13/06/2026
උතුරු කොලඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටන
ශ්‍රී ලංකාව සඳහා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එසේත් නොමැතිනම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලදී. මීට සමගාමීව ගෙන ආ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා ලංකාව තුළ නව ලිබරල් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹිනි. 1978 අංක 4 දරණ Greater Colombo Economic Commission Law පනත ආර්ථික ක්ෂේත්‍රය තුළ ගුණාත්මක වෙනස්කම් ගණනාවක් සඳහා මග පෑදූ අතර 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් ගණනාවක් සිදුකළේය. මෙම පනතේ 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් උසස් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නටවිය.
ඉහත වගන්තියට මුවාවෙමින් එ.ජා.ප ආණ්ඩුව 1981දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අතර රජයේ තලගොල්ල රෝහල සහ එම රෝහල පිහිටි හෙක්ටයාර් 14 ක ඉඩම ඉතාම අඩු බද්දකට වෛද්‍ය විද්‍යාලයට පවරා දීමට කටයුතු කළේය. මෙම විද්‍යාලයට ඇතුළත් වූ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහල ලබාදීමට ද අනුමැතිය හිමිවිය. රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා වූ විභාගයෙන් අසමත් වූවන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගෙන සිටි අතර ඔවුන්ගේ ප්‍රථම කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 69,000 ක් ද, සිව්වැනි කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 125,000 ක් ද අය කරගෙන තිබිණි.
උතුරු කොලඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා නිදහස් අධ්‍යාපනයට වන හානිය පැහැදිලිව තේරුම් ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම අයුක්ති සහගත ක්‍රියාවලියට එරෙහි සටනේ නායකත්වය ගත්තේය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය හමුවේ පවා ඔව්න් සිය සටන්කළේය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහයත් සමඟ සටන් යම් තීරණාත්මක මංසන්ධියකට පැමිණියේය. නමුත් නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා සහ නීතිඥ බැටී විරකෝන් මඟින් මෙම ක්‍රියාවට එරෙහිව උසාවි වාරණ නියෝගයක් ලබාගැනීමෙන් අවසන් කිරීමට පොරොන්දු වූ නිසා එම අවස්ථාව පුළුල් පොදු ජන සටනක් දක්වා ගොඩනගා ගැනීමට නොහැකිවිය. නමුත් එය ආසාර්ථක වූ අතර අවසානයේ නඩුව විසිවිය. අපෑලද පරාජය විය. ඉන්පසු වෛද්‍ය සිසුන් පංති වර්ජනයකට සුදානම් වුව ද වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් ලෙස ඉදිරිපත් වූ පිරිසක් මෙම ගැටලුව විසඳන බව පවසා එම සිසු ක්‍රියාමාර්ගයද දියකර හරින ලදී. 1983 කළු ජූලිය එළඹියේ මේ අතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළු ජූලියෙන් පසු එළඹි භීෂණය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනෙහි තීව්‍රතාවය අඩුකලේය.
1987 වසර මෙම සටන තීරණාත්මක අදියරකට ගෙන ආවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ පළමු කණ්ඩායම ඔවුන්ගේ අවසාන වසර විභාගයට වාඩි වීමට සූදානම් වීමත් සමඟයි. ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ දී විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණු අතර ඒ හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය සිමාවාසික පත්වීම් රජයේ වෛද්‍ය සිසුන්ට දෙන පදනමින්ම ලබාදීමට උත්සාහ කළේය. එම අවසාන වසර විභාගය 1987 ජූලි 31 දිනට යෙදී තිබූ නිසා අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉතා ඉක්මණින් බොහෝ දේ සංවිධානය කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට සමත් වූ ඔවුන් දිවයින පුරා විසිරී සිටින සියලුම වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිලි කර, වෛද්‍ය වැඩ වර්ජනයක් සඳහා ඔවුන් කැමති කරවා ගත්හ. 1987 ජූලි මාසය 'විරෝධතා මාසය' ලෙස නම් කෙරුණු අතර, 1987 ජූලි 15 දින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ඇරඹිණ. දින 27 කට අධික කාළයක් ගෙනගිය මෙම වර්ජනය ඉතිහාසයේ දීර්ඝතම වෛද්‍ය වැඩවර්ජනයයි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුව, ආචාර්ය සංගමය, රජයේ වෛද්‍ය සංගමය, දන්ත වෛද්‍ය සංගමය එක්ව තනි කමිටුවක් සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එක්කොට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගොඩනගන ලදී. මේ හරහා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 1987 අගෝස්තු 11 වන දා කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ කලේය. පසුව ඒවා දිවයින පුරා ප්‍රධාන නගරවලදී ද පැවැත්වූ අතර ඒ හරහා ජනතාව අතර පුළුල් ප්‍රචාරයක් සිදු කරන ලදී. " වෙද සිසු හඬ" නමින් පුවත්පතක් මුද්‍රණය කොට රට පුරා බෙදා හරින ලද අතර කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් ජුලි මාසයේ සිට අඛන්ඩ පන්තිවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. වෛද්‍ය පීඨ සිසුන් සිය අරගලයට වසරක් ගෙවීයාමත් සමඟ සටන තව තවත් තීව්‍ර කළහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට ක්‍රියාකළහ. කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත්‍රිමා විතාන සොයුරා, රංජිත් පෙරේරා බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගෙන වද බන්ධනයට ලක් කර මරා දමා පසුව පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා ගොස් තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි. එවකට සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ ට මෙම ඝාතනයේ චෝදනා එල්ල විය.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය හා බලය ප්‍රදර්ශනය කලේ මෙම ඝාතනයයි. ත්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු සිදු කිරීමට රජය උත්සාහ කළද සිසුන් ඊට එකඟ නොවීය. කොළඹ මහ රෝහලේ වහලය මතට නැගුණු වෛද්‍ය සිසුන් ත්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. එයට ආණ්ඩුව ඇහුම්කන් නොදුනහොත් ඔවූහූ සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කළේය. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු වූ අතර කුඩා පෙට්ටියක බහාලූ ත්‍රිමාගේ මෘත දේහය වෛද්‍ය පීඨයට රැගෙන එන ලදි. ත්‍රිමාගේ මරණයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය.
මෙම මරණයත් සමඟ මතුව ආ දැඩි ආණ්ඩු විරෝධය හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තවදුරටත් එසේ පවත්වාගෙන යාම දුෂ්කරව විය. අවසානයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය දශකයකට අධික කාලයක් තිස්සේ බොහෝ පරිත්‍යාගයන් හා කැපකිරීම් හමුවේ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීය. වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික්‍රම, අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් ඇතුලු බොහෝ දෙනෙකු මෙම සටන් හමුවේ සිය ජීවිතය පරිත්‍යාග කලේය. දහසක් දෙනා තම ජීවිතයේ වටිනා කාලය, ශ්‍රමය, දහඩිය මෙම සටන වෙනුවෙන් වැයකළේය. මේ සියලු දුෂ්කරතා මැද තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට මෙම සිසු අරගලයට හැකියාව ලැබිණි. ඒ කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි. එම රාගම වෛද්‍ය පීඨය අද වන විට නිදහස් අධ්‍යාපනය හරහා දහස් ගණනක් වෛද්‍යවරුන් මේ මාතෘ භූමියට දායාද කොට හමාරය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය