11/06/2026
දවසේ සාන්තුවරයාණන් - ජූනි 11 🙏
🙏ශුද්ධ වූ බාර්නබස් මුනිතුමා (St. Barnabas, Apostle)✝️
ජූනි 11 වන දින කතෝලික සභාව විසින් සමරනු ලබන ශුද්ධ වූ බාර්නබස් අපෝස්තුළුතුමා, මුල් ක්‍රිස්තියානි සභාවේ ඉතා වැදගත් චරිතයකි. එතුමා මුල් අපෝස්තුළුවරුන් 12 දෙනාගෙන් කෙනෙකු නොවූවත්, මුල් කිතුණු සභාව විසින්ම මොහු අපෝස්තුළුවරයෙකු ලෙස ගෞරව කරනු ලබන්නේ ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා කළ මහඟු සේවය නිසාය.
බාර්නබස්ගේ මුල් නම වූයේ “ජෝශප්” ය. එතුමා සයිප්‍රසයේ ලෙවී ගෝත්‍රයට අයත් අයෙකු වූ අතර, අපෝස්තුළුවරුන් විසින් ඔහුට “බාර්නබස්” යන නම ලබා දෙන ලදී. ශුද්ධ ලියවිල්ල පවසන්නේ එම නාමයේ අර්ථය “අනුශාසනාවේ පුත්‍රයා” බවයි (ක්‍රියා 4:36).
මුල් සභාවේ ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තමන් සතු ඉඩමක් විකුණා එහි මුදල් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබූ බව බයිබලයේ සඳහන් වේ (ක්‍රියා 4:37).
තවද ශුද්ධ වූ පාවුළු තුමා ක්‍රිස්තියානි ආගමට හැරුණු පසු, බොහෝ දෙනෙක් ඔහු ගැන සැක කළහ. එහෙත් බාර්නබස් තුමා පාවුළු තුමා වෙත විශ්වාසය තබා, ඔහුව අපෝස්තුළුවරුන් වෙත රැගෙන ගොස් ඔහුගේ හැරීම සත්‍ය බව පැහැදිලි කළේය (ක්‍රියා 9:26,27). පාවුළු තුමාගේ ධර්මදූත සේවයට මග විවර කළේ බාර්නබස්ගේ මෙම ධෛර්යවත් ක්‍රියාවයි.
ක්‍රියා පොතේ 14:14 හි බාර්නබස් සහ පාවුළු යන දෙදෙනාම “අපෝස්තුළුවරුන්” ලෙස හඳුන්වනු ලැබේ. එම නිසා කතෝලික සභාව ඔහුව අපෝස්තුළුවරයෙකු ලෙස ගෞරව කරයි.
පසුව අන්තියෝකියාවේ සභාවේ සේවය කරමින් සිටියදී, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් බාර්නබස් සහ සාවුල් (පාවුළු) විශේෂ ධර්මදූත සේවයක් සඳහා වෙන් ලෙස නියෝග කළ සේක (ක්‍රියා 13:2,3). ඔවුන් එක්ව ශුභාරංචිය ප්‍රකාශ කරමින් බොහෝ ප්‍රදේශවල සංචාරය කළහ.
පසුව පාවුළු මුනිතුමාගෙන් වෙන්වී, සිය ඥාති සහෝදරයෙකු වූ ශුද්ධ වූ මාර්ක් (St. Mark) සමඟ නැවතත් සයිප්‍රස් දූපතට ගිය බානබස් මුනිතුමා, එහි සලාමිස් (Salamis) නුවර රදගුරුතුමා ලෙස සේවය කරමින් සිටියදී, ක්‍රි.ව. 61 දී අන්‍යාගමිකයන් සහ දැඩි මතධාරී යුදෙව්වන් පිරිසකගේ දරුණු පීඩාවලට ලක් විය. ඔවුන් විසින් බානබස් මුනිතුමාව ගල් ගසා, පසුව පණපිටින් පුළුස්සා ඝාතනය කරනු ලැබීය.
වර්තමානයේ ශුද්ධ වූ බානබස් මුනිතුමාව සයිප්‍රස් රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක සාන්තුවරයා ලෙස සලකන අතර, කතෝලික සභාව තුළ සාමය උදාකරන්නන්ගේ, අමනාපකම් දුරුකරන්නන්ගේ සහ අන් අය දෛර්යමත් කරන්නන්ගේ විශේෂ මැදිහත්කරුවෙකු ලෙස මහත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.
අපෝස්‍තුලු ශු. බාර්නබස් මුනිතුමෙනි, අප නිසා යාච්ඤා කළ මැන්ව!!!
゚ #දවසේ_සාන්තුවරයාණන්_ජුනි_11