Lengathu minisa

Directions Contact the organization

Lengathu minisa එක් මොහොතකට ඔබේ ජීවිතය වෙනස් කළ හැකිය. Like us, Follow us.

05/10/2026

🔴“ මැයි 15වන දින චීනයේ සිට මා හට දුරකථන ඇමැතුමක් දුන් යුද්ධ හමුදාපතිවරයා අන්තර්ජාතික බලපෑම ඉතා අධික බවත් ඇමරිකානුවන් යුද්ධය නවත්වන ලෙස ඉතා තදින් රජයට බලපෑම් කරනා බවත් පැවැසීය.එම බලපෑම්වලට කන් දීමට හෝ ඒවාට යටත් වී යුද්ධය නතර කිරීමට රජය සූදානම් නැති බවත් ඒ නිසා කුපිත වන ඇමරිකානුවන් මෙය නැවැත්වීමට සිය හමුදා බලය පාවිච්චි කිරීමට ඉඩ ඇති බවත් පැවැසූ ඔහු ඇමරිකානුවන් එසේ හමුදා බලය පාවිච්චි කරන්නේ නම්, ප්‍රථමයෙන් කරනුයේ ඔවුනගේ අති බලසම්පන්න ගුවන් බලය යොදා ගුවන් ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි ප්‍රහාර හමුවේ ආරක්ෂා වීමට හැකි අයුරින් ආරක්ෂක ස්ථාන සකස් කර ගැනීමට වහාම සැලැසුම් සකස් කරන ලෙසත් දන්වා සිටියේය.”


මා මේ සටහන උපුටා ගත්තෙ මේජර් ජනරාල් කමල් ගුණරත්න ලියපු “රණමඟ ඔස්සෙ නන්දිකඩාල්” නම් පොතේ 807 වැනි පිටුවේ දෙවන පරිච්ඡේදයෙන්. මේ සටහන උපුටා ගත්තෙ හේතුවක් ඇතුවයි.


ජනතා විමුක්ති පෙරමුණද සහයෝගය දීපු බෙදුම්වාදීන්ට එරෙහි යුද්ධය හැකි වැර යොදා නැවැත්වීමට එදා ඇමරිකාව කරන්න පුළුවන් සෑම දෙයක්ම කරමින් හිටිය බව මෙකරුණෙන් තව තවත් තහවුරුවෙලා තියෙනවා.


එදා ඇමරිකාව බෙදුම්වාදීන්ගේ පැත්තෙ ඉඳගෙන කටයුතු කරද්දී ඉරානය, ලංකාවට උදව් කරල තියෙන්නෙ බෙදුම්වාදීන් පරාජය කරන්නයි.


ඒ වෙනුවෙන් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. එම සහයෝගිතාවයට අනුව ප්‍රධාන වශයෙන් ආයුධ සැපයුම්, ණය පහසුකම්, පුහුණුව සහ තාක්ෂණික සහාය යන ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු වර්ධනය කරල තියෙනවා.


ඒ අනුව සිවිල් යුද්ධ සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඉරානය විසින් ගුවන් නිරීක්ෂණ යානා සහ ඩ්‍රෝන යානා සපයල තියෙනවා. මෙම උපකරණ මිලදී ගැනීම සඳහා ඉරානය අඩු පොලී ණය පහසුකම් ද ලබා දීල තියෙනවා.


ආයුධ සැපයුමට අමතරව, ඉරානය ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබා දීමට ද දායක වෙලා තියෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන්ට ඉරානයේ පුහුණුව ලබා ගැනීමට අවස්ථාව සලසා දීල තියෙනවා. මේ මගින් ඔවුන්ට ඉරානයේ ආරක්ෂක ක්‍රමවේද සහ තාක්ෂණය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට පුළුවන්වෙලා තියෙනවා.


මේ ආදී වශයෙන් ඉරානය විසින් ලංකාවට ලබාදීල තියෙන මිලිටරි දායකත්වය තවත් විස්තර කරන්න පුළුවන්. තව ආර්ථික හා ජාත්‍යන්තර තලයේ සහයෝගයද විස්තර කරන්න පුළුවන්. නමුත් මේ බොහෝ කරුණු පාඨක ඔබ ඉතා හොඳින් දන්නා දේවල්.


මට මෙහිදී ඉස්මතු කරන්න අවශ්‍ය වෙන්නෙ ලංකාව මැදිවෙලා තියෙන භූ දේශපාලනික ගැටුමයි. එදා ඉරාන මිලිටරි සහයෝගය ක්‍රියාත්මක වුණේ ඇමරිකාවේ දේශපාලන උවමනාවට විරුද්ධවයි. බෙදුම්වාදයට එරෙහිව ඉරානය, ලංකාවට කරපු උදව්ව ඇමරිකාව විසින් කිසි දවසක අමතක කරන එකක් නෑ. ඒ වගේම හැකි හැම තැනකදීම ඉරානයෙන් පලි ගනීවි.


අද වන විට දින 97ක් තිස්සෙ මහ මුහුදේ ආහාර සහ වතුර නැතුව අසරණවෙලා ඉන්න ඉරාන නාවිකයින්ට එරෙහිව උදව් කරන්න එපා කියල ලංකාවට තඟ දාල තියෙන්නෙත් ඒ පලි ගැනීමේ උවමනාව අනුවයි.


ඇමරිකාව විසින් බලයට ගෙනාව, ඇමරිකන් ගැති ආණ්ඩුවක් අද බලයේ ඉන්න නිසා ඔවුන්ගෙ පලි ගැනීම සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන්වෙලා තියෙනවා.


ප්‍රියන්ත මධුකුමාර.

04/10/2026

මාස 3කට වැඩි කාලයක් තිස්සෙ ශ්‍රී ලංකාවේ සිට නාවික සැතැපුම් 12ක් පමණ ඈතින් නවතා තිබෙන ඉරාන තෙල් නැව් සඳහා ආහාර, පානීය ජලය සහ වෙනත් සේවාවන් ලබාදීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරල තියෙනවා.

ඉරාන රජය නිල වශයෙන් මෙම නැව් සඳහා සේවාවන් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

පුද්ගලික සමාගම් මෙම සේවාවන් සිදු කළහොත් එම සමාගම් ඇමරිකන් සම්බාධකවලට ගොදුරු විය හැකි බවටත් විදේශ අමාත්‍ය විජිත හේරත් අනතුරු අඟවල තියෙනවා.

ප්‍රියන්ත මධුකුමාර.

03/10/2026

🔴“දේශීයව නිපදවන ආහාර වේලක, සෑම කටක්ම අධිරාජ්‍යවාදී බලකොටුවට ගහන පහරක්”
බුකිනාබේ ආර්ථික ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ගොඩනැගීම අරමුණු කරගත්, දේශීය නිෂ්පාදනය හා පරිභෝජනය ප්‍රමුඛ කරන සමාජ-ආර්ථික හා දේශප්‍රේමී ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙනවා. එම ආරම්භක උත්සවයේදී ජනාධිපති ඊබ්‍රාහිම් ට්‍රොරේ “දේශීයව නිපදවන ආහාර වේලක සෑම කටක්ම අධිරාජ්‍යවාදී බලකොටුවට ගහන පහරක්” බව කියල තියෙනවා.

එම ජාතික උත්සවය අමතමින් ඔහු කළ සම්පූර්ණ කතාව පහතින් ලියල තියෙනවා. කියවන්න, රටට ආදරේ කරන නායකයෙක් තම රටේ මිනිසුන්ගේ කුසගින්න විතරක් නෙවෙයි ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් දරණ මහන්සිය, කැපවීම හා අධිරාජ්‍ය විරෝධය.

සහෝදරවරුනි,

අධිරාජ්‍යවාදය කියන්නෙ ඉතිහාස පොත්වල හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් පලවන ප්‍රශ්නයක් නෙවෙයි. එය අපගේ පිඟන් වලද පවතිනවා. 1983 අගෝස්තු විප්ලවයේ පියා,තෝමස් සංකාරා පැවසූ පරිදි, අප අනුභව කරන ආනයනික සහල්, ඉරිඟු සහ ධාන්‍ය කියන්නෙ අධිරාජ්‍යවාදයටයි.

තවදුරටත් කල් බලන්න එපා. නපුර වඩාත් හානිකර වන්නේ එය අපගේ දෛනික ජීවිතය තුළ වෙස්වලාගෙන තියෙන නිසයි. ආනයනික සහල් අපගේ වෙළඳපොළවල් ගංවතුරට ඇද දමල තියෙනවා. අලෙවිසැල් නොමැතිකම නිසා මෙනේරි, බඩ ඉරිඟු සහ මුං ඇට අස්වැන්න කුණු වෙමින් තියෙනවා.

එම නිසා සතුරා ගැන තවදුරටත් කල් බලන්න එපා: ඒවා සමහර විට දිනකට දෙවරක් හෝ තුන් වතාවක් අපගේ මේසයට ආරාධනා කරයි. සතුරා යනු අපගේ දේශීය නිෂ්පාදනයේ සහ අපගේ ආර්ථිකයේ වියදමින් පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වංචනික මාර්ග භාවිතා කරන අශිෂ්ට වෙළෙන්දා යි.

"බුර්කිනා ෆාසෝ හි නිෂ්පාදිත" නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා රජය දැඩි පියවර ගනිමින් තියෙනවා. අපගේ සාප්පු සහ සිල්ලර වෙළඳසැල්වල රාක්ක දේශීය නිෂ්පාදනවලින් උතුරා යන අවකාශයන් බවට පත් කිරීම සහතික කිරීම සඳහා ජනතාවගෙන් සහ වෙළඳුන්ගෙන් දේශප්‍රේමයේ රැල්ලක් අවශ්‍ය වෙලා තියෙනවා.

අධිරාජ්‍යවාදීන් දශක ගණනාවක් තිස්සේ අපිව කොන්දේසි සහිතව තබා තිබෙනවා. අපිට ඔවුන්ගේ නිෂ්පාදන විකුණලා අපේම නිෂ්පාදන අවප්‍රමාණය කිරීමෙන් අධිරාජ්‍යවාදය අපේ පරිභෝජන පුරුදු හැඩගස්වල තිබෙනවා. දුර සිට එන දේ වඩා හොඳ බව අපි විශ්වාස කරනවා. ෆාසෝ ඩෑන් ෆානි "ඉතා මිල අධික" බව අපට උගන්වල තියෙන අතර ආනයනික කමිසයක් දස ගුණයකින් මිල අධික ලෙස මිලදී ගැනීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනවා. තිරිඟු පාන් අත්‍යවශ්‍ය බව අපට උගන්වල තියෙන අතර එය අපේ මුතුන් මිත්තන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඇති කළ ආහාර වන මෙනේරි, බඩ ඉරිඟු සහ තිරිඟු වල ශක්තිය අමතක කරවන තරමට අපට උගන්වලා තියෙනවා. අපේ පාද යට ඇති භූමිය ධනයෙන් පිරී ඉතිරී යන විට, අපි දුප්පත් බව විශ්වාස කිරීමට අපට මඟ පෙන්වනු ලැබ තිබෙනවා. "ඥානවන්ත දරුවා යනු තම මවගේ කේක් මිලදී ගන්නා තැනැත්තා" කියල බුර්කිනාබේ හිතෝපදේශයකින් කියනවා. එම නිසා අපි ඒ ඥානවන්ත දරුවන් වෙමු; අපි කන දේ ගැන පවා ආඩම්බර සහ දේශප්‍රේමී බුර්කිනාබේ වෙමු.

