනවා.



මං කලින්ම කිව්වා වගේ ලංකාවේදි නම් මට මේක ලිහා ගන්නම බැරි විදිහට අවුල්වෙලා තියෙනවා. මේ ලඟදි සිදුවුණ දෙයකින් ඒක තවත් අවුල්වෙලා ගියා.ධනපති පංතියේ වංචාකාරයෝ සහ දූෂිතයෝ ටික එකතු වෙලා ජනතාවට කිව්වා “තොපි අපේ පරම්පරාවේම තියෙන වත්කම් හා දේපල ගැන දැන ගනියව්” කියල. එහෙම කියල ඒවා පෙන්නන්න දූෂණ විරෝධී පනතුක් ගෙනාවා. මුන්ව තව තවත් දඬුකඳේ ගහන්න නීතිය කාටත් ඉහළින් ක්‍රියාත්මක කරනවා කියල කිව්ව අනුර බලයට ඇවිල්ල වංචාකාරයෝ සහ දූෂිතයන්ගෙ දේපල බලන එක නීති විරෝධී කළා. පස්සෙ කිව්වා එක්කෙනෙක්ගෙ බැලුවම ඇති පරම්පරාවෙම බලන්න ඕනි නෑ කියල.



ඉතින් මේ අය නියෝජනය කරන්නෙ මොන පැත්තෙද? පැත්ත තෝරා ගන්න මට බැරි නිසා අනුර,ලාල්,විජිත,බිමල්,හඳුන්නෙත්ති,හරිණි සහ වසන්ත ආදී රොත්තටම මම කියන්නෙ “වාමාංශික බුර්සුවාවරුන්” කියලයි.



දැන් ඒ පාර අහයිද දන්නෙ නෑ වාමාංශික බුර්සුවාවරුන් කියන්නෙ කවුද බං කියල?



කොහොම වුණත් "වම" සහ "දකුණ" කියන්නෙ ප්‍රංශ පාර්ලිමේන්තු මන්දිරය තුළ එක් දවසකදී තීරණය වුණ භෞතික ආසන පිරිසැලසුමක් පමණයි. ඒක ඒ කාලයේදී "ප්‍රතිසංස්කරණ" සහ "සම්ප්‍රදාය" අතර පැවති සරල භේදයක් වුණා. නමුත් සියවස් ගණනාවක් පුරා එය ලෝක දේශපාලනය හැඩගස්වන ඉතා සංකීර්ණ හා බහුවිධ අර්ථයක් ඇති සංකේතාත්මක පද යුගලයක් බවට පරිණාමය වෙලා තියෙනවා.


ප්‍රියන්ත කරුණාරත්න.

14/08/2026

🔴චීනය පරදවන්න ඉන්දියාවට බැරි ඇයි?.🇮🇳 🇨🇳
සොබාදහම අනපේක්ෂිත විදිහට උපාය මාර්ග පිළිබඳ හොඳ පාඩම් අපට කියල දෙනව කියල මම විශ්වාස කරනවා. උණ ගහේ වර්ධනයත් එවැනි හොඳ කතාවක් අපට කියල දෙනවා.

ඔබ කවදා හරි දවසක උණ කැබැල්ලක් හිටවලා තියෙනවද? හිටවපු අලුත් උණ කඳ පළමුවැනි අවුරුදු 3- 4 නිසොල්මනේ ඉන්නවා. කිසිඳු වර්ධනයක් පෙන්නන්නෙ නෑ. අලුත් රිකිල්ලක් එනවා වෙනුවට එය මුදුනේ ඉඳළ වේලිල යන්න පටන් ගන්නවා.

නමුත් අවුරුදු තුනක් විතර පහුවෙලා යනකොට හදිසියේම පොළොව පසාරු කරගෙන පළවෙනි අංකුරය මතුවෙනවා ඔබට පේන්න ගන්නවා. ඊලඟ අවුරුද්දෙ තවත් අංකුරයක්. අවුරුදු 5ක් වෙනකොට මුළු ප්‍රදේශයක් වට කරගත්ත ලස්සන උණ පඳුරක් ඔයාට ලැබෙනවා.


ඇත්තටම උණ බම්බුව පළමුවැනි අවුරුදු 3-4 සද්ද නොකර පොළොව යට මුල් වගා කරනවා. ඒක අපි කාටවත් පේන්නෙ නෑ. ඊට පස්සෙ පොළොව පලාගෙන රිකිලි මතුවෙන්න පටන් ගන්නවා. ඒ වර්ධනය නියඟටවත්, ගංවතුරටවත්, හුළඟටවත් නතර කරන්න පුළුවන්කමක් නෑ. මොකද ඒ වන විටත් උණ කඳ ශක්තිමත් පදනමක් භූගතව දාගෙන ඉවරයි.


