17/01/2026
NPP ආණ්ඩුවේ “ඊනියා ප්‍රතිසංස්කරණ යෝජනා” වලට විරුද්ධ විය යුත්තේ ඇයි?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම සම්බන්දව නැවතත් සංවාදයක් ගොඩ නැගී තිබේ. එම නිසා මේ සම්බන්දව අපගේ විවේචනය නැවත සංක්ෂිප්තව මෙලෙස ඉදිරිපත් කරමු. එම විවේචන අතර ප්‍රතිපත්තිමය (මූලධාර්මික) සහ තාක්ෂණික විවේචන ගණනාවක්ම ඇත.
සඳහන් කළ යුතු අනෙක් කාරණය වන්නේ පටු දේශපාලන අරමුණු සඳහා ආගමික සහ ජාතිවාදි කණ්ඩායම් ගොඩනගන ලද ප්‍රාථමික මට්ටමේ විවේචන සම්බන්දවයි. අප ඒවා මුළුමනින්ම බැහැර කරන අතර ඒ ගැනද අවසානයේ සඳහන් කරන්නෙමු.
A ) ප්‍රතිපත්තිමය විවේචන
01.ප්‍රජාතන්ත්‍රවිරෝධීව ක්‍රියාත්මක කිරීම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කළ යුත්තේ මහජනයාගේ එකඟතාවයෙනි. සෑම දෙමාපියෙක්ම පාහේ තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන වද වෙයි. ඔවුන්ට අධ්‍යාපන පද්ධතිය ගැන විශ්වාසය තිබිය යුතුය. එම නිසා දෙමාපියන් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් බලහත්කාරයෙන් පැටවීම අනුමත කළ නොහැක.
එපමණක් නොව මහජනයාගේ අදහස් සහ යෝජනා ගත යුතුය. ප්‍රතිසංස්කරණයක් ප්‍රායෝගික සිදුකළ හැක්කේ එලෙසය. මේ ඊනියා ප්‍රතිසංස්කරණ සඳහා රටේ ජනතාවගෙන් තබා අවම තරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ගුරුවරුන්ගෙන් හෝ අදහස් ලබාගෙන නොමැත. එක් වරම අහසින් කඩාපාත් වූවා සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පැමිණි විට සමාජ විරෝධයක් ජනිත වීම අහම්බයක් නොවේ.
02. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය රාමුවක්වත් නැත.
ඕනෑම ප්‍රතිසංස්කරණයකට මූලික ප්‍රතිපත්ති රාමුවක් තිබේ. කන්නංගර වාර්තාවේ සිට මේ දක්වා ඉදිරිපත් කරන ලද සෑම ප්‍රතිසංස්කරණයකටම එවැනි ලියවිල්ලක් තිබුණි. රනිල් - ගෝඨාභය වැනි අය කිරීමට උත්සාහ කළ ප්‍රතිසංස්කරණවලට පවා මූලික ලියවිල්ලක් තිබුනි. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එවැනි සැලසුමක් නැත. මූලික ප්‍රතිපත්තිමය රාමුවක් හරහා සිදුවන්නේ ප්‍රතිසංස්කරණ ගැන මුල, මැද, අග සම්බන්දවූ පිංතූරයක් මහජනයාට ලබා දීමයි. එවැන්නක් නොමැති වීම තුළ ආණ්ඩුවටත්, ජනතාවටත් ප්‍රතිසංස්කරණ ගැන ජනිත වන්නේ අවිනිශ්චිත ස්වභාවයකි.
03. මේ ප්‍රතිසංස්කරණ හැදුවේ කවුද?
යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණක් හදුන්වාදීමේදී ඒ සඳහා වගකියන කමිටුවක් තිබුණි. ඒ යටතේ තවත් අනුකමිටු තිබුණි. එම කමිටුවල අධ්‍යාපනය සම්බන්ද ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන් සිටී. එවිට ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ කවරෙක්ද?, එයට සම්බන්ද පාර්ශව ගැන අවබෝධයක් සමාජයට ලැබේ. මෙම ප්‍රතිසංස්කරණවල එවැන්නක් නැත. වගකියන කණ්ඩායමක් හඳුන්වා නොදී ප්‍රතිසංස්කරණක් කිරීමම වගකීම් විරහිත භාවයේ ප්‍රකාශනයකි. එසේම එහි අනෙක් අර්ථය වන්නේ මෙම ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මේ ආණ්ඩුවේ කණ්ඩායමක් නොව මීට පෙර ආණ්ඩුවලින් පත් කළ කමිටුවක් හරහා බවයි. එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් පත්කළ උපාලි සේදර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්‍ය සාධක බලකාය බවයි.
04. ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200 ලබාගැනීම ඉලක්ක කිරීම නිසා හදිසි සහ අක්‍රමවත් වැඩපිළිවෙලක් වීම.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියකි. 2021 දෙසැම්බර් 01 පිලිපීනයේදී අත්සන් කරන ලද මෙම ගිවිසුම 2025 දෙසැම්බර් 31 අවසන් වීමට නියමිතව තිබූ USD මිලියන 400ක ව්‍යාපෘතියකි. ගෝඨාභය ආණ්ඩුව සමයේ ඉන් මිලියන 200ක් ලැබුන අතර ඉතිරි මිලියන 200 ලබාගැනීම මෙම ආණ්ඩුවේ ඉලක්කය විය. IMF කොන්දේසි අනුව 2026 ජනවාරි අවසන් වන විට විදෙස් සංචිත ඩො.බි. 7.1 දක්වා වර්ධනය කළයුතු විය. ආණ්ඩුවේ කඩිකුලප්පුව වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට වඩා මෙම ඩො.මිලියන 200 ලබා ගැනීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩො.මිලියන 200ක් ඉලක්ක කරගනිමින් අවිධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම බරපතල ගැටළුවකි. එවිට සිදුවන්නේ අධ්‍යාපනයේ අරමුණු සහ ඉලක්ක පසෙක තබා ඩොලර් සිඟමනේ යාමකි. දරුවන් 41 ලක්ෂයකගේ අධ්‍යාපනය අනතුරේ දැමීමකි.
05. මෙය ගෝඨා - රනිල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හිම දිගුවකි
1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් යෝජනා කළ පර්ෂද පාසල්, පාසල් පාදක ඇගයීම් සහ දෙමාපියන් මත බර පැටවීම මෙම ප්‍රතිසංස්කරණ හරහාද යෝජනා කරයි. කණගාටුවට කරුණ නම් ධවල පත්‍රිකාවට එරෙහි වූ පිරිසක් විසින්ම එය යෝජනා කිරීමයි. එපමණක් නොව හරිනි අමරසූරිය, නලින්ද ජයතිස්ස වැනි අය පවසන ආකාරයටම මෙම ප්‍රතිසංස්කරණ කලින් ආණ්ඩු වලින් යෝජනා කරන ලද ඒවාය. වත්මන් ආණ්ඩුවට බලය ලබා දී ඇත්තේ පරණ වැඩපිළිවෙලම ඉදිරියට ගෙනයාමට නොවේ. උපාලි සේදර, සුනිල් ජයන්ත නවරත්න, සුජාතා ගමගේ වැනි මෙරට අධ්‍යාපනය මුදලාලිකරණය ඉලක්ක කරමින් වැඩ කරන පිරිසකගේ ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුවෙන්ම ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණකි. මෙම ප්‍රතිසංස්කරණ ගෝඨභය සමයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ මුත් විරෝධය හමුවේ හකුළා ගන්නා ලදි. රනිල් වික්‍රමසිංහට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව(NEPF) හරහා මෙම යෝජනා ක්‍රියාත්මක කිරිමට උත්සාහ කළද විරෝධය හමුවේ හකුලා ගන්නා ලදි. එම වැඩපිළිවෙලම NPP ලේබලයෙන් අද ක්‍රියාත්මක කරමින් සිටී.