හිතවත් සහෝදරවරුනි,

මානසිකව හැඩගැස්වීමේ කාලය අවසන්! අපගේ නිෂ්පාදන වටා ඇති ලැජ්ජාවේ යුගය අවසන්! අප සිතන නව බුර්කිනාබේ යනු තම පුරුදු පරිවර්තනය කිරීමට දැනුවත්ව තෝරා ගන්නා, මෙම ප්‍රධාන වටිනාකම් තම දරුවන්ට ලබා දෙන කෙනයි: අප පරිභෝජනය කරන දේ නිෂ්පාදනය කිරීම සහ අප නිෂ්පාදනය කරන දේ පරිභෝජනය කිරීම පූජනීය යුතුකමක් වෙනවා.

එම දේශප්‍රේමී සහභාගීත්වයේ සහ සිවිල් සහභාගීත්වයේ පෙළගැස්වීමේ තේමා හඬ වන්නෙ: "ආහාර ස්වෛරීභාවය සහ ආර්ථික දේශප්‍රේමය: දේශීය නිෂ්පාදනය සහ පරිභෝජනය තුළින් අපගේ ගෞරවය වර්ධනය කර ගනිමු." සෑම කෙනෙකුම අනුගමනය කළ යුතු සටන් පාඨය වන්නේ "මගේ පිඟාන, මගේ ආඩම්බරය!" යන්නයි.

මෙම තේමාව අපට අභියෝග කරයි. ආහාර මත යැපීමට එරෙහිව යුද්ධ කිරීමට එය අපව තනි තනි වශයෙන් සහ සාමූහිකව පොළඹවයි. දේශීයව නිපදවන ආහාර වේලක සෑම කටක්ම අධිරාජ්‍යවාදී බලකොටුවට ගහන පහරක්.අප කන දේ නිෂ්පාදනය කිරීම, අප නිෂ්පාදනය කරන දේ සැකසීම සහ අප සැකසෙන දේ පරිභෝජනය කිරීම - එය අපගේ සැබෑ ස්වාධීනත්වයට මාර්ගයයි!

හිතවත් සහෝදරවරුනි,

ඔබේ ක්‍රියාවන්හි සම්පූර්ණ බලපෑම තේරුම් ගන්න: ඔබ අපේ මුං ඇට මිලදී ගන්නා විට, ඔබ ඔබේ පවුල පෝෂණය කරනවා විතරක් නෙවෙයි, ඔබ බුර්කිනා ෆාසෝහි ආර්ථිකය නංවාලනවා. ඔබ ෆාසෝ ඩෑන් ෆානි රෙදි අඳින විට, ඔබ ඇඳුම් අඳිනවා පමණක් නෙවෙයි, ඔබ අපගේ වියන්නන්ගේ ගෞරවයට ගරු කරනවා. ආනයනික රසායනික බුවිලන් කැට වෙනුවට ඔබ සුම්බාලා තෝරා ගන්නා විට, ඔබ ආහාර පිසීම පමණක් නෙවෙයි, ඔබ අධිරාජ්‍යවාදයේ පේටන්ට් බලපත්‍ර පුළුස්සා දමනවා.

අද, අපි ආඩම්බරයේ ප්‍රධාන ප්‍රහාරයක් දියත් කරමින් සිටිමු. දේශප්‍රේමී කැපවීමේ සහ සිවිල් සහභාගීත්වයේ මෙම ජාතික දිනවලදී, අපි අපගේ ආහාර නැවත සොයා ගැනීමට ඉගෙන ගනිමු. සෑම රජයේ කාර්යාලයකම, සෑම පාසලකම, සෑම නිවසකම, සාමාන්‍ය බුර්කිනාබේ කෑමවලින් අපගේ භාජන පුරවා ගැනීමේ පුරුද්ද අපි අනුගමනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

"දේශීය ආහාර ගැනීම" පාසල් ආපනශාලාවල සහ අපගේ මේසවල එදිනෙදා පුරුද්දක් බවට පත්විය යුතුයි. ලිප්ටකෝ සිට ටනූන්යන් කලාපය දක්වා, අපගේ තැනිතලාවෙන් ලැබෙන සහල් සහ අපගේ පළතුරු වතුවල පලතුරුවලින් පිරවිය විය යුතුයි. දේශීය ආහාර ගැනීම, පූජනීය සම්ප්‍රදායක් බවට පත් කරමු. අපගේ කෑම මේසය අපගේ විමුක්තිය සඳහා පෙරමුණක් බවට පත් කරමු.

සහෝදරවරුනි,

අපට සැබවින්ම විමුක්තිය ලැබීමට අවශ්‍ය නම් අපගේ අරගලය රැඩිකල් විය යුතුයි. අපගේ වෙළඳපොළවල් එක්සත් කරමු! අපගේ ගොවීන්ගෙන් කිරි, අපගේ පහත් බිම්වලින් සහල්, අපගේ සැවානාවලින් පශු සම්පත් බෙදා හරිමු! ජාතික නිෂ්පාදනය උත්තරීතර වන අතර ආනයන ව්‍යතිරේකයක් වන ආර්ථික අවකාශයක් ගොඩනඟමු!

අපේ රටේ අනාගතය ද මෙහි අවදානමට ලක්වෙලා තියෙනවා: අපගේ කෙත්වල, අපගේ ගොවිපලවල සහ අපගේ වෙළඳපොළවල. අපගේ අසල්වැසි ප්‍රදේශවල සාප්පු හිමියන්ට, මම මෙම පණිවිඩය යවනවා: අපගේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දෙන්න. අපගේ නිෂ්පාදන තෝරා ගැනීමෙන්, ඔබ ඉහළ ජීවන වියදමට එරෙහිව සටන් කර ස්වෛරී සහ ආඩම්බර බුර්කිනා ෆාසෝවක් ගොඩනඟයි.

