30/09/2026
විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබාපු දුවෙකුගේ අම්මා කෙනෙක් ඇවිල්ලා සාමා මෑණියෝ එක්ක කතාවක්. මෑණියන්ගේ කුටි ගේ ඉදිරියේ ඇති සක්මන් මළුවේ වැවිලා තියෙන වල් ගලවන ගමන් මටත් මේ කතාව කනින් කොණින් ඇහෙනවා.
“ඉල්ලන හැමදේම දීලා උගන්වලාත් මේ ළමයාට කිසිම දේකට කිසිම ආසාවක් නැති හැටි බලන්නකෝ මෑණියෝ. වෙන ළමයි නම් විශ්වවිද්‍යාලෙකට යන්න ලැබුණාට පස්සේ කොච්චර සතුටු වෙනවාද? ඒකට මේ ළමයා. එයා කැමති මහණ වෙන්නලු. මොකෝ හැඩේ අඩුවක් ද? ඔය ඉගෙනගන්නත් බැරි, අම්මා තාත්තා නැති, යමක් කමක් නැති තැනක කෙනෙක් නම් වෙන යන්න එන්න තැනක් නැතිකමට කියලා හරි ගිහි ජීවිතේ අතඇරියාට කමක් නෑ. ඒත් මේ දරුවට මොනවයින් අඩුවක් ද...”
‘එතකොට මේ අම්මා කියන විදියට යන්න එන්න තැනක් නැති, ඉගෙනගන්න බැරි, කාත් කවුරුත් නැති අය ද මහණ වෙන්න එන්නේ...?’ මගේ ඇඟ ඇතුළෙ නිදාගෙන ඉන්න යකා ඇහෙරෙනවා වගේ මට දැනෙනවා. ඌට මම කියලා තියෙන්නේ දරාගන්නම බැරි තැනක එළියට ආවොත් මිසක්, ආරණ්‍යය ඇතුළෙදි නම් මොනම හේතුවකටවත් එළියට නෑවිදින්, පිනා වගේ ඉඳපන් කියලා. හැබැයි මම ඒ මොනවා කිව්වත්, මේ වෙලාවේ මගේ ඒ අකුසල මූලයන් මට වැඩිය බලවත් වෙන වග මට තේරුණා. දැන් මේ කහවත් දරාගෙන ඉන්නේ, එක කාලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ වෛද්‍ය පීඨයේ බැච් ටොප් වෙච්ච, ඊට පස්සේ කාලෙක වෛද්‍යවරියක් විදියටදෙනෝ දහක් රෝගීන් සුවපත් කරපු වෛද්‍යතුමියක්. එතුමියගේ එකම සහෝදරයාත්, මවත්, පියාත් මේ වෙනකොට විදේශ රටක පදිංචි වෙලයි ඉන්නේ. එතුමියට උරුම වුණු සියලු දේපළ මේ වෙනකොට වැඩිහිටි නිවාසයක පැවැත්ම වෙනුවෙන් ඒ අයට පවරලයි මේ ඇවිත් ඉන්නේ. අදටත් ඒ කිසි දෙයක් ගැන ඇල්මක් නැතිව, ආර්ය මාර්ගයේ ගමන් කරන මේ උත්තමාවිය ඉදිරියේ ඉඳගෙන කියන මේ පූචානම අහද්දී මගේ කන් දෙකට ලෝදිය වැටෙනවා වගේ මට දැනුණා. වැඩේ පැත්තකට දාලා මම ඒ පැත්තට ගියේ ඒ නිසා.
“දැන් මෙහෙම හිටියට අපේ සාමා මෑණියොත්....”
එහෙම කියද්දීම මෑණියෝ මුවේ තිබුණු මඳ හිනාව එහෙමම තියාගෙන, දෙතොල්පට තද කරගෙන මං දිහා බැලුවා. වචන නොතිබුණාට ඒක විධානයක් බව මම දන්නවා. මට ඕන වුණේ ආතක් පාතක් නැති අයයි මහණ වෙන්න එන්නේ කියලා අර උපාසක අම්මා කියපු කතාව නිවැරදි කරන්න. හැබැයි මෑණියන්ගෙන් මට ඒ අවසරය ලැබුණේ නෑ.
