19/06/2026
*වෙනුර එදිරිසිංහ සහෝදරයා*
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අද වන විට පැමිණ ඇති ගමන්මඟ මල් ඇතිරූ මාවතක් නොවේ. එය ලේ, දහදිය සහ කඳුළු මතින් ගොඩනැගුණු අරගල ඉතිහාසයකි. එම අරගලයේ දීප්තිමත්ම ශිෂ්‍ය නායකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නේ වෙනුර එදිරිසිංහ සහෝදරයාය.
තම අවසන් හුස්ම පොද වාතලයට මුසුවීමට මොහොතක් තිබියදී පවා, වධබන්ධන හේතුවෙන් තුවාල වූ දෑත්වලින් වැගිරෙන ලෙයින් වධකාගාරයේ බිත්තිය මත,
*"මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා."*
යනුවෙන් සටහන් කළ බව කියැවෙන ඔහු, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ අභීත සටන්කාමියෙකි.
1966 සැප්තැම්බර් 8 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුවට නුදුරු දුෂ්කර ගම්මානයක උපත ලැබූ වෙනුර වර්ධිත එදිරිසිංහ, දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර, දුප්පත් ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර කිරීම ඔහුගේ ජීවන ප්‍රතිපත්තියක් විය. මහාමාර්ග, විදුලිය, ප්‍රවාහනය, රෝහල් සහ අධ්‍යාපන පහසුකම් පවා අවම වූ පරිසරයක හැදී වැඩුණු වෙනුර, කුඩා කල සිටම අභියෝග මධ්‍යයේ ජීවිතය ගත කළේය.
ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය සිදු වූයේ නිවසේ සිට කිලෝමීටර් හයක පමණ දුරින් පිහිටි මුදරන්කුලිය විදුහලෙනි. අධ්‍යාපනික දක්ෂතා හේතුවෙන් පළමු වසර සමත් වූ පසු තුන්වන ශ්‍රේණියට ඇතුළත් කරන ලද ඔහු, කුඩා වියේ සිටම සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළේය. 1976 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වී මාදම්පේ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ අතර, පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන අටක් ලබා ගනිමින් වයඹ පළාතේ ප්‍රථමයා සහ ශ්‍රී ලංකාවේ සිව්වැනියා බවට පත්විය.
ඉහළ ප්‍රතිඵල හේතුවෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ වෙනුර එදිරිසිංහ ශිෂ්‍යයා, එහිදී ද අතිවිශිෂ්ට දක්ෂතා දැක්වීය. උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ සමස්ත ජීව විද්‍යා අංශය සඳහා පිරිනැමෙන ප්‍රධාන සම්මාන රැසක් දිනාගත් ඔහු, අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.
අධ්‍යාපනයට පමණක් නොව කලා ක්ෂේත්‍රයට ද දක්ෂතා දැක්වූ ඔහු, කථිකත්වය, නිවේදනය, කෙටිකතා, ගීත රචනා සහ කාව්‍ය රචනා යන ක්ෂේත්‍රවල ද කැපී පෙනෙන ජයග්‍රහණ හිමිකර ගත්තේය.
1984 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ වෙනුර එදිරිසිංහ සහෝදරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. එය ඔහුගේ ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් විය. පළමු වසරේදීම වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස තේරී පත් වූ ඔහු, වෛද්‍ය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු බවට පත්විය. එමෙන්ම වෛද්‍ය පීඨයේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු ද විය.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත චරිතයක් වූ පද්මසිරි ත්‍රීමාවිතාන සහෝදරයාගේ ආභාෂය, වෙනුරගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරිත්වය වඩාත් පරිපූර්ණ කළේය. 1988 වසරේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය සහෝදරයා ඝාතනය කිරීමෙන් පසු, එම සංවිධානයේ නායකත්වය භාරගැනීමට වෙනුර එදිරිසිංහ සහෝදරයා ඉදිරිපත් විය. එම තීරණය ඔහු ගත්තේ සිය පෞද්ගලික ආරක්ෂාවට වඩා අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වටිනා බව විශ්වාස කළ බැවිනි.
එතැන් පටන්, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන ගිය අරගලවලදී ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ ඔහුය.
1989 ඔක්තෝබර් 20 වන දින සිය පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයක නවත්වා කොළඹ පැමිණි වෙනුර එදිරිසිංහ සහෝදරයා, මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ නිවසෙන් පිටව යන අවස්ථාවේදී පැහැරගෙන යනු ලැබීය. ඉන් අනතුරුව ඔහු රේස්කෝස් හා හෙන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන ගිය බව කියන වධකාගාර වෙත රැගෙන ගොස් අමානුෂික වධහිංසාවන්ට ලක් කරන ලදී.
අතිශය කෲර වධබන්ධන මධ්‍යයේ වුවද තම අරමුණු අත්නොහළ වෙනුර එදිරිසිංහ සහෝදරයා, 1989 ඔක්තෝබර් 21 වන දින ඝාතනය කරනු ලැබීය. එසේ වුවද ඔහුගේ අදහස්, අධිෂ්ඨානය සහ අරගලකාමීත්වය කිසිදා මරණයට පත් නොවීය.
වෙනුර එදිරිසිංහ සහෝදරයා සටන් වැදුණේ තමන් වෙනුවෙන් නොව, අනාගත පරපුර වෙනුවෙනි. අද අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය යනු කවර හෝ පාලකයෙකු විසින් පරිත්‍යාග කළ දායාදයක් නොව, එවැනි අභීත ශිෂ්‍ය නායකයන්ගේ කැපකිරීම්, දුක්විඳීම් සහ ජීවිත පරිත්‍යාගයන් මතින් දිනාගත් අයිතියකි.
එබැවින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් එල්ල වන සෑම මොහොතකම, වෙනුර එදිරිසිංහ සහෝදරයා වැනි අයෝමය චරිතවල ආදර්ශය නව පරපුර තුළ නැවත නැඟී සිටිනු ඇත.
~ *දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය* ~