Next page - Isuru prasanga

Next page - Isuru prasanga I am Isuru Prasanga, a Sri Lankan writer. My passion is to learn, explore, and share meaningful ideas with you.

👉 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියලා කියනවා. ඔව් ලැබුණා තමයි. හැබැයි අපට 1948 සුද්දාගෙන් ලැබුණේ නාමික මට්ටමේ එහෙමත්...
22/05/2026

👉 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියලා කියනවා. ඔව් ලැබුණා තමයි. හැබැයි අපට 1948 සුද්දාගෙන් ලැබුණේ නාමික මට්ටමේ එහෙමත් නැත්නම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්.

👉 ඩොමීනියන් තත්ත්වය කියන එකේ සරල අර්ථය තමයි ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තය යටතේ පවතින ස්වයංපාලන ප්‍රදේශයක් මිස පූර්ණ ස්වාධින රාජ්‍යයක් නෙමෙයි කියන එක. එතකොට මේ ඩොමිනියන් නිදහස කියන එකේ ලක්ෂණ මොනවාද කියලා බලමු.

👉 පළමු කාරණය තමයි මේ ඩොමීනියන් තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වුණේ එංගලන්තයේ රජු හෝ රැජිණ මිසක් ලංකාවේ කවුරුවත් නෙමෙයි.

👉 ඒ අනුව එංගලන්ත රජුගේ නියෝජිතයා ලෙස එංගන්තයේ අනුමැතිය සහිතව අග්‍රාණ්ඩුකාරවරයෙකු පත් කරලා තිබුණා.

👉 පාර්ලිමේන්තුවක් ලංකා‍වේ ක්‍රියාත්මක වුණත් අපේ මන්ත්‍රීවරු දිවුරුම් දුන්නේ එංගලන්ත රජුගේ නාමයෙන්.

👉 මේ කාලේ පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරගත් පනතක් පවා නීතියක් බවට පත්වීමට නම් අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍යයි.

👉 මහජන ආරක්ෂණ පනත ක්‍රියාත්මක කරලා හදිසි නීතිය පනවපු අවස්ථාවලදී සේනාධිනායකයා වුණේ මේ කියන අග්‍රාණ්ඩුකාරයා. 1958 ජාතිවාදී කොලාහලය වගේ අවස්ථාවලදී අගමැතිටත් ඉහළින් ආණ්ඩුකාරයා කටයුතු කළ බව කියවෙනවා.

👉 අද ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ මුදුනේ ඇති ධර්ම චක්‍රය වෙනුවට එදා තිබුණේ බි්‍රතාන්‍ය සංකේතවත් වන ඔටුන්නක්.

👉 ඒ කාලේ අපේ පොලීසි හා හමුදා නිල ඇදුම්වල බි්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනයත් ගහලා තිබුණා. ඒ කාලේ බාලදක්ෂ ව්‍යාපාරයේ අය දිව්රුම් දුන්නේ බි්‍රතාන්‍ය රජු හෝ රැජිණගේ නාමයෙන්.

👉 එතකොට මේ කාලේ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුළුමනින්ම පාහේ එක්සත් රාජධානිය අනුව ගිය එකක් මිස ස්වාධීන එකක් නොවෙයි.

👉 1948 සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථාවත් අපට බි්‍රතාන්‍යයන් විසින්ම හදලා දීපු එකක්. ඒ තත්ත්වය ඇතුළේ ලංකාවේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කිසිම ක්ෂේත්‍රයකට එක්සත් රාජධානියේ බලපෑමෙන් මිදී කටයුතු කරන්න පුළුවන් වුණේ නැහැ.

👉 ඊළඟට මේ කාලේ ශ්‍රී ලංකාවේ අපරාධ නඩු සම්බන්ධව තීන්දු ගන්නා උපරිමාධිකරණය එහෙම නැත්නම් අවසාන අභියාචනාධිකරණය වූයේ එක්සත් රාජධානියේ ප්‍රිවි කවුන්සිලය. එතකොට මේ කාලේ අධිකරණ ඇමති විදිහට කටයුතු කළෙත් මහජන නියෝජිතයෙකු නොවන සෙනෙට් සභිකයෙක්.