මෙම මාර්ගය ඉතා දුෂ්කර යැයි හෝ අපගේ අභිලාෂය ගෝලීයකරණය වූ ලෝකයකින් විසන්ධි වී ඇති බවට බිය වන අය ගැනද මම කතා කරමි. ඔවුන්ට, මම කියමි: පහසු පරිභෝජනයේ මිරිඟුවලින් රැවටෙන්න එපා. ආනයනවල ක්ෂණික සැනසීම අපගේ දරුවන්ගේ අනාගතය උකස් කරන උගුලක්. අපි ගෞරවනීය මාවත තෝරාගෙන තියෙනවා. එය නිසැකවම ඉල්ලුමක් ඇති මාර්ගයක්. සැබෑ නිදහසට මඟ පෙන්වන එකම මාර්ගයත් එයයි.

අපි මේ සත්‍යය මතක තබා ගනිමු: ඔබේ පිඟාන පුරවන ඕනෑම අයෙකු අවසානයේ ඔබේ කැමැත්ත නියම කරයි. අප පරිභෝජනය කරන දේ පාලනය කිරීම කියන්නෙ අපගේ ඉරණම සහ අපගේ සෞඛ්‍යය සඳහා යතුරු ආපසු ගන්නවා කියන එකයි.

අපගේ අසාර්ථකත්වය පිළිබඳව ඔට්ටු අල්ලන සමහර හඬවල් මට දැනටමත් ඇසෙනවා. ගෝලීය වෙළඳපොළේ යථාර්ථයන් හමුවේ අපගේ ගම්‍යතාවය අඩපණ වනු ඇතැයි ඔවුන් සිතනවා. ඔවුන් වැරදියි.

අපි අපේම ශක්තිය වගා කරන නිසා අපි හුදකලා වීමට බිය නොවෙමු. බාහිර සම්පත් වියළී ගියහොත්, බුර්කිනා ෆාසෝ දණගැස්වීමට ඉඩ නොදෙනු ඇත. ඊට පටහැනිව, අපගේ ඔරොත්තු දීමේ හැකියාවේ සම්පත් සඳහා අපි අපගේ භූමිය භාවිතා කරන්නෙමු. අපව නඩත්තු කරන්නේ අපගේ ගොවීන්ගේ දෑත් සහ අපගේ කාන්තාවන්ගේ ධෛර්යයයි; සෑම පරීක්ෂණයක්ම අපගේ සාමූහික දක්ෂතාවය හෙළි කරනු ඇත. සෑම පරීක්ෂණයක්ම නව බුර්කිනා ෆාසෝවක් බිහි කරනු ඇත:

සහෝදරවරුනි,

සටන අප ඉදිරියේ තිබේ. ඔබේ දෑත් දෙස බලන්න. ඒවා නිර්මාණය කර ඇත්තේ යාචකකමට හෝ වෙනත් තැනකින් එන දේ වෙනුවෙන් අත්පොළසන් දීමටද? නැත! ඒවා නිෂ්පාදනය කිරීමට, ගොඩනැගීමට, පරිවර්තනය කිරීමට නිර්මාණය කරල තියෙනවා.

එම නිසා, එක්ව, මෙම 2026 දේශප්‍රේමී කැපවීමේ සහ සිවිල් සහභාගීත්වයේ ජාතික දිනයේදී, අපි කැප වෙමු! කෙත්වල, අපගේ උත්සාහයන් දෙගුණ කරමු! වෙළඳපොලේදී, අපගේ නිෂ්පාදන තෝරා ගනිමු! මේසයේදී, අප කවුරුන්ද යන්න ගැන අපි ආඩම්බර වෙමු! අප පරිභෝජනය කරන දේ අපගේ ආයුධය බවට පත් වේවා! අපගේ තහඩුව අපගේ පෙළපාළි හඬ බවට පත් වේවා! අපගේ ස්වෛරීභාවය අපගේ ආඩම්බරය වේවා! අපගේ නිර්භීත ගොවීන්ට මහිමය වේවා! අපගේ ඔරොත්තු දෙන කාන්තාවන්ට ජයග්‍රහණය! අපගේ ශිල්පීන්ට ගෞරවය! නිජබිම හෝ මරණය, අපි ජය ගන්නෙමු!

ප්‍රියන්ත මධුකුමාර

01/10/2026
01/10/2026

රුසියාව " අත දිගු කර ආධාර ඉල්ලා හිඟාකමින් ලොව වටා නොයනු ඇත.
පළමුව, එය නින්දා සහගත නිසා. දෙවනුව, කිසිවෙකු අපට කිසිවක් ලබා දෙන්නේ නැත. අපි එය හොඳින් දනිමු. තෙවනුව සහ වඩාත්ම වැදගත් දෙය නම් අපට එය අවශ්‍ය නැත." යනුවෙන් ජනාධිපති පුටින් විසින් කියල තියෙනවා. පහුගිය සතියේ මැතිවරණයෙන් අලුතින් තේරී පත් වූ රාජ්‍ය ඩූමාව අමතමිනුයි ඔහු මෙලෙස ප්‍රකාශ කරල තියෙන්නෙ.

01/10/2026

🔴ඇමරිකාවට 250යි.චීනයට 77යි.එක කවුද? 🇺🇸 🇨🇳
පිව් (PEW) සමීක්ෂණ ආයතනය අපූරු වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඒක ලෝකයේ රටවල් 36ක මිනිසුන් හතළිස් දෙදහස් එකසිය පනහක් (42,150) ඇසුරෙන් කරපු සමීක්ෂණයක්. අහල තිබුණේ සරල ප්‍රශ්නයක්. ඔබ වඩා කැමැති ඇමරිකන් ක්‍රමයටද, චීන ක්‍රමයටද?


මෙන්න පිළිතුර. චීන ක්‍රමයට කැමැති පිරිස වැඩිවෙලා තියෙනවා. ලංකාවේ අයත් කියල තියෙන්නෙ චීන ක්‍රමයට කැමැතියි කියලයි.


වඩා විදිමත්ව කියනවානම්, 2026 දී චීන ක්‍රමයට කැමැති පිරිස 46%ක් වෙනකොට ඇමරිකන් ක්‍රමයට කැමැති පිරිස 36%ක් වෙලා තියෙනවා. මේ වාර්තාව කියන විදිහට 2023 දී ඇමරිකන් ක්‍රමයට කැමැති පිරිස 58%ක් සහ චීන ක්‍රමයට කැමැති පිරිස 32%ක් වෙලා තියෙනවා. ඒ අනුව 2026 අවුරුද්දෙ ඉඳළ චීන ක්‍රමයට කැමැති පිරිස ඉහළ ගිහින් තියෙනවා. ලංකාවේදී චීන ක්‍රමයට කැමැති පිරිස 72%ක් වෙලා තියෙනවා. රටවල් 36න්ම ඇමරිකන් ක්‍රමයට කැමැතිවෙලා තියෙන්නෙ රටවල් 5ක් විතරමයි. ඒ රටවල් තමයි ඊශ්‍රායලය,ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව සහ පිලිපීනයයි.


මේ අනුව අවුරුදු දෙසිය පනහක (250) ඉතිහාසයක් තියෙන ඇමරිකාව ගමන් කරමින් තියෙන දිශාව පැහැදිලියි. එය පල්ලම් බහිමින් තියෙනවා. ඒ වගේම අවුරුදු හැත්තෑ හතක (77) විප්ලවීය ඉතිහාසයක් තියෙන චීනයේ ගමන් දිශාවද පැහැදිලියි. 1949 ඔක්තෝබර් 1වැනිදා සිට අධිරාජ්‍යවාදී භූවල්ලාගෙන් ගැලැවුණු චීනය ලෝකයේ අවධානය දිනා ගනිමින් තියෙනවා. අද චීනයේ 77වන ජාතික නිදහස් දිනයයි.


ඇත්ත වශයෙන්ම ලෝක ජනතාවකගේ ප්‍රසාදය චීනය දිනා ගත්තෙ කොහොමද? මේ අවුරුදු 77ක කාලයේදී ඔවුන් කරල තියෙන හපන්කම් මොනවාද? එම හපන්කම් තේරුම් ගැනීමට පහසුවෙන්න මම ඔබට දත්ත කීපයක් ලියන්නම්.


2010 දී චීනය ලෝකයේ 2වන විශාලතම ආර්ථිකය බවට පත්වුණා. වර්තමානයේ, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඇමරිකාව හා චීනයේ කොටස් අතර වෙනස 6% ක් පමණවෙලා තියෙනවා. අගය අනුව ගත්තොත් පිළිවෙලින් 25% සහ 19%ක් වෙනවා.


ඒ වගේම ඉදිරි වසර දහය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාව අභිබවා යනවා කියල ගණන් බලා තියෙනවා. එම කාලය තුළම, ඉන්දියාව පෘථිවියේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස ස්ථානගත වෙනවා කියලත් ගණන් බලලා තියෙනවා.


කෙසේ වෙතත්, මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (PPP) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සකස් කළහොත්, චීනය දැනටමත් ලෝකයේ විශාලතම ආර්ථිකය වෙලා තියෙනවා. එම පරාමිතිය යටතේ, විශාලතම ආර්ථිකයන් දහය වන්නේ: චීනය (19%), ඇමරිකා එක්සත් ජනපදය (15.2%), ඉන්දියාව (7.75%), ජපානය (3.65%), ජර්මනිය (3.11%), රුසියාව (2.84%), ඉන්දුනීසියාව (2.56%), බ්‍රසීලය (2.31%), ප්‍රංශය (2.18%) සහ එක්සත් රාජධානිය (2.17%) යි.


ඒ වගේම 2024 දී ගෝලීය කාර්මික නිෂ්පාදනයේ චීනයේ කොටස 31.6% ක් වෙමින් එය පළමු ස්ථානයට පත් වූ අතර ඇමරිකාවේ කොටස 15.9% ක් වෙමින් එය දෙවන ස්ථානයට පත්වෙලා තියෙනවා. ඉන්පසුව ජපානය (6.5%), ජර්මනිය (4.8%) සහ ඉන්දියාව (2.9%) පැමිණිල තියෙනවා.


චීන කර්මාන්තයේ ද්‍රව්‍යමය හා තාක්ෂණික පදනම ඇමරිකාව සහ අනෙකුත් බටහිර බලවතුන්ගේ ඒවාට වඩා ගැඹුරින් අලුත් සහ උසස් වන්නේ එය පසුගිය දශකය තුළ නවෝත්පාදනය කෙරෙහි නැඹුරු වූ අති නවීන තාක්ෂණයන්, නවීන යටිතල පහසුකම් සහ රාජ්‍ය සැලසුම්කරණය මත ගොඩනගල තියෙන නිසයි. බටහිර කර්මාන්ත වයස්ගත ව්‍යුහයන්, අධික පිරිවැය සහ නිතර වෙනස්වන ක්‍රියාවලීන් ගෙන යනවා.


චීනය කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව, උසස් නිෂ්පාදන සහ ඩිජිටල් සැපයුම් දාමයන් ඒකාබද්ධ කරන ඒකාබද්ධ කාර්මික පරිසර පද්ධති සංවර්ධනය කරල තියෙනවා. ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව, හරිත බලශක්තිය සහ ස්වයංක්‍රීය නිෂ්පාදනය වැනි උපායමාර්ගික අංශවල ඒකාබද්ධ වූ මෙම තාක්ෂණික පදනම අද එහි විශාලතම වාසියයි. එම වාසියේ ප්‍රතිඵල චීනය භුක්ති විදින අතර ඒවා ලෝකයටත් බෙදා දෙමින් තියෙනවා. ඒ නිසයි චීනය එක වෙලා තියෙන්නෙ.

ප්‍රියන්ත මධුකුමාර.