මේ උද්දච්ච කතා උච්ච ස්වර වලින් ඇහෙද්දී මගේ කන් දෙකට ලෝදිය වැටෙනවා වගේ දැනුණට මෑණියන්ට එහෙම නෑ. ඒක එතුමියගේ කසාවතත්, මගේ ගිහි වතත් අතර ඇති වෙනසක් නෙවෙයි. එතුමියත් මමත් හිත වඩපු විදියේ තියෙන වෙනසක්. එක මොහොතක එකම පුද්ගලයෙකුගෙන් ඇහෙන වචන මාව කුපිත කරන්නත්, මෑණියන්ගේ හිතේ කිසි වෙනසක් ඇති නොකරන්නත් හේතුව ඒකයි. අවසානයේ ‘දුවව ආරණ්‍යයට එක්කගෙන එන්න, දුවට තවදුරටත් ඉගෙනගන්න උනන්දුව ඇතිවෙන විදියට මම කරුණු පැහැදිලි කරන්නම්’ කියලා මෑණියෝ කිව්වාමයි ඒ අම්මා පිටවෙලා ගියේ.
“ඒ වගේ වෙලාවකවත් මට ඔබවහන්සේගේ අතීතය ටිකක් මතක් කරන්න ඉඩදෙන්න මෑණියෝ. මේ මිනිස්සු මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ. වෙන කෙනෙකුට අතාරින්න තියා ලබාගන්න හිතනන්වත් බැරි දේවල් අතෑරලානේ මේ ඇවිල්ලා ඉන්නේ. මමනේ ඒවා හොඳටම දන්නේ. ඒ නිසා මට ඒ වගේ උද්දච්ච කතා අහන් ඉන්න අමාරුයි.”
“ඒ කතාව උද්දච්ච කතාවක් කියලා හරියටම කියන්නේ කොහොමද සකී? ඒක උද්දච්ච කතාවක්, නැත්නම් ඇණුම් පදයක් විදියට දැනෙන්නේ අපි ඒ ඇහෙන දේට ඒ නම දුන්නොත් විතරයිනේ. හැබැයි ඒක දරුවො නිසාම සතුටු වෙන අම්මා කෙනෙකුගේ උදාන වාක්‍යයක් කියලා හිතුවොත්... ඔය ගැටීම හටගන්නෙ නෑ. එතකොට ඒ අම්මා ගැන විවිධ විදියට අනුකම්පාව උපදවාගන්න පුළුවන්. දරුවෝ නිසා අඬපු කඳුළු මහ සාගරේ ජලයට වඩා වැඩියි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බව නොදැන ඒ අම්මා දරුවෝ නිසා තවත් සසරටම බැඳෙනවා. එහෙම හිතද්දී ඒ අම්මා ගැන අනුකම්පාවක් නෙවෙයිද දැනෙන්නේ...? එහෙම නැත්නම් මෙහෙම හිතුවොත්..., දුක් මහන්සියෙන් උපයන දේවල් විය හියදම් කරලා දරුවන්ට උගන්වන අම්මා කෙනෙක් ඒකෙ අග්‍ර ඵලය විදියට දකින්නේ තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලෙට යන එක නේද? ඉතින් ඒ අර්ථයෙන් ඒ අම්මාට දැනෙන සතුට අපි කොහොමද උද්දච්චකමක් විදියට දකින්නේ? අනිත් එක සකී, අපි ඇත්තටම හිතලා බැලුවොත් ඒ කියපු විදියට යන එන මං නැතිකමට මහණ වෙන උදවියත් නැතුවම නෙවෙයිනේ. එහෙම අයත් අතලොස්සක් ඉන්නවා. එහෙම බලද්දී ඒ අම්මා කියපු ඒ කතාවෙත් අත්තක් නැත්තේම නෑ. ඉතින් එහෙම කෙනෙකුට ඇයි, මං අතෑරලා දාපු අතීතයක් ගැන මහා උජාරුවෙන් අපි කියන්නේ? ඒ අතීත අත්පත්කරගැනීම්වල මේ සා සැනසීමක් නැති නිසානේ සකී මං ඒවා අතෑරලා දැම්මේ...”
