Science Students' Union-University of Peradeniya

Science Students' Union-University of Peradeniya science student's union-university of peradeniya

20/06/2026
19/06/2026
17/06/2026

"ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally"


ශිෂ්‍ය වීර දිනය 2026
மாணவ வீரர் தினம் 2026
Students' Heroes Day
2026

📌 රෝහණ වීරසූරිය සහෝදරයා

✒️ ලිපි අංක 02

නිදහස් අධ්‍යාපනය යනු පාලකයින් විසින් අපට දෙන ලද දානයක් නොවේ. එය තම පපුවට වෙඩි උණ්ඩය එනතුරුත් පියවරක් හෝ පසුපසට නොගිය නිර්භීත ශිෂ්‍ය සටන්කාමීන්ගේ රුධිරයෙන් දිනාගත් අයිතියකි. ශිෂ්‍ය වීර දිනය වෙනුවෙන් අප ගෙන එන ලිපි මාලාවේ දෙවන සටහන වෙන්වන්නේ, ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් පේරාදෙණිය සරසවි බිමේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ප්‍රථම ශිෂ්‍ය වීරයා වන රෝහණ වීරසූරිය සහෝදරයා වෙනුවෙනි.

​සරසවියට පියනැගූ අපේක්ෂාවෙන් පිරි තරුණයා

​රෝහණ වීරසූරිය යනු අතිශය සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණ, සිය දක්ෂතාවය හා කැපවීම මතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූ දීප්තිමත් උපාධි අපේක්ෂකයෙකි. ඔහු සරසවියට පියනැගුවේ හුදෙක් තමන්ගේ උපාධිය පමණක් ලබාගෙන පිටව යාමේ පටු අරමුණින් නොවේ. සහෝදර සිසුන්ගේ වේදනාවන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට ඔහු කිසිවිටෙකත් පසුබට වූයේ නැත.

​1976 නොවැම්බර් 12

සරසවි මාතාව කඳුළු සැලූ දිනය
​1976 වසරේ අගභාගය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අයිතීන් දැඩි ලෙස කප්පාදු වෙමින් පැවතුණි. පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව පේරාදෙණියේ ශිෂ්‍ය ප්‍රජාව දැවැන්ත වර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.​ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම්වලට සවන් දෙනවා වෙනුවට, එවකට පැවති රජය සහ විශ්වවිද්‍යාල පරිපාලනය සිදු කළේ සන්නද්ධ පොලිස් භටයින් සරසවි භූමියට කැඳවීමයි. 1976 නොවැම්බර් 12 වැනිදා සාමකාමීව විරෝධය පෑ ශිෂ්‍යයින්ට එරෙහිව පොලිසිය විසින් අමානුෂික ලෙස කඳුළු ගෑස් සහ වෙඩි තැබීම් ආරම්භ කරන ලදී. ඒ රුදුරු වෙඩි පහරකට ලය දුන් රෝහණ වීරසූරිය සහෝදරයා, සරසවි භූමිය රුධිරයෙන් තෙත් කරමින් සිය අවසන් හුස්ම හෙළීය.
​ඝාතනයෙන් උපන් දැවැන්ත ශිෂ්‍ය ප්‍රබෝධය
​රෝහණ වීරසූරිය සහෝදරයාගේ ඝාතනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම එකම අරමුණක් වෙනුවෙන් පෙළගැස්වූ ප්‍රබලතම සිදුවීමක් බවට පත් විය.

​රටම අවදි වීම

ඔහුගේ ඝාතනයට එරෙහිව පේරාදෙණියෙන් ඇරඹි විරෝධතා ගින්න කොළඹ, විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), විද්‍යාලංකාර (කැලණිය) ඇතුළු මෙරට සියලුම විශ්වවිද්‍යාල දක්වා වේගයෙන් පැතිර ගියේය.