👉 1962 සිරිමාවෝ මැතිනියගේ කාලේ ලංකාවේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් දියත් වුණා. එතකොට මේ කුමන්ත්‍රණයේ සැකකරුවන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වැරදිකරුවෝ කළා. හැබැයි මේ වරදකරුවන්ට එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය මඟින් නිදහස ලබාදුන්නා. ඉතින් මේක ඒ කාලේ ලංකාවට අධිකරණ ස්වාධීනත්වයක් තිබුණේ නෑ කියන එක පිළිගන්න හොඳම අවස්ථාවක්.

👉 ඒ වගේම ඒ කාලේ අපේ සිංහල භාෂාවට, බුදු දහමට හා දේශීයත්වයට කිසිදු තැනක් රටේ තිබුණේ නෑ. මේ කාලේ රටේ ඉහළ තනතුරු, බලතල වැඩි ප්‍රමාණයක් හිමි වෙලා තිබුණේ ඉංග්‍රීසීන්ගේ ආගම, භාෂාව, සංස්කෘතිය වැලඳගත් අයට.

👉 ඒ වගේම මේ කාලය වෙද්දි කටුනායක ගුවන් තොටුපල, ත්‍රිකුණාමල වරාය හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර තිබුණේ බි්‍රතාන්‍ය භාරයේ. මේ නිසාම අපේ රටේ පාලකයන්ගේ අනුදැනුමකින් තොරව මේ ස්ථාන යුද කටයුතු සඳහා භාවිත කිරීමට ඔවුන්ට නිදහස තිබුණා.

👉 ඊළගට 1971දි ජවිපෙ මූලිකත්වයෙන් සන්නද්ධ අරගලයක් දියත් වූ මොහොතේ ඔවුන්ට එල්ල වූ චෝදනාව තමයි බි්‍රතාන්‍ය රැජිණට එරෙහිව කැරළි ගැහුවා කියන එක.

👉 ඉතින් ඔන්න ඕක තමයි ඩොමීනියන් නිදහසේ තත්ත්වය.

👉 ඊට අවුරුදු විසි හතරක් ගත වුණාට පස්සේ 1972 මැයි 22 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුනු රජය නව ජන රජ ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා. ඇත්තටම ඒ ව්‍යවස්ථාවෙන් පසුව තමයි ලංකාව අර එංගලන්තය එක්ක තිබුණු බැදීම්වලින් නිදහස් වෙලා පූර්ණ ස්වාධීන ජනරජයක් බවට පත් වෙන්නේ.

👉 හැබැයි ඊට කලින් 1956 සිදුවූ බල පෙරළියෙන් පස්සේ බණ්ඩාරනායක මහත්තයා අපේ ජාතික ස්වාධිනත්වයට අදාළ ක්‍රියාමාර්ග කීපයක් අරගන්නවා.

👉 කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරාය හා ත්‍රිකුණාමලයේ බි්‍රතාන්‍ය යුද කඳවුරු රජයට පවරා ගැනීම, සංස්කෘතික අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම, එතෙක් රාජ්‍ය භාෂාව ලෙස පැවති ඉංග්‍රීසිය වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, මේ අතරින් කීපයක්.

👉 ඉතින් ඔය විදිහට මේ බණ්ඩාරනායක පාලන සමය තුළ රටේ ස්වාධිනත්වයට අදාළ යම් යම් තීරණ ගත්තාට පූර්ණ නිදහස කියන එක දිනාගන්න පුළුවන් වුණේ නෑ.

👉 ඉතින් ඔහොම කාලය ගත වෙලා 1970 මහ මැතිවරණය එළැඹෙනවා. ඒ මැතිවරණයේදි සිරිමාවෝ මැතිනිය මැතිවරණ පොරොන්දුවක් විදිහටම කියපු දෙයක් තමයි අපිට තුනෙන් දෙකේ බලය ලබා දුන්නොත් ලංකාව පූර්ණ ස්වාධීන ජන රජයක් බවට පත් කරන, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියන එක.