05/09/2026

🔴CIA කුලීකරුවන් වුණ “සමාජවාදීන්”.
ඇමරිකන් ඔත්තුකරුවන් තමන්ට අවනත මිනිස්සු සකස් කරගැනීම සඳහා නොකරන දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම සමහර “සමාජවාදී” පක්ෂවලට පවා ඔවුන්ගෙන් බේරිල ඉන්න පුළුවන්වෙලා නෑ.

කුලී ඔත්තුකරුවන් බවට පත්වුණ “සමාජවාදීන්” හා “විප්ලවාදීන්” ගැන සැක සහිත කතා ලෝකයේ හැම රටකමත් තියෙනවා. මේ ඔත්තුකරුවන් විසින් උතුම් අරමුණ වෙනුවෙන් කැපවුණ මුළු පක්ෂයක්ම අධිරාජ්‍යවාදීන්ගෙ ඔඩොක්කුවට තල්ලු කරල තියෙනවා. ඒ මඟින් ඉතිහාසගත පරිත්‍යාගයන් ශත පහක වටිනාකමක් නැති තත්වයට පත් කරල තියෙනවා.

මේ පාවාදීම් කතා අතර කීර්තිමත් මාක්ස්වාදිනියක් වුණ රෝසා ලක්සම්බර්ග් ආරම්භ කළ (1898) ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියෙන්ම හිටිය කියල ඔබ විශ්වාස කරනවද? විශේෂයෙන්ම 1950 දශකයෙන් පස්සෙ කාලයේදී.

ඒ අනුව ලෝකයේ සමහර රටවල වාමාංශික පක්ෂ දිය කර හරින්න සීඅයිඒ (CIA) මුදල් බෙදා හරින තුන්වැනි පාර්ශවකරුවෙක් විදිහට පාවිච්චි කරල තියෙන්නෙ ජර්මර් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

කොහොම නමුත් එම පක්ෂය සීඅයිඒ උගුලක් වෙන්න දශක කීපයකට කලින්ම රෝසා ලක්සම්බර්ග් එයින් ඉවත්වෙලා ජර්මර් කොමියුනිස්ට් පක්ෂය ගොඩනඟල තියෙනවා. ඒ නිසා රෝසා ලක්සම්බර්ග්ට ඒ චෝදනාව අදාළ වෙන්නෙ නෑ.

මෙයාකාරයෙන් ජර්මර්න් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හරහා CIA මුදල් ලබාගෙන තමන්ගෙ රටේ මුළු වාමංශික ව්‍යාපාරයම විනාශ කරපු පක්ෂයක් තමයි පෘතුගාල සමාජවාදී පක්ෂය. එම විනාශයෙන් දශක කීපයකට පස්සෙ CIA විසින්ම ඒ බව තහවුරු කළ වාර්තා එළියට දමා තිබෙනවා.ඔප්පු කළ වාර්තා තියෙන නිසා ඒ ගැන ලියන්න පුළුවන්.

🔴ආරම්භය.
පෘතුගාල සමාජවාදී පක්ෂය 1875දී ආරම්භ කරල තියෙනවා. පස්සෙ කාලයකදී එනම් 1926දී සිදු වුණ හමුදා කුමන්ත්‍රණයෙන් පස්සෙ පෘතුගාලයේ සියළුම පක්ෂ තහනම් කරල තියෙනවා. මේ තහනමට මුහුණ දෙන්න බැරුව සමාජවාදී පක්ෂය විසුරුවා හැරල එහි නායකයින් විදෙස්ගත වෙලා තියෙනවා.මේ නායකයින් 1974 වෙනකම් කිසිම සම්බන්ධයක් රටත් සමඟ තිබිල නැහැ.

ඒ වගේම පෘතුගාල කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරල තියෙන්නෙ 1921 මාර්තු 6 වැනිදයි. මේ පක්ෂයත් 1926දී තහනම් කරල තියෙනවා. නමුත් ඔවුන් භූගතව අවුරුදු 48ක් එනම් 1974 වෙනකම් ජනතාව සමඟ දේශපාලනය කරල තියෙනවා. මේ නිසාම ඒ කාලයේදී පෘතුගාල ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබිල තියෙන්නෙ කොමියුනිස්ට් පක්ෂයටයි.

මේ අතර 1974 අප්‍රේල් 25වැනිදා පෘතුගාල හමුදාව විසින් අවුරුදු 48ක් පුරා තිබුණ ඒකාධිපති පාලනය එළවල දමනවා. මේකට “කානේෂන් විප්ලවය” කියනවා. ඉන් පස්සෙ සියළුම දේශපාලන පක්ෂවල තහනම ඉවත් කරල මැතිවරණයක් තියන්න සූදානම් වෙලා තියෙනවා.

🔴CIA කුමන්ත්‍රණය.
ඇත්ත වශයෙන්ම මේ කාලයේදී මැතිවරණයෙන් නිතරඟයෙන්ම වගේ කොමියුනිස්ට් පක්ෂයට බලය ලබාගන්න පුළුවන්කම තිබිල තියෙනවා. ඒ තරම්ම ඔවුන් ජනතාවගේ ආදරයට සහ විශ්වාසයට ලක්වෙලා තියෙනවා.

මේ වටපිටාව තුළ වැඩියෙන්ම බයට පත්වෙලා තියෙන්නෙ ඇමරිකාව. මේ කාලයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් (Henry Kissinger).පෘතුගාලය ඒ වෙන විටත් නේටෝ සාමාජිකයෙක්. ඔවුන්ගෙ බිය කොතරම්ද කියනවානම්, කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය කළොත් නේටෝ සංවිධානයෙන් පෘතුගාලය ඉවත් කරන්නත් ඔවුන් සැලැසුම් කරල තියෙනවා. ඒ වගේම ඇමරිකාව බියට පත් කරපු තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා.