​අන්තරේට පාර කැපීම

ඊට පෙර ඛණ්ඩනය වී තිබූ ශිෂ්‍ය ව්‍යාපාරය, රෝහණගේ ඝාතනයෙන් පසු පොදු සතුරෙකුට එරෙහිව එක්සත් වීමේ අවශ්‍යතාවය දැඩිව වටහා ගත්තේය. පසුකාලීනව ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) බිහිවීමට අවශ්‍ය පසුබිම සහ මානසිකත්වය නිර්මාණය කළේ වීරසූරිය සහෝදරයාගේ මේ උත්තරීතර ජීවිත පරිත්‍යාගයයි.​අපට ඉතිරි කළ උරුමය ​අද අප ශාස්ත්‍ර පීඨය අසලින්, කලාගාරය හෝ වූස් (WUS) පරිශ්‍රය අසලින් නිදහසේ පියනඟන්නේ, එදා රෝහණ වීරසූරිය සහෝදරයා ඇතුළු වීරයින් සිය ලෙයින් තෙත් කර අපට ඉතිරි කර දුන් භූමියකය.ඔහුගේ ජීවිත පරිත්‍යාගය අපට නිරන්තරයෙන් සිහිපත් කරන්නේ, ශිෂ්‍ය අයිතිවාසිකම් යනු කන්නලව් කර ලබාගත හැකි දේවල් නොවන බවත්, ඒවා අරගලයෙන්ම දිනාගත යුතු බවත්ය.
​"වෙඩි උණ්ඩයට පසාරු කරගෙන යා හැක්කේ රෝහණ වීරසූරිය සහෝදරයාගේ පපුව පමණි. එහෙත් ඔහු සරසවි බිමේ පැළ කළ ඒ අරගලයේ බීජය, අදටත් දහස් ගණනක් සිසුන්ගේ හදවත් තුළ මහා වෘක්ෂයක් වී දලුලමින් පවතී. ඒ වීරයාගේ නාමය පේරාදෙණියේ අක්මුල්වල සදාකාලිකවම රැඳී පවතිනු ඇත.

මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

17/06/2026
16/06/2026

அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்!

மாணவர் வீரர்கள் தினம் 2026

பிரதான கொண்டாட்டம்

பேராதனைப் பல்கலைக்கழகத்தில் - ஜூன் 20

அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்.

16/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!
ශිෂ්‍ය වීර දිනය 2026

ප්‍රධාන සැමරුම - ජුනි 20
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

16/06/2026

විරුනි සිසු නුඹේ නාමෙන් - අදත් ගැයෙනවා ගීත දහසක්

අදුරු යුගවල රටම ගිනි ගත්
බියක් නසනට පෙරින් සිටගත්
ඉපිද නැති උන් පවා පැතුමන්
දිනා ගැනුමේ සටන් කරුවන්

පතුරා සෙනෙහස සොයුරු නාමෙන්
අවධි කෙරුවා නෙතුම ගොන්නක්
වරින් වර නෙතු මිලින කෙරුවත්
හෙටත් උපදියි නෙතු තවත් දවසක්

විරුනි සිසු නුඹේ නාමෙන්
අදත් ගැයෙනවා ගීත දහසක්
එහෙව් තාලෙන් කොන්ද සවිමත්
පුරුක් හැදෙනවා සටන් බිමටත්

චානුක හසරංග
23/24 වසර කණ්ඩායම
පශු වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

16/06/2026

බ්‍රහස්පතින්දා හැන්දෑව

සචිල නයනජිත්ගේ,
"වරා මලටත් පෙම් කරපු අපි"
කුළුදුල් කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම

ජුනි 18
සවස 5.30 ට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨ Diamond Jubilee ශාලාවේදී...

සාහිත්‍යය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

16/06/2026

"ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally"


ශිෂ්‍ය වීර දිනය 2026
மாணவ வீரர் தினம் 2026
Students' Heroes Day
2026

📌 ශාන්ත බණ්ඩාර සහෝදරයා

✒️ ලිපි අංක 01

​ගමෙන් සරසවියට පියනැගීම

​කෑගල්ල ප්‍රදේශයේ උපත ලබා, මාතලේ විද්‍යා විද්‍යාලයෙන් විශිෂ්ට ලෙස අධ්‍යාපනය හැදෑරූ උදය ජගත් ශාන්තදේව හෙළකුමාර සෙනෙවිරත්න හෙවත් අප කවුරුත් දන්නා "ශාන්ත බණ්ඩාර" පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පියනඟන්නේ 1975 වසරේදීය. ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයෙකු වශයෙනි. නිහඬ, එහෙත් තියුණු බුද්ධියකින් හෙබි ඔහු කෙටි කලකින්ම සරසවි දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් විය.

​රෝහණ වීරසූරිය ඝාතනය සහ ශිෂ්‍ය සටන්කාමියාගේ උපත ​

1976 වසරේදී පේරාදෙණිය සරසවි බිමේදී සිදුවූ රෝහණ වීරසූරිය ශිෂ්‍ය ඝාතනය ශාන්ත බණ්ඩාරගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. තම සහෝදරයාගේ ලෙයින් තෙත් වූ සරසවි බිම මතින් නැගී සිටි ඔහු, රජයේ මර්දනයට එරෙහිව රට පුරා මතු වූ ශිෂ්‍ය උද්ඝෝෂණ සඳහා පේරාදෙණියේ සිට දැවැන්ත නායකත්වයක් ලබා දීමට පෙරමුණ ගත්තේය. ඔහුගේ කථිකත්වය සහ සංවිධාන ශක්තිය කෙතරම් ප්‍රබල වූයේද යත්, ඔහු සමස්ත සරසවි ප්‍රජාවගේම ආකර්ෂණය දිනා ගත්තේය.

​අන්තරේ බිහිවීම

පේරාදෙණියෙන් රටට දුන් නායකත්වය
​ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ ශිෂ්‍ය දේශපාලන ජීවිතයේ ස්වර්ණමය සලකුණ වන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF - අන්තරේ) ගොඩනැගීමයි.1978 වසර වන විට විවිධ විශ්වවිද්‍යාල තුළ විසිරී, ඛණ්ඩනය වී පැවති ශිෂ්‍ය ව්‍යාපාර සියල්ල එකම දැවැන්ත කුඩයක් යටට ගෙන ඒමේ ඓතිහාසික කාර්යභාරය ඉටු කළේ ඔහුය. මෙම නව ශිෂ්‍ය බලවේගයේ ප්‍රථම කැඳවුම්කරු ලෙස පත් වූයේද පේරාදෙණියේ අපේ ශාන්ත බණ්ඩාර සහෝදරයාය.

​ධවල පත්‍රිකාවට සහ පෞද්ගලීකරණයට එරෙහි මහා සටන

​1981 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ගෙන ආ 'අධ්‍යාපන ධවල පත්‍රිකාව' හරහා නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයට එරෙහිව පාරට බැස්සේ ශාන්ත බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශිෂ්‍ය ව්‍යාපාරයයි. එපමණක් නොව, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (NCMC) හරහා වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව ගෙන ගිය දැවැන්ත ශිෂ්‍ය අරගලයේ ප්‍රධානතම නියමුවා වූයේද ඔහුය. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර සහ පොලිස් අත්අඩංගුවට ගැනීම් හමුවේ ඔහු කිසිදා පසුබැස්සේ නැත.

අවසන් හුස්ම සහ නොමියෙන උරුමය

​තම පෞද්ගලික ජීවිතය, උපාධිය සහ තරුණ විය නිදහස් අධ්‍යාපනයත්, පොදු ජනතාවගේ නිදහසත් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප කළ ඔහු, 1989-1990 භීෂණ සමයේදී දැවැන්ත රාජ්‍ය මර්දනයකට මුහුණ දුන්නේය. අවසානයේදී, 1990 ජනවාරි මාසයේදී රාජ්‍ය සන්නද්ධ අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ දී ඝාතනය කරන ලදී.ඔවුන් ඔහුගේ හුස්ම නතර කළද, ඔහු පේරාදෙණියෙන් ආරම්භ කර මුළු රට පුරාම ව්‍යාප්ත කළ ඒ දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ හඬ අදටත් නතර කිරීමට කිසිවෙකුටත් හැකි වී නැත. අද පේරාදෙණියේ සිටින අපි භුක්ති විඳින මේ නිදහස් අවකාශය සහ අයිතිවාසිකම් අස්සේ ඇත්තේ ඒ සහෝදරයාගේ රුධිරයයි.​"අරගලය යනු හුදෙක් සටන් පාඨයක් නොව, ජීවිතය පරදුවට තබා කරන කැපවීමක් බව ශාන්ත බණ්ඩාර සහෝදරයා අපට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීය. ඒ වීරයාගේ නාමය පේරාදෙණිය සරසවි ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත."

මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

13/06/2026

උතුරු කොලඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටන

ශ්‍රී ලංකාව සඳහා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එසේත් නොමැතිනම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලදී. මීට සමගාමීව ගෙන ආ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා ලංකාව තුළ නව ලිබරල් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹිනි. 1978 අංක 4 දරණ Greater Colombo Economic Commission Law පනත ආර්ථික ක්ෂේත්‍රය තුළ ගුණාත්මක වෙනස්කම් ගණනාවක් සඳහා මග පෑදූ අතර 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් ගණනාවක් සිදුකළේය. මෙම පනතේ 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් උසස් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නටවිය.

ඉහත වගන්තියට මුවාවෙමින් එ.ජා.ප ආණ්ඩුව 1981දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අතර රජයේ තලගොල්ල රෝහල සහ එම රෝහල පිහිටි හෙක්ටයාර් 14 ක ඉඩම ඉතාම අඩු බද්දකට වෛද්‍ය විද්‍යාලයට පවරා දීමට කටයුතු කළේය. මෙම විද්‍යාලයට ඇතුළත් වූ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහල ලබාදීමට ද අනුමැතිය හිමිවිය. රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා වූ විභාගයෙන් අසමත් වූවන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගෙන සිටි අතර ඔවුන්ගේ ප්‍රථම කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 69,000 ක් ද, සිව්වැනි කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 125,000 ක් ද අය කරගෙන තිබිණි.

උතුරු කොලඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා නිදහස් අධ්‍යාපනයට වන හානිය පැහැදිලිව තේරුම් ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම අයුක්ති සහගත ක්‍රියාවලියට එරෙහි සටනේ නායකත්වය ගත්තේය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය හමුවේ පවා ඔව්න් සිය සටන්කළේය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහයත් සමඟ සටන් යම් තීරණාත්මක මංසන්ධියකට පැමිණියේය. නමුත් නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා සහ නීතිඥ බැටී විරකෝන් මඟින් මෙම ක්‍රියාවට එරෙහිව උසාවි වාරණ නියෝගයක් ලබාගැනීමෙන් අවසන් කිරීමට පොරොන්දු වූ නිසා එම අවස්ථාව පුළුල් පොදු ජන සටනක් දක්වා ගොඩනගා ගැනීමට නොහැකිවිය. නමුත් එය ආසාර්ථක වූ අතර අවසානයේ නඩුව විසිවිය. අපෑලද පරාජය විය. ඉන්පසු වෛද්‍ය සිසුන් පංති වර්ජනයකට සුදානම් වුව ද වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් ලෙස ඉදිරිපත් වූ පිරිසක් මෙම ගැටලුව විසඳන බව පවසා එම සිසු ක්‍රියාමාර්ගයද දියකර හරින ලදී. 1983 කළු ජූලිය එළඹියේ මේ අතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළු ජූලියෙන් පසු එළඹි භීෂණය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනෙහි තීව්‍රතාවය අඩුකලේය.

1987 වසර මෙම සටන තීරණාත්මක අදියරකට ගෙන ආවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ පළමු කණ්ඩායම ඔවුන්ගේ අවසාන වසර විභාගයට වාඩි වීමට සූදානම් වීමත් සමඟයි. ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ දී විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණු අතර ඒ හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය සිමාවාසික පත්වීම් රජයේ වෛද්‍ය සිසුන්ට දෙන පදනමින්ම ලබාදීමට උත්සාහ කළේය. එම අවසාන වසර විභාගය 1987 ජූලි 31 දිනට යෙදී තිබූ නිසා අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉතා ඉක්මණින් බොහෝ දේ සංවිධානය කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට සමත් වූ ඔවුන් දිවයින පුරා විසිරී සිටින සියලුම වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිලි කර, වෛද්‍ය වැඩ වර්ජනයක් සඳහා ඔවුන් කැමති කරවා ගත්හ. 1987 ජූලි මාසය 'විරෝධතා මාසය' ලෙස නම් කෙරුණු අතර, 1987 ජූලි 15 දින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ඇරඹිණ. දින 27 කට අධික කාළයක් ගෙනගිය මෙම වර්ජනය ඉතිහාසයේ දීර්ඝතම වෛද්‍ය වැඩවර්ජනයයි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුව, ආචාර්ය සංගමය, රජයේ වෛද්‍ය සංගමය, දන්ත වෛද්‍ය සංගමය එක්ව තනි කමිටුවක් සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එක්කොට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගොඩනගන ලදී. මේ හරහා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 1987 අගෝස්තු 11 වන දා කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ කලේය. පසුව ඒවා දිවයින පුරා ප්‍රධාන නගරවලදී ද පැවැත්වූ අතර ඒ හරහා ජනතාව අතර පුළුල් ප්‍රචාරයක් සිදු කරන ලදී. " වෙද සිසු හඬ" නමින් පුවත්පතක් මුද්‍රණය කොට රට පුරා බෙදා හරින ලද අතර කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් ජුලි මාසයේ සිට අඛන්ඩ පන්තිවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. වෛද්‍ය පීඨ සිසුන් සිය අරගලයට වසරක් ගෙවීයාමත් සමඟ සටන තව තවත් තීව්‍ර කළහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට ක්‍රියාකළහ. කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත්‍රිමා විතාන සොයුරා, රංජිත් පෙරේරා බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගෙන වද බන්ධනයට ලක් කර මරා දමා පසුව පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා ගොස් තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි. එවකට සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ ට මෙම ඝාතනයේ චෝදනා එල්ල විය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය හා බලය ප්‍රදර්ශනය කලේ මෙම ඝාතනයයි. ත්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු සිදු කිරීමට රජය උත්සාහ කළද සිසුන් ඊට එකඟ නොවීය. කොළඹ මහ රෝහලේ වහලය මතට නැගුණු වෛද්‍ය සිසුන් ත්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. එයට ආණ්ඩුව ඇහුම්කන් නොදුනහොත් ඔවූහූ සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කළේය. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු වූ අතර කුඩා පෙට්ටියක බහාලූ ත්‍රිමාගේ මෘත දේහය වෛද්‍ය පීඨයට රැගෙන එන ලදි. ත්‍රිමාගේ මරණයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය.

මෙම මරණයත් සමඟ මතුව ආ දැඩි ආණ්ඩු විරෝධය හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තවදුරටත් එසේ පවත්වාගෙන යාම දුෂ්කරව විය. අවසානයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය දශකයකට අධික කාලයක් තිස්සේ බොහෝ පරිත්‍යාගයන් හා කැපකිරීම් හමුවේ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීය. වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික්‍රම, අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් ඇතුලු බොහෝ දෙනෙකු මෙම සටන් හමුවේ සිය ජීවිතය පරිත්‍යාග කලේය. දහසක් දෙනා තම ජීවිතයේ වටිනා කාලය, ශ්‍රමය, දහඩිය මෙම සටන වෙනුවෙන් වැයකළේය. මේ සියලු දුෂ්කරතා මැද තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට මෙම සිසු අරගලයට හැකියාව ලැබිණි. ඒ කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි. එම රාගම වෛද්‍ය පීඨය අද වන විට නිදහස් අධ්‍යාපනය හරහා දහස් ගණනක් වෛද්‍යවරුන් මේ මාතෘ භූමියට දායාද කොට හමාරය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Address

Science Faculty Students Union, University Of Peradeniya
Peradeniya

Telephone

+94789394889

Website

Alerts

Be the first to know and let us send you an email when Science Students' Union-University of Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Science Students' Union-University of Peradeniya:

Share