👉 ඉතින් ඒ මොහොතේ රටේ ජනතාව ඒක ඉහළින් පිළිගත්තා. ඒ අනුව 1970 මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයේදී ආසන 168න් 116ක්, ඒ කියන්නේ තුනෙන් දෙකේ බලයක් සමගි පෙරමුණට හිමි වෙනවා.

👉 ඒ අනුව තමයි ඊට වසර දෙකකට පස්සේ 1972 මැයි 22 වැනිදා නව ජන රජ ව්‍යවස්ථාව සම්මත වෙලා ලංකාව පූර්ණ ස්වාධීන ජන රජයක් වෙන්නේ.

👉 ඉන්දියාව 1947 අගෝස්තු 15 වැනිදා ඩොමීනියන් නිදහස ලබාගත්තා. ඊට අවුරුදු තුනකට පස්සේ 1950 ජනවාරි 26 වැනිදා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.

👉 බුරුමය 1947 පෙබරවාරි 12 ඩොමීනියන් නිදහස ලබාගත්තා. ඊට අවුරුද්දකට පස්සේ 1948 ජනවාරි 6 වැනිදා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.

👉 හැබැයි ලංකාවට මේ පූර්ණ ස්වාධීන රාජ්‍යයක තත්ත්වය දිනාගන්න 1948 ඉදන් 1972 දක්වා අවුරුදු විසි හතරක දිග කාලයක් ගත වුණා.

👉 ඉතින් මේකට හේතුව ඇහුවොත් මේකට හේතුව වෙන මුකුත් නෙමෙයි අපේ දේශපාලනඥයන් අතර තිබූ කුලල් කා ගැනීම, පොදු ජාතික වැදගත්කමක් තියන දෙයක් වෙනුවෙන්වත් එකට එකතු වෙන්න බැරි වුණ එක.

👉 හැබැයි ඉන්දියාව වගේ රටවල අපටත් වඩා වාද බේද බෙදීම් තිබුණත් ඔවුන් පොදු ජාතික අරමුණුවලදී එක රටක් එක ජාතියක් විදිහට කල්පනා කරලා තීන්දු තීරණ ගත්තා.

👉 මේ අනුව ඔබට පැහැදිලි ඇති අපේ සැබෑ නිදහස් දිනය පෙබරවාරි හතර නොවෙයි මැයි විසි දෙක විය යුත්තේ ඇයි කියන එක.

👉 ඇත්තටම 1972 ලංකාව ජන රජයක් බවට පත්වූ දිනය අපි අපේ නිදහස් දිනය ලෙස සමරපු කාලයක් තිබුණා.

👉 ඒ තමයි 1972 සිට 1977 දක්වා ගත වූ කාලය. ඒ කාලේ පෙබරවාරි 4 නොවෙයි මැයි 22 තමයි අපේ ජාතික නිදහස් දිනය විදිහට අපි සැමරුවේ.

👉 හැබැයි 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට ඒමෙන් පසුව ජේආර් තමන්ගේ අධිරාජ්‍ය ගැති බව ප්‍රකට කරමින් නැවත අපේ නිදහස් දිනය 1948 පෙබරවාරි හතර බවට පත් කරනවා.

👉 මේ නිසාම අදටත් අපි හුග දෙනෙකුට විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාවට මේ ජනරජ දිනය හා එහි වැදගත්කම ගැන වැඩි අවබෝධයක් නැහැ.

👉 ජන රජ දිනයේ වැදගත්කම කියන එක අපේ ඉතිහාසයෙන් සැගවී ගිය කාරණයක්.