06. සමස්ත අධ්‍යාපනයම නවලිබරල් ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කිරීම
අධ්‍යාපනයේ මූලික අරමුණ වඩාත් දියුණු පුරවැසියකු/ මානව සමාජයක් නිර්මාණය කිරීමයි. මූලික අධ්‍යාපනයෙන් පසුව විෂය ප්‍රවීනයන් බිහිවීම සහ වෘත්තීය පුහුණුව සහිත පිරිසක් ගොඩනැගීම ප්‍රධන ඉලක්ක වේ. ඒ හරහා ප්‍රජාව නිශ්පාදන ක්‍රියාවලියට අවශෝෂණය කරගත යුතුය. කෙසේ නමුත් සමස්ථ අධ්‍යාපනයම වෘත්තීය පුහුණුවකට පමණක් ඉලක්ක කිරීම නිවැරදි නොවේ. අනෙක් කරුණ නම් ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ආර්ථිකයට අනුව අධ්‍යාපනය කප්පාදු කිරීම බරපතල අපරාධයකි. මන්ද ආනයන මත යැපෙන, කාර්මීකරණයක් රහිත, නිෂ්පාදනයක් නොකරන රටක ආර්ථිකයට අනුව අධ්‍යාපනයක් සකස් කළ විට අධ්‍යාපනය විනාශයට පත්වේ. නමුත් මෙම ප්‍රතිසංස්කරණ යෝජනා වල දැක්ම මුළුමනින්ම පාහේ රැකියාව, ශ්‍රම වෙළඳපොළ අනුව නිර්මාණය වී තිබීම අධ්‍යාපනයේ පුළුල් අරමුණු විනාශ කිරිමකි. අනාගත දරුවන් රොබෝවරුන් කරන සමාජයකට පාර කැපීමකි. අවශ්‍ය වන්නේ එවැනි සමාජයක් නොවේ. අප හට අවශ්‍ය වන්නේ විචාරශීලී, මානව දයාවෙන් යුතු, එකිනෙකාට ගරු කරන, රසවින්දනයක් සහිත දියුණු පුරවැසියන් සහිත සමාජයකි.
07. ප්‍රතිපාදන කප්පාදු කර ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැක
ආණ්ඩුව විසින්ම යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කුලුණු 05 කි. එහි මුල් කුළුණ විෂයමාලා සංශෝධනයයි. එහි දෙවන හා තෙවන කුළුණු වන්නේ මානව සම්පත් සංවර්ධනය හා යටිතල පහසුකම් වර්ධනයයි. මොඩියුල ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර ඉහත මානව සම්පත් සංවර්ධනය සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම අනිවාර්‍යකි. නමුත් ආණ්ඩුව 2026 අයවයෙන් සිදුකළේ කුමක්ද? අධ්‍යාපනයට ප්‍රාග්ධන වියදම් මිලියන 500කින් කප්පාදු කිරිම සහ උසස් අධ්‍යාපනයට වියදම් බිලියන 1.6 කින් කප්පාදු කිරීමයි. අවශ්‍ය මූලික පහසුකම් වත් වර්ධනය නොකර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යාම විෂමතාවය තවත් වර්ධනය කිරීමකි.
08. විෂමතාවය තවදුරටත් වර්ධනය කරන ප්‍රතිසංස්කරණයක්.
මෙම ඊනියා ප්‍රතිසංස්කරණ සම්බන්ද වාද විවාද තිබියදීත්, ක්‍රියාත්මක කිරීමට නම් සියළු පාසල් තුළ අවම පහසුකම් හෝ වර්ධනය කළ යුතුයි. දැන් පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ පෙළපොතක්, වර්ෂ අවසාන පළාත් මට්ටමේ ඇගයීමක් සහ ජාතික මට්ටමේ ඇගයීම් ක්‍රියාවලියක් පවතී. ඒ හරහා පාසල් අතර පවතින විශාල විෂමතාවය යම් තරමකට මගහැරී පොදු මිනුම් දණ්ඩක් නිර්මාණය වේ. නමුත් මුළුමුනින්ම අන්තර්ජාල පහසුකම් අතවශ්‍ය සහ පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලියක් නව ප්‍රතිසංස්කරණ තුළ යෝජනා කරයි. එය යෝජනා කරන්නේ දුරකතන සංඥාවත් නොමැති පාසල් විශාල ප්‍රමාණයක් සහිත රටකටයි. දුරකතන සංඥා කෙසේ වෙතත් ජලය, විදුලිය නොමැති පාසල් අප රට තුළ විශාල ප්‍රමාණයක් ඇත. රටේ ප්‍රධාන නගරවල පාසල් තුළ පවා ස්මාට්බෝඩ් සහිත පංති කාමර නැත. එසේම රටේ විශාල ජනගහනයකට අන්තර්ජාල ප්‍රවේශයට අවශ්‍ය උපකරණ නැත. එවැනි තත්වයක මෙම ඊනියා ප්‍රතිසංස්කරණ හරහා විෂමතාවය වර්ධනය වීම අනිවාර්‍යකි.
