17/05/2026
තව දින දෙකකින්,
අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක කළ නොහැකි දවසක් සිහි කරනවා.
අවුරුදු 17කට පෙර,
දශක ගණනාවක් මේ රට ලේ, කඳුළු, බිය සහ මරණය අතර සිරකරගෙන තිබූ අඳුරු යුගයක් අවසන් වුණා.
එය සාමාන්‍ය යුද්ධයක අවසානයක් විතරක් නෙවෙයි.
එය, බෝම්බ බියෙන් ජීවත් වූ ජාතියක් නැවත හුස්ම ගත් මොහොතක්.
මේ යුද්ධය කළේ ජාතියකට එරෙහිව නෙවෙයි.
මේ යුද්ධය කළේ අවි ගත් ත්‍රස්තවාදයට එරෙහිවයි.
බෝම්බවලින් මියගියේ සිංහලයන් විතරක් නෙවෙයි.
දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු මේ රටේ අහිංසක මිනිසුන් හැමෝම ඒ භීතියේ ගොදුරු වුණා.
බස් රථ පුපුරා ගියා.
දුම්රියවල මිනිස්සු මැරුණා.
පන්සල්, පල්ලි, නගර, වෙළඳසැල් ලේ වලින් තෙමුණා.
පාසල් යවන දෙමාපියන්ට,
“අපේ දරුවා ආපහු එයිද?” කියන බිය තිබුණා.
ඒ නිසා එදා අවසන් වුණේ
එක් පළාතක ප්‍රශ්නයක් නෙවෙයි.
එක් ජාතියක වේදනාවක් නෙවෙයි.
එය මුළු ශ්‍රී ලාංකික ජාතියම වසර ගණනාවක් දරාගෙන ගිය භීතියක්.
අපේ රට එදා බේරුණේ,
රට වෙනුවෙන් තීරණ ගන්න බය නොවූ දේශපාලන නායකත්වයක් නිසා.
අවසන් මොහොත දක්වා සැලසුම් සහ කැපවීමෙන් කටයුතු කළ යුධ නායකත්වයක් නිසා.
රණබිමේ අන්තිම හුස්ම තෙක් සටන් කළ රණවිරුවන් නිසා.
අද අපි නිදහසේ පාරේ යනවා නම්,
රාත්‍රියේ බිය නැතුව ගමන් කරනවා නම්,
පාසල් දරුවෝ බෝම්බ බියෙන් තොරව ඉගෙන ගන්නවා නම්,
ඒ හැම නිදහසක් පිටුපසම
කෙනෙකුගේ ලේ බිඳුවක් තියෙනවා.
කෙනෙකුගේ තුවාලයක් තියෙනවා.
කෙනෙකුගේ ජීවිතයක් තියෙනවා.
අදත් මේ රටේ කොහේ හෝ,
අතක් නැතුව, කකුලක් නැතුව,
ශරීරයෙන් වගේම මනසින්ද තුවාල වෙලා ජීවත් වෙන රණවිරුවෙක් ඉන්නවා.
තවත් ගෙදරක,
රට වෙනුවෙන් ගිය තමන්ගේ පුතා, සැමියා, සහෝදරයා ආපහු එන්නේ නැති බව දැනගෙනත්
නිහඬව ජීවත් වෙන අම්මා කෙනෙක් ඉන්නවා.
අපි මේ මිනිසුන්ව අමතක කරන්න හොඳ නෑ.
2015න් පස්සේ “සන්හිඳියාව” කියන වචනය ගොඩක් භාවිතා වුණා.
හැබැයි සමහර වෙලාවට ඒ වචනය භාවිතා වුණේ
මේ ජයග්‍රහණය ගැන කතා කිරීමත් වැරැද්දක් වගේ පෙන්වන්න.
රණවිරුවන් ගැන කතා කිරීමත්,
රට බේරගත්ත දවස සිහි කිරීමත්
නොකළ යුතු දෙයක් වගේ පෙන්වන්න.
අද වෙද්දී තවත් භයානක තත්ත්වයක් අපි දකිනවා.
“රණවිරුවා” කියන ගෞරව නාමය වෙනුවට,
“මියගිය සොල්දාදුවා” කියන වචන භාවිතා කරන්න පටන් අරගෙන තියෙනවා.
හැබැයි රට වෙනුවෙන් ජීවිතය දුන් මිනිසෙක්,
සාමාන්‍ය “මියගිය සොල්දාදුවෙක්” විතරක් නෙවෙයි.
ඔහු,
තමන්ගේ ජීවිතයට වඩා රටේ අනාගතය වටිනවා කියලා හිතපු මිනිසෙක්.
තමන්ගේ පවුල, තමන්ගේ හීන, තමන්ගේ ජීවිතය පරදුවට තියලා
මේ රටේ මිනිස්සුන්ට බිය නැතුව ජීවත් වෙන්න අවස්ථාවක් දීපු මිනිසෙක්.
ඒ නිසා “රණවිරුවා” කියන වචනය
දේශපාලන වචනයක් නෙවෙයි.
එය ජාතියක කෘතඥතාවය.
සැබෑ සන්හිඳියාව කියන්නේ
රණවිරුවන්ගේ ගෞරවය අඩු කිරීම නෙවෙයි.
ඔවුන්ගේ කැපකිරීම පිළිගෙන,
මේ රටේ සියලුම ජනතාවට නැවත ත්‍රස්තවාදය යටතේ ජීවත් වෙන්න නොවෙන රටක් ගොඩනැගීමයි.
සැබෑ සන්හිඳියාව කියන්නේ
අතීතය මකා දැමීම නෙවෙයි.
එය සත්‍යය පිළිගෙන,
ජීවිතය දුන් මිනිසුන්ට ගෞරව කරමින්,
නැවත එවැනි අඳුරු කාලයක් මේ රටට එන්න නොදී ඉදිරියට යාමයි.
රණවිරුවන් සිහිකිරීම කියන්නේ යුද්ධය සැමරීම නෙවෙයි.
එය කියන්නේ,
“අපි ඔබලා කළ කැපකිරීම අමතක කරන්නේ නැහැ” කියන එකයි.
ජාතියක් තම වීරයන් අමතක කළ දවසට,
ඒ ජාතියේ අනාගතය දුර්වල වෙනවා.
මොකද තමන් වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ට ගෞරව නැති ජාතියකට,
අනාගතයේ තමන්ව ආරක්ෂා කරන වීරයන් බිහි කරගන්නත් අමාරුයි.
ඒ නිසා මැයි 18 කියන්නේ
වෛරයේ දවසක් නෙවෙයි.
පළිගැනීමේ දවසක් නෙවෙයි.
එය,
කෘතඥතාවයේ දවසක්.
මතකයේ දවසක්.
රට වෙනුවෙන් ජීවිතය දුන් මිනිසුන්ට හිස නමන දවසක්.
ත්‍රස්තවාදයට නැවත මේ පොළොවේ ඉඩ නොදෙමු කියලා ජාතියක් ලෙස ප්‍රතිඥා දෙන දවසක්.
අපේ නිදහස ලැබුණේ අහම්බෙන් නෙවෙයි…
ඒ නිදහස පිටුපස තිබුණේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ ලේ, කැපකිරීම සහ අසීමිත ආදරයයි.
එදාට පුළුවන් නං දන්න කෙනෙක් දැක්කොත් “ ස්තූතියි” කියන්න. ඒ ඇති..