21/05/2026

👉 ඉතිහාස වීරයන් ජෝකර්ලා කිරීමේ කලාව - කරුණු ඇසුරින් බොරු හදන හැටි

20/05/2026

ලක්ෂ පහක ජනකායක් සමග බුදු දහම වැළදගත් විශිෂ්ට ඉන්දියානුවා

සාමයේ හා මනුෂ්‍යත්වයේ සැබෑම විජයග්‍රහණය
18/05/2026

සාමයේ හා මනුෂ්‍යත්වයේ සැබෑම විජයග්‍රහණය

15/05/2026

💥 සුද්දා තාම හිටියා නම් අද ලංකාව කොහොම තියෙයිද?
👉 Follow our page for more awesome educational content

🌞 ලෝකයේ කුඩාම රටවල් 10 වන වතිකාන් සිටි, නාවුරු, තුවාලු, සැන් මැරිනෝ, ලිච්ටෙන්ස්ටයින්, මාෂල් අයිලන්ඩ්ස්, සේන්ට් කිට්ස් ඇන...
13/05/2026

🌞 ලෝකයේ කුඩාම රටවල් 10 වන වතිකාන් සිටි, නාවුරු, තුවාලු, සැන් මැරිනෝ, ලිච්ටෙන්ස්ටයින්, මාෂල් අයිලන්ඩ්ස්, සේන්ට් කිට්ස් ඇන්ඩ් නේවිස්, මාලදිවයින, මෝල්ටාව යන රටවල් සියල්ලේම විශාලත්වයන්ගේ එකතුව වර්ග කිලෝමීටර් 1328කි. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කුඩාම රටවල් දහයේම විශාලත්වය මෙන් පනස් ගුණයකට වඩා විශාලය.

12/05/2026

💥 ආක්‍රමණ හමුවේ විනාශ නොවූ ඉරානයේ Farsi භාෂාව
👉 Follow my page for more amazing educational content

👉 මේ පින්තූරේ ඔබට පේන්නේ අද මේ ලෝකේ ජීවත් වන ඔබ මම ඇතුළු හැමෝම ප්‍රයෝජන ලබන සුවිශේෂී මනුස්සයෙක්. හැබැයි  ඔහු කළ වැඩවලින්...
11/05/2026

👉 මේ පින්තූරේ ඔබට පේන්නේ අද මේ ලෝකේ ජීවත් වන ඔබ මම ඇතුළු හැමෝම ප්‍රයෝජන ලබන සුවිශේෂී මනුස්සයෙක්. හැබැයි ඔහු කළ වැඩවලින් ඔහුගේ ජීවිතයට කිසිම ප්‍රයෝජනයක් ලැබී නැහැ.

👉 ඇත්තටම මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ම ඔහුට ණය ගැතියි. හැබැයි ඔහු තමන්ගේ ණය තුරුස් ගෙවාගන්න බැරුව හිරේ ගිය කෙනෙක්.

👉 ඔහු ලෝකයේ සෑම මිනිසෙක්ම ප්‍රයෝජන ලබන සුවිශේෂී නව සොයාගැනීමක් කරපු කෙනෙක්. හැබැයි ඔහු විද්‍යාඥයෙක් හෝ උගතෙක් නෙමෙයි පොඩි පොඩි ව්‍යාපාර කරගෙන ජීවත් වුණු සාමාන්‍ය මනුස්සයෙක්.

👉 මේ අපූරු පුද්ගලයාගේ නම මුලින්ම මම දැක්කේ පුංචි කාලේ පාරේ යද්දි ගහලා තිබුනු ටයර් ගැන දැන්වීම්වල. ඒ නම තමයි ගුඩ්ඉයර්. හැබැයි ඒක පුද්ගල නාමයක් බව මම ඒ කාලේ දැනගෙන හිටියේ නෑ.

👉 ගුඩ්ඉයර් කියන්නේ අද දැවැන්ත ටයර් සමාගමක නමක් වුණාට ඒක ඉස්සර ඇමරිකාවේ ජීවත් වුනු පුද්ගලයෙකුගේ නමක්.

👉 ඔහුගේ සම්පූර්ණ නම චාල්ස් ගුඩ්ඉයර්. අදින් අවුරුදු 225කට කලින් වර්ෂ 1800 තමයි ඔහු ඉපදුණේ. එතකොට ඔහු කළ සොයාගැනීම රබර් සම්බන්ධ සොයාගැනීමක්.