විශේෂයෙන්ම පෘතුගාලයේ ඇසෝරස්(Azores) දූපත්වල පිහිටි ගුවන් හමුදා කඳවුර අත්ලාන්තික් සාගරය හරහා ගුවන් ගමන් සහ සන්නිවේදනය සඳහා ඇමරිකාවට ඉතා වැදගත් වෙලා තියෙනවා. පෘතුගාලය කොමියුනිස්ට් පාලනයකට යටත් වුණොත් මෙම කඳවුර ඇමරිකාවට අහිමි වීමේ අවදානමක් මතුවෙලා තිබුණා. මේ ගැනයි රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් ප්‍රධාන වශයෙන්ම බයවෙලා හිටියේ.පෘතුගාලයේ පාලනය කොමියුනිස්ට් පක්ෂය අතට ගියොත් ඇසෝරස් දූපත අල්ලා ගැනීමට පවා ඇමරිකාවට සැලැස්මක් තිබිල තියෙනවා.

ඒ විතරක් නෙවෙයි එවැනි සිදුවීමක් ස්පාඤ්ඤය, ඉතාලිය වැනි අනෙකුත් දකුණු යුරෝපීය රටවල කොමියුනිස්ට් ව්‍යාපාරවලට උත්තේජනයක් ලබාදෙයි කියලත් අධිරාජ්‍යවාදීන් බයෙන් ඉඳළ තියෙනවා.

මේ අවදානම් මඟහරවා ගැනීම සඳහා ඇමරිකන් පරිපාලනය සහ සීඅයිඒ (CIA) විසින් රහස්‍ය මෙහෙයුම් ආරම්භ කරල තියෙනවා. ඒ අනුව ඒ වන විටත් තමන්ගෙන් යැපෙන පෘතුගාල සමාජවාදී පක්ෂය ශක්තිමත් කරන්න ඔවුන් තීරණය කරල තියෙනවා.

මේ තීරණය අනුව 1974 අප්‍රේල් 25 වැනිදා ඒකාධිපති පාලනය බිඳ වැටිල දවස් කීපයකට පස්සෙ පෘතුගාල සමාජවාදී පක්ෂ නායකයින් රටට ඇවිත් දේශපාලන පක්ෂයක් විදිහට වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඔවුන් රටට එනකොටමත් ඩොලර් මිලියන 10ක් ලබා දුන්න කියල CIA වාර්තා සඳහන් කරනවා. මේ මුදල් පෘතුගාලයේ “ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම” වෙනුවෙන් ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,කම්කරු සංගම් සහ ක්‍රිස්තියානි සංගම් වැනි තුන්වැනි පාර්ශව හරහා ලබා දීල තියෙනවා. ඉන් පසුවත් මේ තුන්වැනි පාර්ශව හරහා දිගින් දිගටම මුදල් ලබා දීල තියෙනවා.

මෙම මුදල් බලයත් සමඟ පෘතුගාල සමාජවාදී පක්ෂය ඉතා වේගවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරල තියෙනවා. ඔවුන්ගේ එකම ඉලක්කයවෙලා තියෙන්නෙ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව නැඟී සිටීමයි.මේ කාලයෙදී පෘතුගාල මුද්‍රණ හිමියන්ගෙ බලයත් කොමියුනිස්ට් පක්ෂයට තිබිල තියෙන නිසා ඇමරිකාව විසින් සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක පෝස්ටර් සහ පත්‍රිකා විදෙස් රටක මුද්‍රණය කරල ගෙනත් දීල තියෙනවා.

මෙයාකාරයෙන් විශාල මුදලක් සහ අනෙකුත් සහයෝගයන් ලබා දෙමින් ඇමරිකාව බලාපොරොත්තු වුණේ පෘතුගාලයේ බලය කොමියුනිස්ට් පක්ෂයට මාරුවන එක වැලැක්වීමයි.

කොහොම නමුත් දැවැන්ත මුදල් බලයක් සමඟ වසරක් පුරා අරගෙන ගිය වැඩ කටයුතු අවසානයේ 1975 අප්‍රේල් 25වැනිදා තියපු මැතිවරණයෙන් පෘතුගාල සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කරල තියෙනවා.

ඒ අනුව ඇමරිකාවේ කුමන්ත්‍රණය සාර්ථක වුණා වගේම “සමාජවාදී” පක්ෂ,“කම්කරු සංගම්” සහ “ක්‍රිස්තියානි සංගම්” CIA ඔඩොක්කු කුක්කන් බව පස්සෙ කාලයකදී හෙළිදරව් වුණා.

ප්‍රියන්ත මධුකුමාර.

03/09/2026

🔴CIA කාරයන්ව ජනපති, අගමැති කරපු රටක්.
ඇමරිකන් ඔත්තුකරුවන් නැතිනම් CIA කාරයින් දෙන්නෙක් ජනාධිපති සහ අගමැති කරගෙන රටක් යටත් කරගත්ත කතාවක් ඔබ අහල තියෙනවද? ඔව්! රටවල් තමන්ගෙ අණසකට යටත් කරගන්නට ඇමරිකානුවන් නොකරන දෙයක් නෑ. නොකරපු දෙයකුත් නෑ.


තමන්ගේම ඔත්තුකරුවන්ව ජනාධිපති සහ අගමැති කරගෙන යටත් කරගත්ත රට තමයි කාම්බෝජය. තවත් රටවල් තියෙන්න පුළුවන්. නමුත් කාම්බෝජයේ ඇමරිකන් පාලනය කරුණු සහිතව ඔප්පුවෙලා තියෙනවා. ඒ යටත් කරගැනීමෙන් දශක කීපයකට පසුවයි.


1970 වන විට කාම්බෝජය පාලනය කරමින් හිටියේ නොරොදොම් සිහනුක් විසින්. ඔහු ගොවි ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන හිටිය පාලකයෙක් වගේම නොබැඳි ප්‍රතිපත්තියේ පිහිටල රට පාලනය කරල තියෙනවා. ඒ වගේම විදෙස් වෙළඳාම, බැංකු සහ රක්ෂණ සමාගම් ජනසතු කිරීම වැනි ජනතා හිතවාදී ක්‍රියා මාර්ග අනුගමනය කරමින් ඉඳළ තියෙනවා.


ඉන් නොනැවතී ජනාධිපති නොරොදොම් සිහනුක්, දකුණු වියට්නාමය ප්‍රංශ අධිරාජ්‍යයෙන් මුදාගැනීමේ සටනට උදව් කරල තියෙනවා. ඒ අනුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වියට් කොං හමුදාවට කාම්බෝජ භූමියේ කඳවුරු හදා ගැනීමට හා ආහාර සහ අනෙකුත් සේවා පහසුකම්ද ලබා දීල තියෙනවා.


මෙවැනි සහයෝගයෙන්ද ඔබ්බට ගොස් වියට්නාමයට උපාය මාර්ගික වශයෙන් වැදගත් සිහනුක් වරාය හරහා චීනයෙන් උදව් ලබාගැනීමට ඉඩ සලසමින් 1964දී චීනය සමඟ ගිවිසුමක්ද අත්සන් කරල තියෙනවා. මේ ගිවිසුමට අනුව චීනයෙන්,වියට්නාමයට ලබාදෙන මිලිටරි ආධාර සිහනුක් වරාය හරහා ප්‍රවාහනය කරන්න පුළුවන්වෙලා තියෙනවා.


මෙවැනි ක්‍රියා මාර්ග නිසා ජනාධිපති නොරොදොම් සිහනුක් සමඟ ඇමරිකාව තදබල විදිහට අමනාපයෙන් ඉඳළ තියෙනවා. ඔවුන්ගෙ ඔත්තු සේවයට(CIA) අනුව 1969 වන විට චීනය විසින් වියට්නාමයට මිලිටරි උපකරණ ටොන් විසි දෙදහසක් (22,000) ලබාදීල තියෙනවා.


ඇත්ත වශයෙන්ම මෙම වාර්තා විසින් ඇමරිකාව තව තවත් බය වෙලා තියෙනවා. මේ බය වීමට තවත් ප්‍රබල හේතුවක්ද තිබුණා. ඒ තමයි කාම්බෝජයේත් කොමියුනිස්ට් පක්ෂය බලයට පත්වෙයි කියල තිබුණ බය. මොකද ඒ වන විටත් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය ජනතාව අතර වැඩ කරමින් හිටිය නිසා. ඔවුන්ට චීනයේ සහ වියට්නාමයේ සම්බන්ධකම්ද තිබිල තියෙනවා.


එම නිසා කාම්බෝජයේ ඇමරිකන් විරෝධී පාලනය වෙනස් කිරීමේ උවමනාව ඇමරිකාවට තදබල ලෙස තිබුණා. නමුත් ඒ සඳහා ඔවුන් කාම්බෝජය ආක්‍රමණය කරන්න එඩිතර වුණේ නෑ. මොකද ඒ වන විටත් ඔවුන් වියට්නාමය අල්ලා ගැනීමේ යුද්දයෙන් පරාජයට පත්වෙලයි හිටියේ. එම පරාජයේ උණුසුම යන්නත් කලින් තවත් නින්දාවක් ලබාගන්න ඇමරිකාවට වුවමනා නෙවෙන්න ඇති.


නමුත් ඇමරිකාව අවස්ථාවක් එනකම් යටින් කුමන්ත්‍රණය කරමින් ඉඳළ තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ වන විටත් ඇමරිකාවට ඔවුන්ගේම ඔත්තුකරුවන් දෙදෙනෙක් කාම්බෝජ පාලනය තුළම තහවුරු කරගෙන හිටියා. එක් කෙනෙක් අගමැති ලොන් නොල්. අනිත් කෙනා ජනාධිපති නොරොදොම් සිහනුක්ගේ ඥාති සහෝදරයෙක් වුණ පළමු නියෝජ්‍ය අගමැති සිසෝවක් සිරික් මාටැක්. මේ දෙදෙනා ඇමරිකන් උපදෙස් අනුව වැඩ කළ බව දශක කීපයකට පස්සෙ ඇමරිකාව නිකුත් කරපු ලේඛනවලින්ම තහවුරු කරල තියෙනවා.


කොහොම නමුත් ඇමරිකාව බලා හිටිය සුදුසුම අවස්ථාව 1970 ජනවාරියේදී ඔවුන්ට ලැබුණා. ජනාධිපති නොරොදොම් සිහනුක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජනවාරියේදී විදෙස් ගතවෙලා තියෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත අගමැති ලොන් නොල් සහ නියෝජ්‍ය අගමැති සිසෝවක් මාටැක් බලය අල්ලා ගත්තා. ඔවුන් බලය අල්ලා ගත්තෙ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කිරීමෙන්. ඒ විශ්වාස භංගයක් හරහා.දිනය 1970 මාර්තු 18 වැනිදා.


පසුව ලොන් නොල් කාම්බෝජයේ ජනාධිපති විදිහටත් සිසෝවක් මාටැක් අගමැති විදිහටත් පත්වෙලා තියෙනවා. ඔවුන් බලයට පත් වුණු ගමන්ම වියට්නාමයට ලබාදෙන සහයෝගය සහ චීනය සමඟ අත්සන් කළ ගිවිසුම් වහාම අවලංගු කරල තියෙනවා. ඉන් අනතුරුව ඇමරිකන් උපදෙස් අනුව රට පාලනය කරල තියෙනවා.


නමුත් මේ ඇමරිකන් ගැති පාලනයට ආයුෂ තිබිල තියෙන්නෙ අවුරුදු 5යි. කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය 1975 අප්‍රේල් වන විට ඇමරිකන් ගැති පාලනය පෙරලලා දැම්මා.


ප්‍රියන්ත මධුකුමාර.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lengathu minisa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lengathu minisa:

Shortcuts

Share