18/07/2026
නිදහස් අධ්යාපනය පාවාදීමේ නව සූත්රය!
රාජ්ය විශ්වවිද්යාල උපාධිධාරීන්ට අසාධාරණයක් කරමින් සෞඛ්ය අමාත්යාංශය සැඟවූ ප්රතිපත්තියක් ක්රියාත්මක කරනවාද?
මෙය සාමාන්ය බඳවා ගැනීමක් නොවේ
අද සෞඛ්ය අමාත්යාංශය විසින් ප්රසිද්ධියට පත් කර ඇති සම සෞඛ්ය වෘත්තීන් සඳහා වන බඳවා ගැනීම සාමාන්ය රාජ්ය සේවා බඳවා ගැනීමක් ලෙස මහජනතාවට ඉදිරිපත් කර ඇත. එහෙත් එහි ඇතුළත සැඟවී ඇත්තේ තවත් බරපතළ ප්රතිපත්තියකි. එය වන්නේ නිදහස් අධ්යාපනය යටතේ රාජ්ය විශ්වවිද්යාලවලින් බිහිවන උපාධිධාරීන්ට තිබෙන සීමිත රාජ්ය සේවා අවස්ථා තවදුරටත් සීමා කරමින්, එම අවස්ථා වෙනත් උපාධි පද්ධති සඳහා විවෘත කිරීමයි. අද විවාදයට ලක්ව ඇත්තේ රැකියා කිහිපයක් නොව, නිදහස් අධ්යාපනයෙන් බිහිවන වෘත්තිකයන්ගේ අනාගතයයි.
අපගේ විරෝධය කාටද?
මෙහිදී අපගේ විරෝධය කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට (KDU), පෞද්ගලික විශ්වවිද්යාලවලට හෝ විදේශීය විශ්වවිද්යාලවලින් උපාධි ලබාගත් කිසිදු වෘත්තිකයෙකුට නොවේ. සුදුසුකම් සපුරන සෑම උපාධිධාරියෙකුටම සාධාරණ අවස්ථාවක් හිමි විය යුතු බව අපි පැහැදිලිව පිළිගනිමු. නමුත් රාජ්ය සේවාවේ පුරප්පාඩු වැඩි නොකර, අනුමත කාර්ය මණ්ඩල සංඛ්යාව (Approved Cadre) යථාවත් නොකර, පවතින සීමිත අවස්ථා නිදහස් අධ්යාපනයෙන් බිහිවන උපාධිධාරීන්ට අහිමි කරන ප්රතිපත්තිය කිසිසේත්ම සාධාරණ නොවේ.
Applicants වැඩි වුණේ උපාධිධාරීන්ගේ වරදින්ද?
ආණ්ඩුවේ පළමු තර්කය වන්නේ "Applicants වැඩියි. ඒ නිසා විභාගයක් අනිවාර්යයි" යන්නයි. නමුත් ප්රශ්නය වන්නේ Applicants වැඩි වූයේ ඇයිද යන්නයි. වසර ගණනාවක් රාජ්ය සේවයට බඳවා ගැනීම් අත්හිටුවීම, ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්ය සේවය හැකිලීම සහ අනුමත කාර්ය මණ්ඩල සංඛ්යාව යථාවත් නොකිරීම නිසා උපාධිධාරීන් විශාල පිරිසක් රැකියා නොලබා එකතු වූහ. එය උපාධිධාරීන්ගේ වරදක් නොව රජයේ ප්රතිපත්තියක ප්රතිඵලයකි. එසේ නම් රජයේ ප්රතිපත්තිමය අසාර්ථකත්වයට දඬුවම් විඳිය යුත්තේ දරුවන් ද?
විභාගයක් අවශ්ය නම්, ඇයි විෂයානුබද්ධ විභාගයක් නොතිබුණේ?
මෙය මෙම සිද්ධියේ තිබෙන විශාලතම පරස්පරතාවයි. අප කිසි විටෙකත් වෘත්තීය සුදුසුකම් ඇගයීමකට විරුද්ධ වී නැත. ඇත්ත වශයෙන්ම තරගයක් අවශ්ය වූයේ නම් වෘත්තීය විෂය දැනුම, සායනික නිපුණතාව සහ සේවා හැකියාව මනින විෂයානුබද්ධ විභාගයක් පැවැත්විය යුතුව තිබුණි. වෛද්ය රසායනාගාර විද්යාඥයෙකු නම් රසායනාගාර විද්යාව පිළිබඳ දැනුම ඇගයිය යුතුය. භෞතචිකිත්සකයෙකු නම් භෞතචිකිත්සාව පිළිබඳ දැනුම ඇගයිය යුතුය. ඖෂධවේදියෙකු නම් ඖෂධවේදය පිළිබඳ දැනුම ඇගයිය යුතුය. එහෙත් සිදු වූයේ එය නොවේ. වෘත්තීය නිපුණතාව වෙනුවට සාමාන්ය බුද්ධිය සහ සාමාන්ය දැනීම මනින විභාගයකින් වෘත්තීයවේදීන් තෝරා ගැනීමට උත්සාහ කෙරිණි. ඒ නිසා අපගේ විරෝධය "විභාගයට" නොව, වැරදි විභාගයට ය.
වෘත්තීය නිපුණතාව මැනිය හැකි අවස්ථාව මගහැරියේ ඇයි?
ඇත්ත වශයෙන්ම ගුණාත්මකභාවය වැඩි කිරීම අරමුණ නම්, විෂයානුබද්ධ විභාගයක් සකස් කිරීම ඉතා පහසු විය. ශ්රී ලංකාවේ වෛද්ය පීඨ, සම සෞඛ්ය පීඨ සහ වෘත්තීය විශේෂඥයන් ඒ සඳහා සිටියදී, එවැනි විභාගයක් නොපවත්වා සාමාන්ය දැනීම මත පදනම් වූ විභාගයක් තෝරාගත්තේ ඇයි? වෘත්තීය නිපුණතාව සෘජුවම මැනිය හැකි අවස්ථාවක් තිබියදී එය මගහැරීමෙන් මතුවන්නේ සාධාරණ සැකයකි. ගුණාත්මකභාවය සැබෑ අරමුණ වූයේ නම්, විෂයානුබද්ධ විභාගයක් පැවැත්වීම වඩාත් සාධාරණ, විද්යාත්මක සහ වෘත්තීයමය ක්රමය නොවූයේ මන්ද?
'විභාගයක් තිබුණා' කියන කතාව සම්පූර්ණ සත්යයද?
ආණ්ඩුව තවත් පවසන්නේ බඳවා ගැනීමේ පටිපාටියේ මුල සිටම තෝරා ගැනීමේ විභාගයක් පැවති බවයි. එය සම්පූර්ණ සත්යයක් නොවේ. පටිපාටියේ එවැනි ප්රතිපාදනයක් තිබුණද, පුරප්පාඩු ප්රමාණවත් වූ කාලවලදී වෘත්තීය උපාධිධාරීන් එකිනෙකාට එරෙහිව මෙවැනි තරග විභාග පවත්වා නොතිබිණි. පසුගිය ආණ්ඩු සමයේද සමාන තත්ත්වයන් ඇති වූ අවස්ථාවල රාජ්ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවීමට උත්සාහ ගත්තා මිස, වෘත්තීයවේදීන් තරග විභාගයකට ඇද දැමුවේ නැත.
PSC පිටුපස සැඟවීම ප්රමාණවත් පිළිතුරක්ද?
ආණ්ඩුව පවසන්නේ රාජ්ය සේවා කොමිෂන් සභාව (PSC) විසින් මෙම ක්රමවේදය අනුමත කළ බව හෝ වෙනස් කිරීමට ඉඩ නොදුන් බවයි. නමුත් ජනවරමක් සහිත ආණ්ඩුවකට, කැබිනට් මණ්ඩලයකට සහ අමාත්යාංශයකට තම ප්රතිපත්තිය වෙනුවෙන් රාජ්ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට, නීතිමය සංශෝධන ගෙන ඒමට හෝ විකල්ප විසඳුම් සෙවීමට නොහැකි නම්, එය ප්රතිපත්තිමය නායකත්වය පිළිබඳ ප්රශ්නයක් මතු කරයි. "PSC එපා කිව්වා" යනුවෙන් පැවසීමෙන් පමණක් ආණ්ඩුවේ වගකීම අවසන් වන්නේ නැත.
වසරක් නඩුව ගියා... විසඳුමක් සෙව්වේ නැද්ද?