👉 අද කෘත්‍රිම රබර් තිබුණාට මේ කාලය වෙන කොට ස්වභාවික රබර් තමයි මිනිස්සු පාවිච්චි කළේ. එතකොට මේ ස්වභාවික රබර්වලින් භාණ්ඩ හැදුවාම ඒවා අව්වට උණු වීම, සීතලට ඇකිලීම, තෙමුනාම දුඟද හැමීම වගේ විවිධ ප්‍රශ්න මතුවෙනවා.

👉 ඉතින් මේ චාල්ස් ගුඩ්ඉයර්ට මේ රබර් ප්‍රශ්නෙට විසදුමක් හෙවීමේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒ අනුව ඔහු ඒකට අවුරුදු ගාණක් තිස්සේ අතේ තියන සල්ලි වියදම් කර කර, අනිත් වැඩ සේරම පැත්තක දාලා ඒ ගැන පර්යේෂණ කරනවා. ඒවා නැවත නැවත අසාර්ථක වෙනවා. මේ මොන පිස්සු වැඩක්ද කරන්නේ කියලා ඔහු හැමෝගෙන්ම බැනුම් අහනවා. ඒවාට වැය කරපු කාලය සහ මුදල් නිසා ඔහුගේ ආර්ථික මට්ටම සෑහෙන පහළ වැටෙනවා. තමන්ගේ ණය ගෙවාගන්න බැරුව සිරගත වෙන්න පවා ඔහුට සිද්ධ වෙනවා.

👉 හැබැයි ඒ සියලු බාධා කරදර දුක් ගැහැට මැද රබර්වලට සල්ෆර් එකතු කරමින් රබර් වල්කනයිස් කිරීමේ ක්‍රමවේදය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්න ඔහු සමත් වෙනවා. ගුඩ්ඉයර් එක කළේ 1839 අවුරුද්දේ.

👉 1844 වෙද්දි මේ අලුත් සොයාගැනීමට අදාළ පේටන්ට් බලපත්‍රයත් ගන්න චාල්ස් ගුඩ්ඉයර්ට පුලුවන් වෙනවා. ඒ සොයාගැනීම ලෝකයේ මහා පෙරළියකට හේතුවක් වෙනවා.

👉 හැබැයි එහෙම වුණාට ඔහුට තිබුණු නඩුහබ නීති ප්‍රශ්න වගේ විවිධ ගැටලු නිසා මේ නිෂ්පාදනය හරහා මුදල් උපයන්න ඔහුට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අවුරුදු හැටක් ජීවත් වෙලා 1860 දී ඔහු මරණයට පත් වන තුරුම ඔහු ජීවත් වුණේ දුක් කරදර කන්දරාවක් මැද. මැරෙන තුරුම ඔහු අතේ සත පහක් නැති දුප්පතෙක්.

👉 එතකොට ඔය ගුඩ්ඉයර් කියන්නේ 1898 අවුරුද්දේ ආරම්භ කරපු ලෝක ප්‍රකට අමෙරිකානු ටයර් හා රබර් නිෂ්පාදන සමාගමක්. ඔවුන් ගුඩ්ඉයර්ට කළ ගරු කිරීමක් විදිහට තමයි සමාගම ඔහුගේ නමින් නම් කරන්නේ. හැබැයි මේ සමාගම පටන්ගත්තේ ඔහු මැරිලා අවුරුදු තිස් අටකට පස්සේ.

👉 අද ලෝකේ රබර් නැති කිසිම තැනක් නෑ. රබර් පටිය, මකන කෑල්ල, සෙරෙප්පු දෙක, මොබයිල් ෆෝන් එක, ටයර් එක වගේ දේවල්වල ඉදලා අභ්‍යාවකාශ යානා දක්වා හැම දෙයක්ම හදන්න රබර් ඕන. ඒ කියන්නේ ලෝකේ හැම මිනිහෙක්ම චාල්ස් ගුඩ්ඉයර්ගේ සොයාගැනීමෙන් තාමත් ප්‍රයෝජන ලබනවා.

👉 එතකොට චාල්ස් ගුඩ්ඉයර් කළ සොයාගැනීම නිසා වෙච්ච තවත් දෙයක් තමයි වාහන නිෂ්පාදනයේ ඇතිවූ දැවැන්ත පෙරළිය.

