19/05/2026
තරු හිනැහෙන වසන්තය 2026 සාර්ථකව නිමාවුණා ..... හැමෝටම ආදරෙයි!
===========================================
පුංචි පුංචි තරු කැට එකතුවෙලා අදුරු දවසක් ආලෝකමත් කළා.... සිය ගණනක් තරුකැට කළුතර, පයාගල අහස යට තමන්ගේ ආලෝකය විහිදුවන්න පටන් ගත්තා... ඒක හරි අපූරු දවසක්....
තරු හිනැහෙන වසන්තය 2026, නමින් පැවැත්වූ මෙම අවුරුදු ක්‍රීඩා උළෙලට කෑගල්ල, වරකාපොල තරු පැටව්, ගම්පහ දුංගාල්පිටිය තරු පැටව්, කළුතර බේරුවල, පයාගල, දියලගොඩ, කටුකුරුන්ද තරු පැටව් සහභාගි වුණා.
රත්නපුර, නිවිතිගල, දොලොස්වල කන්ද තරු පැටවුන්ට සහභාගි වෙන්න බැරිවුනේ වර්ෂාව නිසා ගමනාගමන දුෂ්කරතා හේතුවෙන්. දෙවතාවක්ම මේ දරුවන්ට නොහැකි නිසා තරු හිනැහෙන වසන්තය කල්දාන්න සිද්ධ වුනත් මේ වතාවේ කල්දාන්න බැරි තරමටම අපි සංකීර්ණ ගැටළු ගණනාවට මුහුණ දීලා හිටපු නිසාම රත්නපුර තරු පැටව් නැති හිතේ වේදනාවෙන් වුනත් වැඩසටහන පවත්වන්නට හිත හදාගත්තා.
17 වෙනිදා දවසම දරුවන්ගේ වුණා. සෙල්ලම් කළා, තරග කළා, ධාවන තරග පැවැත්වුවා, නර්ථන නිර්මාණ අපූරුවට ඉදිරිපත් කළා, කණ්ඩායම් තරග සාමූහිකව ජයගත්තා, පරාජයන් වුනත් සාමූහිකව දරාගත්තා.
Team Courage, Team Unity, Team Strong සහ Team Brave විදියට කණ්ඩායම් 4ක් යටතේ තමයි වසන්තයේ අපූර්වත්වය තරු විදියට භුක්ති වින්දේ....
තරු පැටවුන්ට ආදරය කරපු අම්මලා තාත්තලා ගොඩාක් දරුවන්ට ආදරය ආශිර්වාදය අරන් පයාගල අහස යටට පැමිණ තිබුණා.
මේ දරුවන්ව කවදාවත් දැකලා නොතිබුණු පරාර්ථකාමී මිනිසුන් මෙම වැඩසටහන සාර්ථක කරගන්නට මුදලින්, ශ්‍රමයෙන්, දැනුමෙන් බොහෝ දේ තිළිණ කළා.
ඒ නිසාවෙන්ම තරු හිනැහෙන වසන්තය අපූර්වත්වයෙන් යුත් සුන්දර මතකයන් ඉතිරි කරන සාර්ථක දවසක් බවට පත්වුණා.
සහභාගි වූ හැම දරුවෙකුටම තෑගි ලැබුණා. පරාර්ථකාමීත්වය වගේම සාමූහිකත්වය පිළිබිඹු කළ තරු පැටවුන්ට වටිනා සහතික පත් හිමිවුණා.
තරගාවලියේ ශූරතාවය Team Courage හිමිකර ගත් අතර අනුශූරයින් බවට Team Brave පත්වුණා.
අන්තීමට තරු පැටව් ඔක්කොම පිට්ටනිය මැදට ඇවිත් හොදට නැටුවා.....
පෙරඹර සංස්කෘතික අවකාශයේ, සාමූහික ළමා සංගමයේ, තරු ළමා කවය මගින් සංවිධානය කළ මෙම අපූරු දවස සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලබාදුන් පරාර්ථකාමී හදවත් වලින් පිරි සාමූහිකත්වයෙන් පොහොසත් අම්මලාට, තාත්තලාට, අයියලාට, අක්කලාට තරු ළමා කවයේ, පුංචි අපේ ආදරය...........