23/06/2026
සක්දෙවිඳුට හිටියා බිරින්දෑවරු 04 දෙනෙක්.
සුධර්මා, චිත්‍රා, නන්දා, සුජා තමයි මේ හතර දෙනා..
ඉතින් මේ හතර දෙනාගෙන් සක්දෙවිඳු "සුජා" ට විශේෂ ඇල්මක් දැක්වූවා..
සක්දෙවිඳු පිං කර ගන්න මනුස්ස ලෝකෙට එනකොට එන්නේ මේ "සුජා" එක්කයි..
සක්දෙවිඳු මෙන්න මේ සුජාතාව එක්ක තිබ්බ අපුරූ ගනුදෙනුව නිසාම සක්දෙවිඳුට නමක් වැටුනා..
"සුජම්පතී" කියලා..
ඒ කියන්නේ සුජාවගේ ස්වාමියා කියන එකයි..
සක්දෙවිඳුගේ බිරිඳ වෙන්න කලින් මේ "සුජා" කෙකියක් වෙලා ඇලක මාලු කමින් හිටපු කෙනෙක්..
ඊටත් කලින් සක්දෙවිඳු - "මඝ" මානවකයා වෙලා ඉන්න කාලේ "සුජාතා" නමින්ම ඔහුගේ බිරිඳ වෙලා හිටියා..
සක්දෙවිඳු තමන්ගේ පෙර ජිවිතේ ප්‍රේමියව සසරේ අත නොහැර තමන් ලගට ගත්ත හැටි හරි අපූරුයි..
හුගාක් ඉස්සර දඹදිව මචල කියන ගමේ තරුණයෙක්ව ඉපදිලා හිටියා..ඔහුට කිව්වේ "මඝ" කියලයි..
මඝ ට ඒ කාලේ හැටියට හිටියා බිරින්දෑවරු හතර දෙනෙක්..
ඒ හතර දෙනාගේ නම් වුනෙත් ..
සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා (සුජා)
ඒ වගේම මඝට හිටියා යාලුවෝ 32ක්..
මේ හැමෝම එකතු වෙලා බොහෝ පිං කලා..
දවසක් මේ කට්ටිය කතා වුනා ගමේ ලොකු ශාලාවක් හදන්න.. හැමෝම එකතු වෙලා වැඩේ පටන් ගත්තා.. හැබැයි "මඝ" තමන්ගේ බිරින්දෑවරු ටික මේ වැඩේට් සම්බන්ධ කර ගත්තේ නෑ..
හැබැයි බිරින්දෑවරුන්ටත් ආස හිතුනා මේ ශාලාව හදන වැඩේට සම්බන්ධ වෙන්න..ඒ නිසා ඔවුන් හොරෙන්ම මේ ශාලාවේ වැඩේට සම්බන්ධ වුනා..
ඔවුන් ගෙන් ‘සුධර්මා’ ශාලාව හදන බාසුන්නැහේ එක්ක හොර රහසේ ම කථාබස් කළා...
“අයියණ්ඩි, ඔය ශාලාවේ මට ප්‍රධානත්වයක් ලැබෙන්ට ඕනෑ. ඒ නිසා කැණිමඬල කාටවත් නොදී මට දෙන්ට” කියලා ඔහුට මුදල් දුන්නා. .
ඔහුත් හොඳයි කියලා මුලින් ම කැණිමඬලට ගන්න රුක කප්පවා, වේලවා, කැණිමඬල හදලා වස්ත්‍රයකින් ඔතාලා හංගලා තැබුවා..
නිශ්ශබ්දව සාලාව හදාගෙන ගියා. වහලය සදන්ට කැණිමඬලක අවශ්‍යතාව ආවා. බාසුන්නැහේ මෙහෙම කිව්වා.
“අහෝ…. පින්වත්නි…. එකක් අමතක වුනා නොවැ”
“ඒ මොකක්ද?”
“ඇයි දැන් කැණිමඬලක් ඕනෑ නොවෙද?”
“ඔව් ඉතින් අපි අරගෙන එමු”
“දැන් කපන ගස්වලින් කැණිමඬල හදන්ට බෑ. කලින් ගහ කපලා, වියලවලා, සැහැලා තබලයි කැණිමඬලට ගන්නේ”
“එහෙනම් අපි දැන් මොකද කරන්නේ?”
“කොහේ හරි ගෙදරක කැණිමඬලක් සදා තියෙන තැනකින් සොයා ගම්මු”
ඉතින් ඔවුන් කැණිමඬලක් සොයද්දි සුධර්මා ගේ ගෙදර එය තිබුනා. නමුත් ඈ එය මිලට දුන්නේ නෑ. ‘ඉදින් සාලාවට මාව කොටස්කාරියක් කරගන්නවා නම් විතරක් දෙන්නම්’ කිව්වා.
කට්ටිය ඒකට කැමති වුනා..ඔය විදියට "සුධර්මා" ත් ශාලාවේ කොටස්කාරියක් වුනා..
"චිත්‍රාත්" ඒ ස්ථානයේ අලංකාර උයනක් සැකසුවා. මල් ගෙඩි වලින් යුක්ත ඒ උයනේ අසවල් ගෙඩි නෑ කියලා කියන්ට බැරිතරම්.
"නන්දාත්" එතැනට අලංකාර පොකුණක් සකස් කළා. ඒ පොකුණේ පාට පසකින් යුක්ත පියුම් සැදුවා. එය ඉතාම ලස්සන රමණීය පොකුණක් වුනා.
හැබැයි...
සුජාතා මොකවත් ම කළේ නෑ..උබලා කරගනිල්ලා කියලා පාඩුවේ හිටියා..
ඉතින් මඝ ඇතුලු පිරිස මනුස්ස ලෝකේ බොහෝ පිං කරලා මැරිලා ගිහින් තව්තිසාවේ ඉපදුනා..
මඝ සක්දෙවිඳු වෙලා උපන්නා..යාලුවේ 32 ත් උපන්නා..ඒ යාලුවෝ 32 ට සහ සක්දෙවිඳුට කෝටිය බැගින් දෙව්පිරිස පහල වුන..
ඔක්කොම දෙවිවරු 33කෝටියක් උනා..
ඔන්න ඔය දෙවිවරුන්ට තමයි අපි තිස්තුන් කෝටියක් දෙවිවරු කියලා කියන්නේ..
එතකොට එදා අර ශාලාව හදපු බාසුන්නැහේ දෙව්ලොව "විශ්වකර්ම" දිව්‍යපුත්‍රයා වෙලා ඉපදුනා..
බලන්නකෝ සසරේ කරන පිං අනුව ලැබෙන දේවල් සකස් වෙන විදිය..
ශාලාවේ කැණිමඩල හදපු සුධර්මා මිනිස් ලොවින් චුතවෙලා සක්දෙවිඳුගේ බිරිඳ වෙලා උපන්නා..
කැණිමඬල දුන්නු පිනෙන් පන්සිය යොදුනක් දිගැති "සුධර්මා" නමැති දෙව්මිණි සභාව පහළ වුනා..
ඒ ශාලාවේ දිව්‍ය සේසත යට යොදුනක ප්‍රමාණයේ රන් අසුනේ වාඩි වී සිටින සක්දෙවිඳු දෙව්මිනිසුන්ගේ සියලු කටයුතු සොයා බලනවා.
"චිත්‍රාත්" මනුලොවින් චුතවෙලා සක්දෙවිඳු ගේ ම බිරිඳ වෙලා තව්තිසාවේ උපන්නා. ඈ උද්‍යානය කළ පිනෙන් ‘චිත්‍රලතා’ නමැති ඉතාම සිත්කලු උද්‍යානය පහළ වුනා.
"නන්දාත්" මනුලොවින් චුත වෙලා සක්දෙවිඳුගේ බිරිඳක් වෙලා තව්තිසාවේ උපන්නා. පොකුණක් කරවූ පිනෙන් "නන්දා" නමැති පස්පියුම් සැදි රමණීය පොකුණ පහළ වුනා.
හැබැයි සුජාතා කිසිම පිනක් කරගත්තේ නෑ නේ..
ඈ මිය ගිහින් වනාන්තරේ දිය ඇල්ලක් ළඟ කෙකිණියක් වෙලා උපන්නා..
සක්දෙවිඳු බැලුවා..මාත් එක්ක හිටපු ඔක්කොම දෙව්ලොව ඉන්නවා..කෝ මේ සුජාතා කියලා??
ඈ උපන්නේ කොහේද කියලා බලද්දී ඈ සිටිය තැන පෙනුනා.. සක්දෙවිඳු වහාම මනුස්ස ලෝකෙට ගිහින් අර කෙකිණියව දෙව්ලොව රැගෙන ආවා..
ඇයට රමණීය දේව නගරය, සුධර්මා දිව්‍ය සභාව, චිත්‍රලතා වනය, නන්දා පොකුණ පෙන්නුවා. පෙන්නලා මෙහෙම කිව්වා..
‘බලන්ට. මේ අය පින් කරගත්තු නිසා මගේ බිරින්දලා වෙලා මෙහේ උපන්නා.. නමුත් ඔබ කුසල් නොකොට තිරිසන් යෝනියේ උපන්නා..
ඔබ මෙතැන් පටන් සිල් රකින්ට ඕනෑ’
එහෙම අවවාද කරලා ආයෙමත් එතනට ම ගිහින් දැම්මා.. දැන් ඈ සිල් රකිනවා..
කීප දිනකින් ඈ සිල් රකිනවාද කියා සොයා බලන්ට සක්දෙවිඳු කල්පනා කළා.. මාළුවෙකුගේ වේශයෙන් වතුරේ උඩ පාවෙවී කෙකිණිය ඉදිරියට ආවා..
ඈ සිතුවේ මැරුණු මාළුවෙක් කියලා..
ඉතින් ඈ ඒ මාළුවාගේ හිසින් අල්ලා ගත්තා.. එතකොට මාළුවා වලිගය සෙලෙව්වා. එතකොට සතාට පණ තියෙනවා කියලා සිතා ඌව අත්හැරියා..
එතකොට සක්දෙවිඳු..
‘බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබට සිල් රකින්ට පුළුවනි’ කියලා එතැනින් ගියා.
පණ තියෙන මාලු කන්නේ නැතුව සිල් රැකපු නිසා ඒ කෙකනියගේ බඩගින්නෙම මරණයට පත් වුනා..ඊටපස්සේ ඈ බරණැස වළං හදන්නෙකුගේ ගෙදර උපන්නා..
සක්දෙවිඳු ආයෙත් බැලුවා ඈ කොහේද උපන්නේ කියලා. ඈ මනුස්සලෝකේ උපන් බව දැනගත්තා..ඇයට පිහිට වෙන්න ඔනී කියලා හිතාගෙන මහල්ලෙකුගේ වෙස් අරගෙන කරත්තයක රන් කැකිරි පුරවා ගත්තා..
‘කැකිරි ගන්නවා ද…. කැකිරි ගන්නවා ද…. ’කියලා කෑගසාගෙන ගියා. එතකොට මිනිස්සු ඇවිත් ‘පියාණෙනි, අපටත් කැකිරි දෙන්ට’ කියලා ඉල්ලුවා.
“මං සිල් රකින අයටයි දෙන්නේ. ඔබලා සිල් රකින අයද?”
“අනේ අපි සිල් ගැන නම් දන්නේ නෑ. සල්ලි වලට දෙන්න” කිව්වා.
“නෑ…. මේවා මං මුදලට දෙන්නේ නෑ. සිල් රකින කෙනෙකුට විතරයි දෙන්නේ” කියලා මහල්ලා කියා සිටියා.
එතකොට මිනිස්සු ‘මේ මොන මෝඩයෙක් ද!’ කියලා යන්ට ගියා.
සුජාතාටත් මේ කැකිරි සීයා ගැන දැනගන්ට ලැබුනා..ඇයත් ගියා කැකිරි ගන්න..
‘සීයේ, මට එහෙනම් කැකිරි දෙන්ට’
‘දුවේ ඔයා සිල් රකිනවාද?’
‘එහෙමයි, මං සිල් රකින කෙනෙක්’
‘ඔයාට තමයි මම මේවා ගෙනාවේ’ ඔයා දිගටම සිල් රැකින්න ඔනෑ.. කියලා රන් කැකිරි කරත්තේ ගේ දොරකඩ තියලා සීයා යන්ට ගියා..
ඈ ඒ රන් කැකිරි වලින් දියුණු වුනා.. ඒ මිනිස් ලොවින් බොහෝ පින් කලා..
මරණින් මත්තේ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දියණිය වෙලා උපන්නා..සිල් රැකපු නිසා ඈ ගොඩාක් ලස්සන වුනා..
"වේපචිත්ති" අසුරයා ඇයට සැමියෙකු සොයා ගන්ට කියලා අසුරයන්ගේ රැස්වීමක් කැඳෙව්වා..
එතකොට සක් දෙවිඳු ඈ උපන්නේ කොහිද කියලා බැලුවා..එතකොට දැක්කා ඇය අසුර ලෝකේ ඉපදිලා..ඈ වෙනුවෙන් ස්වයංවර මංගල්‍යයක් අසුර නගරයේ සූදානම් කර තිබෙන බවත් දැක්කා..
සක්දෙවිඳු වයසක අසුර රූපයක් මවාගෙන ඒ උත්සවයට සහභාගී වුනා.. වයස නිසා ඔහුව කවුරුත් සැක කලේ නෑ..
සුජා,මල් මාලය අතට අරන් තමන්ට ගැලපෙන ස්වාමියා සොය සොයා ගියා..
එක්වරම අසුරවෙස් ගත් සක්දෙවිඳු දකින්ට ලැබුනා..
පෙර ආත්මයේ බැඳුනු සෙනෙහෙ නිසා මේ මගේ සැමියා කියා තෝරා ගත්තා.. මල් මාලය සක් දෙවිඳුට පැලැන්දුවා..
එතකොට අසුරයෝ වේපචිත්ති අසුර රජාට විහුලු කරන්න පටන් ගත්තා..
හූ..හූ..අන්න ඔබේ දුව මහලු අසුරයෙක්ට මල් මාලය දැම්මා..හරියට මිනිබිරියි සීයයි වගේ..
අසුරයෝ එහෙම විහුලුකරනකොට සක්දෙවිඳු සුජාවත් අරගෙන එකවරම අහසට නැග්ගා..
"මං මහල්ලෙක් නොවේ බොලව්..මං තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු.."
කියලා ක්ෂණයෙන් තව්තිසාවට පැනලා ආවා..
කෝටි තුනක් වූ දිව්‍යාංගනාවන්ට ඇය අග්‍ර තනතුරේ තිබ්බා..
දවසක් සුජා සක්දෙවිඳු ඇමතුවා..
"අනේ දෙවිඳුනේ මට කාත් මෙහේ කවුරුවත් නැ..ඒ නිසා ඔබ වහන්සේ යන තැනකට මාවත් අරගෙන යන්න.."
ඔය විදියට සක්දෙවිදු තමන් පෙර ජිවිතේ ආදරය් කරපු සුජාතාව අතහැරියේ නෑ..ආත්ම තුනක් ඇය පිටුපස හිඳිමින් ඇයව රැක ගත්තා..
ඇයව සුගතියට අර්ගෙන ආවා..සසරෙන් නිදහස් වෙන්න මඟ කිව්වා..
සැබෑ ප්‍රේමය නම්, පෙම්වතා පෙම්වතිය, බිරිඳ ස්වාමියා.. සසර දුකෙන් නිදහස් වෙන්න අත දීමයි..දුකින් නිදහස් වෙනවාට කැමති වීමයි..
ධම්මපදය අටුවාව ඇසුරෙනි..