👉 ගුඩ්ඉයර් ජීවත් වුණ කාලේ වෙද්දි ලෝකේ තිබුණේ කරත්ත, බයිසිකල්, සහ ස්ටී්‍රම් කාර් කියලා හඳුන්වපු නොදියුණු මට්ටමේ වාහන විතරයි. ඒවායේ රෝද හදලා තිබුණේ යකඩ හෝ ලී වගේ දේවල්වලින්. සමහරු මේවායේ ගැස්සීම් අවම කරන්න රබර් ආවරණ භාවිතා කළා.

👉 එතකොට චාල්ස් ගුඩ්ඉයර් රබර් වල්කනයිස් කිරීම හොයාගැනීමෙන් පසු කාලයේ තමයි ලෝකේ වාහන හැදෙන්න ගත්තේ.

👉 එතකොට ලෝකේ මුලින්ම හුළං පුරවන්න පුළුවන් ටයර් හැදුවෙත් ගුඩ්ඉයර් කරපු සොයාගැනීමෙන් පස්සේ. ජෝන් ඩන්ලොප් තමයි 1888 අවුරුද්දේ මේ වැඩේ සාර්ථකව කරපු කෙනා. එයා මුලින්ම මේ ටයර් භාවිතා කළේ බයිසිකල්වලට.

👉 ඒ කාලෙම තමයි ජර්මනියේ කාල් බෙන්ස් විසින් මුල්ම මෝටර් රථ වෙළෙඳපළට නිකුත් කරන්නේ. මේක වුණෙත් 1888 අවුරුද්දේ.

👉 ඊටත් පස්සේ හෙන්රි ෆෝඩ් තමයි කාර් මහා පරිමාණයෙන් නිපදවලා වෙළෙඳපළට නිකුත් කිරීම පටන් ගත්තේ. ඔහු ෆෝඩ් කම්පැනිය පටන්ගන්නේ 1903. ඒකෙන් පස්සේ මෝටර් රථ කර්මාන්තයේ මහා පෙරළියක් සිද්ධ වුණා.

👉 කොහොම වුණත් මේ හැමදේකම වර්ධනයට ප්‍රධාන හේතුව වුණේ චාල්ස් ගුඩ්ඉයර්ගේ සොයාගැනීම. ඊට පස්සේ ඩන්ලොප්, මිචලින්, පයර් ස්ටෝන්, ගුඩ්ඉයර් වගේ මහා පරිමාණයෙන් ටයර් නිපදවන සමාගම් ආරම්භ වෙනවා.

👉 ගුඩ්ඉයර්ගේ මරණින් අවුරුදු තිස් අටකට පස්සේ තමයි ඔහුගේ නමින්ම අලුත් ටයර් සමාගමක් ආරම්භ වුණේ.

👉 හැබැයි ඒ සේරටම මුල් වුණ පුද්ගලයා ඒ කිසි දෙයක් ඇසින් දකින්නවත් වාසනාව නැතුව දුප්පතෙක් විදිහට මරණයට පත්වෙනවා.

👉 මේක හරිම පුදුමාකාර වගේම කනගාටුදායක කතාවක්. අපි කැමති වුණත් නැතත් ඒ විදිහට තමයි සමහර ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ ඉරණම ඉතිහාසය තුළ ලියැවිලා තියෙන්නේ. ගුඩ්ඉයර් කියන්නේ ඒ අතර එක් කෙනෙක් විතරයි.

👉 මේ පින්තූරයේ ඔබට පේන්නේ කුමක්ද? 👉 මේ ගැලීලියෝ ගැලීලි විසින් සකස් කළ බව කියන ඔහුගේම කේන්දරයේ අත් පිටපතකි. 👉 ඉතාලි ජාතික...
09/05/2026

👉 මේ පින්තූරයේ ඔබට පේන්නේ කුමක්ද?

👉 මේ ගැලීලියෝ ගැලීලි විසින් සකස් කළ බව කියන ඔහුගේම කේන්දරයේ අත් පිටපතකි.