09. කුඩා පාසල් වසාදැමීම
මෙම ප්‍රතිසංස්කරණ සමඟ සම්බන්ද වී ඇති තවත් ව්‍යාපෘතියක් වන්නේ පොකුරු පාසල් ව්‍යාපෘතියයි. මෙය 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් යෝජිත පොකුරු පාසල් වැඩසටහන නැවත යෝජනා කිරීමකි. මෙම ආණ්ඩුව යෝජනා කරන්නේ ළමයි 100ට අඩු පාසල් 3000ක් වසා දැමීමටයි. ආණ්ඩුවේ යෝජනාව පාසල් සංවර්ධනය කිරීම නොව පාසල් වසාදැමීමයි. අප හට එයට එකඟ විය නොහැක. හාස්‍යට කරුණ වන්නේ සමහර පාසල් වසා, සමහර පාසල් අලුතින් ආරම්භ කරන බව ආණ්ඩුව පැවසුවද, වසා දමන පාසල් ගැන මිස විවෘත කරන කිසිඳු පාසලක් ගැන හෝඩුවාවක්වත් නොමැති වීමයි.
10. ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉවත් කිරීම.
10/11 ශ්‍රේණි සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් වලට මොඩියුලයක් අනිවාර්‍ය වුවද එය සාමාන්‍ය පෙළ සඳහා අනිවාර්‍ය නොවේ. තවම සාමාන්‍ය පෙළ ඇගයීම් ක්‍රියාවලියද නිශ්චිත වී නැත. සාමාන්‍ය පෙළින් එම විෂයන් ඉවත් වුවහොත් ඒ සඳහා දෙවැනි කොට සැලකීමක් සිසුන් තුළ ඇතිවේ. රටක් සහ දියුණු පුරවැසියෙක් නිර්මාණය කිරීමේදී මෙම විෂයන් මග හැර යා නොහැකි බව අප විශ්වාසයයි. සෞන්දර්‍ය විශයන් වලින් ඈත් කරමින් රසවින්දනයක් සහිත මානුෂවාදී මිනිසෙක් නිර්මාණය කළ නොහැක. එසේම දියුණු පරිකල්පනයක් සහිත මිනිසෙකු නිර්මාණය කළ නොහැක. එම නිසා සාමාන්‍ය පෙළ විෂයන් අතරට සෞන්දර්‍ය සහ ඉතිහාසය ඇතුළත් නොකිරීම අපගේ තවත් විවේචනයකි.
B ) ප්‍රායෝගික සහ තාක්ෂණික ගැටලු සම්බන්ධ විවේචන
01. වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ළමුන් සඳහා නුසුදුසු වෙබ් අඩවියක් සඳහන් වීම තුළින් මතු වන්නේ මෙම මොඩියුල සකස් කිරීමේ වගකීම් විරහිත බවයි. ගැටලුව වන්නේ එම වෙබ් අඩවිය සඳහන් වීම පමණක් නොව තවත් මොඩියුල ගණනාවකම එවැනි ගැටලු ගණනාවක්ම මතුව තිබීමය. එසේම එහි වගකීම ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම්වරයා සූදානම් නොවු අතර ඔහු CID ආයතනයේ පැමිණිලි කරන ලදී. විහිලු සහගතම කරුණ වන්නේ එම මොඩියුල අවසාන වශයෙන් අනුමත කර ඇත්තේ ලේකම්වරයා වීමයි. ඒ අනුව තමන් අනුමත කළ මොඩියුල වල තමන්ටත් වගකීම ගත නොහැකි බව අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එලෙස රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කළ හැකිද? එපමණක් නොව මුද්‍රණ දෝෂ, ඩිසයින් වල පවතින දෝෂ ඇතුළු ගැටළු ගණනාවක් මෙම දඩිබිඩි ප්‍රතිපත්තිය නිසා මතුව ඇත.
02. නියමු ව්‍යාපෘතියක්වත් සිදු නොකිරීම.
ලොව ඕනෑම රටක සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය වෙනසක් සිදු කිරීමේදී යම් ක්‍රමවේදයක් සහ කාලයක් ගත යුතුයි. එම නිසා එය වසර 3 - 4 ක ක්‍රියාවලියකි. මහජන අදහස් සඳහා සහ මූලික ප්‍රතිපත්ති රාමුවක් මත වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීමට යම් කාලයකුත්, නියමු ව්‍යාපෘති සඳහා යම් කාලයකුත් අවශ්‍ය වේ. ඕනෑම ප්‍රතිසංස්කරණයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු හඳුනාගත හැකිවන්නේ නියමු ව්‍යාපෘති හරහායි. මේ ආණ්ඩුවෙන් කිසිදු නියමු ව්‍යාපෘතියක් සිදු නොකර කඩිමුඩියේ ක්‍රියාවට නැගීම මෙම අර්බුදය තවත් වර්ධනය කිරීමට හේතු විය.
03. මොඩියුල තුළ වැරදි විෂය කරුණු අඩංගු බවට ඇති විවේචනය.
ඉතිහාසය පිළිබඳ අර්ථදැක්වීම, විද්‍යාව මොඩියුල වල අඩංගු කරුණු මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තන ගැටලු රාශියක්ද හමුව ඇත. මේවා සුළු වැරදි ලෙස සළකා කිසිසේත්ම බැහැර කළ නොහැක. එම නිසා අඩංගු විෂය කරුණු සම්බන්ධව නැවත ප්‍රාමාණික දැනුමක් සහිත පිරිසක් සමඟ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
04. පාසල් දරුවන් දුරකථන හා සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන ප්‍රතිසංස්කරණයක්.
අන් සියළු ක්ෂේත්‍ර ඩිජිටල්කරණයට අවධානය යොමු කරද්දී, ලොව ප්‍රධාන සාකච්චාවක් වන්නේ අධ්‍යාපනය ඩිජිටල් හරණයකට යා යුතු බවයි. මේ වන විට ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් වයස 16ට අඩු දරුවන්‍ට සමාජ මාධ්‍ය තහනම් කර ඇත. එසේම ඇතැම් රටවල් දරුවන්ට ස්මාර්ට් වර්ගයේ දුරකතන තහනම් කර ඇත. දුරකතන භාවිතා කරන රටවලත් දැඩි පාලනයකට යටත් කර ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ දෙසට නැබුරු විම බරපතල කරුණකි. ජංගම දුරකතනය පාසල් දරුවන්ගේ අධ්‍යාපනික උපකරණයක් නොකළ යුතුය. ආණ්ඩුව කරගසාගෙන යමින් ඇත්තේ මීට වසර හත අතකට පෙර තිබුණු යල් පැනගිය අදහසකි.
05. අන්තර්ජාල සබැඳි වල වගකීම ගන්නෙ කව්ද? හිතුමනාපෙට පුද්ගලික වෙබ් අඩවි නිර්දේශ කළ හැකිද?
සෑම මොඩියුලයකම පාහේ වෙබ් QR code ස්කෑන් කරමින් වෙබ් අඩවි වලට ප්‍රවේශ වී අධ්‍යනයය කරන ලෙස දක්වා ඇත. නමුත් ඉන් මතුවන ගැටළු දෙකකි. එක් කාරණාවක් නම්, එම වෙබ් අඩවි බොහෝ ඒවා පුද්ගලික ඒවා වන අතර අමාත්‍යාංශයට ඒවායේ වගකීමක් ගත නොහැකි වීමයි. දෙවැන්න මොඩියුල සකස් කරන අයට පුද්ගලික වෙබ් අඩවි පොතට ඇතුළත් කරමින් අත යට ගණදෙනු කිරීමට අවස්ථාවක් නිර්මාණය වීමයි. එම නිසා ලොව එවැනි දෑ සිදුකරන රටවල් විසින් සිදුකරන රටවල ප්‍රතිපත්තිය වන්නේ එම වෙබ් අඩවි අමාත්‍යාංශ යටතේ පාලනය කිරීමයි. ඒවා යම් නියාමනයකට යටත් වී ඇත. වත්මන් ප්‍රතිසංස්කරණවල යෝජනා කර ඇති පරිදි කිසිම රටක එවැනි කටයුතු සිදු නොකරයි.
06. උසස් පෙල සහ සාමාන්‍ය පෙළ යන ජාතික විභාගපවත්වන ආකාරය සහ එහි ඇගයීම් නිශ්චිත නොවීම.
කඩිමුඩිය සහ අවිධිමත් බව කෙතරම්ද යත්, උසස්පෙළ විභාගය සම්බන්ධව කිසිම නිශ්චිත සැළසුමක් තවමත් ඉදිරිපත් කර නැත. සාමාන්‍ය පෙළ විභාගයද විෂයන් 07 කට පවත්වන බව ප්‍රකාශ කර තිබුනද එහි ඇගයිම් ක්‍රියාවලියද නිශ්චිත නැත. විශාල විෂමතාවයක් සහිත සමාජයක සහ පාසල් පද්ධතියක සම අවස්ථාවන් සඳහා ජාතික මට්ටමේ විභාග ඉවහල් විය. එම විභාග සඳහා විශ්වාසනීයත්වයක් සමාජය තුළ ගොඩනගා ඇත. එසේම සමාන මිනුම් දණ්ඩක් ගොඩනගා ඇත. ඒවා වෙනස් කරන්නේ නම් මීට වඩා ඇතිවිය හැකි ගැටළු ගැන බරපතල සංවාදයක් ඇතිකළ යුතුය.
07. පාසල් පාදක ඇගයීම් හරහා මතුවන අර්බුදය
පාසල් පාදක ඇගයීම් ලොව පිළිගත් ඇගයීම් ක්‍රමවේදයකි. නමුත් ලොව ඕනෑම හොද දෙයක්, ඕනෑම රටකට ගැළපෙන බවට තර්කයක් ඉන් නොකියවේ. පාසල් පාදක ඇගයීම්ද එවැන්නකි. පවතින සමාජයන් මත, ආර්ථික කරුණු මත, සස්කෘතික කරුණු මත රඳා පවති. ලංකාවේ පාසල් පාදක ඇගයීම් ක්‍රමයකට යන්නේ නම් බරපතල ගැටළු මතු විය හැක. එනම් විශාල බෙදීම් සහිත පසුගාමී සමාජයක් වන අප රටේ පාසල් පාදක ඇගයීම් වල විශාල විෂමතාවයක් නිර්මාණය වීම නොවැළක්විය හැකි වනු ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගිරාඳුරුකෝට්ටේ පාසලේ පාසල් පාදක ඇගයීම් වල ප්‍රමිතිය කෙසේ වනු ඇතිදැයි අප නිරීක්ෂණය කළ යුතුය. එම නිසා ආණ්ඩුව පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලියක් යෝජනා කරන්නේ නම්, ඊට පෙර එමගින් ඇතිවිය හැකි ගැටළු ගැන පුළුල් සංවාදයක් සිදුකළ යුතුය. නමුත් එවැනි විධිමත් ක්‍රමවේදයක් නොමැතිව හදිසියේ පාසල් පාදක ඇගයීම් ක්‍රියාත්මක කළ නොහැක.
08. පෙළපොත කප්පාදු කිරීම
මොඩියුලය මුද්‍රණය කර ලබාදෙන නිසා පෙළපොතක් අවශ්‍ය නොවන බව යමෙක් ප්‍රකාශ කළ හැක. නමුත් පෙළපොත සහ මොඩියුලය යනු දෙකකි. මොඩියුලය සකස් වී ඇත්තේ වැඩපොතක ආකෘතියටයි. නමුත් පෙළපොතක අවශ්‍ය පූර්ණ විෂය කරුණු අඩංගු වේ. අමතර දේවල් සිසුන් මුද්‍රණය කරගත යුතු නැත. මේ වන විට පළමු වසරට ලබා දී ඇති මොඩියුල වල QR code 40 කට වඩා ඇති අතර ඒවා දරුවන් ප්‍රින්ට් කරගත යුතුය. එය දෙමාපියන් මත පෙළපොතේ බර වෙනත් ආකාරයකින් පැටවීමකි. එසේම පෙළපොත හරහා අධ්‍යාපනයේ විෂමතාවය අඩු කරයි. සියලු සිසුන්ගේ අතට එකම පෙළ පොතක් ලැබීම තුළ විෂයන්හි අඩංගුවට ප්‍රවේශ වීමට සමාන අවස්ථාවක් ලැබේ. පෙළපොත අහෝසි කිරීම තුළ එම අවස්ථාව අහිමි වේ. එපමණක් නොව මොඩියුල් ක්‍රමවේදය අසාර්ථක වූ ඩෙන්මර්කය, ෆින්ලන්තය, ස්වීඩනය වැනි රටවල් නැවත පෙළපොත් ක්‍රමවේදයට යාමට තීරණය කර ඇති බවද ප්‍රකාශ කල යුතුයි.