මට සතුටු වෙන්න, දුක් වෙන්න, අඬන්න, තරහා ගන්න, මොකක් හෝ දෙයක් මතක් කරලා පසුතැවෙන්න පැයක් හමාරක් ඇතුළත සිද්ධ වෙන එක සිද්ධියක් දෙකක් හොඳටම ඇති. ඒක කොච්චර ලොකු දුර්වලකමක් ද කියලා මට තේරෙන්නේ මෑණියන්ගේ මේ විදිය දැක්කාමයි. පංචේන්ද්‍රියට ගෝචර වෙන බාහිර සිදුවීම්, රූකඩයක් නටවන්නැහේ වරින් වර ඇවිල්ලා මේ මාව නටවනවා. ප්‍රිය මනාප දෙයක් ඇහෙද්දී සතුටු වෙලා, අප්‍රිය අමනාප දෙයක් ඇහෙද්දී මම ගැටෙන්නේ, මගේ කන මගේ පාලනයෙන් ගිලිහිච්ච නිසයි. හැබැයි මෑණියෝ එහෙම නෑ. බාහිර ලෝකයේ සිද්ධ වෙන දේවල්වලට සාමා මෑණියන්ව පාලනය කරන්න බෑ. මෑණියෝ ඒ ඇහෙන දේවල් ‘ඇහුණා’ කියන තැනින් අහවර කරනවා. මම වගේ ඒවා කරේ තියාගෙන ඔට්ටු වෙන්න යන්නේ නෑ. දහම් දැනුම කියන එක කොච්චර තිබුණත්, ප්‍රයෝගික ජීවිතේ අප්‍රිය අමනාප සිද්ධියකට මුහුණදෙද්දී, ඒ ධර්මය භාවිතයට ගන්න බැරිනම්, මට තියෙන්නේ ශ්‍රැතවත් බව විතරයි. ශ්‍රැතවත් වුණු පමණින් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නෙ නෑ. ඒකට අසා දරාගත් ධර්මය බහුල වශයෙන් පුරුදු කරන්න අවශ්‍යයි. ‘භාවිතා බහුලීකතා’ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසානේ... හැබැයි මට මෑණියන්ගේ අහන්න වෙන ප්‍රශ්නයක් තිබුණා. ඒක වරින් වර මගේ හිතට එබිකම් කරන ප්‍රශ්නයක්. ඒක අහන්න හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.
“පෘථග්ජන මිනිස්සු තමන්ගේ ජයග්‍රහණවලින්, ලාභ සත්කාරවලින්, කීර්ති ප්රසංසාවලින් සතුටු වෙන එක සාධාරණයි තමයි මෑණියෝ. මොකද ඒ අය කෙලෙස් නිරුද්ධ කරපු අය නොවෙන නිසා. හැබැයි ඒ අතරත් මිනිස්සු දෙකොට්ඨාසයක් මම දකිනවනේ...”
“දෙකොට්ඨාසයක් කිව්වේ... මොන වගේද සකී?”
“සමහරු ඉන්නවනේ මෑණියෝ, වෙන්න දේවල් ලැබුණාම ඒවා බොහොම උපේක්ෂාවෙන් දරාගන්නවා. හැබැයි තවත් සමහරු ලාභ සත්කාර, ජයග්‍රහණය ඉදිරියේ හරියට උදම් අනනවා. ඒ ජයග්‍රහණ මූලික කරගෙන අනිත් අයව පෙළනවා. තවත් සමහරු පොඩි දෙයක් ලැබුණත් සක්විති රජකම ලැබුණා වගේ හරියට ආඩම්බර වෙනවා. මොකක්ද මේ වෙනස? ”
මෑණියන්ගේ මූණේ හිනාවක් ඇඳුණා. ඔය හිනාවෙන් කියන්නේ මං හිතන්නේ මට සැවැත්නුවර දෙව්රම් වෙහෙර පැත්තේ චාරිකාවක් යන්න පුළුවන් වෙයි වගේ. එහෙම හිතද්දී මගේ මූණෙත් මම නොදැනුවත්වම හිනා රැල්ලක් ඇඳෙනවා.
“ඒ කාලේ සැවැත්නුවර වැඩඉඳපු භික්ෂූන්වහන්සේලා වස් තුන් මාසෙ නගරයෙන් පිටතට නොවැඩ සැවැත්නුවරම වැඩ උන්නනේ සකී...”