ස්වභාදහම කියල දෙන මේ කතාවේ උණ බම්බු වගාවට වඩා වැඩි දෙයක් තියෙනවා. ඕනෑම වැඩක අත්තිවාරම හරිම වැදගත් කියල එයින් කියල දෙනවා. අත්තිවාරම ගොඩනැඟීම සඳහා අවුරුදු ගණනාවක් දරණ අදෘශ්‍යමාන උත්සාහය නිසා වර්ධනය ඉතා වේගවත් වෙනවා. මුල් දිහා බලන්නෙ නැති අයට ඒක හදිසි වර්ධනයක් විදිහටයි පේන්නෙ.


මම මේ කතාව කිව්වෙ ඉන්දියාව ගැන කියන්න ඕනි නිසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් 🇬🇧ඉන්දියාවට නිදහස ලැබුණේ 1947 අගොස්තු 15 වැනිදයි.ඒ කියන්නෙ 2026 අගෝස්තු 15 වැනිදට ඉන්දියාවට නිදහස ලැබිල අවුරුදු 79ක් වෙනවා. ඒ වගේම චීනය, මා ඕ සේතුං ගේ නායකත්වයෙන් මහජන ජනරජයක් ගොඩනැඟුවේ 1949 ඔක්තෝබර් 1වැනිදා. එතැන් සිට චීනය අනුගමනය කරපු ප්‍රතිපත්තිය බටහිර සහ නැගෙනහිර ලෝකයේ රටවල් විසින් කුරිරු විදිහට විවේචනය කරල තියෙනවා.


1947දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලබන විටත් 1949දී මාඕ ගේ නායකත්වයෙන් චීන විප්ලවය සිදුවන විටත් මේ රටවල් 2කම දුප්පත්, කුසගින්නෙන් පෙළෙන සහ බොහෝ දුරට නූගත් ජනතාවක් ඉන්න රටවල් වුණා. දෙදෙනාටම එතරම් කාර්මික පදනමක් තිබුණෙත් නෑ. එම නිසා සමාන උරුමයන් සහිතව තමයි මේ රටවල් දෙකම එකිනෙකාගේ ගමන් මාර්ගවල යන්න පටන් ගත්තෙ.


අද වනවිට අසල්වැසි මේ යෝධ රටවල් දෙකම තම තමන්ගෙ ගමන් මාර්ගවල අවුරුදු 75ක ගමනක් පහු කරල තියෙනවා.නමුත් ඉන්දියාව අද කොතැනද, චීනය අද කොතැනද? චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා වගේම ප්‍රධාන නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා.තාක්ෂණය,විද්‍යාව,අධ්‍යාපනය, අර්ධ සන්නායක,කෘතිම බුද්ධිය,යුධ සහ සෞඛ්‍යය ආදී වශයෙන් සැසැදීමේ සෑම මිනුමකදීම ඉන්දියාව ඉන්නෙ පසු පසිනුයි.


එම නිසා මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ කුමණ ක්‍රමය සාර්ථක වුණාද යන්න සලකා බැලීමයි. ඒවගේම ලංකාවට නිදහස ලැබුණේ 1948දි නිසා හිත යටින් ලංකාව ගැනත් සංසන්දනය කරාට මගේ අමනාපයක් නෑ කියලත් කියන්න ඕනි.


🔴චීන සහ ඉන්දියානු පදනම් අතර වෙනස.
මුල් කාලයේදී ඒ කියන්නෙ 1950 -60 ගණන්වලදී මේ රටවල් දෙකම තමන්ගෙ සීමිත මූල්‍ය සම්පත් වෙන් කරල තියෙන ආකාරය සැලැකිල්ලට ගැනීම වැදගත්. චීනය සිය සම්පත් රට පුරා ව්‍යාප්ත කිරීම තෝරාගෙන තියෙනවා. ඉන්දියාව තමන්ගෙ අරමුදල් තෝරා බේරාගෙන යොදවලා තියෙනවා. හරියට ජනාධිපති අනුර කුමාර අද කරනවා වගේ.


මේ ප්‍රතිපත්ති අනුව චීනය සහ ඉන්දියාව තම පුරවැසියන්ගෙ අධ්‍යාපනයට ප්‍රවේශවෙලා තියෙන්නෙ ප්‍රතිවිරුද්ධ අන්තවල ඉඳළා. ඒක මේ විදිහට විස්තර කරන්න පුළුවන්.


