21/02/2026
සංයුත්ත නිකාය
සගාථ වග්ගෝ
1.1.1. ඕඝතරණ සුත්තං
1.1.1. සසර සැඩ පහර තරණය කිරීම ගැන වදාළ දෙසුම
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්‌තං ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනය නම් වූ ආරාමයෙහි වැඩවසන සේක. එදා රැය ගෙවී යන කල්හි එක්තරා දේවතාවෙක් මනස්කාන්ත පැහැයෙන් යුතු ව මුළු මහත් ජේතවනය ම ඒකාලෝක කොට භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටගත්තේය. එකත්පස්ව සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ ඇසුවේය.
කථං නු ත්‌වං මාරිස, ඕඝමතරීති?
“පින්වත් නිදුකාණන් වහන්ස, නුඹවහන්සේ මේ සසර සැඩ පහර කෙසේ නම් තරණය කළ සේක් ද?”
(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ)
අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං ආවුසෝ අනායූහං ඕඝමතරින්‌ති.
“ඇවැත්නි, මම නොපිහිටා සිටිමින් ද, උත්සාහ නොකරමින් ද සසර සැඩපහර තරණය කළෙමි.”
(දේවතා);
(දෙවියා)
යථා කථං පන ත්‌වං මාරිස අප්‌පතිට්‌ඨං අනායූහං ඕඝමතරීති?
“පින්වත් නිදුකාණන් වහන්ස, නුඹවහන්සේ නොපිහිටා සිටිමින්, උත්සාහ නොකරමින් කෙසේ නම් සසර සැඩපහර තරණය කළ සේක් ද?”
(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ)
යදා ස්‌වාහං ආවුසෝ සන්‌තිට්‌ඨාමි. තදාස්‌සු සංසීදාමි. යදා ස්‌වාහං ආවුසෝ ආයූහාමි තදාස්‌සු නිබ්‌බුය්‌හාමි. ඒවං ඛ්‌වාහං ආවුසෝ අප්‌පතිට්‌ඨං අනායූහං ඕඝමතරින්‌ති.
“ඇවැත්නි, යම් කලෙක මම් පිහිටා සිටිමි ද, එකල්හි එහි ගිලෙමි. (මෙහි තේරුම කාමසුඛල්ලිකානුයෝගයේ පිහිටා නොසිටිය යුතු බවයි.) එසේ ම ඇවැත්නි, මම් යම් කලෙක උත්සාහ කරමි ද, එකල්හි එහි උඩට මතුවෙමි. (මෙහි තේරුම අත්තකිලමථානුයෝගය අත්හළ යුතු බවයි.) එනිසා ඇවැත්නි, මෙසේ මම් නොපිහිටා සිටිමින්, වෑයම් නොකරමින් සසර සැඩපහර තරණය කළෙමි.”
(දේවතා);
(දෙවියා)
චිරස්‌සං වත පස්‌සාමි බ්‍රාහ්‌මණං පරිනිබ්‌බුතං
අප්‌පතිට්‌ඨං අනායූහං තිණ්‌ණං ලෝකේ විසත්‌තිකං
“ඒකාන්තයෙන් ම චිරාත් කාලයකින් නොපිහිටා සිටිමින්, වෑයම් නොකරමින් ලෝකයෙහි තෘෂ්ණාව නමැති සසර සැඩපහර තරණය කොට, සියලු කෙලෙසුන් නැසීමෙන් පිරිනිවී ගිය, උතුම් මනුෂ්‍ය රත්නයක් දකිමි.”
ඉදමවෝච සා දේවතා. සමනුඤ්‌ඤෝ සත්‌ථා අහෝසි. අථ ඛෝ සා දේවතා ‘සමනුඤ්‌ඤෝ මේ සත්‌ථා’ති භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායී’ති.
ඒ දේවතාවා මෙය පැවසීය. ශාස්තෘන් වහන්සේ අනුමත කොට වදාළ සේක. එසඳ ඒ දෙවි තෙමේ ‘ශාස්තෘන් වහන්සේ මාගේ අදහස අනුමත කොට වදාළ සේකැ’යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේය.
සාදු! සාදු!! සාදු!!!