09. විශාල ගුරු හිඟයක් තුළ මොඩියුල ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අප්‍රායෝගික බව.
මෙරට ගුරු හිඟය තිස් දහසකට වඩා වැඩි බව ගුරු සංගම් විසින් පසුගිය දා ප්‍රකාශ කරන ලදී. මොඩියුල ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ගුරුවරුන් සංඛ්‍යාවක් පාසලකට අවශ්‍ය වන අතර විෂයමාලා ප්‍රතිසංස්කරණයට පෙර එය සිදුකළ යුතුය. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ අඩංගු මූලික කුළුණු පහෙන් එකක් මානව සම්පත් සංවර්ධනයයි. එය සිදු නොකර මොඩියුල ක්‍රියාත්මක කිරීමට යාම අප්‍රායෝගික වේ.
10. ටියුෂන් සඳහා මෙය උත්තරයක් නොවේ!
ආණ්ඩුවේ ප්‍රධාන තර්කයක් වූයේ ටියුෂන් වලට මෙම ප්‍රතිසංස්කරණ හරහා පිළිතුරක් ලබා දෙන බවයි. ටියුෂන් මාෆියාව අද පවතින්නේ එවැනි මට්ටමක නොවන බව පෙනී යන්නේ මොඩියුල සඳහා ටියුෂන් ආරම්භ කර ඇති බව පෙනී යාමෙනි. එම නිසා මොඩියුල ක්‍රමවේදය හරහා ටියුෂන් වල ආකෘතිය වෙනස් ආකාරයකට පරිවර්තනය වීමක් පමණක් සිදුවන බව නම් හොඳින්ම පැහැදිලි වේ.
C) අප පිළිනොගන්නා පටු දේශපාලන අරමුණු මත පදනම් වී ඇති, ආගමික හා ජාතිවාදීන්ගේ විවේචයන්
01. මෙම ප්‍රතිසස්කරණ හරහා සමලිංගිකත්වය ජනප්‍රිය කිරීමට NPP ආණ්ඩුව සැලසුම් කරන බවට ගෙනයන ප්‍රචාරය.
02. ආණ්ඩුව සිංහල ජාතිකත්ව හැඟීම අධ්‍යාපනය තුළින් ඉවත් කිරීමට සැලසුම් කරන බවට ගෙන යන ප්‍රචාරය.
03. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නැති කරන බව කියමින් ජාතිවාදය ඇවිස්සීමට දරණ උත්සාහය.
මෙවා පිළිගත නොහැකි, ව්‍යාජ විවේචනයි. සිංහල බෞද්ධ ජාතිවාදීන්ට සටන්පාඨ නොමැති නිසා වෙබ් සබැඳියක් දඩමීමා කරගනිමින් සටන්පාඨ සාදා ඇත. මේ හරහා ප්‍රතිසංස්කරණවල ඇත්ත ප්‍රශ්නය යටපත් කරයි. සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම් හරහා පටු දේශපලන අරමුණුවලට අර අඳිනු පෙනේ. ආණ්ඩුවටද එම සටන්පාට වලට පිළිතුරු දීම පහසුයි. එක් ආකාරයකට එය ආණ්ඩුවට ව්‍යංගව සේවය කරයි. මන්ද ප්‍රතිසංස්කරණවල ඇත්ත ප්‍රශ්නය යටපත් කරන බැවිනි.
D) අපගේ යෝජනාව
ආණ්ඩුව මෙම කඩිමුඩියේ ගෙන ආ ඊනියා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය මුළුමනින්ම හකුළා ගත යුතුයි. පළමු වසරට ක්‍රියාත්මක කිරීම බරපතළ ගැටලුවකි.
එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව රටම පිළිගන්නා නිසා ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අධ්‍යාපනික ප්‍රවේශයක් ගත යුතුයි.
පළමුවෙන්ම ආණ්ඩුව සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළයුතු අතර එය මත පදනම්ව මහජන අදහස් යෝජනා ලබා ගැනීමට අවස්ථාව ගත යුතුයි. ඒ මත පදනම්ව ප්‍රතිපත්ති රාමුවක් සකස් කර නියමු ව්‍යාපෘති ආරම්භ කළ යුතුය. ප්‍රතිපත්ති රාමුව සඳහා අපගේ යෝජනා ලබා දීමට අප සූදානම් බවද ප්‍රකාශ කරමු.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය