17/03/2026
ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට නිර්මාණය වී තිබෙන ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යවල භාවිතය ගැටලු සහගත බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙස සංවිධාන හයක් එක්සත් ජාතීන්ගේ මාධ්‍ය කවුන්සිලය වෙත ඒකාබද්ධ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.
ජාතික මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා විකල්ප මාධ්‍යවේදීන්ගේ සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධාන ඇතුළු සංවිධාන 6ක් ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඔවුන් විසින් මෙහෙයවන මාධ්‍යවේදීන් පිරිසක් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.
ඉන්ධන පිරවුම්හල් අසල සහ ජනතාව එක්රැස් වන ස්ථාන වලදී ජනතාවට පීඩා කරමින් ඔවුන් සදාචාර සීමාවන් ඉක්මවමින් ජනතාවගෙන් ප්‍රශ්න අසමින් ඔවුන්ට අවශ්‍ය පිළිතුරු ලබා ගැනීමට මෙම කණ්ඩායම් කටයුතු කරන බවත්, මේ සඳහා රට තුළ ක්‍රියාත්මක පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් ප්‍රධාන වශයෙන් මැදිහත් වෙමින් සිටින බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
මෙසේ ගෝලීය අර්බුදයක් හමුවේ රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගතව කටයුතු කරන සිටින, සාදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලී සිටින මාධ්‍ය ආයතන නියාමනයට සුදුසු පියවර ගන්නා ලෙස ඔවුන් එක්සත් ජාතීන්ගේ මාධ්‍ය කවුන්සිලයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.