30/11/2023
*මොකක්ද මේ අලුතින් එන ධීවර පනත .*
ධීවර ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවයන් මේ පිළිබඳ දැනුවත් වීම අත්‍යාවශ්‍ය වන අතර මේ ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශයකි. ඉවත් කිරීමට අපේක්ෂිත පනතට අමතරව දැනට බලාත්මක වෙනත් පනතක කරුණුද නව කෙටුම්පතේහි අඩංගු වීම මෙහි නිරීක්ෂණය වේ.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර ඒ වෙනුවට ස්ථාපනය කරන්නාවූ පනතක් ලෙස මෙම ලියවිල්ල ආරම්භ වේ. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අදාළ වන්නේ දේශීය ධීවර බෝට්ටු සම්බන්ධයෙනි. විදේශීය ධීවර බෝට්ටු සම්බන්ධව දැනට පවතින නිතිය වන්නේ 1979 අංක 59 දරන විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනත වේ.
මෙම කෙටුම්පතෙහි 02 වන වගන්තියෙහි (ආ) සහ 40 වන වගන්තිය අනුව මෙම නව පනත තුල 1979 අංක 59 දරන විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනතේ සදහන් ප්‍රතිපාදන වලට සර්වසම ප්‍රතිපාදන ඇතුලත් වේ. එවිට විදේශීය ධීවර බෝට්ටු සම්බන්ධයෙන් සත්‍ය වශයෙන් බලාත්මක වන නීතිය වන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ගැටළුවක් ඇති වේ.
මෙම නව කෙටුම්පත හරහා 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත පමණක් නොව 1979 අංක 59 දරන විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනතද අවලංගු කිරීමක් සිදු වන්නේද යන්න පිළිබඳව සදහනක් නොමැති අතර ඉවත් කිරීමට අපේක්ෂිත ධීවර පනතට අමතරව දැනට බලාත්මක වෙනත් පනතක කරුණුද නව කෙටුම්පතේහි අඩංගු වීම නිරීක්ෂණය වේ.
මෙම කෙටුම්පත ධීවර පනත පමණක් නොව වෙනත් අණ පනත් සමග පවා ගැටෙන ලෙස සකසන ලද්දකි.
*තාක්ෂණික නිරීක්ෂණ*
මෙම කෙටුම්පත දැනට පවතින ධීවර හා ජලජ සම්පත් පනතට වඩා හොද වන්නේ කුමනාකාරයෙන්ද දැනට නැති, නව පනතෙහි අලුතෙන් හදුන්වා දී ඇති ප්‍රතිපාදන ක්‍රමවේද මොනවාද යන්න සොයා බැලීමේදී පෙනී යන්නේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය අරමුණු කර ගත් කිසිදු ප්‍රතිපාදනයක් අලුතින් එක් කර නොමැති බවයි. ඒ වෙනුවට ක්ෂේත්‍රය සංවර්ධනය වීම සීමා කිරීම සිදු කෙරෙන /අයහපත් ලෙස බලපාන විවිධ ප්‍රතිපාදන මෙහි අඩංගු කර ඇත.
මසුන් ඇල්ලීම සීමා කෙරෙන කෝටා ක්‍රමය
දේශීයව ධීවර යාත්‍රා නිපදවීම වෙනුවට ධීවර යාත්‍රා ආනයනයට ප්‍රතිපාදන සැලසීම
කලාපිය ධීවර කළමනාකරණ ගිවිසුම් මගින් නියාමනය සදහා බැදීමක් නොමැති ඇල්ලීමට කිසිදු සීමා පැනවීම් හෝ කොන්දේසි කිසිවක් නොමැති මත්ස්‍ය විශේෂයක් වුවද ඇල්ලීම සීමා කිරීම.
ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන ප්‍රධාන ආම්පන්නයක් වන සහ වැඩිම මත්ස්‍ය අස්වැන්නක් මෙරටට ගෙන එන කරමල් දැල් භාවිතය සීමා කිරීම.
විදේශීය පාර්ශව වලට ශ්‍රී ලංකා ජලතිරයේ පර්යේෂණ කිරීමට ලබා දෙන අවකාශ පුළුල් කිරීම මගින් ඉදිරියේ මසුන් ඇල්ලීමේ හිමිකම් විදේශ පාර්ශව වලට ලබා දීමට සිදු වීම.
*ඉහත කරුණු විස්තරාත්මකව දැක්වීම පහත පරිදි වේ.*
*i )* මසුන් ඇල්ලීම සීමා කෙරෙන කෝටා ක්‍රමය 78 වන වගන්තිය
මෙම වගන්තිය අනුව ධීවරයන්ට මසුන් ඇල්ලීමට හැක්කේ ඔහු වෙත වසරින් වසර පනවන සීමාවක් හෙවත් කෝටාවක ප්‍රමාණය දක්වා පමණි.
කෝටා සංකල්පය ලෝකයේ ධීවර කළමනාකරණ ක්ෂේත්‍රයේ භාවිතා කරන ක්‍රමවේදයක් වේ. නමුත් එය සාර්ථකව භාවිතා කෙරෙන්නේ සාමාන්‍යයෙන් එක් මත්ස්‍ය විශේෂයක් හෝ ඉතා සීමිත විශේෂ ගණනක් පමණක් කලමනාකරනයේදීය.නමුත් ලංකාවේ ධීවර කර්මාන්තය ගැන දන්නා ඕනෑම කෙනෙකු දන්නා කාරණය වන්නේ සමකාසන්න රටක් වශයෙන් ශ්‍රී ලංකා ජලතිරය සහ ඉන්දියානු සාගරය මත්ස්‍ය විශේෂ ඉතා විශාල සංක්‍යාවක් සහිත මසුන් අල්ලා ගැනීමේ ක්‍රම ගණනාවක් මිශ්‍ර ක්‍රමයකට භාවිතා වන සෘතු වෙනස් වීම් පුරෝකථනය ඉතා අපහසු රටාවක පවතින බවයි. එවන් පද්ධතියකට කෝටා ක්‍රමයක් යෙදවීම අතිශය සංකීර්ණ ප්‍රායෝගික නොවන අදහසකි.එමගින් ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි පිරිවැයක් එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම වෙනුවෙන් යෙදවීමට සිදු වේ.
කෝටා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ නම් යම් ධීවර කොටසකට දැනට තමන් අල්ලන මසුන් ප්‍රමාණය අඩු කිරීමට සිදුවන අතර තවත් කොටසකට දැනට අල්ලන ප්‍රමාණයට වඩා වැඩි මසුන් ප්‍රමාණයක් ඇල්ලීමට අවසර ලැබේ. වැඩි ප්‍රමාණයක් ඇල්ලීමට අවසර හිමි වුවත් ඒ සදහා ඔහුට හැකියාව නොමැති නම් අවසානයේ සිදු වන්නේ සමස්තයක් වශයෙන් ධීවර අස්වැන්න අඩු වීමට බලපෑමයි. නිසි අධ්‍යනයකින් තොරව මෙවන් ක්‍රමවේද ක්ෂේත්‍රයට බලෙන් පැටවීමට යාමෙන් සිදු වන්නේ වර්තමාන ආර්ථික තත්වය තුල ඉතා තීරණාත්මක තුලනයක පවතින මත්ස්‍ය අස්වැන්න බිද වැටීමයි.
ඉන්දියානු සාගර කලාපයේ වත් තවමත් කෝටා ක්‍රමයක් ආරම්භ කර වත් නොමැත.
එබැවින් මෙම යෝජිත කෝටා ක්‍රමය ලංකාවට අවශ්‍යව ඇත්තේ ඇයි සහ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට මෙම ක්‍රමයෙන් ලැබේ යයි අපේක්ෂා කරන ආර්ථික ප්‍රතිලාභය කුමක්ද එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ධීවර අමාත්යංශය සතු විය යුතු වේ.
*ii)* දේශීයව ධීවර යාත්‍රා නිපදවීම වෙනුවට ධීවර යාත්‍රා ආනයනයට ප්‍රතිපාදන සැලසීම 16 වන වගන්තිය
දැනට පවතින ධීවර නිතිය තුල ධීවර යාත්‍රා නිෂ්පාදනය සදහා වන ප්‍රතිපාදන පුළුල්ව දක්වා ඇත.නිෂ්පාදන වල තත්වය නිත්‍යානුකුල භාවය ආරක්ෂාව නියාමනය කිරීමට වර්තමාන ධීවර පනතෙන් ඉඩ සලසා ඇත.
ධීවර යාත්‍රා නිෂ්පාදනය ධීවර කර්මාන්තය තුල ඇති ඉතා වැදගත් තාක්ෂණික අංගයක් සහ දේශීය ව්‍යවසායක් වේ. ධීවර ක්ෂේත්‍රය තුල ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් දැනටත් පැවතීමත් යාත්‍රා නිෂ්පාදනය යම් සීමා කිරීම් වලට ලක් කර තිබීමත් නිෂ්පාදන අමුද්‍රව්‍ය ශ්‍රම පිරිවැය වැඩි වීම හේතුවෙන් මෙම ව්‍යවසාය දැනටත් පිරිහෙමින් පවතී. එවන් තත්වයකදී එය නගා සිටුවීමට කටයුතු කරනු වෙනුවට ආනයනය කරන ධීවර යාත්‍රා ලියාපදිංචිය සදහා නීති ප්‍රතිපාදන මෙම කෙටුම්පතට ඇතුලත් කර ඇත. ප්‍රතිපාදන පමණක් නොව අදාළ ක්‍රියාවලියද ඉතා වුවමනාවෙන් විස්තරාත්මකව දක්වා ඇත. එමගින් පිරිහෙමින් පවතින දේශීයව ධීවර යාත්‍රා නිෂ්පාදන ව්‍යවසාය තව තවත් දුර්වල වීමට පසුබිම සැකසෙන අතර ධීවර යාත්‍රා ආනයනය පහසුකම් සලසමින් දිරිමත් කෙරෙන බව පෙනී යයි..
*iii)* කලාපිය ධීවර කළමනාකරණ ගිවිසුම් මගින් නියාමනය සදහා බැදීමක් නොමැති ඇල්ලීමට කිසිදු සීමා පැනවීම් හෝ කොන්දේසි කිසිවක් නොමැති මත්ස්‍ය විශේෂයක් වුවද ඇල්ලීම සීමා කිරීම. 65 වන වගන්තිය
මෙය කිසිදු තාර්කික පදනමක් නොමැතිව ස්වයංව සීමා පනවා ගැනීමකි.
කලාපිය ධීවර කළමනාකරණ සංවිධානයක් විසින් නියාමනය කරනු නොලබන මසුන් ඇල්ලීමේ මෙහෙයුම් මහ මුහුදෙහි සිදු කිරීමට අවසර දෙන්නේ ගවේෂණ හෝ විද්‍යාත්මක දත්ත එකතු කිරීමට පමණක් බව මින් කියවේ. “කලාපිය ධීවර කළමනාකරණ සංවිධානයක් විසින් නියාමනය කරනු නොලබන මසුන් යනු” නෙලා ගැනීම සම්බන්ධයෙන් කිසිදු එකගතා කොන්දේසි හෝ සීමා පැනවීමක් නොමැති, ඕනෑම රටකට තමාගේම කළමනාකරණ ක්‍රමවේද යටතේ නිදහසේ නෙලා ගත හැකි මත්ස්‍ය විශේෂ වේ. බහුල වශයෙන් පවතින තරගකාරී ඉල්ලුමක් නොමැති මසුන් හෝ ජලජ සම්පත් මෙම ගණයට අයත් වේ. මේ සම්පත ධීවරයන්ට නෙලා ගැනීමට ඉඩ නොදී එම මසුන් ඇල්ලීමට අවසර ලබා දෙන්නේ ගවේෂණ හෝ විද්‍යාත්මක දත්ත එකතු කිරීමට පමණක් යයි නීතියෙන් සීමා කිරීම අතිශය හානිදායක සීමාවකි.
උදාහරණයකට ගත හොත් ,
ටුනා සහ ටුනා වැනි මසුන් විශේෂ 18ක් පමණක් දැනට ශ්‍රී ලංකාවට අදාළ කලාපිය ධීවර කළමනාකරණ සංවිධානය වන ඉන්දියානු සාගර ටුනා කොමිසම මගින් නියාමනය කෙරේ.
එම මසුන් ඇල්ලීම සම්බන්ධව විවිධ එකගතා හා කොන්දේසි පවතී. නමුත් පරවා මත්ස්‍යා මෙම සංවිධානය මගින් නියාමනය නොකෙරෙන විශේෂයකි.
මෙම නව කෙටුම්පතේ 65 වන වගන්තිය අනුව ශ්‍රී ලාංකික ධීවරයන් විසින් මහ මුහුදේ පරවා ඇල්ලීම සිදු කල යුතුවන්නේ ගවේශනාත්මක හෝ විද්‍යාත්මක දත්ත එකතු කිරීමට පමණකි. වානිජමය ලෙස මෙවන් මසුන් ඇල්ලීම තහනම් කෙරේ.මෙය සම්පුර්ණයෙන්ම වැරදි සහ අනවශ්‍ය සීමා පැනවිමකි.
*iv)* ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන ප්‍රධාන ආම්පන්නයක් වන සහ වැඩිම මත්ස්‍ය අස්වැන්නක් මෙරටට ගෙන එන කරමල් දැල් භාවිතය සීමා කිරීම. 83 (1) වගන්තිය
සංඛ්‍යා ලේඛන අනුව බලන කල මෙරට මත්ස්‍ය අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ කරමල් දැල යන ධීවර ආම්පන්නයෙනි. ධීවරයෙකුට නිත්‍යානුකුලව භාවිතා කල හැකි වන්නේ කි.මි. 2.5ක් ප්‍රමාණයේ කුඩා දැල් කැබැල්ලක් පමණක් බව මෙම පනතේ දැක්වීම අතිශය කනගාටුදායක තත්වයකි. මෙම නිතිය ක්‍රියාත්මක වුවහොත් රටේ මත්ස්‍ය අස්වැන්නේ සැලකිය යුතු අඩු වීමක් අපේක්ෂා කිරීමට සිදුවේ.
කරමල් දැල් සම්බන්ධව මෙම ඉහත සීමාව පැනවීමේ පසුබිම වන්නේ කලාපිය ධීවර කළමනාකරණ සංවිධාන ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාව ඉතා අදුරදර්ශී ලෙස එකගව ඇති හානිකර තත්වයකි.මෙවන් කරුණු සම්බන්ධව ගිවිසුම්ගත වීමේදී සාමාජික රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවේ එකගතා චන්දය පාවිච්චි කරමින් එම සංවිධාන වල රැස්වීම් වලට සහභාගී වන නිලධාරින් විසින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට එහි හානිකර බලපෑම හේතු සාධනය කර එවන් හානිකර ගිවිසුම් වලට එකගතාව පල නොකිරීම සිදු කල යුතුව තිබුණි. නමුත් සිදු වී ඇත්තේ එවන් සීමා වලින් විය හැකි අගතිය ගැන විචක්ෂණශීලී නොවී අනවබෝධයෙන් එකගතා වලට පිවිසීම හේතුවෙන් මුළු රටේම ධීවර කර්මාන්තයට අහිතකර පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට සිදු වන තැනට කටයුතු සැලසී තිබීමයි.
කලාපිය ධීවර සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී මේ රටේ සහ එහි ධීවර කර්මාන්තයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් නොමැති වීමත් හානිකර එකගතා වලට යොමු නොවී සිටීමට ඇති අයිතිය සහ වගකීම පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතිබව සිතා ගත හැකි වුවත් ඉන් ධීවර ක්ෂේත්‍රයට වන හානිය සුළුපටු නොවේ.ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අන්තර්ජාතික රැස්වීම් වලට ගොස් ධීවරයාට හානිදායක එකගතා ලංකාවට පැමිණවීමට ක්‍රියා කරන ලද නිලධාරින් පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතුය.
*v)* විදේශීය පාර්ශව වලට ශ්‍රී ලංකා ජලතිරයේ පර්යේෂණ කිරීමට ලබා දෙන අවකාශ පුළුල් කිරීම මගින් ඉදිරියේ මසුන් ඇල්ලීමේ හිමිකම් විදේශ පාර්ශව වලට ලබා දීමට සිදු වීම. 93 වගන්තිය
බැලූ බැල්මට ශ්‍රීලංකා ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ කිරීම හොද දෙයක් බව පෙනුනත් විදේශීය පාර්ශව විසින් එම කටයුත්ත කිරීමෙන් ඇති විය හැකි තත්වය බරපතල වේ. 93 (4) වගන්තිය අනුව විදේශීය පාර්ශව වල එවන් යෝජනා ප්‍රතික්ෂේප කිරීමකදී සාධාරණ හේතු දැක්වීමට පවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බැදී සිටින පරිදි ප්‍රබල ප්‍රතිපාදන මෙහි සලසයි.විදේශ පාර්ශව වලට ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කිරීමට බලවත් අයිතිවාසිකම් ලැබෙන බවක් හැගවෙන පරිදි මෙය සකසා ඇත.
ඉන්දියානු සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත් රටවල් අතර කෝටා ක්‍රමයකට බෙදීම පිළිබඳව එකගතාවක් ඇති කර ගැනීම සදහා දැනට සාකච්චා සිදුවෙමින් පවතී. එහි එක් යෝජනාවක් නම් යම් රටකට ලබා දී ඇති කෝටාව එම රට නෙලා ගන්නේ නොමැති නම් එය නෙලා ගැනීමට හැකි වෙනත් පාර්ශවයකට ලබා දිය යුතු බවයි.
විදේශීය පාර්ශවයක් විසින් යම් හෙයකින් ශ්‍රී ලංකා ජල තීරයේ යම් සම්පතක් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් එය ශ්‍රී ලංකාව විසින් උපරිම පරිදි නෙලා නොගන්නා බවට සොයා ගැනීමක් කල හොත් ඉදිරියේදී කලාපියව ගනු ලබන තීරණ අනුව ශ්‍රී ලංකා ජල තිරය විදේශීය ධීවර යාත්‍රා වලින් මසුන් ඇල්ලීමට විවෘත කිරීමට සිදු වන තත්වයක් උදා විය හැක. මෙම පනත එවන් දැක්මක් යටතේ ක්‍රියාත්මක විදේශීය බලවේගයක් විසින් ධීවර අමාත්යංශය අතකොළුවක් වශයෙන් භාවිත කරමින් සිදු කරන්නක්දයි යන සැකය මතු වේ.එය වඩ වඩාත් තීව්ර වන්නේ මෙම පනත කෙටුම්පත් කිරීම බාහිර විදේශ සංවිධානයක් විසින් වියදම් දරමින් විදේශ නියෝජිතයන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වීමත් ඒ සදහා අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකුට සුඛෝපභෝගී හෝටල් වල නවාතැන් සහ වෙනත් පහසුකම් ලබා දෙමින් මෙම කටයුත්ත සිදු වීමයි. ලංකාවේ වෙනත් කිසිදු නීතියක් සැකසීම රටේ අවශ්‍යතාව අනුව මිස එසේ විදේශ බලපෑම අනුව විදේශ නියෝජිතයන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වන්නේ නොමැත.
*87 (4) වගන්තිය*
මෙම වගන්තිය අනුව අතහැර දමන ලද දැල් මුහුදෙන් ගොඩ ගන්නා කණ්ඩායම් වලට “ත්‍යාගයක්” ප්‍රදානය කල හැක ලෙස දක්වා ඇත. මෙවන් ක්‍රියාමාර්ග ව්‍යාපෘති හරහා සිදු කල යුතු කාරනා වන අතර
එවන් කරුණු සදහා ත්‍යාග ප්‍රදානය කිරීම පනතෙහි දැක්වීම යෝග්‍ය නොවේ. අතහැර දමන ලද දැල් මුහුදෙන් ගොඩ ගැනීමට අමතරව දිරි ගැන්වීම් සිදු කල යුතු තවත් වෙනත් යහපත් ක්‍රියාවන් ඇත. දැල් වලට හසු වන ආරක්‍ෂිත සතුන් මුදා හැරීම, කලපු වල කඩොලාන සිටුවීම පිරිසිදු කිරීම, අනතුරට පත් පිරිස් මුදවා ගැනීම, දත්ත සහ තොරතුරු සැපයීම, අධ්‍යනයන් සිදු කිරීම වැනි ක්‍රියා අගය කලයුතු ක්‍රියාවන්ය. එම ක්‍රියා අතුරින් දැල් මුහුදෙන් ගොඩ ගැනීම පමණක් පනත අනුව ත්‍යාග හිමි වන ක්‍රියාවක් ලෙස දැක්වීම යෝග්‍ය නොවේ. එය ඉතා අපරිණත අන්දමේ ලේඛනයක් බවට පත්වේ.
පොදුවේ එවන් දිරි ගැන්වීමේ කටයුතු සදහා අරමුදලක් පිහිටුවීම, අගය කිරීමක් සිදු කල යුතු නිර්ණායක හා ක්‍රමවේදය ස්ථාපිත කිරීම සුදුසු වේ.
*58 වන වගන්තිය*
ධීවර යාත්‍රා මුහුදේ මෙහෙයුම් කරන අතර තුරදී එම ධීවර කටයුතු නිරීක්ෂණය කර දත්ත වාර්තා කිරීමට ධීවරයෙකු නොවන නිරීක්ෂකයෙකු/ නිලධාරියෙකු පිටත් කර හැරීමේ ක්‍රමවේදය මෙහි දැක්වේ. දැනට ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා වල පවතින ඉඩ පහසුකම් අනුව මෙම කාර්යය ඉතා අසීරු කටයුත්තක් වුවත් ප්‍රායෝගික තත්වය ගැන තැකීමකින් තොරව කලාපිය වශයෙන් ගිවිසුම් ගතව ඇති එකගතා (Indian Ocean Tuna Commission Resolution) නිසා මෙය ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත. එම ගිවිසුම් අනුව සියලු යාත්‍රා වල නිරීක්ෂකයෙකු යැවීමට අවශ්‍ය නොවේ.
58 වන වගන්තියේ හෝ මෙම කෙටුම්පතේ කිසිම තැනක යම් යාත්‍රාවකට නිරීක්ෂකයෙකු යෙදවිය යුතු බව තීරණය කරන්නේ කෙසේද යන්න දක්වා නොමැත. සියලු වගන්ති ආරම්භ වන්නේ “නිරීක්ෂකයෙකු යොදවා ඇති යම් යාත්‍රාවක්’ ආදී වශයෙනි. නිරීක්ෂකයා යොදවන්නේ කවර නිර්ණායක මතද යන්න මෙහි ප්‍රධාන කරුණ වුවත් එය සම්බන්ධ කිසිදු සදහනක් නොමැත.
*113 වන වගන්තිය*
මින් අදහස් වන්නේ මුහුදේදී එක් යාත්‍රාවකින් වෙනත් යාත්‍රාවකට මසුන් පැටවීම තහනම් බවයි. (මෙම වාක්‍යයේ ප්‍රතිනැව්ගත කිරීම වෙනුවට “මසුන් ප්‍රතිනැව්ගත කිරීම” ලෙස වෙනස් කල යුතු වේ.)
එක් යාත්‍රාවකින් වෙනත් යාත්‍රාවකට මසුන් පැටවීම තහනම් යන නිතිය මෙරටට ගෙන ඒමේ පසුබිම වන්නේ ඉන්දියානු සාගර ටුනා කොමිසම තුල වූ එකගතා ගිවිසුමකි. නමුත් එම ගිවිසුම අදාළ වන්නේ ටුනා සහ ටුනා වැනි මත්ස්‍ය විශේෂ සම්බන්ධයෙන් පමණි. නමුත් මෙරට නිතිය තුල සියලුම මසුන් වර්ග සම්බන්ධව මෙය පනවාගෙන ඇත.
මෙම සීමාව මගින් අවහිර කොට ඇති සංවර්ධන අවස්තාව කුමක්දැයි යත්,
ධීවර යාත්‍රා වැඩිම ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්නේ මත්ස්‍ය බිම් වලට යාමට සහ ඒමටයි. නමුත් යාත්‍රා කණ්ඩායමක් මත්ස්‍ය බිම් වල වැඩි කලක් රැදී සිට මසුන් ඇල්ලීම සිදු කරන අතර ගබඩා පහසුකම් ඇති එක් මව් යාත්‍රාවකින් මසුන් අල්ලන යාත්‍රා කණ්ඩායමේම අස්වැන්න එකතු කරගෙන එක විට ගොඩබිමට ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් පවතී නම් එක් එක් යාත්‍රා වලට වැඩි ඉන්ධන පිරිවැයක් හා කාලයක් වැය කරමින් අස්වැන්න රැගෙන නිතර නිතර ගොඩබිමට පැමිණීමට සිදු වීම සීමා වී අඩු වියදමකින් වැඩි නැවුම් මසුන් අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම මොඩලය වෙනත් රටවල් වල ක්‍රියාත්මක වේ. නමුත් යාත්‍රාවකින් තවත් යාත්‍රාවකට මසුන් පැටවීම තහනම් නම් මෙය සිදු කල නොහැක. නව ව්‍යාපෘති/ ව්‍යවසාය අවස්ථා ක්‍රියාත්මක කර ධීවර මෙහෙයුම් වල ආර්ථික ඵලදායිත්වය නැංවීමට අනාගතයේ දී වත් ඉඩක් නොමැති වන ආකාරයට මෙම සීමා පනතට ඇතුලත් කර ඇති බව පෙනී යයි.
IOTC අන්තර්ජාතික එකගතා වලින් ශ්‍රී ලංකාවට කරමල් දැල් තහනම පැනවීමේදී මෙන්ම මසුන් ප්‍රති නැව්ගත කිරීම පිලිබඳ තහනම පැනවීමේදී ද එම සමුළු වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රැදී සිට මුනිවත රකිමින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට හා එහි අනාගතයට හානිකර නීති රීති මෙරටට රැගෙන ඒමට ඉඩ සලසන ලද එම සමුළු නියෝජනය කරන ලද දේශද්‍රෝහී නිලධාරින් පිළිබඳවත් අන්තර්ජාතික එකගතා හරහා මෙරට ධීවර කර්මාන්තය අඩපන කිරීමට තුඩු දෙන පරිදි ඔවුන් විසින් සිදු කර ඇති බලපෑම විශේෂයෙන් විමර්ශනය කිරීමට පියවර ගැනීම සිදු කල යුතුය.
කලාපයේ ධීවර කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගන්නා ඉන්දියානු සාගර ටුනා කොමිසමේ ප්‍රධාන රැස්වීම නියෝජනය කිරීමට විදේශගත වන නිලධාරීන්ට එය හුදෙක් විනෝද සවාරියක් සහ යම් මුදලක් උපයා ගැනීමේ අවස්තාවක් වුවත් ඔවුන්ගේ අදක්ෂ සහ නොසැලකිලිමත් ක්‍රියා කලාපයෙන් මේ රටේ ධීවර ක්ෂේත්‍රයට ආපසු හැරවිය නොහැකි දිර්ඝකාලින අවාසිදායක ඉරණමකට මුහුණ දීමට සිදුව තිබේ. මෙම නිලධාරින් නොබෝ කලකින් විශ්‍රාම ගෙන සුව පහසුව ජිවත් වීමට හැකි වුවත් අසරණ අහිංසක ධීවරයන් දිගින් දිගටම එම නිලධාරින් විසින් සකසන ලද නීති කොන්දේසි තුල සිරවී රැකියාව ඇත හැරීමට සිදු වන තත්වයට ක්ෂේත්‍රය පත් කර ඇත.
*මෙම කෙටුම්පතෙහි අන්තර්ගත ව නොමැති කරුණු*
*i)* ධීවර ක්ෂේත්‍රයේ දියුණුව පිණිස යයි සදහන් කලද මෙම කෙටුම්පතෙහි ධීවර ප්‍රජාවේ සුභසාධනයට අදාලව ප්‍රතිපාදන අඩංගු නොවේ.
ධීවර විශ්‍රාම වැටුප්, ධීවර ජිවිත රක්ෂණ, ධීවර රැකියාවේ ආරක්‍ෂිත බව තහවුරු කිරීම,ධීවර කාර්මිකයන් ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම, ධීවර ශ්‍රම බලකායේ ගුණාත්මක බව නැංවීම, ධීවර කාර්මිකයන් පුහුණු කිරීම පිළිබඳව හෝ ධීවර ව්‍යවසාය නැංවීම, පුද්ගලික අංශය ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන වලට දිරි ගැන්වීම වැනි කිසිදු කරුණකට මෙම කෙටුම්පතෙන් පසුබිමක් හෝ සැකසීමක් නිරීක්ෂණය නොවේ.
*ii )* මත්ස්‍ය නිෂ්පාදන වෙළදපොල සහ මිල පාලනයට අදාළ කිසිදු ප්‍රතිපාදනයක් මෙහි අඩංගු නොවේ. ධීවරයන්ගේ අස්වනු වලට සාධාරණ මිලක් ලබා දීමට සහ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි පරිදි මත්ස්‍ය මිල ගණන් ස්ථාවරව තබා ගැනීමට සුදුසු ක්‍රමවේද සදහා ප්‍රතිපාදන මෙහි අඩංගු නොවේ.
*iii)* කාර්යක්ෂමව විනිවිදභාවයකින් යුතුව පරිපාලන හා ධීවර කළමනාකරණ කටයුතු කිරීම සදහා දැනට ධීවර දෙපාර්තමේන්තුව විසින් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ ක්‍රියාත්මක දත්ත පද්ධතිය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් සිදු කරමින් පවතී. නමුත් මෙම කෙටුම්පත තුල එවන් නවීන තාක්ෂණ භාවිතා කිරීම සහ ඒවායේ වලංගුතාවය පිළිගැනීම සහ ඩිජිටල් ක්‍රමවේද භාවිතය දිරි ගැන්වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් ඇතුලත් කර නොමැත.
*iv )* දැනට ධීවර ක්ෂේත්‍රයේ ධීවර නීතියේ පවතින බරපතල ගැටළුවක් වන්නේ යම් ධීවර යාත්‍රාවක් සම්බන්ධයෙන් වන නීතිමය කාරණයකදී එහි හිමිකරු සහ නියමුවා විසින් දරන වගකීමේ අසමතුලිත බවයි.
යාත්‍රාවක් භාවිතා කර නීති විරෝධී කටයුත්තක් සිදු කර ඇති අවස්ථාවකදී වරද සිදු කරන අවස්ථාවේ යාත්‍රාවේ සම්පුර්ණ පාලනය දරන ලද නියමුවා වෙත පැනවෙන දඩුවමට වඩා වැඩි දඩුවම් මට්ටමක් වරද කරන අවස්ථාවේ යාත්‍රාව සම්බන්ධව පාලනය දැරීමක් සිදු නොකලද නිතැතින්ම යාත්‍රා හිමිකරුට පනවා තිබීම පෙනී යයි.
මෙම තත්වය නිසා යාත්‍රා හිමිකරුවන්ට දැඩි අපහසුතා, මුල්‍ය පාඩු දැරීමට සිදු වුවත් සක්‍රියව වරදෙහි නිරත වූ නියමුවාට ඒ පිළිබඳව අඩු දණ්ඩනයක් ලැබීමත් නැවත නැවත වැරදි කිරීමට නියමුවන් පැකිලීමක් නොදැක්වීමත් සිදුවේ.
මෙම ගැටලුව වර්තමානයේ ධීවර යාත්‍රා හිමිකරුවන් බහුලව මුහුණ දෙන සිදුවීමකි.නමුත් මෙම ගැටලුව විසදීමට සහ යාත්‍රා නියමුවන් නියාමනය කිරීමට නව කෙටුම්පත තුල පැහැදිලි ප්‍රතිපාදන අඩංගු නොවේ.
*v )* මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියා වලට ධීවර යාත්‍රා යොදා ගැනීම වැලක්වීමට යොදා ගත හැකි ප්‍රතිපාදන අන්තර්ගත නොවේ.
*Institute of Ocean Resources Analysis ( INORA )*