මේ ප්රශ්නය වසරකට අධික කාලයක් අධිකරණය ඉදිරියේ පැවතිණි. එම කාලය තුළ අමාත්යාංශයට, කැබිනට් මණ්ඩලයට සහ ආණ්ඩුවට ප්රමාණවත් කාලයක් තිබුණේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්යාව වැඩි කිරීම, සියලු සුදුසුකම්ලාභීන් බඳවා ගැනීම, රාජ්ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීම හෝ නීතිමය හා ප්රතිපත්තිමය විසඳුමක් සෙවීම සඳහාය. එහෙත් එවැනි උත්සාහයක් නොගත් ආණ්ඩුව, අතුරු තහනම් නියෝගය ඉවත් වූ විගස ඉතා කඩිමුඩියේ බඳවා ගැනීම් සිදු කළේය. වසරක් පුරා නොතිබූ හදිසිය එම දිනයේදී පමණක් ඇති වූයේ මන්ද යන්නට අදටත් පිළිතුරක් නැත.
නලින්ද ජයතිස්ස මහතාගේ දේශපාලන පරස්පරතාව
මෙහිදී වඩාත්ම කණගාටුදායක කරුණ වන්නේ සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ දේශපාලන ගමන සහ වර්තමාන ක්රියාකලාපය අතර පවතින දැඩි පරස්පරතාවයයි. ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාල වෛද්ය පීඨයේ හිටපු ශිෂ්ය නායකයෙකි. වෛද්ය පීඨ ශිෂ්ය සංගමයේ හිටපු උපසභාපතිවරයෙකි. වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ හිටපු කැඳවුම්කරුවෙකි. දෙදහස් දශකයේ මව්කිරි කළමනාකරණ පාඨමාලා වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ උත්සාහයට එරෙහිව සටන් කළ අය අතර ඔහුද සිටියේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ සිවිල් උපාධි වැඩසටහන්වලට එරෙහිව ප්රසිද්ධියේ සටන් කළ දේශපාලන චරිතයෙකි. නිදහස් අධ්යාපනය ආරක්ෂා කළ යුතු බවට වේදිකා ගණනාවක කතා කළ පුද්ගලයෙකි.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය 2005 වසරේදී ශ්රී ලංකාවේ සම සෞඛ්ය උපාධි අධ්යාපනයට මග පෙන්වූ පීඨයකි. අද එම ආයතනයෙන් බිහි වූ අමාත්යවරයෙකුගේ පාලනය යටතේ එම පද්ධතියෙන් බිහිවන දරුවන්ගේ අවස්ථා සීමා වන්නේ නම්, එය ජපුරට පමණක් නොව සමස්ත නිදහස් අධ්යාපන ක්රමයටම කරන අගෞරවයකි.
අවසානයේ පිළිතුරු දිය යුතු ප්රශ්නය
අද රටට අවශ්ය පිළිතුර ඉතා සරලය. නිදහස් අධ්යාපනයෙන් බිහිවන රාජ්ය විශ්වවිද්යාල උපාධිධාරීන්ගේ රාජ්ය සේවා අවස්ථා සීමා කරමින්, එම අවස්ථා වෙනත් උපාධි පද්ධති වෙත විවෘත කිරීම වත්මන් ආණ්ඩුවේ නිල ප්රතිපත්තියද?
එසේ නොවේ නම්, මෙම බඳවා ගැනීමේ ප්රතිපත්තිය වහාම සංශෝධනය කළ යුතුය. එසේම එය ආණ්ඩුවේ ප්රතිපත්තිය නම්, නිදහස් අධ්යාපනය පිළිබඳ ශ්රී ලංකාව දශක ගණනාවක් පවත්වාගෙන ආ සමාජ ගිවිසුම වෙනස් වී ඇති බව ජනතාවට සෘජුව ප්රකාශ කළ යුතුය.
මන්ද, අද කතා කරන්නේ බඳවා ගැනීම් කිහිපයක් ගැන නොවේ. අද කතා කරන්නේ නිදහස් අධ්යාපනයෙන් ජීවිතයක් ගොඩනඟා ගත හැකිය යන ශ්රී ලංකාවේ විශ්වාසය ගැනයි.
Copied ....
#රකුස්