1949 දී විප්ලවය ජයග්‍රහණය කරපු ගමන්ම චීනයේ නව නායකයින් මූලික ක්ෂාක්ෂරතාවය ජාතික අභිමානයට හේතුවක් විදිහට තේරුම්ගෙන මහා පරිමාණ අධ්‍යාපන වැඩ සටහන් දියත් කරල තියෙනවා. දේශපාලන කැළඹීම්වලින් රට පීඩා විඳිමින් තිබුණත් ප්‍රාථමික පාසල් සංඛ්‍යාව දෙගුණ කරල තියෙනවා. ඔවුන්ගෙ තර්කය සරලයි. කර්මාන්තශාලා අත්පොතක් කියවාගන්න බැරි පුරවැසියන් ඉන්න රටක් කාර්මිකකරණය කරන්න බෑ කියලයි ඔවුන් කිව්වෙ. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් අධ්‍යාපන ඉලක්ක පිළිබඳව වාද විවාද කරමින් ඉන්නකොට චීනය ප්‍රාථමික පාසල් පද්ධතියක් ගොඩනඟල තියෙනවා. එම නිසා ඉන්දියාවට වඩා ඉහළ සාක්ෂරතා අනුපාතයක් චීනය ලබාගෙන තියෙනවා. අදත් ඉන්දියාවේ දරුවන්,තරුණයින් අධ්‍යාපන සිහින දිනා ගැනීමට පොර බඳන අතර චීනය ලොව අංක එකේ විශ්ව විද්‍යාල පද්ධතියක් ගොඩනඟල තියෙනවා. වර්තමානයේදී වැඩිම පේට්න්ට් බලපත්‍ර ප්‍රමාණයක් වසරකදී ලබාගන්නෙත් චීනයයි.


අධ්‍යාපනයේදී ඉන්දියාව තෝරාගෙන තියෙන්නෙ චීන මාවතට ප්‍රතිවිරුද්ධ මාවතයි. එනම් මුදල් හිඟ වූ නිසා සීමිත මූල්‍ය සම්පත් රටේ ප්‍රාථමික අධ්‍යාපනයට යොදවන්නෙ නැතුව විශිෂ්ට ආයතන කීපයකට පමණක් යොදවල තියෙනවා. උදාහරණ විදිහට, ඉන්දියානු තාක්ෂණික ආයතනය ( IIT- Indian Institute of Technology), ඉන්දියානු කළමණාකරණ ආයතනය (IIM - Indian Institutes of Management) සහ ඉන්දියානු විද්‍යා ආයතනය (IISc- Indian Institute of Science) වගේ ආයතන ඉදිරිපත් කරන්න පුළුවන්.


කාලයාගේ ඇවෑමෙන් මේ ප්‍රතිපත්තිය ඉන්දියාවේ බලවත් තාක්ෂණික ප්‍රභූ පිරිසක් බිහි කරල තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්තිය බොහෝ ඉන්දියානුවන්ට මූලික සාක්ෂරතාවය අහිමි කරල තියෙනවා. බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් ඉවත් කරල තියෙනවා.අනෙක් පැත්තෙන් හොඳම අධ්‍යාපනයේ ඵල පටු ඉහළ ස්ථරයකට සංකේන්ද්‍රණය කරල තියෙනවා.


ඉන්දියාවේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මුළු රටේම ජනතාව ආයෝජනය කරල තිබුණත් එවැනි හැඟීමක් ඉන්දියානු ප්‍රභූ පැලැන්තියට තිබුණේ නෑ.ඒ නිසා ඔවුන් කල්පනා කළේ තම කුසලතා හා හැකියාව නිසා දස්කම් පාන බවයි. මේ හැඟීම නිසා ඔවුන් රටට ණය නැති බව කල්පනා කළා. මේ හැඟීම නිසා එහි දක්ෂ සිසුන් බොහෝ දෙනෙක් ඉන්දියාව හැරදා ගිහින් තියෙනවා.


ඒ වගේම ඉන්දියාවේ දක්ෂයින් අවශෝෂණය කිරීමේ පද්ධතියක්ද නිර්මාණය වුණේ නැහැ. අනික එහි වඩාත්ම කීර්තිමත් තාක්ෂණික වැඩ සටහන් ප්‍රධාන වශයෙන් බටහිර ශ්‍රම වෙළඳපොළ හිතේ තබාගෙන නිර්මාණය කරල තියෙනවා. ඉන්දියාවේ හොඳම සිසුන් රට හැර නොයන බවට සහතික කරන්න පුළුවන් නිෂ්පාදන පදනමක් ගොඩනඟන්න බැරිවෙලා තියෙනවා. ඊට හේතුව වන්නෙ එම අධ්‍යාපනික වැඩ සටහන් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැංවීම ඉලක්ක කරගෙන සකස් කරල නොතිබීම කියල කියන්න පුළුවන්.


එම නිසා විශාල මහජන වියදමකින් IIT සහ IIM වැනි ආයතනවල පුහුණුව ලබපු ඉන්දියාවේ හොඳම මොළයන් සියල්ලම වගේ ඇමරිකාවට සහ යුරෝපයට ගිහින් තියෙනවා.


උදාහරණයක් වශයෙන් ගූගල් සමාගමේ සුන්දර් පිචායි, මයික්‍රොසොෆ්ට් සමාගමේ සත්‍ය නාඩෙල්ලා සහ ඇඩෝබි සමාගමේ ශාන්තනු නාරායන් දක්වා ෆෝචූන් 500 (Fortune 500) සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් ලෙස කටයුතු කරන ආදි ශිෂ්‍යයින් නම් කරන්න පුළුවන්. මේ ගැන ඉන්දියාවට සාධාරණ ආඩම්බරයක් තියෙන්න පුළුවන්.


නමුත් මෙම ආඩම්බරයෙන් යථාර්තය වහල දාන්න පුළුවන් කමක් නෑ. නිදහසින් අවුරුදු 75ක් පසු කරල යන මේ කාලයේදී චීනය Fortune 500 සමාගම් 124ක් ගොඩනගනකොට ඉන්දියාව ගොඩනඟල තියෙන්නෙ එවැනි සමාගම් 11ක් විතරයි.මෙයින් භාගයකටත් වඩා රාජ්‍ය සමාගම් කියල කියන්න ඕනි. එම නිසා ඉන්දියාවේ දක්ෂ ශ්‍රම බලකාය විදේශීය බහුජාතික සමාගම් පොහොසත් කරල තියෙනවා කියල කියන්න පුළුවන්. මේ තත්වය රටකට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්ද?

🔴දරිද්‍රතාවය පිටුදැකීම සහ ළමා පෝෂණය පිළිබඳ රටවල් දෙකේ වෙනස.
චීනයේ වඩාත්ම තීක්ෂ්ණ බුද්ධිය සහිත පියවර වුණේ අධ්‍යාපනය, සෞඛ්‍යයෙන් සහ දරිද්‍රතාවයෙන් වෙන් කළ නොහැකි දෙයක් ලෙස සැලකීමයි. අධ්‍යාපනය පන්ති කාමරයට පමණක් සීමා වූ දෙයක් ලෙස ඔවුන් සැලකුවේ නෑ. විෂය මාලාව කොතරම් හොඳ වුවත් කුසගින්නෙන් පෙළෙන දරුවෙකුට වීජ ගණිතය සහ ජ්‍යාමිතිය හොඳින් ඉගෙන ගන්න පුළුවන්කමක් නෑ කියල තේරුම් අරන් හිටියා.


ඒ නිසා චීනය තමන්ගෙ සාක්ෂරතා ව්‍යාපාරයට සමගාමීව දරිද්‍රතාවයට සහ ළමා මන්දපෝෂණයට එරෙහිව ආක්‍රමණශීලී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරල තියෙනවා. ඔවුන් ක්‍රියාකාරී ශරීරයක් මෙන්ම ක්‍රියාකාරී මොළයකට අවශ්‍ය ආහාර දරුවන්ට සහතික කරල තියෙනවා.


චීනය පෙන්වල දෙන විදිහට පළවෙනි අවුරුදු 40 තුළ මිලියන 800කට ආසන්න ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදවාගෙන තියෙනවා. අද ඔවුන් සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවයෙන් මිදුණු ජාතියක්.


ඉන්දියාව, ඊට වෙනස්ව සාම්ප්‍රදායිකව අධ්‍යාපනය, පෝෂණය සහ මහජන සෞඛ්‍යය යන අංශ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර විදිහට තබල තියෙනවා. එම නිසා ඒවා අතර නිසි සම්බන්ධීකරණයකින් තොරව විවිධ අමාත්‍යාංශ විසින් අධීක්ෂණය කරමින් තියෙනවා.හරියට ලංකාවේ වගේ.


ඒ වගේම ඉන්දියාවේ දිවා ආහාර යෝජනා ක්‍රමය ළමයින් පාසලට ආකර්ෂණය කර ගැනීම සහ දරුවන් පෝෂණය කිරීම අරමුණු කර ගෙන තිබුණත් එය මන්දගාමී හා නොගැලපෙන බව බොහෝ වාර්තා පෙනවලා දීල තියෙනවා.දරිද්‍රතාවය සහ රජයේ උදාසීනත්වය යන දෙකේම ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙලා තියෙන මන්දපෝෂණය, ඉන්දියානු දරුවන්ගේ පරම්පරා කිහිපයකටම පැතිරිල තියෙනවා.


එය මේ විදිහට පෙන්වල දෙන්න පුළුවන්. ඉන්දියාවේ ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණයට (2019-21) අනුව එරටේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 35.5% ක් කුරු වෙලා තියෙනවා. ඒ වගේම 19.3% ක් වෙහෙසට පත්ව තියෙනවා. මේ අතර 32.1% ක් බරින් අඩු දරුවන් බවත් සටහන් කරල තියෙනවා.


ඒ වගේම 2025 අවුරුද්දෙ ගෝලීය කුසගින්න දර්ශකයට අනුව ඉන්දියාව රටවල් 123න් 102වන ස්ථානයට ඇවිල්ල තියෙනවා.


මේ අනුව බැලුවම ළමුන්ගෙන් තුනෙන් එකක් පමණ කුසගින්නේ සිටින රටක්, එම ගැටලුව සම්පූර්ණයෙන්ම තුරන් කරල තියෙන රටක් එක්ක තරඟ කරන්න සුදුසු ස්ථානයක ඉන්න බවක් පේන්නනම් නෑ.


අවසාන වශයෙන්, චීනය අනුගමනය කරන පුළුල් ප්‍රවේශයට සමාන කිසිවක් ඉන්දියාව කිසි විටෙකත් අනුගමනය කරල නෑ.ඉන්දියාවේ උසස් අධ්‍යාපනයේ තනි ජයග්‍රහණ නොගැඹුරු මුල් මත පිහිටල තියෙනවා කියල කියන්න පුළුවන්. හරියට දුර්වල මුල් සහිත යුකැලිප්ටස් ගහක් වගේ. එය තරමක් තද හුළඟකට වුණත් පෙරළලා දාන්න පුළුවන්කම තියෙනවා.


ඒ වුණත් යුකැලිප්ටස් වත්තක පිංතූරයක් විශිෂ්ට ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් නියඟයකදී උණ වනාන්තරයක් තරම් හොඳින් ඒවාට නොනැසී පවතින්න පුළුවන් කමක් නෑ කියලයි මට හිතෙන්නෙ.


කොටින්ම පොහොසත් හා ශක්තිමත් ජාතියක් ගොඩනැගීම සඳහා, දරුවන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ දෙමව්පියන්ගේ ආදායම කුමක් වුවත්, කුඩා කල සිටම ගුණාත්මක අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමේ උතුම් කාර්යය භාර ගැනීම අත්‍යවශ්‍යයි. හොඳ පෝෂණය, එන්නත් සහ නිසි සෞඛ්‍ය සේවාවක් ගුණාත්මක විෂයමාලා සහ පෙළපොත් සමඟ අත්වැල් බැඳගන්නව කියල කියන්න පුළුවන්.


ප්‍රියන්ත මධුකුමාර.

මෙම ලිපිය ලිවීමේදී Bhim Bhurtel ගේ China’s bamboo growth model vs. India’s eucalyptus growth model ලිපිය පදනම් කරගත් බව කරුණාවෙන් සලකන්න.

08/08/2026

🔴පලස්තීනුවන් වෙනුවෙන්ම තැනූ ඊශ්‍රායලයේ කිඹුල් බන්ධනාගාරය.
ඊශ්‍රායලය මනුෂ්‍යත්වයේ සීමා මායිම් ඉක්මවා යමින් කටයුතු කරමින් සිටින බව අපි කවුරුත් දන්නා කරුණක්. එම අශිෂ්ට ක්‍රියාවන් අතරට තවත් වැඩක් එකතු වෙලා තියෙනවා.


ඒ තමයි කිඹුල් බන්ධනාගාරය. පලස්තීන සිරකරුවන් රඳවා සිටින කෙට්සියොට් බන්ධනාගාරය වටා අගලක් හාරා ඒ වටා නයිල් ගඟේ කිඹුලන් දමන්න ඔවුන් වැඩ ආරම්භ කරල තියෙනවා.


මේ යෝජනාව ඊශ්‍රායල් ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතාමර් බෙන්ගෙ වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 6.9ක් වෙන් කරල තියෙනවා.


ලොව කිසිම රටක කිඹුලන් බන්ධනාගාර ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට විද්‍යාත්මක හෝ වෘත්තීය පදනමක් හඳුන්වලා දීල නැහැ. කොහොම නමුත් මෙහි වැඩ කටයුතු උසාවි තීන්දුවක් අනුව තාවකාලිකව නතර කරල තියෙනවා.


ඕනෑම සිරකරුවෙකු, ඔහු කුමන අපරාධයක් සිදු කළත්, ඔහුට මූලික මානව ගරුත්වයක් හිමි විය යුතුයි. මනුෂ්‍යයෙකු මරා දැමීමට හෝ බිය ගැන්වීමට හිතාමතාම විශාල කිඹුලෙකු යෙදවීම, එම පුද්ගලයා තවදුරටත් මිනිසෙකු ලෙස නොව, අපද්‍රව්‍යයක් හෝ ගොදුරක් ලෙස සැලකීමක් වෙනවා නේද?


ඇත්ත වශයෙන්ම මෙම යෝජනාව, දේශපාලන අන්තවාදය සහ සිරකරුවන් "මිනිසුන්" ලෙස නොව "සතුරන්" ලෙස දැකීමේ ප්‍රවණතාවයේ රෝග ලක්ෂණයක් පමණයි.


එවැනි රෝග ලක්ෂණ වත්මන් පාලකයන් තුලත් දකින්නට ලැබීම රට ගමන් කරන අන්තය තේරුම් ගැනීමට උදව් කරමින් තියෙනවා.


ප්‍රියන්ත මධුකුමාර.

05/08/2026

🔴හොඳම දූෂිතයා කවුද?
ජනාධිපති අනුර කුමාර විසින් 2023දී රනිල් වික්‍රමසිංහ ගෙනා දූෂණ විරෝධී පනත සංශෝධනය කරල තියෙනවා.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 අගෝස්තු 8වනදා ගෙනා දූෂණ විරෝධී පනත මඟින් වත්කම් බැරැකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීමට අවසර ලබාදීල තිබුණා. ඒ වගේම ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමටද ඉඩ කඩ සලසලා තිබුණා.


මේ විවෘත භාවය නිසාම වාමාංශික බුර්ෂුවාවරුන්ගේ වත්කම් ජනතාව දැනගත්ත වගේම, ඔවුන් ධනපති පංතියේ ඔත්තුකරුවන් විදිහටත් හෙළිදරව් වෙලා තියෙනවා.


වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 ජූලි 27වනදා ඉදිරි පත් කරල තියෙන පනත් කෙටුම්පත මඟින් ජනතාවට තිබුණ එම අයිතිය නැති කරල තියෙනවා.


ඔහුගේ සංශෝධනයට අනුව වත්කම් බැරැකම් ප්‍රසිද්ධියේ කතා කළොත් රුපියල් ලක්ෂයක දඩයකටත්, අවුරුද්දක් හිරේ තපින්නත් වෙනවා.


මේ සංශෝධනයේ උවමනාව මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමද? නැතිනම් දූෂිතයන් ආරක්ෂා කිරීමද?


එම නිසා මම ඔබෙන් අහන්නෙ, හොඳම ප්‍රජාතන්ත්‍රවාදියා කවුද? නැතිනම් හොඳම දූෂිතයා කවුද?


සීයද, මුණුබුරාද?


ප්‍රියන්ත මධුකුමාර.

31/07/2026

🔴මෝඩයොත් වයසට යනවා.
"වයසත් සමඟ ප්‍රඥාව වැඩි වෙනව"යන කියමන ලෝකයේ පැරණිතම සමාජ ප්‍රචාරක (Propaganda) වාක්‍යයක්. ලංකාවේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට හේතුව විදිහට මෙය ඉදිරිපත් කරන විට, එය අර්ධ සත්‍යයක් (Half-truth) මත ගොඩනැගුණු දේශපාලන ගණිත සූත්‍රයක් කියල කියන්න පුළුවන්.

“මේ වැඩෙන් ඇත්තටම කාර්යක්ෂමතාවය වැඩි වෙනවද?” විනිසුරුතුමියකගෙන් මම එහෙම ඇහුව. ඒ විනිසුරුවන්ගෙ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණ දවසේ.“ මොන පිස්සුද ප්‍රියන්ත. මේ අවුරුදු 2කට ඕක වෙනවද? ”.ඇය කෙලින්ම කිව්වා.

මේ අතර තවත් කතා බහකදී “මෝඩයොත් වයසට යනවා” කියල තවත් මිතුරියක් කිව්ව. ඇය ආයුර්වේද ක්ෂේත්‍රෙයේ වැඩ කරන කෙනෙක්. ඇය කිව්වෙ වචන තුනක් වුණාට එහි සියළු අර්ථයන් කැටි කරල තියෙනවා.කොටින්ම මෙම ලිපිය ලියන්න පදනම වැටුණේ ඒ වචන තුනයි.

කොහොම නමුත් මෙහි තියෙන ඇත්ත සහ බොරුව විග්‍රහ කරල බලන්න වටිනවා.

1. ඇත්ත - 'වයස' ගෙන එන ධනාත්මක පැත්ත.
වයසත් සමඟ ක්‍රමයෙන් එකතු කරගත්ත දත්ත ගබඩාව එනම් වචන කෝෂය, නීතිමය පූර්වාදර්ශ සහ මානව ස්වභාවය පිළිබඳ අවබෝධය විශාල වෙනවා. වසර 30ක් නඩු බැලූ විනිසුරුවරයෙකුට, සංකීර්ණ නඩුවක සැඟවුණු කූටෝපායන් (hidden strategies) හඳුනාගැනීමේ අත්දැකීම අතිමහත්. මේකට සංග්‍රහිත බුද්ධිය කියලත් කියනවා.

ඒ වගේම තරුණ විනිසුරුවෙකුට වඩා වැඩිහිටි විනිසුරුවෙකු ආතති සහගත අවස්ථාවලදී,උදාහරණයක් වශයෙන් මරණ දඬුවම් නියෝග ලබාදීමේදී චිත්තවේගීය වශයෙන් අඩුවෙන් බලපෑම් වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නෙ වයසත් එක්ක චිත්තවේගීය ස්ථාවරත්වයක් ඇති වෙනවා කියන එකටයි.

2. බොරුව - ආණ්ඩුව නොකියන පැත්ත.
වයස අවුරුදු 60ත් 70ත් අතර කාලයේදී, වේගයෙන් නව දේ ඉගෙන ගැනීම, ක්ෂණික ගැටලු විසඳීම සහ බහුකාර්ය (Multitasking) කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස පිරිහෙනව. අද නීති ක්ෂේත්‍රයට එක් වන සයිබර් අපරාධ, AI ජනිත සාක්ෂි සහ වේගයෙන් වෙනස් වන ව්‍යවස්ථා විග්‍රහ කිරීමට පැරණි මොළයකට, තරුණ මොළයක තිබෙන ස්නායු ප්‍රත්‍යස්ථතාව (Neuroplasticity) නැහැ. ඒ කියන්නෙ තරල බුද්ධිය (Fluid Intelligence) ක්ෂය වෙනවා කියන එකයි.

සැබෑ ප්‍රඥාව කියන්නෙ "වයස" නෙවෙයි "ඉගෙනීමේ වේගය" මත රඳා පවතින්නක්. ආණ්ඩුව මෙය ඉදිරිපත් කරන්නේ "වයස වැඩි වන තරමට ප්‍රඥාව වැඩියි" යන රේඛීය ප්‍රස්තාරයක් විදිහටයි. නමුත් මනෝවිද්‍යාත්මක සත්‍යය නම්, එය "මඩ සහිත කඳු මුදුනක්" වගෙයි. ඒ කියන්නෙ, ප්‍රඥාව යම් වයසක් දක්වා (50-55 පමණ) ඉහළ ගොස් ඉන් පසු එක්කෝ ස්ථීර වෙනව. නැත්නම් අවස්ථා ගණනාවකදී බෑවුම් වශයෙන් පහත වැටෙනව කියන එකටයි.

👉මේ ඇත්ත සහ බොරුව ලංකාවේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයසට යොදල එහි ඇති වන 'ද්විඝටනය' බලමු.

ආණ්ඩුව ගෙන යන ප්‍රධාන ප්‍රචාරයක් වන්නෙ, “වැඩිමහල්ලන්ට වැඩි අත්දැකීම් තියෙනව. ඒ නිසා නිවැරදි තීන්දු ලැබෙනවා” යන්නයි.නමුත් වයස අවුරුදු 65 ඉක්මවූ විට, දිගු විනිශ්චයන් කියවීමේදී ඇස් පෙනීම, සාන්ද්‍රණය සහ ශාරීරික ශක්තිය අඩු වීම නිසා තීරණ ප්‍රමාද වීම හෝ කෙටුම්පත් දෝෂ සහිත වීම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේම “ජ්‍යේෂ්ඨත්වය හරිම තීරණාත්මකයි” කියලත් ආණ්ඩුව ප්‍රචාරය කරමින් ඉන්නවා. නමුත් ජ්‍යේෂ්ඨත්වය බොහෝ වෙලාවට"කතා බහට අමාරුකම" (Cognitive Rigidity) ගොඩ නඟනවා. ඒ වගේම නව නීති අර්ථකථනයන්ට වඩා පැරණි බ්‍රිතාන්‍ය නීති ග්‍රන්ථවලට ඇලී සිටීම නිසා ප්‍රගතිශීලී තීන්දු ලැබීම අඩු වෙනවා.

ආණ්ඩුව ගෙන තවත් ප්‍රචාරයක් වන්නෙ “මෙය විනිසුරුවන්ගේ ආරක්ෂාව සඳහායි” කියන එකයි. මේ ප්‍රචාරය බොහෝ වෙලාවට "පුටු ආරක්ෂාව" සඳහා යොදා ගන්න එකක්.ඒ කියන්නෙ රජයට පක්ෂපාතී වයස්ගත විනිසුරුවන් තව දුරටත් රඳවා ගැනීමේ අල්ලසක්. මේ වැඩෙන් වෙන්නෙ අධිකරණයේ පහළ ස්ථරවල සිටින දක්ෂ තරුණ නීතිඥයින්ට සහ විනිසුරුවරුන්ට ඉහළට ඒමට ඇති අවස්ථාව අවහිර වීමයි. ඒ අනුව එය ප්‍රඥාව රැස්කිරීමක් නෙවෙයි, ධුරාවලියක් තද කිරීමක් කියල කියන්න පුළුවන්.

සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ඉදිරිපත් කරන මෙම තර්ක "සාධාරණීකරණයක්" (Justification) මිස "හේතුවක්" (Reason) නෙවෙයි. ඇත්ත නම්, ලෝකයේ ඕනෑම බුද්ධිමත් රටක ඉහළ තනතුරු සඳහා "වයස් සීමාව" නොව "ඥාන සීමාව" එනම් සෞඛ්‍ය පරීක්ෂණ සහ සංජානන පරීක්ෂණ පනවල තියෙනවා. අප එය අනුගමනය නොකරන්නෙ ඇයි?

ඒ වගේම යමෙකු මෝඩයෙකු ලෙස හෝ දක්ෂයෙකු ලෙස වයසට යනවාද යන්න තීරණය වන්නේ ඔහුගේ උපන් දිනයෙන් නොව, ඔහු තම බලය අතහැර යාමට සූදානම්ද යන චරිත ස්වභාවයෙන්. වයස ඉහළ දැමීම යුක්ති සහගත කරන්නේ අත්දැකීම් නම්, එම අත්දැකීම් අදාළ වන්නේ නවීන ලෝකයටද, පැරණි ග්‍රන්ථවලටද යන්න ප්‍රශ්න කළ යුතුයි.

තවත් විදිහකින් "වයසට යෑම" යනු "වර්ධනය" නොවේ; එය "පරිහානියේ කළමනාකරණය" විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මනෝවිද්‍යාඥයින් පෙන්වල දෙනව.

ඇත්ත වශයෙන්ම "වයසත් සමඟ දැනුම වැඩි වෙනවා" යන්න අපේ සමාජයේ තියෙන සාම්ප්‍රදායික විශ්වාසයක්. මේ විශ්වාසය ආණ්ඩුව තම තීරණය සාධාරණය කරගැනීමට පාවිච්චි කරල තියෙනවා.

නමුත් මිතුරිය කිව්ව “මෝඩයොත් වයසට යනවා” යන කියමන එම මිත්‍යාව කඩා දමා තියෙනවා. මහලු විය කියන්නෙ අත්දැකීම් ගණන නෙවෙයි, එම අත්දැකීම්වලින් ඉගෙන ගත් පාඩම් ගණන බව එයින් අවධාරණය කරල තියෙනවා.

ඒ අනුව තමන්ගේ ජීවිත කාලය පුරාම එකම වැරදි නැවත නැවත කරන, වෙනස් වීම ප්‍රතික්ෂේප කරන හෝ ඉගෙනීමට ඇති කුතුහලය මැකී ගිය පුද්ගලයා 'මහලු මෝඩයා' ලෙස හඳුන්වන්න පුළුවන්. මට අනුර කුමාර පේන්නෙ ඒ විදිහටයි. මන්ද අපේ දේශපාලන ඉතිහාසයේ මෙවැනිම තීරණ කීයක් නම් අරන් තියෙනවාද? ඒවායින් කොතරම්නම් හානිකර අත්දැකීම් ඇතිවෙලා තියෙනවාද? අනුර කුමාර ඒවායින් ඉගෙනගෙන තියෙනවා කියල මට පේන්නෙ නෑ.

ප්‍රියන්ත මධුකුමාර.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lengathu minisa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lengathu minisa:

Shortcuts

Share