මම හිතුවා හරි... මේක සැවැත්නුවර කතාවක්. ධම්මදින්නා ආරාමේ ඉඳගෙන මේ කතා අහන හැම වතාවකම මම මනෝ ලෝකයකට ඇතුළ් වෙනවා. සැවැත්නුවර කියද්දී මගේ හිතේ හැමදාම මැවෙන ලස්සන රූපයක් තියෙනවා. මේ දැනුත් මට ඒ රූපය මැවිලා පේනවා.
“බුදුරජාණන්වහන්සේ නිහඬ බව බොහොම ප්‍රිය කරපු ශාස්තෘන්වහන්සේ නමක්නේ. ඉතින් සැවැත්නුවර මහා විශාල භික්ෂු පිරිසක් වස් වාසය කළත් ඒ ආරණ්යයවාසය හරිම නිහඬයි. ඔය වස් කාලේ උපාසක උපාසිකාවොත් ඉඳලා තියෙනවා ගිහින් වස් සමාදන් වෙච්ච භික්ෂූන්වහන්සේලා අතරේ ඉඳගෙන පිළිවෙත් පුරපු. ඉතින් මේ පිරිසට නිතර දාන මාන පිදෙන නිසා මේ කාලේ වෙනකොට සැවැත්නුවර භික්ෂූන්වහන්සේලා වස් වසන කිට්ටුව යාචකයෝ එන්න එන්නම වැඩි වුණාලු. මොකද දාන මාන දීලා ඉතුරු පහදු වෙන දේවල් ඊට පස්සේ ලැබෙන්නේ ඒ යාචකයන්ටනේ. ප්‍රණීත භෝජනම නෙවෙයි ඒ අයට ලැබෙන්නේ. ඉතුරු වෙන දේවල් ටික. හැබැයි ඒ ඉතුරු වෙන දේවල් ටික කාලා ගිහින් අර යාචකයෝ අචිරවතී ගඟ අසබඩ ඉඳගෙන සැවැත්නුවර දෙවනත් වෙන්න කෑ ගැහුවා කියනවනේ සකී...”
“කෑ ගැහුවා කියන්නේ මෑණියෝ... බැන්නා ද?”
“නෑ... හරිහැටි කන්න බොන්න දෙයක් නැතිව, අනුන්ගේ ඉඳුල් කකා ඉඳපු මිනිස්සුනේ මේ. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ ප්‍රනීත දානයක් ලැබුණාම ඒක ඒ අයට දරාගන්න බෑ. ඉතින් ඒ රස මසවුලෙන් මත්වෙලා, ඒ සතුටට මේ කට්ටිය ගිහින් අචිරවතී ගඟ අසබඩ සමහරු බාල් නැටුවලු, තව අය සිංදු කිව්වලු, තව සමහරු ඔහේ කෑ ගැහුවලු. සකී දන්නවද, භාග්‍යවතුන්වහන්සේ මේ අය ගැන මොකක්ද කිව්වේ කියලා...”
මේ කතාවේ රසවත්ම හරිය අහගන්න මම තව ටිකක් හරිබරි ගැහිලා පහසු ඉරියව්වෙන් ඉඳගත්තා.
“උන්වහන්සේ කිව්වා, මහණෙනි මේක අද විතරක් නෙවෙයි, එදත් වුණේ මෙහෙමයි කියලා උන්වහන්සේ .... ජාතක කතාව දේශනා කළා. ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රජකම් කරන කාලේ, රජතුමා මැදිහත් වෙච්ච යුද්ධයක් වෙනුවෙන් යුද භූමියට ගියා කියන්නේ චතුරංගනී සේනාවේ ඉඳපු අජානේය අශ්වයෝ පන්සීය දෙනා. එදා මේ අශ්වයෝ යුද්ධ භූමියට ගිහින් ඒ යුද්ධය ජය අරගෙන තමයි ආපිට ඇවිත් තියෙන්නේ. ඒ ආවට පස්සේ රජතුමාට ඕන වුණා තමන්ට මේ යුද්ධය දිනවලා දීපු සෛන්ධව අශ්වයන්ට සංග්‍රයක් කරන්න. ඒ නිසා රජතුමා සේවකයන්ට කිව්වා මේ අයට වතුර බින්දුවක්වත් කලවම් නොකර ප්‍රණීත මිදී යුෂ පානයක් හදලා දෙන්න කියලා. දැන් ඉතින් මේ අශ්වයන්ට බොහම ප්‍රියජනක පානයක් නේ මිදී යුෂ කියන්නේ. ඔන්න දැන් මිදී යුෂ බීලා බඩවල් පුරවාගෙන මේ අශ්වයෝ අශ්ව ගාලට වෙලා විවේකයෙන් ඉන්නවා. කිසි සද්දයක් බද්දයක් නෑ. අපි යුද්ධයක් දිනලාය ආවේ, අපි දැන් මේ මිදී යුෂ බීලය ඉන්නේ කියලා හේෂාරාව නැංවිල්ලක් අශ්වයන්ගේ නෑ. හැබැයි මේ අශ්වයන්ගේ තිරිඟු ආදී කෑම බීම ටික උස්සගෙන මේ කට්ටිය යුද්ධෙට යද්දී ඒ පස්සෙන් ගියපු බූරුවෝ ටික ඉන්නවනේ. රජතුමා කිව්වා, අනේ ඉතින් උනුත් පව් සෑහෙන්න බර ඇද්දානේ, ඔන්න ඔය මිදී යුෂ හදලා අයින් කරපු රොඩු ටිකට වතුර කලවම් කරලා උන්ටත් බොන්න දෙන්න කියලා. මොකක් වුණා කියලද හිතන්නේ සකී...?”
මෑණියෝ එහෙම අහලා මං දිහා බලලා හිනා වෙනවා. උත්තරේ ඔළුවට ආවා මිසක් වචන වෙලා මගේ කටින් එළියට ආවේ නෑ. ඒ වෙනුවට මගේ මුවිනුත් ලොකු හිනාවක් එළියට ආවා.
“ඔයාගේ හිතට ආපු උත්තරේ හරි... අර වතුර බිංදුවක්වත් මිශ්‍ර නොවෙච්ච ප්‍රණීත මිදී යුෂය බීපු සෛන්ධව අශ්වයෝ නිහඬව හිටියට, රොඩු බොඩු ටික බීපු බූරුවන්ට එහෙම ඉන්න බැරිවුණා. උන් ඒකෙන් මත්වෙලා රජ මාලිගාව දෙවනත් වෙන්න කෑ ගැහුවා කියනවා. අන්තිමට උන්ව නිහඬ කරන්න රජ මාලිගාවේ සේවකයන්ට පොලු මුගුරු පවා අතට ගන්න වුණාලු. බලන්න සකී වෙනස... බුදුරජාණන්වහන්සේ එදා මේ ජාතක කතාව දේශනා කරලා කියනවා, මහණෙනි නීච ගති ඇති අයට උසස් දේවල් ලැබුණාම දරාගන්න බෑ. ඒ අයට ඒක ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ අය ඒකෙන් මත්වෙලා වගේ දඟලනවා. අනිත් අයව පෙළනවා. හැබැයි අටලෝ දහමින් කම්පා නොවී ඉන්න තමන්ගේ හිත පුරුදු පුහුණු කරපු අයට, මේ ජයග්‍රහණත් මේ කීර්ති ප්රසංසාත් අනිත්‍ය වෙලා යනවා කියලා දකින්න හිත පුරුදු කරපු අයට එහෙම මත්වීමක් නෑ. ඒ අය හිමිවීම් අහිමිවීම්, ජය පරාජය, සැප දුක කියන මේ සියල්ල උපේක්ෂාවෙන් දරාගන්නවා කියලා. මං හිතන්නේ සකීගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙන්න ඇති.”
ඇත්තටම ඔව්... මට උත්තරේ හම්බවුණා. අති දුර්ලභ සෛන්ධව අශ්වයෝ අතරේ බහුතරයක් ඉන්නේ මත්වෙච්ච බූරුවෝ බවත්, උන්ගේ නීච ගති නිසා එහෙම හැසිරෙන බවත්, එවැන්නන් සමඟ නොගැටෙන්නට භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් වදාළ මේ දේශනාව නිතර සිහි කළ යුතු බවත් මම කල්පනා කළා.
තෙරුවන් සරණයි.
මම,
ඔබේ කල්‍යාණ මිතුරිය,
ශාක්‍යා ඉද්දමල්ගොඩ (සකී)