👉 ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි (1564 - 1642) ලොව පුරා ප්‍රකටව ඇත්තේ සූර්ය කේන්ද්‍රවාදය ඇතුළු තාරකා විද්‍යාව සම්බන්ධ වැදගත් සොයාගැනීම්වලට පදනම සැපයූ විශිෂ්ට විද්වතෙකු වශයෙනි.

👉 ඔහුගේ අදහස් හා පල්ලිය අතර ගැටුම් ඇතිවීම නිසා ලංකාවේ බොහෝ දෙනා ඔහු ආගමට එරෙහිව සටන් කළ රැඩිකල් නිරාගමිකයෙකු යැයි විශ්වාස කරති.

👉 එහෙත් එය සත්‍ය නොවේ. පල්ලිය සමඟ ගැටුම් ඇති කරගෙන නිවාස අඩස්සියේ සිටීමට සිදු වූ නමුදු ගැලීලියෝ මිය යන තුරුම දෙවියන් විශ්වාස කළ දේව භක්තිකයෙකි.

👉 එපමණක් නොව ඔහු කේන්දර පවා පරීක්ෂා කළ ජ්‍යෝතිෂය හොඳින් උගත් අයෙකු බවට මත පළ වී තිබේ.

👉 ගැලීලියෝ පමණක් නොව ඔහුගේ සමකාලීනයෙකු වූ ජොහැන්නස් කෙප්ලර් ද එවැන්නනෙකු බව කෙප්ලර් ලියූ කෘති තුළින්ම සනාථ වෙයි.

👉 මේ කේන්දර පිටපත මා උපුටා ගත්තේ බි්‍රතාන්‍ය ජාතික විද්වතෙකු වූ ආචාර්ය Nicholas Kollerstrom විසින් සම්පාදනය කරන ලද How Galileo Dedicated the Moons of Jupiter to Cosimo II de Medici නම් නිබන්ධනයෙනි. එය බි්‍රතාන්‍යයේ වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන කීපයක් ඒකාබද්ධව ප්‍රකාශයට පත් කරන ලද්දකි.

👉 යමෙකු යමක් සම්බන්ධව පර්යේෂණ නිබන්ධනයක් පළ කළ පමණින් එය පරම සත්‍ය යැයි විශ්වාස කළ යුතු නැතත්, මේ සම්බන්ධව මෙවැනි සංවාදයන්ද ලෝකයේ පවතින බව දැන සිටීම වැදගත්ය. මේ සටහන මෙහි පළ කරන ලද්දේ ඒ අර්ථයෙනි.

👉 අවශ්‍ය අයෙකුට මේ නිබන්ධනය ඇතුළු ලියවිලි කියවා මේ පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීමට හැකියාව තිබේ.

🌞 මිනිසෙකු විසින් සිටවූ බවට සාක්ෂි ඇති ලෝකයේ පැරණිම ගස පිහිටා ඇත්තේ ශ්‍රී  ලංකාවේය. මේ ගසේ වයස අවුරුදු 2300කට වැඩිය.   ම...
07/05/2026

🌞 මිනිසෙකු විසින් සිටවූ බවට සාක්ෂි ඇති ලෝකයේ පැරණිම ගස පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේය. මේ ගසේ වයස අවුරුදු 2300කට වැඩිය. මේ ගස අන් කිසිවක් නොව බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධියයි. මෙය මිනිසෙකු විසින් සිටවූ ලෝකයේ පැරණිම ගස ලෙස ලෝ ප්‍රකට ගිනස් වාර්තා පොතටද එක්ව ඇති අතර, ඉහත දැක්වෙන්නේ ඒ පිළිබද ගිනස් වෙබ් අඩවියේ පළ කොට ඇති සටහනයි.

06/05/2026

💥 2024 දි ලංකා සිතියමට මොකද වුණේ?
👉 හුණ්ඩු මානසිකත්වයට අලුත්ම බෙහෙතක්

Address

Near The Temple, Induragara
Colombo
11264

Alerts

Be the first to know and let us send you an email when Next page - Isuru prasanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Next page - Isuru prasanga:

Share